තරග පාවාදීම කියන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයෙන් පුංචි තිතක් විතරයි. ක්‍රිකට් පරිපාලකයන් කරන මහා පරිමාණ දූෂණයත් එක්ක බැලුවම ඒක පොඩි ප්‍රතිශතයක් විතරයි.‘
එසේ කියන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයේ හිටපු උපදේශක ප්‍රධානියා ය. ඔහු කියන්නේ 2015 සිට 2018 දක්වා එම තනතුරේ කටයුතු කළ අවුරුදු 3ක කාලය තුළ ඔහු සොයාගත් දේවල් ගැනය. සැබෑව නම් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා දූෂණ සහ මුදලට තරග පාවාදීම ගැන සාක්ෂි ඇතිව විමර්ශනය කිරීමට ඔහු තරම් රුසියකු කොයි දිල්ලියකවත් නොසිටීමය. අනිත් අතට යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔහු නිර්භයව පෙනී සිටීමය. ඔහු අවුරුදු 36ක්ම රාජකාරි කළේ ඉන්දීය පොලිසියේ ය. කීර්තිමත් නිලධාරියකු ලෙස රජයේ මෙන්ම ජනතාවගේ ද පැසසුමට ලක් වූ ඔහු නවදිල්ලි නුවර හිටපු පොලිස් කොමසාරිස්වරයා වන නීරජ් කුමාර් ය.
2013 ජූලි මාසයේදී පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පොත්පත් ලියමින් විවේකීව කාලය ගත කළ නීරජ් කුමාර්ට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයේ උපදේශක තනතුරට ඇරියුම කරනු ලැබුවේ එවකට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරන්ග් ටාකූර් ය. ඒ වන විට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට මුල් වූ‘ලෝධා’ කමිටු වාර්තාවට අනුව කටයුතු සිදු වෙමින් පැවැතීම ඔහු මේ තනතුර බාර ගැනීමට හේතුවක් වන්නට ද ඇත.
උග්‍ර ක්‍රිකට් ලෝලියකු ද වන නීරජ් කුමාර් එතෙක් මෙතෙක් නොදැන සිටි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිත හා අඳුරු පැත්ත ගැන දැනගත්තේ එම තනතුරෙහි කටයුතු කළ කාලසීමාවේදිය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු පැත්ත ගැන ‘ක්‍රිකට් ක්‍රීඩාවේ පොලිස්කාරයෙක්‘ නමින් පොතක් ලියා පළ කරමින් ඔහු මේ සියල්ල ජනතාව ඉදිරියේ තැබුවේය. මේ කියන්නේ ඒ අපූරු පොලිස් නිලධාරියා සිය කෘතියෙන් හෙළිදරව් කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු පැත්ත ගැනය. පසුගිය වසරේ නිකුත් කළ එම කෘතියට ඇතුළත් කරුණු රැසක් දැන් දැන් ජනතාව අතර කතාබහට ලක් වීමට පටන් ගෙනය.
නීරජ් කුමාර් නවදිල්ලි නුවර පොලිස් කොමසාරිස්වරයා ලෙස මාස 13ක කාලයක් කටයුතු කළ අතර, එම කාලය තුළ කාන්තා හා පිරිමි පොලිස් නිලධාරීන් අසූපන්දහසකට වැඩි පිරිසකට නායකත්වය දුන්නේය. එවකට ඉන්දියාවේ ආන්දෝලනයට තුඩුදුන් නීති විරෝධී සිදුවීම් රැසක් විසඳීමට සමත් විය. නවදිල්ලි නුවර බස් රථයක් තුළ තරුණියක් සමූහ දූෂණයකින් පසු ඝාතනයට ලක් වීමේ අවාසනාවන්ත සිදුවීම ඒ අතර ප්‍රධානතම මෙහෙයුම විය. නිර්භයා නඩු විභාගය නමින් ලොව පුරා ප්‍රකට වූ මේ නඩුවෙන් චුදිතයන්ට මරණ දණ්ඩනය නියම වූ අතර, ඝාතන සිද්ධිය මෙහෙයවූ නීරජ් කුමාර් කාගෙත් ඇගැයීමට ලක් විය.
2013 වසරේ අයිපීඑල් තරගාවලියේ සිදු වූ මුදලට තරග පාවාදීමේ සිදුවීම ද ඒ අතර විය. මාස තුනක් පුරා විහිදුණු එම මෙහෙයුමේදී ඔහු රාජස්තාන් රෝයල්ස් පිලේ එස්. ශ්‍රීසාන්ත්, අජිත් චන්දිලා සහ අන්කිට් චේවන් තරග පාවාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්තේය. එම ක්‍රීඩකයන් බුකීකරුවන් සමඟ දුරකතන ඔස්සේ සිදු කළ සංවාද හා ගනුදෙනු සොයා ගත්තේය. බුකීකරුවන්ගේ වුවමනාවට ඕවරයක් තුළ නිශ්චිත ලකුණු ප්‍රමාණයක් ලබා දීම වැනි බරපතළ කාරණා අනාවරණය කරගත්තේය. සමස්ත මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 36කි. ඔහු සිතුවේ ලබාගත් හඬපට සහ වීඩියෝපට උපයෝගි කරගනිමින් එම නඩු විභාගය සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇති බවය. එහෙත් වසර දෙකක් පුරාවට ඇදී ගිය අයිපීඑල් තරග පාවාදීමේ නඩු විභාගය අවසන් වූයේ අධිකරණය සියලු සැකකරුවන් නිදහස් කරනු ලැබීමෙනි. ඒ මඟින් ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීමේ සිදු වීමට අදාළව නීතිය තුළ ඇති හිඩැස පෙන්නුම් කරමිනි. අධිකරණ තීන්දුවට එරෙහිව පොලිසිය නවදිල්ලි නුවර මහාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බවත්, එය තවමත් විභාගයට ගෙන නැති බවත් නීරජ් කුමාර් සිය කෘතියෙහි පෙරවදනෙහි සටහන් කර තිබේ.
නිර්භයා කොමසාරිස් ලෙසත්, අයිපීඑල් තරග පාවාදීම හෙළිදරව් කරගත් පොලිස් නිලධාරියා ලෙසත් ඔහු කා අතරත් ජනප්‍රියත්වයට පත්වූව ද, ඊට පෙර ඔහු විසින් මූලිකත්වය ගෙන විසඳනු ලැබූ ඉන්දියාවේ සංවිධානාත්මක අපරාධ, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මූල්‍ය වංචා සිදුවීම් ගැන වැඩිපුර කතාබහට ලක් නොවීය.
නීරජ් කුමාර් කියන හැටියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළ රැකියාව ඔහුගේ පොලිස් ජීවිතයට වඩා අභියෝගාත්මකය. විමතිය දනවනසුලු දූෂණ වංචා සිය දෑස්වලින්ම දැක බලා ගත්තේය. අත්දැකීම් බහුල පළපුරුදු විමර්ශන නිලධාරියකු ලෙස ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස පත් වූ ඔහුට එවකට ලබා දී තිබූ මුම්බායි නුවර පිහිටි ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලස්ථානයේ අංගසම්පූර්ණ කාර්යාලය මාස කිහිපයකින් ගිණුම් අංශයට පවරා ගෙන තිබූ අතර, ඒ ගැන ඔහුට දැනුම් දී තිබුණේ ද නැත. පොලිස් නිලධාරින් අසූපන්දහසකට නායකත්වය දුන් නීරජ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා වීමෙන් පසු ඔහු යටතේ සිටියේ නිලධාරින් දෙදෙනකු පමණි. අතිරේක නිලධාරින් සහ පහසුකම් ඉල්ලා කොතෙකුත් ඉල්ලීම් කළ ද ඒවාට කිසිවකු ඇහුම්කන් නොදුන් බව ඔහු කියයි.
ඉන් පැහැදිලි වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නවදිල්ලි නුවර හිටපු පොලිස් ප්‍රධානියකුගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධී ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත්තේ සිය විනිවිදභාවය ගැන ජනතාවට ඒත්තු ගැන්වීමට පමණක් බව ඔහුගේ අදහස ය. බොහෝ අවස්ථාවල ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග කවරේදැයි මාධ්‍ය ප්‍රශ්න කිරීමේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කඩිනම් පිළිතුර වී ඇත්තේ ඒ සඳහා නවදිල්ලි නුවර හිටපු පොලිස් ප්‍රධානියකුගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධී ඒකකයක් ස්ථාපිත කළ බවය. සැබැවින්ම ඉන්දියාව වැනි මහා පරිමාණයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන රටක දූෂණයට එරෙහිව සටන් කිරීමට නීරජ්ගේ කණ්ඩායමේ සිටියේ ඔහු ඇතුළු තිදෙනකු පමණි.
කලින් සූදානම් කරගත් බුකීකරුවන්ගේ තිරනාටකයකට අනුව දස්කම් අඩුවෙන් පෙන්නුම් කරමින් අතිවිශාල ධනයක් උපයා ගන්නා ක්‍රීඩකයන් ගැන ඒ වන විටත් අපකීර්තිමත් ඉතිහාසයක් ඉන්දියාවට තිබිණි. නීරජ් කියන්නේ මොහොමඩ් අසාරුදින්ගේ සහ හැන්සි ක්‍රොන්යේගේ මුදලට තරග පාවාදීමේ ආන්දෝලනාත්මක සිදු වීමෙන් කළු පැල්ලමක් එකතු වූ ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් මේ දූෂණ වංචාව තුරන් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සැබෑ වුවමනාවක් තිබුණේදැයි යන්න ගැටලුවක් බවය. මේ ලිපියේ මුලින් සඳහන් කළ පරිදි ‘තරග පාවාදීම කියන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයෙන් පුංචි තිතක් විතරයි. ක්‍රිකට් පරිපාලකයන් කරන මහා පරිමාණ දූෂණයත් එක්ක බැලුවම ඒක පොඩි ප්‍රතිශතයක් විතරයි.‘ යනුවෙන් නීරජ් සිය කෘතිය මඟින් පුන පුනා කියා සිටින්නේ මෙවැනි කරුණු කාරණා පදනම් කරගෙන විය යුතුය.
අයිපීඑල් තරගාවලියට පින්සිදු වන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතිවිශාල මුදල් සම්භාරයක් උපයා ගත් බව නීරජ් කියයි. ඒවා ප්‍රාන්ත ක්‍රිකට් සංගම්වලටත් බෙදා දුන් බව ද ඔහු සඳහන් කර තිබේ. එහෙත් එම මුදල් ප්‍රමාණයෙන් වැඩි හරියක් අවභාවිත කර ඇතැයි ද නීරජ් සිය කෘතියෙහි සඳහන් කර ඇත. 2015 වසරේදී ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය අනාවරණය කරගත් ජම්මු කාශ්මීරයේ ක්‍රිකට් සංගමයේ ප්‍රධානින් කෝටි ගණනින් සිදු කළ බව කියන මුදල් වංචාව ඊට කදිම නිදසුනක් බවත් මේ කෘතියෙන් ඔහු පෙන්වා දී තිබේ. දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ප්‍රාන්ත ක්‍රිකට් සංගම් ‘හයිජැක්‘ කරගත් පවුල් කිහිපයක් පිළිබඳවත් ඔහු සිය කෘතියෙහි සඳහන් කර තිබේ.
විශේෂයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් තොරව රට පුරා විවිධ ප්‍රාන්තවල පෞද්ගලික විස්සයි20 ලීග් තරගාවලි සංවිධාන කරමින් මහා පරිමාණයෙන් සිදු කළ මූල්‍ය වංචා රැසක් ද දූෂණ විරෝධී ඒකකයේ සිටියදී නීරජ් විසින් සොයා ගනු ලැබීය. එහෙත් එවැනි ව්‍යාජ ලීග් ක්‍රිකට් තරගාවලි පැවැත්වීම ඉන්දියාවේ තවමත් ජයටම සිදු වන බව ද වාර්තා වේ. මීට වසර කිහිපයකට පෙර මොහාලි නුවර එක්තරා ග්‍රාමීය මට්ටමේ එළිමහන් භූමියක එවැනි තරගාවලියක් පවත්වා තිබුණේ බදුල්ලේ ක්‍රීඩාංගණයක යැයි කියමිනි. බුකීකරුවන්ගේ අලුත්ම ජාවාරම මෙය බවත් පොලිසිය පසුව අනාවරණය කර තිබිණි. පසුගිය වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ මෙහ්සානා දිස්ත්‍රික්කයේ එවැනි තරගාවලියක් පවත්වමින් සිටියදී පොලිසිය වටලනු ලැබූ අතර, එය තනිකරම හොර අයිපීඑල් තරගාවලියකි.
ඉන්දියාව පුරා විවිධ ප්‍රාන්තවල ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කණ්ඩායම් තේරීමේදී පවා එවැනි අක්‍රමිකතා හොර රහසේ සිදු වන බව නවදිල්ලි නුවර හිටපු පොලිස් කොමසාරිස්වරයා සිය කෘතියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත. එවැනි අක්‍රමිකතා බොහෝ විට අදාළ ක්‍රීඩකයා, ඔහුගේ පවුලේ අය සහ තේරීම් කමිටුව අතර පමණක් සදාකාලික රහසක් බවට පත් වන බවත් එහි සඳහන් වේ.
සුපිරි ක්‍රීඩක විරාත් කෝලි එවකට නවදිල්ලි නුවර කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමට මුදල් ගෙවන ලෙස එහි තේරීම් කමිටුව කෝලිගේ පියාගෙන් මුදල් ඉල්ලා සිටි බව සිතන්නේ කවුරුන්දැයි නීරජ් සිය කෘතියෙන් විමසා සිටී. පුත්‍රයා කණ්ඩායමට තෝරා ගැනීමට මුදල් ලබා දීම කෝලිගේ පියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විරාත් කෝලි එවර කනිෂ්ඨ කණ්ඩායමට තෝරා නොගත් බවත්, දින ගණනාවක් යනතුරු විරාත් කෝලි හැඬූ කඳුළින් පසු වූ බවත් නීරජ් කුමාර්ගේ කෘතියෙන් අනාවරණය වී ඇත. තේරීම් කමිටුවට අල්ලස් දීමට වත්කමක් නැති සහ අල්ලස් දීම මාපියන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් එසේ කණ්ඩායම්වලට තෝරා නොගත් දක්ෂතා ඇති ක්‍රීඩකයන් කීදෙනකු යොවුන් වියේදීම ක්‍රීඩාවෙන් සමුගන්නට ඇතිදැයි නීරජ් වැඩිදුරටත් විමසා සිටී.
අයිපීඑල් හෝ රංජි කුසලාන වැනි තරගාවලි සඳහා අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වෙමින් පුහුණුකරුවන් හෝ නිලධාරින් විසින් ක්‍රීඩකයන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කර අතුරුදන්වීම් සම්බන්ධවත් දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ගත කළ වසර තුනේදී පැමිණිලි පිට පැමිණිලි ලැබුණු බව නීරජ් කුමාර් සඳහන් කර තිබේ.
ඔළුවෙන් සිටගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව කෙළින් කිරීමට ලෝධා කමිටු වාර්තාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවදි කිරීමෙන් පසු දූෂිතයන් පලවා හැරිය ද, එම තීන්දුව අවමානයට ලක් කරමින් දූෂිතයන්ගේම දූ පුතුන් සහ සහචරයන් යළි ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ විවිධ තනතුරුවලට පත්වීම තම කනස්සල්ලට හේතුව බව ද නීරජ් කුමාර් සඳහන් කර තිබේ.
2013 වසරේ අයිපීඑල් තරග මුදලට පාවාදීමේ සිදුවීම අනාවරණය කරගනිමින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු රටේ ක්‍රිකට් පරිපාලනය විනිවිද හා අවංක භාවයෙන් යුතුව සිදුවනු ඇතැයි ද, පහසුකම්, අවස්ථාවන්, තෝරාගැනීම් සහ පරිපාලනය අතින් සැමට සාධාරණ හා සමාන අවස්ථාවන් හිමිවන ක්‍රමවේදයක් නිර්මාණය වනු ඇතැයි ද ඉන්දීය ක්‍රීඩාලෝලින් තුළ බලාපොරොත්තු දැල්වුණ ද, එය සිදු නොවූ බවත් නීරජ් සිය කෘතියෙහි සඳහන් කර තිබේ.
‘ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතන නිලධාරින් කීයක් ඉන්නවද කියලා මට පෙන්වන්න බලන්න. ඉන්දියාවේ හොඳ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මට පෙන්වන්න බලන්න. අහමදාබාද්වල ඉදි කළ ක්‍රීඩාංගණය නම් මම දැකලා නෑ. අනිත් ඒවා ගත්තම ක්‍රීඩකයන්ට හා ක්‍රීඩාලෝලීන්ට පහසුකම් තියෙන ක්‍රීඩාංගණ තියෙනවද? පිරිසුදු පානීය ජලය, පිරිසුදු වැසිකිළි පද්ධතියක් වගේ දේවල් තියෙනවද? තරගයක් අවසානයේදී ක්‍රිකට් පාලක මණ්ඩලයට අතිවිශාල ආදායමක් ලැබෙන්නේ ක්‍රීඩාලෝලීන් නිසයි. ඒත් කනගාටුව කවුරුවත් ක්‍රීඩාලෝලීන් ගැන සැලකිලිමත් නොවීමයි. ජීවිතේට ක්‍රිකට් පිත්තක් හරි පන්දුවක් හරි අල්ලලා නැති ඔය කියන ක්‍රිකට් පරිපාලකයන්ගෙන් වැඩි පිරිසක් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයන මුදලේ ලොකු ප්‍රතිලාභීන් බවට පත්වෙන්නේ ක්‍රීඩාලෝලීන් හා ක්‍රීඩකයන් නිසයි.‘ ඔහු එසේ කියයි. ‘මගේ ධුර කාලය අවසන් වන තුරුම මට මගේම කියා කාර්යාලයක් තිබුණේ නැහැ‘ නීරජ් කුමාර් වැඩිදුරටත් එසේ සඳහන් කර ඇත.
ක්‍රිකට් පරිපාලනය පිළිබඳ දැඩි කනස්සල්ලට පත් වූවද නීරජ් කුමාර්ට ක්‍රීඩකයන් ගැන ඇත්තේ ළැදියාව මුසු ගෞරවයකි.
‘දිළිඳු පවුලකින් පැවත එන නවදිල්ලි නුවර නැඟී එන ක්‍රීඩකයකුට මම උදව් කළ බව 2015-2016 කාලයේදී ඉන්දීය – දකුණු අප්‍රිකා තරගාවලියක් අතරතුර මම අජින්ක්‍යා රහානේට පැවසුවා මට මතකයි. මේ සංවාදයෙන් දින කිහිපයකට පස්සේ නවදිල්ලි නුවර පැවති ටෙස්ට් තරගයෙන් පසුව ඔහු මා වෙනුවෙන් ක්‍රිකට් පිත්තක් තබා ගොස් ඇති බව කණ්ඩායමේ කළමනාකරු මට දැනුම් දුන්නා. ඒ ගැන මම රහානේගෙන් ඇහුවම ඔහු කීවේ ඒ ක්‍රිකට් පිත්ත අර දුප්පත් ක්‍රිකට් ක්‍රීඩකයාට බවයි. අජින්ක්‍යාගේ මේ උදාර ගතිගුණ මට ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධව අමතක නොවෙන අත්දැකීමක්‘ නීරජ් කුමාර් එසේ සඳහන් කර තිබේ.
නීතිගරුක පොලිස් නිලධාරියකු ලෙස ලැබූ කීර්තියත් කරපින්නා ගෙන දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස පත්වීම ලබා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිය නීරජ් කුමාර් අවුරුදු 3ක කාලසීමාවකින් පසු නැවත ඉන් පිටවී යන්නට ඇත්තේ දැඩි කනගාටුවෙන් බවට කිසිදු සැකයක් නැත.
වසර 2015 ජූනි මාසයේ 1 වැනිදා සිට 2018 මැයි මාසයේ 31 වැනිදා දක්වා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු පොලිස් කොමසාරිස්වරයාට අවසානයේ ඉතිරි වූයේ අමිහිරි මතක සටහන් පෙළක් පමණි.
ෆවුස් මොහොමඩ්