හිත මිස කය නැති!
මම
මැස්සන් එළවමින්
සිටියෙමි
දිරාගිය වහලයක්
අබලන් කරත්තයක්
රුවල් ඉරුණු
ඔරුවක්
ඇට පෑදුණු
ගොන් මාල්ලෙක්
මා සඳහා උපමා කළ හැකිය
එහෙත් දුකක් නැත
සිත මිස
කය නැතැයි
මැස්සෝ තර්ක කරති
මම වහාම
නිල මැස්සන්
සරණ ගියෙමි
රන්ජන් අමරරත්න
සුනාමිය
රූස්ස ගහකට
නැංගේ කොහොමද
ගස් යන්නට බැරි
අපෙ අම්මා
ගහ මුදුනේ සිට
සේලෙ උනාලා
දෙව්ලොව දෝ ගියෙ
අපෙ අම්මා
අතු ඉති හැම තැන
කොඩිවැල් බැඳලා
අපලෙට වත් දෝ
අපෙ අම්මා
කටු පදුරක් අග
චීත්ත පඬුරක්
බැදලා තිබ්බා
අපෙ අම්මා.
මහාචාර්ය අනුර මනතුංග
වාසනාවන්තයි අපේ රට
අවුකන පොලොන්නරු අනුරා විජිත පුරේ
කෞතුක රසය අදත් ගල්කණු අතර පෙනේ
දළදා මැදුරෙ මියුගුණ සෑ සුමන ගිරේ
මුදුනින් නඟින බුදු රැස් රට සුවඳ කෙරේ
හැම දවසකම හිරු පායන වෙලාවට
සිරිපා සෙවන දෙයි බටහිර පළාතට
ඒ අනුහස් නිසා සලකන අගය කොට
හරි වාසනාවන්තයි මේ අපේ රට
ධම්මික ජයරංජන්
සර්ව ශුභවාදියාගේ කවි
පැමිණි විට වේදනා
සිනාසෙන්නෙක්මි මම
නොමැති විට වේදනා
ඊට වැඩි සතුටකින්
සිනාසෙන්නෙක්මි මම
එම්. චන්ද්‍රපාල
හද සෙනේ
ගිරිහිසින්
මෝදු වූ
සඳවතිය
පෙමින් බැඳි
හීන් මල් කිනිත්තක් තිබුණා….
දෙතොල් පෙති
ලිහි ලිහී
ළතෙත් බව විසුරුවන
හාදු වැස්සක්
එතන මැවුණා…
අනෝරා
වැසි වැටී
සඳවතට
නොකියාම
නුබ ගැබේ
සුදු සේල
ලෙහුණා…
කොහේ පාවී ගිය ද
ඔහේ ඉන්නා සිතින්
හද සෙනේ
මල මත ම රැඳුණා…
ගිගුම් දුන් වරුසාව නිමාවී
සිහින් සිරි
පොද වැස්ස වැටුණා…
ඉරිතැළුණු
මහ පොළොවෙ
තැනින් තැන
දිය මතෙහි
සඳරැසේ
ඡායාව ඇඳුණා…
සමාලි දිනේත්‍රා
පාර
වත්මනේ
බෝ විසල්
පහසුකම් පිරුණු නව
අධිවේගී පාරවල්
තුළ ගිලී සැඟව ඇත
අතීතේ දුෂ්කරවු
පුංචි අඩි පාරවල්
කේ. ඩබ්ලිව්. සිරිසේන
බැසගිය ගුරු තරුව නමින්
දිවි රඟ මඩලේ වේදිකාව මතට නැඟී
කළ මෙහෙවර රංගනයක හදින් පෙවී
නිසඟ කලා ප්‍රතිභාව ළඟ හදින් මැවී
මිය ගියද නොමියයි දිවි සදා රැඳී
රඟමඩලක පෑයූ ඉරබටු තරුව
කලා කෙතට ගෙනදුන් සුන්දර මිහිර
උදා දිනිඳු නැඟ එන විට පවර
සදා හදවතේ ඇත මගෙ ගුරු තරුව
නිමා නොවන දිවි ගමනේ තව සැරයක්
හමුවේවා ඔබ මහ ගුණ කන්දක්
සදා හදවතේ ඇත අපෙ දුක් කන්දක්
නැවත හමුවන තුරා සුවබර නින්දක්
ගාමිණී පිටගම්පල
අවනඩුවක්
සමස්ත ලංකා සිංහල නවි සම්මේලනය යි පවරා නාමේ
සකස් කැරුණු සිංහල කවි සමුළුව කුළු ගන්වා ජාතික පේමේ
හිඩැස් තනාගෙනැ කොටස් සොරාගෙන හදිස්සියට බේරා ජාමේ
හිනස්සමින් දැය සමස්ත වදනයෙ අරුත යෙදී ඇත බිලි බෑමේ
කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි
නව වසරට ආසිරි
නන් විසිතුරු ගිනිකෙළි, සැනකෙළි අතරේ
මනහර රංගන ගායන වාදන අතරේ
ආසිරි සෙත් පිරිත් සහ පුද පූජා අතරේ
සමරති සියලු දන සතුටින් නව වසරේ
පසුගිය වසර මෙන් අනතුරු වෙන්න එපා
තද වැසි සැඩ සුළං උවදුරු වෙන්න එපා
දැඩි හිරු රැසින් සාගිනි දුක් වෙන්න එපා
ඩෙංගු වසංගත රෝ දුක් වෙන්න එපා
අරගල දුරුවී අගහිඟ පහවී සැමටම සමතැන් හිමි වේවා
යුද අවි ගැටුම් මෙලොවින් පහවී ලෝ සත රැක දේවා
නිසි කල වැසි ලැබී කෙත්වතු සරුවී සව්සිරියෙන් රට ඉතිරේවා
සාමය සම්පත සතුට පිරී ගිය සුබ නව වසරක් වේවා
විමලා ආරියරත්න
මතකයන්
මතකයන් අමතක
නොවන ලොව තුළින්
මිහිරියාවන් අමිහිරියාවන්
නැඟුනු සිත් මතින්
ප්‍රචණ්ඩ හැඟුම් සෞම්‍ය හැඟුම්
පැමිණි හදවත්වලින්
විඳවීම් දරාගැනීම්
දැනුණු ළයවල් තරම්
කියන්නට ලියන්නට නම්
අදහසුත් නැති බැවින්
පිළිවෙළින් අපිළිවෙළින්
නොදැනීම යන මෙවන්
ලැබුණු මතකයන්
රැඟුව හදවත් විසින්
නව බැඳෙන බැඳීම්
අතෑර දූරදර්ශී නුවණතින්
ටී. මිලර්
තත්පරය
ඉඩදිය යුතුද
එකම මතකය
හරි හැරයන්න ?
බලා ඉඳ ඉඳ
ඒ තත්පරෙත් ඇති
කල්පයක් වගේ
විඳගන්න…
නිපුනි සන්ධ්‍යා රුද්‍රිගු
පැනයක්ම විය එය!
කිමද
මම පිළිතුරු
නොදනිමි
ඔබ ඇසු පැනයට
එනමුදු
දෙනෙතින් ඉඟි කළ
කිමද
ඔබ පිළිතුරු
නොදනිමි
මා නොඇසු
එහෙත්
දෙනෙතින් ඉඟි කළ
මගේ පැනයට
සමන් හේරත්
මුළා වී
සඳ
පාර මත
දනන්
බැඳිවල!
ගාමිණී දළුවත්ත