ලූනු ගෙඩියට, දෙහි ගෙඩියට වූ සන්තෑසිය මිරිස් කරලට ද සිද්ධ වී තිබේ. කෘෂිකාර්මික ඔස්තාර්ලා එලෝ කෝටියක් ඉන්නා රටක තවමත් සාම්ප්‍රදායික වගාවෙන් නවීන තාක්ෂණයට යා නොහැකිව මිරිස් ඇතුළු පොලිටනල්වල වගා කොට රැක ගත හැකි බොහෝ වගාවන් වැස්සෙන් ගංවතුරෙන් විනාශ වී යන හැටි බලා ඉන්නට සිද්ධ වී තිබේ.
මුළු රටටම අවශ්‍ය අමු මිරිස් ටික වගා කොට, වියළි මිරිස් ටික ද ඒ ගස්වලින්ම හදාගත් අපිට දැන් වියළි මිරිස් නිෂ්පාදන කර්මාන්තයක් ඇත්තේම නැත. වියළි මිරිස් ගේන්නේ ද පිටරටිනි.
කිලෝව රුපියල් 2,500ට යන්න තරම් අමු මිරිස්වලට සිද්ධ වුණේ කුමක් ද… ලංකාව වටේම ගොවීන්ගේ අස්වනු සෑම දිනකම මහා පරිමාණයෙන් ඒකරාශී වන මැනිං මාකට් හෙවත්, පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළ සංගමයේ සභාපති, එච්. එම්. උපසේනගෙන් මේ පිළිබඳ විමසුවෙමු.
“ගිය බ්‍රහස්පතින්දා වන විට අමු මිරිස්වල අපේ මැනිං මාකට් තොග මිල වුණේ කිලෝව රුපියල් 900 සහ 1000යි. එය පැවතුණු මිලට වඩා යම් අඩුවීමක්. දැන් සති දෙකකට ආසන්න කාලයක් මිරිස් මිල මේ විදියට ඒකාකාරීවම ඉහළ ගිහින් තිබෙනවා. මින් පෙර මෙවැනි මිල ඉහළ යාමක් සිද්ධ වුණත් එය පැවතුණේ දින දෙකයි තුනයි. සති දෙකකට වැඩි කාලයක් මෙවැනි මිල ඉහළ යාමක් සිද්ධ වුණේ මැනිං මාකට් ඉතිහාසයේත් පළමු වතාවටයි.
අධික වර්ෂාව නිසා මිරිස් ගොවීන්ගේ සම්පූර්ණ වගාව ම පාහේ විනාශ වුණා. තවමත් ඒ වගා බිම්වල උල්දිය මතු වෙලා. වගාවක් කරන්න සුදුසු පොළොවක් තවමත් ඒ පළාත්වල නැහැ.
සාමාන්‍යයෙන් කොළඹ මැනිං වෙළඳ පොළේ දෛනික මිරිස් අවශ්‍යතාව කිලෝ 4,000 – 5,000ත් අතර ප්‍රමාණයක්. කිලෝ 4,000කට අඩු වුණොත් අනිවාර්යයෙන් මිල ඉහළ යනවා. කිලෝ 6,000කට වැඩියෙන් ආවා කියන්නේ, මිරිස් මිල හොඳටම අඩු වන තත්ත්වයක්.
ඉතින් මේ දිනවල මාකට් එකට මිරිස් එන්නේ කිලෝ 4,000ට අඩුවෙන්.
ඒ වගේම අනෙක් හේතුව තමයි, එන්නේ මේ ප්‍රමාණය වුණාට නත්තල් සහ ජනේරුව නිසා වෙනදා අමු මිරිස් නොගන්නා අයත් මිරිස් ග්‍රෑම් 100ක් හරි මිලදී ගත්තා. දෙසැම්බර් 23 විතර ඉඳන් 30 වැනිදා දක්වාම තිබුණේ එවැනි ඉල්ලුමක්. සැපයුම අඩුව තිබෙද්දිත් ඉල්ලුම එසේ ඉහළ යන විට, අනිවාර්යයෙන් ම ඕනෑම දෙයක මිල ඉහළ යෑම සිදු වනවා. මිරිස්වලට වුණෙත් ඒ දේ.
කොහොම වුණත් මේ වන විට මාකට් එකට එන්නේ කොත්මලේ, තලවාකැලේ සහ නාවලපිටියේ බේරිලා තිබෙන අමු මිරිස් ටික විතර යි. වෙනදාට යාපනෙන්, තිස්සමහාරාමයෙන්, වියළි කලාපයෙන් රටේ හැම පැත්තෙන්ම අමු මිරිස් මාකට් එකට ආවා. අද වන විට වියළි කලාපයේ මිරිස් වගාව නම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. නුවරඑළිය බදුලු බණ්ඩාරවෙල තවම පොළොවේ උල්දිය.
පාරිභෝගිකයා වැටෙන්න ඕන පහළට ම වැටිලා ඉන්න වෙලාවක සොබාදහමත් පහර දීපු වෙලාවක් මේ. මිරිස්, ලූනු දෙහි විතරක් නෙවෙයි, එළවළුවක්වත් කන්න බැරි තරමට මිල ගණන් ඉහළ ගිහින්. අස්වනු තිබුණා නම්, ලංකාවේ ඕනෑම පළාතකින් එළවළු ටික මිරිස් ටික එන ලොකුම වෙන්දේසි පොළ මේක. මොකද අපිට අස්වනු අරන් එන 95% ක් සෘජු ගොවීන්. මිරිස් කිලෝ 20,000 – 25,000 එහෙම ආපු කාලත් තිබුණා. දැන් ගොවියාත් නැත්තටම නැති වෙලා. තව සති කිහිපයක් මේ තත්ත්වය පවතීවි…”
තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සහ දීර්ඝ කාලයක් තිස්සේ කොළඹට මිරිස් අස්වනු ප්‍රවාහනයේ නියැළෙන සුනිල් සෙනෙවිරත්න, මිරිස් හිඟය පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි.
“වැස්ස නිසා ගස් දියමලන් කෑවා. ඒ කියන්නේ, ගහේ මුල් කුණු වුණා. වෙන අවුරුදුවල නොවැම්බර් දෙසැම්බර් කියන්නේ අපිට හොඳ ආදායමක් ලැබෙන කාලයක්. මේ පාර ඔක්තෝබර් පටන් ගත් වැස්ස තවමත් පවතින නිසා සියලු ආදායම් නැති වී ගියා. හේන්වලට වාරි කර්මාන්තයක් නැහැ. එකම පිහිට අහස් වැස්ස විතරයි. මේ පාර වගා විනාශ කරලා දැම්මෙත් එක දිගට ඇද හැලුණු ඒ අහස් වැස්සමයි.
මාස් කන්නෙට එන්නේ, මහවැලි එච්. කලාපයේ සහ වියළි කලාපයේ කෙරෙන, අහස් වැසි ගොවිතැනේ අස්වනු. මේ පළාතේ වැඩිම මිරිස් අස්වනු ලැබෙන්නේ නොච්චියාගම මිරිස් ගොවීන්ගෙන්. නොච්චියාගම, මීගලෑව, විලච්චිය, නීල බැම්ම, ආණමඩුව, මරදන්කඩවල, මිහින්තලේ සහ සීප්පුකුලම යන ප්‍රදේශවල මිරිස් වගාව මහා පරිමාණයෙන් කෙරෙන්නේ ආර්ථික මධ්‍යස්ථානය ඉලක්ක කොට ගෙනයි. නමුත් මේ පාර ඒ අස්වනු 90%කට වඩා අර්ථික මධ්‍යස්ථානයට නැති වෙලා ගියා. තවම බේරිලා තිබෙන්නේ කුකුල් කටුව, රණවරාව, හොරවිල, විල්පත්තුව වැනි පළාත් කිහිපයක මිරිස් ඵලදාව ටිකක් විතරයි. 2007, 2008 කාලවල අපිට මිරිස් ඵලදාව වැඩි වෙලා දවසකට කිලෝ 50,000 ක් කොළඹට යවපු කාල තිබුණා.
“ඉස්සර නම් අපේ රටේ මිරිස් වලින්ම තමයි රටේ අවශ්‍යතාවට වේළිච්ච මිරිස් ටිකත් හැදුවේ. දැන් මිරිස් ගහෙන් ගන්නේ අමුමිරිස් විතරමයි. දැන් වියළි මිරිස් ගේන්නෙත් පිටරටෙන්.
අමු මිරිස් කඩන්න කඩන්න මල් පිපිලා කරල් හට ගන්නවා. ඒක ආර්ථිකමය වශයෙන් ගොවියාට වාසියි. වේළිච්ච මිරිස් හදන්න නම් මිරිස් කරල් ගහේම ඉදෙන්න අරින්න ඕනේ. එවිට නැවත නැවත කරල් හට ගැනීම සිදු නොවන නිසා ඵලදාව අඩුයි. ඉක්මනින් ගහ මෝරනවා. අනික වියළි මිරිස් කිලෝවක් හදන්න, අමු මිරිස් කිලෝ පහක් ඕනේ. ඒක ගොවියාට පාඩුයි. ඒ නිසා දැන් ගොවීනුත් පුරුදු වෙලා තියෙන්නේ අමු මිරිස් ටික කඩේට දීලා, ගෙදරට අවශ්‍ය වේළිච්ච මිරිස් ටිකක් කඩෙන් ගන්න.
කොහොම වුණත් සාම්ප්‍රදායිකව වවන ගොවීන්ට මිරිස් වගාවේදී පිටිගුල්ලාගේ කරදර, කොළ කොඩ වීම වගේම අව් වැසි සුළංවලින් වගාව විනාශ වීම වගේ ප්‍රශ්න ගොඩකට නිතර මුහුණ දෙන්න වෙනවා. ගොවීන්ට නවීන තාක්ෂණික දැනුම දෙනවා තියා, ගොවි ගැටලුවක්වත් විසඳා ගන්නවත් කෘෂිකර්ම නිලධාරියෙක් අපේ ගම්වලට එන්නේ නැහැ. ඔවුන්ව හොයන්න දැල් දාන්න ඕනේ.
හොඳ මිරිස් බීජ ලබා ගැනීමත් ගොවීන්ට තිබෙන ලොකුම ප්‍රශ්නයක්. කඩේ වෙළෙන්දා හොඳයි කියන බීජ පැකට් එක තමයි ගොවියාට ගෙනැත් වවන්න වෙලා තියෙන්නේ. දැන් මිරිස් ගොවීන්ට දේශීය බීජත් නැහැ; විදේශීය බීජත් නැහැ. මිරිස් වගාවට මේ වුණ විනාශයට කෘෂිකර්ම නිලධාරීනුත් වග කියන්න ඕනේ.
අනික, අවුරුදු පනහ ඉක්මවූ සාම්ප්‍රදායික ගොවීන්ට නවීන තාක්ෂණය හුරු කරවීම තරමක් අපහසු විය හැකියි. මොකද, මිරිස් වගාවට උචිතම පොලිටනල් තාක්ෂණය භාවිත කිරීම සඳහා මූලිකව රුපියල් ලක්‍ෂ දහයකට වඩා වැය කරන්නට සිද්ධ වනවා.
බැංකුවලින් ණය දෙන්නෙත් තරුණ ගොවි ව්‍යවසායකයන්ට විතරයි. වයස පනහ ඉක්මවපු ගොවියාට ණයක් ගන්න එක කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක්. ඉතින් ඔවුන් ළඟ එවැනි විශාල තැන්පත් මුදලක් ඇත්තෙත් නැහැ. හැබැයි ගොවිතැන පිළිබඳ ඔවුන් තුළ තිබෙන ආසාව සහ උනන්දුව එක්ක, පොලිටනල් තාක්ෂණයට හුරු වෙන්න ලැබෙනවා නම් මේ අයගේ මහන්සියේ ප්‍රතිඵල මීට වඩා රටට ලැබේවි. ගොවියාටත් හොඳ ආර්ථිකයක් උදා වේවි…”
අලෙවිකරණය සහ ආර්ථික විද්‍යාවේ ප්‍රාමාණිකයකු වන, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ, ආචාර්ය සමන්ත පල්ලියගුරු මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
“එන සෑම වැස්සකට ම ගංවතුරකට ම විනාශ වී යන ආකාරයෙන් කෙරෙන අපේ සාම්ප්‍රදායික ගොවිතැනින් නවීන තාක්ෂණයට යන්න ඕනේ කාලය දැන් අපි පහු කරලා. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අවධානයකින් පසු විය යුතු රටක් හැටියට වගාවන් සහ අස්වනු ආරක්ෂා කර ගැනීමේ නවීන තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබඳව මීට වඩා ගොවීන්ගේ දැනුම්වත් භාවයක් තිබිය යුතුයි.
අවුරුදු කිහිපයක පටන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන Agriculture Sector Modernizaation Project හෙවත් කෘෂිකාර්මික අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, දැනටමත් අඹ සහ පේර නවීන තාක්ෂණය භාවිතයෙන් වගා කිරීම සිදු කෙරෙනවා. මේ නවීන තාක්ෂණය මිරිස් වගාවටත් ආදේශ විය යුතුයි. ඒ සම්බන්ධව ගොවීන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කිරීම වැනි දෑ සිදු විය යුතුයි. වැදගත්ම දේ, ඵලදායිතාව වැඩි කර ගන්නා ක්‍රමෝපායන්වලට යාම තවත් පමා නොකළ යුතුයි.
මිරිස් වගාවේ අස්වනු දේශගුණික බලපෑම්වලින් බේරා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ, පොලිටනල් තාක්ෂණයයි. එහි මූලික වියදම තරමක් අධික නිසා බොහෝ සාම්ප්‍රදායික ගොවීන්ට එය ආරම්භ කිරීමේ හැකියාවක් නැහැ. නමුත් වගා භූමිය වැඩි කර ගැනීමේ ක්‍රමයකුත් නැති නිසා හොඳම විකල්පය තමයි පොලිටනල් තාක්ෂණයට මාරු වෙන එක.
ඒ වගේම, පොහොර සහ ජලය නිරන්තරයෙන් බිඳිති ක්‍රමයට වගාවට සපයන Drip Irrigation System කියන්නෙත් සාර්ථක ක්‍රමවේදයක්. සුපර් මාර්කට් ජාල සඳහා සිය අස්වනු සපයන ගොවීන් මේ ක්‍රමය භාවිත කර සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත්තත්, සාම්ප්‍රදායික ගොවීන් ඍජුවම මහ පොළොවේ වගාව සිදු කරන නිසා ඔවුන් සෑමවිටම ස්වභාවික විපත්වලින් බැට කනවා. පෙනි පෙනී ඵලදාව විනාශ වී යනවා.නමුත් පොලිටනල් තාක්ෂණයේ දී පිටිගුල්ලන්ගේ රෝග, සුළඟින් ඇති වන රෝග සහ වැස්සෙන් ගං වතුරෙන් සිදු වන සියලු විපත්වලින් පොලිටනල් වගාව ආරක්ෂා වනවා.
කොහොම වුණත් අපේ රටේ කෘෂිකර්ම නිලධාරීන්, කුපනිස ක්ෂේත්‍ර නිලධාරීන් ගණනාවක් හිටියත්, ගොවීන් සහ මේ අය අතර තිබෙන සම්බන්ධතාව ඉතාම දුර්වලයි. මේ දෙපාර්ශ්වය අතර හොඳ සබඳතාවක් ගොඩනැඟී නවීන දැනුම ගොවීන්ට ලැබිය යුතුයි…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර, ඡායාරූප - කාංචන කුමාර ආරියදාස