එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉකුත් නොවැම්බර් 15 වැනිදා ලෝක ජනගහනය බිලියන 8ක් බවට පත්වූ බව වාර්තා කළ අතර, ඉදිරි වසර 30 තුළ ලෝක ජනගහනය බිලියන 2 කින් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය ජනගහනය ඉහළ යෑමට බලපාන මූලිකම සාධකය වන්නේ සජීවී උපත් සංඛ්‍යාව ඉහළ අගයක පැවතීමයි. ගෝලීය සමස්ත උපත් සංඛ්‍යාව සලකා බැලීමේදී වසර 2018දී එය මිලියන 140ක්, 2019දී මිලියන 138ක්, 2020දී මිලියන 135ක්, 2021දී මිලියන 134ක් බව වාර්තා විය.
මෑත කාලයේ ලෝකයේ උපත් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට නොලැබුණද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් හෙළි වී ඇත්තේ ඉකුත් දස වසර තුළ මෙරට උපත් සංඛ්‍යාව 24.7%කින් පහළ බැස ඇති බවයි. එම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2013 වසරේ ලියාපදිංචි උපත් සංඛ්‍යාව 365,762ක් වන අතර, ඉකුත් වසරේ ලියාපදිංචි උපත් සංඛ්‍යාව 275,321කි. ඒ අනුව 2013 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී උපත් සංඛ්‍යාව 90,441කින් අඩු වී ඇත.
ගෝලීය උපත් සංඛ්‍යාවට සාපේක්ෂව මෙරට දරු උපත් සංඛ්‍යාත්මකව අඩුවීමට බලපා ඇති සාධක මොනවාද? එය රටේ ජනගහනයට බලපානු ලබන්නේ කිනම් ආකාරයට ද යන්න පිළිබඳ අප කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වාගෙන් විමසීමක් කළෙමු.
“සමස්තයක් ලෙස ගත් විට ගෝලීය ජන සංඛ්‍යාවේ ප්‍රමාණයට, සංයුතියට සහ එහි වර්ධනයට බලපාන්නේ ප්‍රධාන සාධක දෙකක් පමණයි. ඒ, උපත් සහ මරණ සංඛ්‍යාවයි. සංක්‍රමණය ලෝක ජන සංඛ්‍යාවට දැනට කිසිදු ආකාරයකින් බලපාන බව නොපෙනුණත් තවත් කාලයක් යන විට අපේ පෘථිවි ගෝලයේ සිට වෙනත් ග්‍රහලෝකවලට පදිංචියට යන සංක්‍රමණිකයන් නිසා එයින් ලෝක ජන සංඛ්‍යාවේ ප්‍රමාණයට යම් බලපෑමක් විය හැකියි. මා එසේ කියන්නේ මේ වන විටත් ලෝකයේ ධනවතුන් රැසක් හඳේ පවා ඉඩම් මිල දී ගෙන ඇති බව වාර්තා වන නිසයි. ඊට අමතරව ඉදිරියේදී පුද්ගලයන් වෙනත් ග්‍රහලෝකවල පදිංචියට යෑමට පවා අවකාශ තිබෙනවා. එසේ වුවහොත් අනාගතයේදී ලෝක ජන සංඛ්‍යාවේ ප්‍රමාණයට සංක්රමණයෙන් යම් තරමකට බලපෑමක් විය හැකියි. ක්‍රි.වර්ෂ 1දී ලෝක ජනගහනය මිලියන 250ක්, ක්‍රි.ව 1650දී මිලියන 500ක්, 1850දී මිලියන 1,000ක්, 1930දී මිලියන 2,000ක්, 1975දී මිලියන 4,000ක් සහ 2023දී මිලියන 8,000ක් බවට පත්වූ ලෝක ජනගහනය 2030 වන විට මිලියන 8,600ක් පමණ විය හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන ප්‍රක්ෂේපණවලින් හෙළි වී තිබෙනවා. වසර 2050දී එය මිලියන 9,800ක් සහ 2080දී මිලියන 10,000ක් පමණ සංඛ්‍යාවකට පැමිණ ස්ථායි මට්ටමකට පත්විය හැකි බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන ප්‍රජා විද්‍යා විශ්ලේෂකයන්ගේ අදහසයි.”
උපත් පිළිබඳ සංඛ්‍යා දත්ත විමසා බැලීම මෙන්ම මරණ පිළිබඳ සංඛ්‍යා දත්ත විමසා බැලීම ද වඩාත් යෝග්‍ය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2016දී ගෝලීය මරණ මිලියන 57ක්, 2018දී මරණ මිලියන 58ක්, 2020දී මරණ මිලියන 63 සිදු වී ඇත. ලොව වැඩිම මරණ සිදුව ඇත්තේ වසර 2021දී වන අතර, එය මිලියන 69කි. එක්සත් ජාතීන්ගේ ප්රක්ෂේපණ අනුව වසර 2023දී ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියන 61කි. වසර 2021දී ගෝලීය මරණ සංඛ්‍යාව වැඩි වීමට මූලික හේතුව කොවිඩ් වසංගතය හේතුවෙන් සිදු වූ මරණයි.
“කොවිඩ් වසංගතය නිසා උපත් අඩු වෙයි ද වැඩි වෙයි ද යන කරුණ සම්බන්ධයෙන් ප්‍රජා විශේෂඥයන් අතර විවාදයක් තිබුණා. එක් මතයක් වුණේ කොවිඩ් නිසා මරණ විශාල ප්‍රමාණයක් සිදු වූ නිසා පශ්චාත් කොවිඩ් සමය තුළ ජනතාව වැඩිපුර දරුවො බිහි කරාවි කියලයි. ඒකට එක් හේතුවක් වුණේ ලොක්ඩවුන් තත්ත්වය නිසා ජනතාවට පවුල් සැලසුම් ක්‍රම භාවිතය සහ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමේ අවස්ථාව අඩු වීමයි. ඒ වගේම ප්‍රජා විද්‍යාඥයන් කණ්ඩායමක් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරුවා. ඒ කියන්නේ ලොව පුරා මෙවැනි වසංගත පැවැති යම් යම් කාලවලදී ලොව පුරා උපත් වැඩි වුණත් කොවිඩ් සමය තුළදී එසේ වැඩිවීමක් නොවිය හැකි බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ මෙතෙක් ලොව කලින් පැවති වසංගතවලින් සැලකිය යුතු තරම් දරුවන් සංඛ්‍යාවක් මරණයට පත්වූ බැවින් ජනතාව වැඩිපුර දරුවන් බිහි කිරීමට උනන්දු වුණා. නමුත් කොවිඩ් වසංගතය නිසා වැඩිපුර මරණයට පත්වුණේ දරුවන් නෙවෙයි, ලංකාවෙත් වැඩිපුර මරණයට පත් වූ අවුරුදු 50ට වැඩි පුද්ගලයන්. ඒ නිසා ලොව දරු උපත්වල ඉපිල්ලීමක් එහෙමත් නැත්නම් baby boom තත්ත්වයක් ඇති වූයේ නැහැ. ඒ නිසා කලින් වසංගතවලින් පසුව වගේ කොවිඩ් පශ්චාත් සමය තුළ දරු උපත් වැඩි වීමක් සිදු නොවන බව පැවසූ විද්වත් පිරිසගේ අදහස සනාථ වුණා. ඒ වගේම ප්‍රජා විද්‍යාව පිළිබඳ විශේෂඥයන් මතු කළ තවත් අදහසක් වුණේ පශ්චාත් කොවිඩ් සමය තුළ ඇතැම් රටවල තදබල ආර්ථික අවපාතයක් ඇතිවීමත් දරු උපත් සංඛ්‍යාව අඩු වීමට බලපෑ හැකි බවයි.”
ලෝක ජන සංඛ්‍යාවට අදාළ දරු උපත් ප්‍රමාණය සමඟ සසැඳීමේදී මෙරට උපත් ප්‍රමාණය ක්‍රමිකව අඩු වීම පිළිබඳ අප මහාචාර්යවරයාගෙන් කරුණු විමසුවෙමු.
“ලෝක ජන සංඛ්‍යාවට අදාළ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මිලියන 134ක් වුණත් අපේ රටේ දරු උපත්වල නම් කැපී පෙනෙන වෙනසක් දිගින් දිගටම දක්නට ලැබෙනවා. 2012 වසරේ සිට 2019 දක්වාත් කොවිඩ් වසංගතයෙන් පසුවත් එය විශාල පසුබෑමක් ලෙස සැලකිය හැකිය. වර්ෂ 2012-2022 අතර මෙරට උපත් අඩු වීම 21%ක්, 2019 – 2022ත් අතර අඩු වීම 14%ක් සහ 2019- 2023ත් අතර 15-16ක%ක අඩු වීමක් විය හැකිය. ඒ අනුව අපේ රටේ සිදු වන උපත්වල ප්‍රතිශතාත්මක සහ සංඛ්‍යාත්මකව කැපී පෙනෙන අඩුවක් දැකිය හැකිය. දළ උපත් අනුපාතිකය විදිහට ගන්නා විට 2012දී ජන සංඛ්‍යාවෙන් දහසකට උපත් 17ක්, 2022දී ජන සංඛ්‍යාවෙන් පුද්ගලයන් දහසකට උපත් 14ක් ලෙස පැවතියත් ප්රක්ෂේපණ අනුව 2019- 2023 අතරදී එය ජන සංඛ්‍යාවෙන් දහසකට උපත් 12 දක්වා කැපී පෙනෙන බැස්මක් ඇතිවිය හැකියි. ”
දරු උපත් සංඛ්‍යාව අඩු වීමට හේතු රැසක් බලපාන බවත් ඒ අතරින් රටක උපත් අඩු වැඩි වීමට බලපාන වැදගත් සාධකයක් වනුයේ විවාහ සිදු වීමේ ප්‍රවණතාව සහ විවාහය තුළ දරුවන් පාලනය කිරීම බව මහාචාර්යවරයාගේ අදහසයි.
“මේ වන විට මෙරට විවාහ සිදු වන ප්රවණතාවේ ක්රමික අඩු වීමක් දක්නට ලැබෙනවා. මෙහිදී දෙපාර්ශ්වයක් පිළිබඳ අපගේ අවධානය යොමු වෙනවා. එක් පාර්ශ්වයක් වන්නේ විවාහ වී ප්‍රථම දරුවා බිහි කරන අයයි. අනෙක් පාර්ශ්වය දැනට සිටින දරුවන්ට අමතරව තවත් දරුවන් බිහි කරන කණ්ඩායමයි. 2018 වසරේදී මෙරට විවාහ 170,000ක් සිදුවී තිබුණත් 2020දී එය 143,000 දක්වා පහළ බැස තිබෙනවා. එසේ අඩු වීමට මූලික හේතුව කොවිඩ් වසංගත තත්ත්වයයි. 2022 වසරේදී විවාහ වූ සංඛ්‍යාව 2020 හෝ 2021ට වඩා වැඩි අගයක් ගැනීමට හේතුව කොවිඩ් සමය තුළ විවාහ වීමට අපේක්ෂා කළ අය එම විවාහ 2022 වර්ෂයේදී සිදු කිරීමයි”
පවතින තොරතුරුවලට අනුව 2023 වසරේදී විවාහ සංඛ්‍යාව සහ ඒ අනුපාතිකය සැලකිය යුතු ලෙස පහළ බසින බව මහාචාර්යවරයාගේ අදහසයි. එසේ වීමට මූලික හේතු ලෙස විරැකියාව වැඩි වීම, ආදායම් මට්ටම පහළ වැටීම පෙන්වා දෙන හෙතෙම විවාහ වී පවුලක් නඩත්තු කිරීම දුෂ්කර වීමෙන් ඇතැම්හු විවාහයක් කරගැනීම ප්‍රමාද කිරීමට හෝ අත්හැර දැමීමට ඉඩ ඇති බව ද පැවසීය.එමෙන්ම ලෝකයේ මෙන්ම මෙරට ද වැඩි මරණ සංඛ්‍යාවක් වසර 2020 සහ 2021දී වාර්තා වී ඇත.
“සාමාන්‍යයෙන් මෙරට පවතින සම්ප්රදාය අනුව පවුලේ කෙනකුගේ මරණයක් සිදුවූ විට වසරක් පමණ ඉක්ම යන තුරු විවාහ මංගල උත්සව පවත්වන්නේ නැහැ. ඒ වගේම අවමංගල්‍යයක් සඳහා ද සැලකිය යුතු මුදලක් වැය වනවා. එසේ මුදල් වැය කළ පසු පවතින ආර්ථික අවපාතය අනුව විවාහ උත්සවයක් සඳහා අවශ්‍ය කරන මුදල් සම්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසාත් විවාහය කල් දැමීමට ඇතැමුන්ට සිදුව තිබෙනවා. එසේ ප්‍රමාද වන විවාහ අවසානයේ සිදු නොවී තිබෙන තත්ත්වයකුත් දක්නට ලැබෙනවා. එමෙන්ම 2022 වසරේදී සිදුවූ තරුණ අරගල මත තරුණයන් විශාල පිරිසක් විදෙස්ගත වුණා. ඔවුන්ගෙන් බහුතරය වයස අවුරු 20-30ත් අතර අවිවාහක පිරිමින්. ඒ වගේම ඊටත් වඩා අඩු වයසේ ගැහැනු ළමයින්ද රැකියාව හෝ අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගත වුණා. මෙවැනි කරුණු රැසක් විවාහ ප්‍රවණතාව අඩුවීමට බලපානු ලබනවා.”
එවැනි කරුණුවලට අමතරව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට තරුණ පිරිසෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් විවාහ වීමට කැමැත්තක් නොදක්වන තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවයි. විශේෂයෙන් හොඳ අධ්‍යාපනයක් ලබා හොඳ රැකියාවක නිරත වන තරුණියන්ට විවාහය සඳහා තමන්ගේ මට්ටමට ගැළපෙන ස්ථිර සහ ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ඇති පිරිමියකු සොයා ගැනීම අසීරු වී ඇති තත්ත්වයක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
“එපමණක් නොවෙයි, 2019දී මම කළ අධ්‍යයනයකින් හෙළි වුණා වයස අවුරුදු 15-24 අතර තරුණ ප්‍රජාවගෙන් සියයට 85කට වඩා පෙම් සබඳතා පවත්වන නමුත් ඔවුන්ගෙන් එම සබඳතාව විවාහයක් දක්වා ගෙන යෑමට කැමැත්ත පෙන්වූ අය සියයට 50ටත් වඩා අඩු බව. ඒ වගේම එක්වර ප්‍රේම සබඳතා කිහිපයක් පවත්වන තරුණ තරුණියන් ද සමාජය තුළ සිටිනවා. ඔවුන් ද විවාහයක් සඳහා යොමු වීමේ ප්‍රවණතාව අඩුයි. ඒ හැරුණාම ප්‍රේම සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ආර්ථික ගැටලුත් බලපාන බව අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට නැඹුරු වීම වැඩි වීම, රට පුරා ලිංගික වෘත්තිකයන්ගේ ව්‍යාප්තිය වැඩි වීම, ස්පා ආයතන වැඩි වීම වැනි කරුණු තරුණයන් තුළ විවාහ වීමේ ප්‍රවණතාව අඩු කිරීමට වක්‍ර ආකාරයෙන් බලපා තිබෙනවා”
විවාහ වීමේ ප්‍රවණතාව අඩු වන විට රටේ උපත් සංඛ්‍යාව අඩු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. තරුණ තරුණියන් අතරින් විවාහ වීමේ උනන්දුව ගිලිහෙද්දී දරු උපත් අඩු වීමට විවාහකයන්ගේ මැදිහත් වීම කෙසේ දැයි අප මහාචාර්යවරයාගෙන් විමසුවෙමු.
“දැනට විවාහ වී සිටින අඹු සැමියන් ද දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට හෝ දරුවන් බිහි නොකරන තත්ත්වයට පත්වී සිටිනවා. පවතින ආර්ථික අවපාතයෙන් දරුණු ලෙස පීඩා විඳින අය එක දරුවෙක්වත් බිහි නොකිරීමටත්, එක දරුවෙක් සිටින අය තවත් දරුවන් බිහි නොකරන්නටත් තීරණය කර තිබෙනවා. විශේෂයෙන් ආර්ථික අර්බුදය හමුවේ දරුවන් හදාවඩා ගැනීම සහ අධ්‍යාපනය ලබා දීම මවුපියන්ට විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම විවාහ බිඳ වැටීම් ද මේ තත්ත්වයට තවත් හේතුවක්. එක් දිනක් තුළ මෙරට අධිකරණවලට දික්කසාද වීම් සඳහා ඉල්ලීම් 300ක් පමණ ලැබෙන බව වාර්තා වෙනවා. තවත් විශාල පිරිසක් කුටුම්බ තුළ බරපතළ පවුල් ආරවුල් සමඟ ජීවත් වන බව වාර්තා වෙනවා. එවැනි පවුල් සංස්ථා තුළ දරුවන් බිහි කිරීම දුර්වල වීමත් උපත් සංඛ්‍යාව අඩු වීමට තවත් හේතුවක්. ඒ වගේම තවමත් අපේ සමාජය තුළ විවාහයේදී දෑවැද්ද යන සාධකය අනියම් අයුරින් ක්‍රියාත්මක වන බවත් දකින්නට ලැබෙනවා. දෑවැද්දක් දෙන්නට හැකියාව නැතිකම නිසා විවාහ නොවීම වගේම පොරොන්දු වූ දෑවැද්ද නොලැබීම නිසා බිඳ වැටෙන පවුල් සංස්ථා ද තිබෙනවා. මෙවැනි තත්ත්වයන් සියල්ලම රටේ උපත් සංඛ්‍යාව අඩු වීමට හේතු වී ඇති බව කිව හැකියි.”
මෙවැනි විවිධ හේතුන් නිසා විවාහ වීමේ ප්‍රවණතාව අඩු වීමෙන් උපත් සංඛ්‍යාව ක්‍රමිකව පහළ බැස ඇති අතර එසේ අඩු වීම මෙරට ජන සංඛ්‍යාවට කරනු ලබන බලපෑම පිළිබඳ මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේය.
“සජීවි දරු උපත් සංඛ්‍යාව අඩු වීම අප ජන සංඛ්‍යාවේ ප්‍රමාණයට බලපාන ප්‍රධාන සාධකයක්. 1981 වසරේ පැවති ජන සංගනනයට අනුව ජන සංඛ්‍යාව මිලියන 14.8ක්, 2012 පැවති ජන සංගනනයට අනුව මෙරට ජනගහනය මිලියන 20.4ක්. පවතින ආර්ථික තත්ත්ව මත ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට වර්ෂ 2021ට සැලසුම් කළ සංගණනය මෙතෙක් කළ නොහැකි වුවත් එම සංගණනය වසර 2024දී පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව සියලු කටයුතු සාර්ථකව නිම කර තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ප්රක්ෂේපණ අනුව 2070-80 වන විට ලෝක ජනගහනය මිලියන 10,000ක් වැනි අගයකට පැමිණ ස්ථායි වෙද්දී ලංකාවේ ජන සංඛ්‍යාව වසර 2060-70 වන විට ස්ථායි මට්ටමට පත්වීමට ඉඩ තිබෙනවා.”
මෙහිදී මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ වාර්ෂිකව සිදු වන උපත් සංඛ්‍යාවේ ශීඝ්‍ර අඩු වීමත්, මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර ලෙස වැඩි වීමත් සලකා බැලීමේදී ඔහු විසින් සිදු කර ඇති ප්රක්ෂේපණ දත්තවල කිසියම් වෙනසක් සිදු වීමට ඉඩකඩ ඇති බවයි. ඊට හේතු ලෙස ඔහු දක්වන්නේ නොසිතූ ආකාරයේ වසංගත, බරපතළ ආර්ථික අවපාත මෙන්ම විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන් විශාල පිරිසක් විදෙස් රටවලට සංක්‍රමණය වීම ආදී හේතු නිසා ජන සංඛ්‍යාවේ වර්ධනය සැලකිය යුතු ලෙස පහළ බැසීමට ඉඩකඩ ඇති බවය.
ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාවේ පහළ බැසීම දිගටම පැවතියහොත් මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රක්ෂේපිත ජන සංඛ්‍යා අගයන් තරමක අධිතක්සේරුවක් වීමට ඉඩ ඇත. වෙනත් ආකාරයකින් පැවසිය හොත් ඔහුගේ ජන සංඛ්‍යා ප්රක්ෂේපණවලට අනුව 2027 ශ්‍රී ලංකාවේ ප්රක්ෂේපණ ජන සංඛ්‍යාව මිලියන 23.1ක අගයක් බව දක්වා ඇතත් එහි සත්‍ය අගය මීට වඩා තරමක් අඩු වීමට ඉඩ ඇත. එම ප්‍රක්ශේපන සිදු කරන කාලයේදී මෙරට උපත්වල අඩු වීමක් අපේක්ෂා කළද එය මෙතරම් ශීඝ්‍ර ලෙස අඩු වනු ඇතැයි බලාපොරොත්තු නොවූ බව ද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම විවාහ වන වයසේ පසුවන තරුණ ප්‍රජාව වැඩි වශයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වීම, විවාහ වන වයසේ තරුණ තරුණියන් වැඩි පිරිසක් විවාහ නොවී සිටීමට තීරණය කර තිබීම මෙන්ම කොවිඩ් වසංගතයෙන් විශාල පිරිසක් මිය යෑම වැනි කරුණු ජන සංඛ්‍යාවේ වර්ධනය සඳහා ඍණාත්මක ලෙස බලපා තිබෙන බැවින් 2027 දී මෙරට ජන සංඛ්‍යාව ප්‍රක්ෂේපිත අගයට වඩා තරමක් අඩු විය හැකි බව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පැවසීය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්