මේ වනවිට පැතිරෙමින් ඇති සරම්ප රෝගය පාලනය කිරීමේ අරමුණින් පවත්වන අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ පළමු අදියර දිස්ත්‍රික්ක 9කදී ලබන 6 වැනිදා ආරම්භ වේ.
යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන එම වැඩසටහන ඉකුත් දිනවල සරම්ප රෝගීන් වැඩිපුර වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ දිස්ත්‍රික්කවල මාස 6-9 අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ. මෙහි දෙවැනි අදියර ජනවාරි මස 20 වැනිදා සිට රට පුරා සිටින අනෙකුත් වයස් කාණ්ඩවල දරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වසර 2019දී ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහෙත් 2020 වසරේ සිට 2022 වසර දක්වා වූ කොවිඩ් වංසගත කාලය තුළ ගෝලීය ප්‍රතිශක්තිකරණ ආවරණ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමින් පහත වැටීම හේතුවෙන් 2023 වසරේ මැයි මාසයේ සිට මෙරටින් සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ 99.9% ක ප්‍රතිශක්තිකරණ ආවරණයක් ලබාගත් එකම රට ශ්‍රී ලංකාව බවත් මෙම අතිරේක ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හරහා සරම්ප රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි.
සුරේකා නිල්මිණි ඉලංකෝන්