“කවන්ධයක් මහ රෑ මහ පාරේ සරඹ කරනවා
මේක දැකපු මගේ ඇඟේ හිරිගඩු පිපුණා”
හොල්මන් අවතාර ගැන කතා අසන්නට බොහෝ දෙනකු ප්‍රියය. ඒත් දකින්න කැමැති නැත. ඒ ඔබේ අනවබෝධය නිසාය. කිසිම හොල්මනකට ඔබව අනතුරේ දැමිය නොහැකිය. එහෙත් ඔබේ හිතේ ඇතිවන භීතිය නැත්නම් භය නිසා ඒවා දකින්නට කැමැති නැත. හොල්මන් දකින්න ඔබ කැමැති නැත්තේ තනිවමය. දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු සමඟ නම් හොල්මන් බලන්න ආසය. එහෙත් අවතාරය හොල්මන පෙනෙන්නේ නැහැ. එය මුලින්ම පැවසිය යුතුය.
හොල්මන් අවතාර ගැන ලංකාවේ පරීක්ෂණ නොකළාට පිටරටවල මෙය හොඳ විෂයකි. 1998 – 99 වර්ෂවල ජර්මනියේ කොලොන්ස් කියන ග්‍රාමයේ මේ විෂය වැඩිපුරම පරීක්ෂණයට භාජනය විය. මමද ඊට සහභාගි වූ නිසා එහි සත්‍යතාවය දනිමි.
මෙකී සිද්ධිය වූයේ 1973 වර්ෂයේ යැයි මට මතකය. දකුණු කළුතර උසාවිය ඉදිරිපිට විශාල ඔරලෝසු කණුව ඉදිරියෙන් පාරක් තිබේ. ඒ “නෑබඩ” ට යාම සඳහාය. මේ පාරේ කැඩුණු තැන් බොහෝ ය. ඒ දිනවල ඉතාම පාළුය. එම මාර්ගයේ ගමන් ගත්තේ එක් බස් රථයක් පමණි. එම බස් රථය නාගොඩ මහ රෝහල අසලට පමණි. මොකද එතැනින් එහාට මිනිසුන් නැත. රෝහලේ දකුණු පැත්තේ මිනී කාමරය තිබූ නිසා සවස 6න් පසු මිනිස් ගැවසීමක් නැහැ. නාගොඩ රෝහලට යන්න තුන්මන් හංදියෙන් දකුණට බස් එක හැරවූ විට පාළු වෙල්යායයි. ඊළඟට හිමිදිරියාවේ සොහොන් කනත්තය. ඊළඟට ජිනානන්ද හාමුදුරුවන්ගේ පන්සල පිහිටා තිබේ. ඊට ඉදිරියෙන් වෙඩි තලාවය.
‘ජිනානන්ද හාමුදුරුවෝ’ ගුරුකම් කරන්නෙකි. දේහ ලක්ෂණවලින්ද එය පෙනේ. අළුවිහාරේ වෙඩිතලාවේ වෙඩි පුහුණු දවසට හැම පැත්තටම රතු කොඩි දමයි. එදාට ළඟ තිබෙන වී වැපිරීම් උදේ වරුව නතර කරයි.
දිනක් කිසියම් පුහුණුවක් සඳහා මා හට එම විද්‍යාලයට යන්නට සිදු විය. මා සමඟ තව කීප දෙනෙක් වූහ. මිලිටරි පුහුණුවකි. දිනක් “මඟුල් මඩුව” ස්ථානයේ රාත්‍රී මුරය මට කරන්නට සිදු විය. වේලාව රාත්‍රී 10 – 12ත් අතරය. එක්තරා මාවතක කාකි ඇඳුමෙන් සැරසී එක් නිලධාරියෙක් 303 රයිෆල් වර්ගයේ තුවක්කුවක් කර තියාගෙන සරඹ කරයි. විශේෂත්වය නම් මේ නිලධාරියාගේ බෙල්ලෙන් උඩ හිස කොටස නොමැත. බෙල්ල නැති හොල්මනක් රාත්‍රියේ සරඹ කරන්නේ නම් කවුරුන්ද බිය නොවන්නේ. මඳක් බියට පත් වුණේය. එහෙත් එය පෙන්නුවොත් දඬුවමක් නියම වේ. මගේ ඇගේ හීන්දාඩිය දමනවා සේ දැනුණි. කතා කරන්නට නොහැකි සේ කට වේලි ඇත. එහෙත් මහ රාත්‍රියේ කාට කතා කරන්නද? කෙසේ හෝ දෙවරක් සරඹ කිරීමෙන් පසු එම යක්ෂයා කැලේ පැත්තට නොපෙනී ගියේය.
පසුවදා මා රාත්‍රියේ දුටු එම දර්ශනය ගැන උසස් නිලධාරියකු දැනුම්වත් කළෙමි. ඒ කිසියම් විස්තරයක් දැන ගැනීමේ ආසාවෙනි. නමුත් ඔහුගේ පිළිතුර වූයේ “හුම්” කියන ශබ්දය පමණි. පසුවදා මම මේ සිද්ධිය පන්සලට ගිය මොහොතක හාමුදුරුවන්ට කීවෙමි. සිදු වූ දුටු හැම දෙයක්මත් නායක හාමුදුරුවන්ට කීවෙමි. උන්වහන්සේ මා හට කීවේ එය එක්තරා අවතාරයක් බවත් ඇතැම් දිනවලදී සමහරුන්ට පෙනෙන්න එන බවත්ය. නමුත් කිසි දිනෙක කාටවත් කිසිම හිරිහැරයක් වී නැති බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ. බලාගෙන යනකොට මට ප්‍රථම කීප දෙනෙක් මෙය දැක තිබුණද ප්‍රතිඵලය වුණේ නිහඬතාව රැකීමය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න