කෘතිය – පත්‍ර කලා කවි සිළුමිණ
සංස්කරණය – මහාචාර්ය සමන්ත හේරත්
ප්‍රකාශකයෝ – සරසවි ප්‍රකාශකයෝ
මහාචාර්ය සමත්ත හේරත් ශූරීන්ගේ සංස්කරණයෙන් පරිපූර්ණ වූ පත්‍ර කලා කවි සිළුමිණ තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනා අපේ ඉපැරණි දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජුගේ ශාස්ත්‍රීය කවි සිළුමිණ මෙන් ම ශාස්ත්‍රීය වෙන්නේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇතැයි කීමට මම පසුබට නොවෙමි. මෙම අභිසම්භාවනා කෘතිය එතරමට ම ශාස්ත්‍රිය වෙයි.
මෙම කෘතිය පූර්ණ වශයෙන් ම ශාස්ත්‍රිය ලිපි තිස්හතරකින් සමන්විත ය. ඒ සෑම ලිපියක් ම ශාස්ත්‍රීය වශයෙන් තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් පුවත්පත් කතුවරයකු ලෙස අභිසම්භාවනාවට ලක්කර ඇත. ඒ ගුණයයි මෙහිදී අගය කළ යුතු වන්නේ. එහි රචනා විවිධාකාරය. අදහස් අැගැයුම් අතින් එකිනෙකට වෙනස් ය. එහෙත් සෑම රචනාවකම වාගේ දක්නට ලැබෙන්නේ ඔහු දක්ෂ නිර්මාණාත්මක පත්‍ර කතුවරයකු මෙන් ම අති දක්ෂ නිර්මාණකරුවකු ලෙස සිටි බව ය. මුලින්ම ඔහු කෙටිකතාකරුවකු විය. කවියකු විය. ඉන් අනතුරුව සංගීත රචකයකු, ඔෙපරා වස්තු රචකයකු, අපදාන රචකයකු හා නොයෙකුත් මාදිලියේ ශාස්ත්‍රිය ලිපි ලේඛන ලියමින් හා පළ කරමින් විවිධාකාර සමාජ සත්කාර කරමින් පාඨක ජනතාවට මහත් සේවයක් කළේ ය.
මහාචාර්ය සමන්ත හේරත් “පත්‍ර කලා කවි සිළුමිණ, තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනා” සංස්කරණය කරමින් අති විශිෂ්ට, අතිශයින් ම වර්ණනා කළ යුතු සැකැසුමෙන් යුතු මහත් විශාල කාර්යයක් කර ඇති බව ම සඳහන් කරමි. මෙම කියමන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට මෙන් ම මහාචාර්ය සමන්ත හේරත් ශූරීන්ට ද ගෞරවයෙන් පුදමි.
මෙම කෘතියෙහි සඳහන් රචනා අතුරින් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත්, ගාමිණි වේරගම, සුගත් වටගෙදර, පර්සි ජයමාන්න, ප්‍රේම් දිසානායක යන්නන්ගේ අැගැයුම් ඔස්සේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ ජීවිතයේ ආරම්භක අවස්ථා නිරූපණය වේ යැයි හඟිමි.
මෙම සංස්කරණයෙහි වටිනා රචනා අතර අැගැයුම් සමහරක එක් විශේෂිත කරුණක් දක්නට ඇත. ඒ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ පත්‍ර කලා සේවයට පෙර පැවැති නිර්මාණ ශූරත්වය ය. එම හැකියාව ඔහුට තමන් පාසල් යන කාලයේදී ම, එනම් වයස 15 ටත් පෙර සිට ම තිබූ ස්ව නිර්මාණාත්මක ගුණයයි, හැකියාවයි. එතුර කාලයේදී ඔහු නිර්මාණාත්මක ආරම්භක රචකයකු ලෙස බැබළුණේ ය. ඔහු මුලින් ම කෙටිකතාකරණයෙහි යෙදුණි. ඒ විචාරකයෝ යන කෙටිකතා කෘතියෙන් ආරම්භ විණ. හේ ලේඛනයෙහි ශූරතාව පෙන්නීමේ හැකියාව පවුලේ සහෝදර සහෝදරියන් හයදෙනාම එකතුව ස්ව අතින්ම ලියා පළ කළ කෘතියයි. පවුලේ වැඩිමලා වූයේ ඔහුය. එයින් දැක්වෙන්නේ කෙතරම් දුරට එතුමා ලේඛන ක්‍රියාදාමයට ආශාවෙන්, කැපවීමකින් සිටි බවය. එහි නම වූයේ “අපි ඔක්කොම” යන්නයි. එය එසේ තිබියදීම 1963 දී මුද්‍රණයට පත් වූයේය. 1962 පළ වූ විචාරකයෝ කෙටි කතාවෙන් අනතුරුව ඔහු කවියකු ලෙස ප්‍රකට වූයේය. ඒ 1963 සිටය. එවායින් “ජීවිතය බෙහෙවින් ඛේදජනකය”, “අසිරිමත් වූ දෙයකි මෙලොව ප්‍රේමය”, “දෙවියෝ තැතිගෙන මහ පොළවට එති” ඉන් සමහරකි. ඔහුගේ අතින් ලියැවී මුද්‍රණය වූ විචාර කෘති ද අපට අමතක කළ නොහැකි ය. මේ සියල්ලම සිදු වූයේ ඔහු කාර්ය බහුල පුවත්පත් කලාවේදියකුව සිටියදී ය.
පුවත්පත් හි මහගෙදර වූ ලේක්හවුස් ආයතනයේ අග්‍රගණ්‍ය සිළුමිණ පුවත්පතෙහි ඔහු දෙවරක්ම ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේ ය. එමෙන්ම ඉන්පසුව ලේක්හවුස් ආයතනයේ සියලුම පුවත්පත්වල විචාරක සම්භාව්‍ය ප්‍රධාන කතුවරයා ලෙස ද පත්විය. ඔහු හැරෙන්නට වෙනත් අයකු එසේ සිටියේ නැතැයි විශ්වාස කරමි. සිටියා නම් සිටින්නට ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන් පමණි යැයි සිතේ. ලේක්හවුස් ආයතනයේ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සිටිනා අතරේදී දේශපාලනික බලපෑම් ද නො අඩුව තිබිණ. ඒ ඒ අවස්ථාවලදී ඔහු නිර්භයව කටයුතු ද කළේය. එහෙයින් ම විය යුතුය ඔහු “සරසවිය”, “නවයුගය” වැනි වෙනත් සති අන්ත පළ කිරීම්වල නිර්මාණාත්මක වෙනස්කම් ඇති කරමින් ඒවායේ අගය වැඩි කළේ. අලෙවිය මහත් සේ වැඩි වූයේ.
තිලකරත්නයන්ගේ කාව්‍ය නිර්මාණ රංජනී ඔබේසේකර සහ චිත්‍රා ප්‍රනාන්දුගේ සංස්කාරත්වයෙන් යුතුව ඇරිසෝනා විශ්වවිද්‍යාලය මඟින් පළ කරන ලද An Anthology for Modern Writing from Sri Lanka නම් කෘතියේ ඇතුළත් විණ. එසේම යැස්මින් ගුණරත්නගේ සංස්කාරකත්වයෙන් මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලය මඟින් ප්‍රකාශයට පත් කළ The Journal of South Asian Literature ග්‍රන්ථයේ ද මේරියන් ග්‍රින්ඩ් විසින් සංස්කරණය කරන ලද Adam, මහාචාර්ය ඩී.සි.ආර්. ඒ. ගුණතිලක විසින් සංස්කරණය කරන ලද The Penguin New Writing in Sri Lanka නම් කෘතියේ ද අන්තර්ගත ය. රංජනී ඔබේසේකරගේ Sinhala Poetry in Translation සහ ඉන්දියාවේ National Book Trust ප්‍රකාශයට පත් කළ මහාචාර්ය රජීව් විජේසිංහගේ An Anthology of Sri Lankan Poetry – Mirrored සංග්‍රහයේ ද පළවීමෙන් ඔහුගේ නිර්මාණ ඉංග්‍රීසි බසින් කියවන්නන්ට රස විඳීමට හැකි විණ.
තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ අමතක කළ නොහැකි නිර්මාණාත්මක වූ විශේෂ ලක්ෂණයක් තිබිණ. ඒ ලේඛනයේදී කැපී පෙනෙන අලංකාර විස්තරාත්මක භාෂා ශෛලියක් දක්නට ලැබුණු බවය. මෙම අදහස, “විස්මයජනක භාෂා භාවිතය හා වාග් ලාවණ්‍යය” යනුවෙන් නීල් විජේරත්නගේ ලිපියෙන් මනාව පැහැදිලි වන්නේ ය. තවත් ලස්සනම උදාහරණයකි පහතින් දැවෙන්නේ.
“ඕජෝ ගුණයෙන් යුත් සංවාදයට නැඟුණ ‘නැට්ටුක්කාරි’ නාට්‍ය රසය ඉහ වහා ගිය නිර්මාණයකි. මෙය රඟපෑමෙන්, රංගකරණයෙන්, සංගීතයෙන් හා රංගාකරණයෙන් පෝෂිත නාට්‍යයක් විය. “නැට්ටුක්කාරි” …. නම් ඇඹරුම්කරුවා විසින් නිමහිම් කළ අපූර්ව ප්‍රතිමාවකි.”
සමන්ලතා මැණිකේ අධිකාරි “තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් විරචිත ග්‍රන්ථ හා ලිපි ලේඛනාවලිය” ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කරන්නී ය.
“එක්දහස් නවසිය හතළිස් එකේ ජූලි මස 28 වන දින උපත ලත් තිලකරත්න කුරුවිට බණ්ඩාර වූ කලී මෙතෙක් දශකාධික කාලයක් නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය කර්තව්‍ය උදෙසා සිය කාලය යෙද වූ ශාස්ත්‍රකාමියෙකි, ලේඛකයකු, ගීත රචකයකු, සංස්කාරකවරයකු, දේශකයකු මෙන්ම ප්‍රධාන වශයෙන්ම කීර්තිමත් හා සුප්‍රකට මාධ්‍යවේදියකු වශයෙන් ඔහුගේ සේවය හඳුනාගත හැකි අතර, අංකුර මාධ්‍යවේදීන් රැසකටම මාර්ගෝපදේශකයකු ලෙස ද ඔහුගේ සේවය කැපී පෙනෙයි. 1950 දශකයේ අග භාගයේ සිට මේ දක්වා අඛණ්ඩව හා සක්‍රීයව ශාස්ත්‍රීය කාර්යන්හි නියැළෙන” බව කිව යුත්තේ ය.
ඔහු ලේක්හවුස් ආයතනයේ බොහෝ කාලයක් පුවත්පත් කලාවෙහි යෙදුණෙකි. හේ දිනමිණ හී වසර 21ක් හි නොයෙකුත් ලෙස ක්‍රියාකාරී වීමෙන් ද අනතුරුව පුවත්පත් කලාව පිළිබඳව අත්දැකීම් ලබමින් උප කර්තෘ වීමෙන් ද ජනතා පත්තරේ සේවය කරමින් ද විශ්‍රාම යෑමෙන් පසුව තවම ඔහු ලිවීම් හා හඬ නැංවීම් කාර්යයන්හි යෙදෙන බව පැහැදිලි වෙන්නේ ඉරුදින හා මව්බිම යනාදී පුවත්පත්වල ආරම්භක ප්‍රධාන කතුවරයා ලෙස ක්‍රියා කිරීමෙන් පැහැදිලි වෙන්නේ ය. එපමණක් නොව දැනට ගුවන් විදුලියේ “හඬ” සඟරාව නිර්මාණ කරමින් ද තිලකරත්ක කුරුවිට බණ්ඩාරයන් ලේඛන කලාවේ නිරතව සිටින්නෝ ය.
මෙම ලියන දෑ අවසන් කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් වියතාණන් “පත්‍ර කලා කවි සිළුමිණ” සංස්කරණය කරමින් එහි අවසන් කවර පිටුවේ මුද්‍රිත ඡේදයේ මුල් කොටස උපුටා දැක්වීම උචිත යැයි හඟිමි. එය මෙසේ ය.
“ශ්‍රී ලාංකේය මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයෙහි සක්‍රීයව, අනවරත අනාලස්‍යයෙන් යුතුව ලේඛන කාර්යයෙහි ද සාහිත්‍ය කලා සේවනයෙහි ද නියුක්ත ජ්‍යෙෂ්ඨතමයා තිලකරත්න කුරුවිට බණ්ඩාර ය. කුරුවිට බණ්ඩාරයෝ ස්වකීය ප්‍රණිධාන සාධිත, සාරාර්ථ සම්පීන ජීවන ප්‍රයාණපථයෙහි අෂ්ටම දශාබ්ධය ඉක්මවා සිටිති. ඔවුහු තමන් විසින් අභීෂ්ටාලයෙන් පරිචිත පත්‍රකලාවේදයෙහි ශිකරප්‍රාප්තව සිටිති. සමාන්තරව නිර්මාණ කාර්යයෙහිලා මූල ප්‍රතිෂ්ඨා නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන්, නිරංකුශ කවිත්වයෙන් හා විපුල ව්‍යුත්පත්ති ඥානයෙන් ද ආඪ්‍ය ව සිටිති. දාරක සමයෙහි මැ ජනිත, දින දින අභිවර්ධිත සාහිත්‍ය කලා විෂයක අතීර්ථ අනුරාග කාමනාදියෙන් ප්‍රකර්ෂිතව ද ප්‍රමුදිතව ද සිටිති. කුරුවිට බණ්ඩාර ධීමතාණෝ ස්වාධ්‍යයනයෙන්, ශාස්ත්‍රාන්වේෂණයෙන් හා උපාර්ජිත ප්‍රඥා පාටවයෙන් සමෘද්ධයහ. දීර්ඝ කාලීන ජීවන ප්‍රපංච ප්‍රතිබද්ධ අනුභූතික ප්‍රතිවේදයෙන් ප්‍රබුධයහ. සාකල්‍යයෙන් මැ චිරරාත්‍රඥයහ.”
ආචාර්ය නාමෙල් වීරමුනි