70 දශකයේ අ.පො.ස. උසස් පෙළ විෂයයන් අතර සිංහල ඉගෙන ගනිද්දී ආනන්ද විද්‍යාලයේ අපේ ගුරුවරු පෑදි දියට බොරදිය කෙටිකතා පොත රස කරමින් කියා දුන්හ. නවකතා නිර්මාණය හා අවබෝධය කියා දුන්නේ ද අරුත්බර රටාවකිනි. අනුරාධපුර සමාජ – සංස්කෘතික පොත් අතිරේකව කියැවීමට අප පෙළැඹූහ. ඒ පොත් රචනා කළ මහාචාර්ය ඒ.වී. සුරවීරයන් මගේ ද ගුරුවරයකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී හමුවීම වාසනාවක් විය. එහිමැ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් හා ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළේ ද ඒ.වී. සුරවීරයෝය. ජනමාධ්‍යකරුවන්ට නිර්මාණශීලී ලේඛකයන්ට එම පාඨමාලාව ඉතා ප්‍රයෝජනවත් වන ලෙස සුරවීරයන් ඇතුළු සිංහල අධ්‍යයන අංශය විසින් සකසන ලදි.
1930 ඔක්තෝබර් 10 වැනිදා ගම්පහ කොරස ගමේ උපන් එතුමා ගම්පහ රජයේ ඉංග්‍රීසි පාසලෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උගෙනුම ලැබීය. පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වී 1954දී සිංහල ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය ලබාගත් ඔහු අනතුරුව පිළිවෙළින් 1957දී සහ 1964දී එම විශ්වවිද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා ගත්තේ තම පාණ්ඩිත්‍යය විදහාපාමිනි. 1954 සිට ගුරුවරයකු ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවය කළ ඔහු 1960 ජනවාරි මාසයේ එවක මරදානේ මාලිගාකන්ද පාරේ විද්‍යෝදය පිරිෙවනෙහි පවත්වාගෙන යමින් තිබූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ධුරයකට පත්වූයේ මහාචාර්ය විමල් බලගල්ලේගේ ආරාධනාවෙනි. ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ හෙතෙම 1978 එක්සත් රාජධානියේ කැන්ටබරි විශ්වවිද්‍යාලයේදී සමාජයීය සාහිත්‍ය ගැන පර්යේෂණ කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ශාස්ත්‍ර පීඨාධිපති, සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන වශයෙන් විවිධ තනතුරු දරමින් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දුන් සුරවීරයන් 2014 ජනවාරි 14දා අභාවයට පත්වූයේය. මේ මාසයේ වෙසෙසින් සමරනු ලබන ජනවාරි 14දාට මියගිය මහගම සේකර ආචාර්ය උපාධි නිබන්ධය රචනා කළේ සුරවීරයන් ඇතුළු තිස්ස කාරියවසම්, විමල් බලගල්ලේගේ මඟ පෙන්වීම පරිදිය. එලෙසම ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනසූරි උපාධි බොහෝදෙනාට ලබා ගැනීමට සුරවීරයෝ මඟ පෙන්වූහ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේ මැතිසබයේ මන්ත්‍රීවරයකු මෙන්ම සංස්කෘතික ඇමැතිවරයා ලෙස ඔහු ක්‍රියා කළේය. විවිධ පදවි තානාන්තර හොබවමින් කටයුතු කළ ඔහුගේ කෙටිකතා, නවකතා, විචාර, ශාස්ත්‍රීය පර්යේෂණ සහ පරිවර්තන ශ්‍රී ලාංකික සමාජයේ උන්නතියට මහෝපකාරී වූ බැව් පිළිගත යුතුමය.
ලියෝ තෝල්ස්තෝයිගේ කෘතිය කලාව යනු කුමක් ද? නමින් ද ඇරිස්ටෝටල් ග්‍රන්ථය – කාව්‍ය ශාස්ත්‍ර යනුවෙන් ද කළ පරිවර්තන වර්තමානයේ පවා විද්‍යාර්ථීන් මෙන්ම බුද්ධිමත් පාඨකයන්ගේ අත්පොත් බවට පත්වී ඇත. නිවැරදිව උභය භාෂා මෙන්ම ප්‍රාචීන භාෂා හැසිරවීමේ සමත් ඔහු ඓතිහාසික නවකතා රචනයේ ද රුසියෙකු විය. සදා මෙලෙස පුර දෙරණේ 1980, අඳුරු දුරලන රැස් (1983) විශේෂයෙන් ඔහු විසින් රචිත කැපී පෙනෙන ඓතිහාසික නවකථා වන්නේය.
ප්‍රබන්ධ කථාවෙහි මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ ලේඛනකරණයෙහි භාෂාව හැසිරවීමේ ඉමහත් කුසලතා පළ කළ ඔහු පූජාවලිය, රාජාවලිය, අලකේශ්වර යුද්ධය පිළිබඳ සිදු කළ සංස්කරණ අදටත් ගෞරව ප්‍රශංසා ලබන කෘතීන්ය. පිඹින් නළා සුරා මතින්, අසලියා මල්, ඉෂ්ටාර්ථ සිද්ධියක් වැනි විශිෂ්ට විදේශීය කෙටිකතා සංග්‍රහ සිංහල භාෂාවෙන් පාඨකයන්ට ඉදිරිපත් කිරීමට විශාල උත්සාහයන් දරා ඇත. ළමා සාහිත්‍ය කෘති කිහිපයක්ම ලියා පළකළ ඔහු රාජ්‍ය මෙන්ම අනෙකුත් විශිෂ්ට සම්මාන රාශියක් දිනා ඇති ප්‍රබුද්ධ, විදග්ධ නිර්මාණශීලි සැබෑ සුධීමතකු ලෙස ඇගයීමට ලක්වෙයි. සාහිත්‍ය නිර්මාණයන්හි සමාජ මානව විද්‍යාත්මක අගය විමසීමට කළ කෘතීන් රචනා සිංහලෙන් කියවන සිසුන්ට පොදු පාඨකයන්ට නව මානයේ ආලෝචනා මතු කරලීමට හේතු වූ බැව් අපි දනිමු.
පෙරපර දෙදිග සම්භාව්‍ය සාහිත්‍යය ජනශ්‍රැති සාහිත්‍යය සම්බන්ධ ප්‍රාමාණික විද්වතකු වූ මහාචාර්ය සුරවීරයන් කෙටිකතා කලාවේ මූලධර්ම සිංහල පාඨකයන්ට කියාපෑම සඳහා බවතිමිර පොතේ පෙරවදනින්ද පුස්තිකා, දේශන හා ලිපි ගණනාවකින් ද කරුණු පැහැදිලි කළේය. සාහිත්‍ය විචාර ප්‍රදීපිකා කෝෂ ග්‍රන්ථයන්, භරත මුනි හා ඇරිස්ටෝටල් සසඳමින් ලියූ භාරතීය කෘතිය සිංහලයට නැඟීමත් වැදගත් සේවයකි. සිරිල් සී. පෙරේරා, කේ. ජයතිලක, තිස්ස කාරියවසම්, බොබී බොතේජු, රත්නසිරි අරංගල, ගුණසේන විතාන ඇතුළු ලේඛකයින්ගේ ජනතා ලේඛක පෙරමුණේ කටයුතුවලින් ද සුරවීරයෝ සිංහල පාඨකයා, ශිෂ්‍යයා දැනුවත් කිරීමට මෙහෙවර කළහ. යථාර්ථවාදී සාහිත්‍යයක් බිහි කිරීමට ඔහු මහත් සේ ප්‍රයත්න දැරීය. සිංහල භාෂා සාහිත්‍යයේ වටිනාකම නව පරපුරට කියාදීම සඳහා දැරූ වෙහෙස සපුරාම අගය කළ යුතු වන්නේය. නූතන සිංහල මෙන්ම පැරණි සිංහලය ද මැනවින් හදාළ කවිත්වයත්, පාණ්ඩිත්‍යයත් එකසේ විශද කළ මහාචාර්ය ඒ.වී. සුරවීර මහා ප්‍රාඥයකු වශයෙන් රටට ජාතියට කළ සේවය සදානුස්මරණීය වන්නේ ය.
දිවිමඟ සටහන්
උපත – 1930 ඔක්තෝබර් 12
උපන් ගම – ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිවන්ගොඩ හොරප
සම්පූර්ණ නම – අලංකාරගේ වික්ටර් සුරවීර
භාවිත නාමය – ඒ. වී. සුරවීර
පියාගේ නම – ඒ. පියදාස
මවගේ නම – එච් .පී . ලීලාවතී
සහෝදර, සහෝදරියන් – 6කි. ඒ අය වන්නේ එස්. ඩී. අමරසිංහ, සුසිලා කොඩිකාර, ඒ.එම්. සුරවීර, ශාන්තිකර සුරවීර, වෙදේහ සුරවීර, තීක්ෂණ සුරවීර
පාසල් අධ්‍යාපනය – රණසිංහ බෞද්ධ පාසල, කොරස; රජයේ පාසල, විගොඩ; රජයේ ඉංග්‍රීසි පාසල, ගම්පහ; රාජකීය විද්‍යාලය, කොළඹ
විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය – 1950 ඔක්තෝබර්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පළමු වෘත්තිය – 1955 දී ගුරු වෘත්තිය.
ඉගැන්වූ පාසල් – ශාන්ත ජෝෂප් විද්‍යාලය, කොළඹ;
ශ්‍රී රාහුල විද්‍යාලය, කටුගස්තොට; ආනන්ද විද්‍යාලය, කොළඹ
විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයට එක්වීම -1960 විද්‍යෝදය සරසවියට කථිකාචාර්යවරයකු ලෙස එක් වීම
විවාහය – 1960 මැයි 31
බිරිය – ශීලා සුරවීර
දරුවන් – 4කි. ඒ ප්‍රියදර්ශිකා, අනුර, කීර්තිනී හා ජයසංක
මුනුබුරු මිනිබිරියන් – 6කි. එසමිත යසස්වි, සපුනි තිලංගී, ඉසුරු, උදාරා, අශේන් හා හරිත
ප්‍රථම ග්‍රන්ථය – විචාර විලාසය (1957 ජූනි)
ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මානය – 1959දී ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී ‘අනුරාධපුර සංස්කෘතිය’ ග්‍රන්ථය සඳහා
සම්මාන – 1980 – කලාකීර්ති සම්මානය, 2008 – සාහිත්‍ය රත්න සම්මානය
අභාවය- 2014 ජනවාරි මස 14
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර