Home » ධන සම්පත් උරුම කරන දෛව රේඛාව

ධන සම්පත් උරුම කරන දෛව රේඛාව

by thanushika
January 6, 2024 12:30 am 0 comment

ධන රේඛාව වශයෙන් හඳුන්වන්නේ දෛව රේඛාවටය. මෙම රේඛාව අල්ලේ කුමන ස්ථානයකින් ආරම්භ වුවත් එය අවසන් වන්නේ මැදඟිල්ලේ මුල ප්‍රදේශයට අයත් ශනි හෙවත් සෙනසුරු මණ්ඩලයෙනි. ඒ නිසාම එය ශනි රේඛාව වශයෙන්ද හඳුන්වනු ලබයි. ඇතැම් අයගේ මෙම රේඛාව මැණික් කටුව ආසන්නයේ සිට අල්ල හරහා මැදඟිල්ල දක්වා විහිද යයි. තවත් අයගේ මෙම රේඛාව චන්ද්‍ර මණ්ඩලය, සිකුරු මණ්ඩලය, කුජ තලාව ආදි ප්‍රදේශවලින් මෙන්ම ශිර්ෂ, ජීවන රේඛා ආශ්‍රයෙන්ද ආරම්භ විය හැකිය. කුමන ස්ථානයකින් ආරම්භ වුවද බොහෝ විට කැපීම්, බිඳීම්, ගෙවීම්, දූපත් ලකුණු, තිත් ලකුණු ආදියෙන් තොර පැහැදිලි සෘජුව විහිද යන දෛව රේඛාවකින් කෙනෙකුට බොහෝ ධන සම්පත් උරුම වන බැව් පෙන්නුම් කෙරෙන අතර දියුණුවට ඇතිවන බාධක ආදී බොහෝ කරුණුද මෙම රේඛාවේ පිහිටීම අනුව අනාවරණය වෙයි.

දෛව රේඛාව සිකුරු මණ්ඩලයෙන් (1) පටන් ගත් විට අල්ල හිමියා ජීවිතයේ මුල් කාලයේදී නැදෑයින් ඈත් කරනු ලබයි. පසු කාලයේදී ඔහුගේ කටයුතු පවුලේ අය විසින් පාලනය කරනු ලබයි. (මව, පියා, ස්වාමියා හෝ බිරිය විය හැක) එම අයගේ ආධාර උපකාර මත ඔවුනට භාග්‍යය උදා වනු ඇත. තමන්ගේ ව්‍යාපාර කටයුතු ද දියුණු වන අතර මවුපිය දේපළද උරුම වනු ඇත.

මැණික් කටුව ප්‍රදේශය ආශ්‍රයෙන් නැඟෙන පැහැදිලි දෛව රේඛාවක් ඇති අය (2) අන් අයගේ පිහිට අපේක්ෂා නොකරන අතර ස්වඋත්සාහය හා ධෛර්ය මත තව තවත් දියුණුව කරා යයි. දෛව රේඛාවේ මුල කොටස හෙවත් මැණික් කටුව ආසන්නයේම ඇති කොටස දූපත් ලකුණු සහිත හෝ කැඩුම් බිඳුම් සහිතව විකෘති වී ඇති නම් ජීවිතයේ මුල් අවධියේ ඇති වූ අසනීප හෝ මොන යම් බාධක හෝ පෙන්නුම් කෙරේ. ශීර්ෂ රේඛාවට පහළින් දෛව රේඛාව ඒ අයුරින් පෙන්නුම් කරයි නම් ජීවිතයේ මැද භාගයේදී (35 – 40 අතර) විශාල පසුබෑමකට හෝ කරදරයකට හෝ ලක්විය හැකිය.

දෛව රේඛාවෙන් ඉහළට යන රේඛා හෙවත් ඇඟිලි දෙසට විහිද යන රේඛා සියල්ල වාසනා රේඛා වේ. එමඟින් ජීවිතයේ ඉදිරි දියුණුව පෙන්නුම් කරන අතර පහළට විහිද යන රේඛාවලින් අශුභ තත්ත්වයන් ප්‍රකාශ කෙරේ.

දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී (3) බාධක ලකුණුවලින් තොරව ශනි මණ්ඩලය කරා විහිද යාමද සැප සම්පත් උරුම කර දෙන සුබ පිහිටීමකි. විරුද්ධ පාර්ශ්වයේ එනම් ස්ත්‍රියක නම් පුරුෂයාගෙන්ද පුරුෂයෙකු නම් ස්ත්‍රියගෙන්ද ආධාර නොඅඩුව ලබා දෙන විවාහ ජීවිතය සැපවත්ව ගත කළ හැකි බවට සලකුණක් වෙයි. දෛව රේඛාවෙන් විහිදෙනා අතු රේඛාවක් (4) රවි මණ්ඩලය දෙසට විහිද ගියහොත් ලේඛන කලා ක්ෂේත්‍රය වැනි අංශවලින් දියුණුවක්, ප්‍රසිද්ධියක් හෙළි කරන අතර එවැනි රේඛාවක් බුධ මණ්ඩලය දෙසට හැරුණහොත් (5) ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ දියුණුවක් ප්‍රකාශ වේ.

සිකුරු මණ්ඩලය දෙසට ශාඛාවක් විහිදේ නම් නොයෙකුත් කලා ශිල්පවලින් ප්‍රසිද්ධියට පත්වේ. බොහෝ විට ඔවුන් ගායන ශිල්පීන්, රංගන ශිල්පීන් විය හැක. මොවුන් ඉක්මන් විවාහවලට යොමු වුවත් බොහෝ විට ඔවුන්ගේ විවාහ ජීවිත සාර්ථක තත්ත්වයක් පෙන්නුම් කෙරේ. දෛව රේඛාවද ශනි මණ්ඩලය මතදී තාරකා සලකුණකින් අවසන් වී නම් එය වඩාත්ම පැහැදිලි වෙයි. යම් අයෙකුගේ දෛව රේඛාව ශනි මණ්ඩලය හරහා මැද ඇඟිල්ලේ පළවැනි පුරුක ඉක්මවා යෑමද අසුබ තත්ත්වයකි. මහමඟ සිඟා යදින යාචකයන්ගේ අත්වල එවැනි ලකුණු පිහිටා ඇති බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. දෛව රේඛාව හෘදය රේඛාවෙන් අවසන් වීම හෘදයාබාධවලට මෙන්ම ආදර සබඳතා බිඳ වැටීමටද හේතු වන බව කියැවේ. දෛව රේඛාවට සමාන්තරව තවත් එවැනිම රේඛාවක් ඉහළට ගියහොත් මාර්ග දෙකකින් ධනය ලැබෙන බව පෙන්නුම් කරයි. මෙම රේඛාවෙන් ඉහළට නැඟෙන රේඛාවලින් කෙනෙකුගේ වේගවත් දියුණුව ජයග්‍රහණ හා ජනප්‍රියතාවද ප්‍රකට කෙරේ. බලාපොරොත්තු ඉටුවීම්, සුබදායක සිදුවීම් එම රේඛා බෙදී යන ස්ථානයට අදාළ වයස් සීමාවේදී සිදු වේ. තමා අාදරය කරන අය හා විවාහ වීම, රැකියාවකට ඉඩ සැලසීම, ව්‍යාපාරයේ දියුණුව ආදී ජීවිතයේ සුබදායක අවස්ථා එමඟින් තීරණය කළ හැකිය.

දෛව රේඛාවේ අවසානය කතිර ලක්ෂණයක් නම් එම සලකුණු ඇති ස්ථානයට අදාළ කාල සීමාවේදී වාසනාව මතු වී එය ශීර්ෂ රේඛාවට සම්බන්ධ වන ස්ථානය වයස අවුරුදු 35 ලෙසට සැලකිය හැක. කැඩීම්, බිඳීම් ආදි බාධකවලින් තොරව ශනි මණ්ඩලය දක්වා විහිදුණ දෛව රේඛාව ත්‍රීශූල ලක්ෂණයකින් කෙළවර වී නම් එය සුබම සුබ ලක්ෂණයක් වෙයි. ධනය, බලය, කීර්තිය ආදී හැම සම්පතක්ම ලැබීමට එය හේතු වෙයි.

කෙනෙකුගේ අතක දෛව රේඛාවක් පිහිටා නැත්නම් හේ කිසිම අරමුණක් නොමැතිව දිවි ගෙවන කෙනෙක් විය හැක. මුලින් දෙකට බෙදී ආරම්භ වන දෛව රේඛාවක් ඇති අය අන් අයගේ ආධාර මත හෝ මඟපෙන්වීම මත හෝ දියුණුව ළඟා කර ගනී. ඇතැම් විට හොඳ දෛව රේඛාවක් ඇති විටත් අවාසනාවන්ත වන අවස්ථාද ඇත. එයට හේතුව වනුයේ සමතුලිත නොවූ අතක් තිබීමය. ඒ සඳහා මණ්ඩලවලද යහපත් පිහිටීමක් තිබිය යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division