එල්. සුබ්‍රමනියම් හෙවත් පණ්ඩිත් ලක්ෂ්මිනාරායන සුබ්‍රමනියම් කියන්නේ සිය ප්‍රේක්ෂකාගාරය මනමෝහනීය වූ වයලීන රාවයෙන් වශී කරලූ ඔහු ඉන්දියාවේ වයලීන පියායි. මේ කතාබහ සංගීතයට වයලීනයට පෙම් බඳින සුවහසක් ප්‍රේක්ෂක රසික හදවත් තුළට නැවුම් ආස්වාදයක් ගෙන එනු නොඅනුමානයි.
අද මුළු ලෝකයේම මුදුන්පෙතේ සිටින සම්භාව්‍ය වයලීන වාදකයන් අතරින් කෙනකු වන පණ්ඩිත් සුබ්‍රමනියම් උපත ලබා ඇත්තේ ලංකාවේය. එදවස යාපනයේ කලකෝලාහල හේතුවෙන් අප රට හැර නොගියේ නම් අද ඔහු නිසා බබළනුයේ අපේ අසල්වැසි ඉන්දියාව නොව අප රටය. හැඳිවත පමණක් ඉතිරිව සියල්ල මෙරටේ අත්හැර දමා එදා අපේ රටෙන් ඒ නික්මුණේ අපේ රටට උරුම වන්නට තිබූ මහා කීර්තියකි. සංගීත උරුමයකි. කෙසේ වෙතත් අද වෙද්දී සිය පියාගේ අඩිපාරේ යමින් සිටින එල්. සුබ්‍රමනියම් මහතාගේ පුත් ආචාර්ය අම්බි සුබ්‍රමනියම් මෙරටට පැමිණෙන බව දැන ගන්නට ලැබුණු නිසාම ඔහු සමඟින් කතා බහකි මේ.
ඔබ ලංකාවට එන පුවත ගැන කිව්වොත්, කොහොමද මෙවර ඒ සම්බන්ධතාව ගොඩ නැගෙන්නේ
මම 2024 ජනවාරි 17 ලංකාවට එනවා. ජනවාරි 17-21 දක්වා මම ලංකාවේ ඉන්නවා. මම ලංකාවට එන සම්බන්ධතාව ගොඩ නැෙඟන්නේ කෞශල්‍යා වික්‍රමසිංහ හරහා. ඇය තමයි මට ආරාධනා කරන්නේ ලංකාවට පැමිණෙන්න කියලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාව සම්බන්ධ කරන්නේ. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩසටහන් මාලාවකට මෙවර මම ලංකාවට එන්නේ.
අමතක කරන්නම බැහැ ඔබේ පළමු ප්‍රසංගය පවත්වන්නේ ලංකාවේ, ඒ මතකය අවදි කරොත්
මම වයස අවුරුදු තුනේදී වයලීනය වාදනය කරන්න පුරුදු වෙන්නේ මගේ පියාණන් යටතේ. මගේ පියාණන් සමඟ වේදිකාවක් මත වයලීනය වාදනය කරන්නේ අවුරුදු හතේදී. ඒ වාදනය සිදු වුණේ ලංකාවේදී. ඒක මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන මතකයක්.
ඔබේ අධ්‍යාපන පසුබිම ගැන අපි කතා කරොත්
මම මේ වෙද්දී MBA එක කරලා තියෙන්නේ finance අංශයෙන්. ඒ වගේම සංගීතය පිළිබඳ මම මහාචාර්යවරයෙක් දක්වා ඉගෙන ගත්තා. මම වයලීනය ආචාර්ය දක්වා ඉගෙන ගත්තා. බටහිර වයලීනය පිළිබඳවත් මම ට්‍රින්ටි විභාගය කළා.
ලංකාව ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක් ද?
ලංකාව ගැන මට තියෙන්නේ මගේ මවුරට හා සමාන අදහසක්. ලොකු ඉතිහාසයක් මට තියෙනවා. මගේ පියා සහ පියාගේ ඥාතින් සියලු දෙනාම ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත් වුණු අය. දැනටත් මගේ නැන්දලා මාමලා ලංකාවේ ඉන්නවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ අංශයේ දෙමළ වාද්‍යය වෘන්දය ආරම්භ කරලා තියෙන්නේ මගේ සීයා. වී ලක්ෂ්මි නාරායන් කියන්නේ මගේ සීයා. ඒ නිසා ලංකාව මට මගේ මවුරට හා සමානයි. ලංකාවේ දේශගුණයට, ලංකාවේ පරිසරයට, ලංකාවේ ඇදහිලිවලට මම ආදරෙයි. ලංකාව හරි ලස්සන රටක්. මේ තියෙන සෞන්දර්ය වටපිටාවට සහ ලංකාවේ මිනිසුන්ගේ තියෙන ගුණ යහපත්කම්වලට මම කවදත් ආදරෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඔබ එන්නේ?
මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන්නේ පළවැනි වතාවට. මම කොළඹ විශ්වවිද්‍යාලයට මගේ පියා සමඟ ඇවිත් තියෙනවා. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන පළවැනි වතාව. ඒ එක්කම ඉදිරියටත් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ක වැඩසටහන් මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබේ පියා ලෝකයේම ඉන්න විශිෂ්ටයින් අතර දැවැන්තයෙක්, ඒ ගැන මතක් කරොත්?
මගේ පියාගේ හැකියාවන් සහ පියාගේ වයලීන වාදනය ගැන ලෝකයම කතා කිරීම මට විශාල ආඩම්බරයක්. මගේ පියා ලෝකයේම හදවත් දිනාගත් වයලීන වාදන ශිල්පියෙක් විදිහට දැනෙන ආඩම්බරය ගැන නිහතමානිව සතුටු වෙනවා. මට මතකයි මගේ පියා මට අවුරුදු තුනේදී මගේ අතට මුලින්ම දෙන්නේ සෙල්ලම් වයලීනයක්. ඒ සෙල්ලම් වයලීනයෙන් තමයි මට පියා වයලීනයේ හුරුව ලබා දුන්නේ. ඒකෙන් මම හුරුව හදා ගනිද්දී මට ආසාවක් ඇතිවෙනවා කවදා හරි මමත් මගේ පියා වගේම වයලීනය වාදනය කරනවා කියලා. අද මම තැනකට ඇවිත් ඉන්නවා නම් එහි සම්පූර්ණ ගෞරවය මගේ පියාට හිමිවෙන්න ඕනේ. මගේ පියා නැත්නම් අද මම මෙතන නැහැ. අද මගේ මුළු ජීවිතේම වෙලා තියෙන්නේ වයලීනය. පියාගේ ඉගැන්වීම් ක්‍රම විවිධයි. පියා දැනුම දෙන විදිහ සහ සංගීත රසය ලබා දෙන විදිහ හරි වෙනස්. ඒ නිසා බොහොම ලෙහෙසියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. මම පියා එක්ක ලෝකයේ බොහෝ රටවල්වල නගර වලට ගියා. සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන ආර්. රහුමාන් මාස්ටර් සහ ඉලෙයරාජා මාස්ටර් මට මුණගැහෙනවා. මට ඒ අය දකිද්දී ආසාවක් ඇතිවෙනවා කවදා හරි මමත් මගේ පියා වගේ ඉහළටම යන්න ඕනේ කියන එක. තව ගොඩක් දේවල් මේ ජීවන ගමනේදී මට පියාගෙන් ඉගෙන ගන්න තියෙනවා. මම පියාගෙන් දැකපු තව දෙයක් තමයි වේදිකාවේ වාදනය කරද්දී මටත් මගේ විදිහට වාදනය කරන්න අවශ්‍ය කරන නිදහස සහ ඉඩ දෙනවා. මගේ පියා කියන්නේ මගේ ජීවිතේ එකම පරමාදර්ශය.
පියාගේ සේම ඔබේ මවගේ හඬත් ලොවක් වශී කළ හඬක්?
ඔව්. මගේ මවත් අතිශය දක්ෂ විශිෂ්ට ගායිකාවක්. මගේ එකම සහෝදරිය බින්දු සුබ්‍රමනියම්. ඇයත් දක්ෂ ගායිකාවක් සහ ගීත රචිකාවියක්.
ඉදිරියටත් ලංකාව එක්ක ගනුදෙනු කරන්න අදහසක් තියෙනවද?
ඔව්. ලංකාව එක්ක මම ඉදිරියටත් වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල මට්ටමින් සහ යාපනය උතුරුමැද පළාතේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ තැන්වල. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ ප්‍රසංග සහ වැඩමුළුවලට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සම්බන්ධව හැදෙන ජාත්‍යන්තර ඩොකියුමන්ට් එකේ සංගීත අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කරනවා. ඒ ගැනත් බොහොම සතුටින් දැනුම් දෙන්න කැමතියි.
අනුෂා රණසිංහ