මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන සේනාන් විමලවීරගේ අළුපාට දේදුනු ප්‍රේක්ෂකයන් අතර බොහෝ කතාබහට ලක්වන ටෙලි නිර්මාණයකි. ජනප්‍රිය චරිත රැසකගේ දායකත්වයෙන් විකාශය වෙන අළුපාට දේදුනු ටෙලි නිර්මාණයට කුලුඳුල් රංගන දායකත්වය සපයන ඇය චිත්මිණී මැදවලය. 2022 හිරු අවුරුදු කුමරිය තරගය හරහා රංගනයට පිවිසීමට වරම් ලැබූ ඇය මේ වනවිට ක්ෂේත්රය තුළ සෙමින් සෙමින් තම දක්ෂතා එළිදක්වමින් සිටින්නීය.
අළුපාට දේදුනු ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා සිටින ඇයට එම අවස්ථාව ලැබී තිබුණේ 2022 හිරු අවුරුදු කුමරිය තරගයේ කේශ කල්‍යාණිය ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව බව ද ඇය අප හා පැවසුවාය.
“මං කුලුඳුල් රංගන අත්දැකීම ලබන්නේ අළුපාට දේදුනු ටෙලි නිර්මාණයෙන්. ඊට කලින් මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙලා තිබුණා. මංජුල අයියගේ රෝස බටිත්ති මියුසික් වීඩියෝව ගොඩක් ජනප්‍රිය වුණා. මේ වෙද්දි මියුසික් වීඩියෝ 6කට විතර මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. රංගනයට අවස්ථා ලැබෙන්නේ හිරු අවුරුදු කුමරිය තරගයෙන් පස්සෙ. ඒකෙ අවසන් පස් දෙනා අතරට ආවා. හොඳම කේශ කල්‍යාණිය විදිහට තේරුණා.
සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝවල අපේ කටහඬ පාවිච්චි වෙන්නෙ නෑනෙ. ටෙලි නාට්‍යයක් කරද්දි හැඟීම්, කටහඬ පාලනය වගේ දෙවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. එතැනදි මුලින් මම ටිකක් බය වුණා. ඒකට සම්බන්ධ වෙලා ඉන්න අනික් රංගන ශිල්පීන් ගොඩක් අත්දැකීම් තියෙන අය. දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, උදාරි වර්ණකුලසූරිය වගේ ජනප්‍රිය චරිත එක්කයි වැඩ කරන්න වුණේ. ඒ නිසා මට මුලින්ම බය හිතුණා. ඒත් එයාල හරිම ආදරෙන් මාව පිළිගත්තා. මට හැමදේම කියල දුන්නා. ඒ හැමෝම හරිම හොඳයි.
මගේ චරිතය දිවෙන්නෙ කෙවින්, ඒ කියන්නෙ සාරංග අයියගෙ ගර්ල් ෆෙන්ඩ් වින්ඩි විදිහට. එයාගෙ කලින් ගර්ල් ෆෙන්ඩ් ඉෂානිට ඉන්නෙ දිනක්ෂි අක්කා. කෙවින් මට නොතේරෙන්න ආයෙත් ඉෂානි එක්ක සම්බන්ධය පටන් ගන්න උත්සාහ කරනවා. ඒ එයාගෙන් පළිගන්න. එයා මට ආදරේ කරන්නෙත් බොරුවට. මං කෙවින්ට රැවටිලා ඉන්නෙ. කණ්ඩායමේ හැමෝගෙන්ම ලොකු සහායක් ලැබෙනවා. අළුපාට දේදුනු නිර්මාණයෙන් පස්සෙ අධ්යක්ෂ සේනාන් විමලවීරගෙම තවත් ටෙලි නිර්මාණයකට ප්‍රධාන චරිතයකින් දායක වුණා. ඒකත් මේ දවස්වල ෂූටින් කරගෙන යනවා.“
අළුපාට දේදුනු ටෙලි නිර්මාණයේ කුලුඳුල් රංගන අත්දැකීමට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ඇයට හොඳින්ම දැනී තිබුණා.
“මං තාමත් මේ ක්ෂේත්රයට අලුත්. ඒත් ප්‍රේක්ෂකයන් අළුපාට දේදුනු නිර්මාණයේ මගේ චරිතයට ආදරය කරනව කියලා ලැබෙන ප්‍රතිචාරවලින් දැනෙනවා. ගොඩක් අය රැවටෙනවා කියලත් බණිනවා. සමහරු පව් කියනවා. ඒ වගේ හොඳ නරක දෙවිදිහටම ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ට ඒ චරිතය දැනිල තියෙනව කියල දැනෙද්දි මට සතුටුයි.“
රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරතවන චිත්මිණී උපාධිය සඳහා අධ්‍යයනය කරන්නේ භෞතික විද්‍යා විෂය ධාරාවයි. කලාවත් විද්‍යාවත් සමබරව කරගෙන යන ඇය කලාවේ ද විවිධ පැතිකඩවල් අධ්‍යයනය කරමින් යන තරුණියකි.
“මගේ ගම ජාඇල. පාසල් ගියේ කඳාන දි මැසිනොද් විද්‍යාලයට. පාසල් යන කාලෙ කළේ මියුසික්. 6 වසරට වෙනකල් නැටුම් කළා. ඊට පස්සෙ මට සංගීතයට ආස හිතුණා. ඒ නිසා ඒ පැත්තෙන් ගියා. මං හින්දුස්ථානී සංගීතයේ විශාරද පළවෙනි කොටස දක්වා කරල තියෙනවා. ඒ අතරේ හරේන්ද්‍ර ජයලාල් සර් යටතේ මිඩියා, ඩබින්, නිවුස් රීඩින්, ප්‍රසන්ටින් සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් උපාධියත් කළා. උසස් පෙළට ඉගෙන ගත්තෙ ගණිත අංශයෙන්. මේ වෙද්දි රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කටයුතු කරනවා. ලබන ජනවාරි ඉඳන් අවසන් වසරේ. මගේම කියල සින්දුවක් කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට අවශ්‍ය පසුබිම සූදානම් කරමින් ඉන්නෙ. මං කැමතියි හැමදේම ඉගෙන ගෙන මේ ගමන යන්න. ජනප්‍රිය වෙන්න කැමැතියි. ඒත් ඒක වෙන්න ඕන මිනිසුන් මං ගැන දැනගෙන මට කැමැත්තෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඕනෑම දේකට හා කියාගෙන යන ගමනකට වඩා හැමදේම දැනගෙන යන අයට ක්ෂේත්රයේ සලකන විදිහට තමයි මාත් කැමැති.“
උසස් අධ්‍යාපන කටයුතු අතරේ කලා කටයුතුවලට දායක වෙන්න පවුලෙන් ලැබෙන සහාය ගැනත් ඇය සිහිපත් කළා.
“උසස් අධ්‍යාපනයත් එක්ක කලා කටයුතු කරගෙන යන්න පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මං පවුලේ එකම දරුවා. තාත්ත තමයි ගොඩක්ම කැමති මං කලාවට සම්බන්ධ වුණාට. අම්මත් නිතරම පස්සෙන් ඉඳන් සෙවණැල්ලක් වගේ මට සහාය දෙනවා. එයාලගෙ ආශීර්වාදයත් එක්ක අනෙක් පැතිත් බැලන්ස් කරගෙන දුර ගමනක් යන්නයි මගේ බලාපොරොත්තුව.“
නාමලී ගමගේ