පසුගිය වසර තුළ දුම්රිය දෙපාර්තමේන්තුව උතුරු දුම්රිය මාර්ගය වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතාවක් ලබා දෙමින් විශාල ආයෝජනයක් සිදු කරන ලද බවත්, ඒ යටතේ මේ වන විටත් අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනය කිරීමට හැකි ආකාරයෙන් නවීකරණය කර ජනතා අයිතියට පත් කර ඇති බවත්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
එමෙන්ම 7 වැනි ඉරිදා සිට ආරම්භ කෙරෙන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරි වසර පනහක් පමණ වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවද ඇමැති ආචාර්ය ගුණවර්ධන අවධාරණය කළේය.
ඒ අනුව පූර්ණ ප්‍රතිනිර්මාණයක් සඳහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය ජනවාරි 7 වනදා සිට වසා දමන බව ද ප්‍රවාහන ඇමැතිවරයා කියා සිටියේය.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම අදහස් ප්‍රකාශ කළේ යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක නිරතව සිටියදී යාපනය දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයට එක් වෙමිනි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ විශාල පිරිවැයක් දරමින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව භාණ්ඩ සහ මගී ප්‍රවාහනයටත් සංචාරක ව්‍යාපාරයටත් ගැළපෙන ආකාරයේ පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්තියක් යටතේ ගාස්තු ක්‍රමයක් ඇති කිරීම ඉතාමත් වැදගත් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ සිදු කළ විශේෂ සාකච්ඡාවකදී උතුරු දුම්රිය මාර්ගය පහසුවෙන්ම විදුලියට පරිවර්තනය කිරීමට හැකියාව පවතින බවත් ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කරන ලෙස දුම්රිය සාමාන්යාධිවරයා ඇතුළු නිලධාරීන්ට ප්‍රවාහන ඇමැතිවරයා උපදෙස් ලබා දෙන ලදී.
පවතින මූල්‍ය තත්ත්වය යටතේ රජයට නව ආයෝජන සඳහා මුදල් වෙන් කිරීමට හැකියාවක් නොමැති බැවින් පෞද්ගලික අංශයට ද සංචාරක දුම්රිය සඳහා ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ ප්රස්ථා ලබාදීම කාලෝචිත වන බව ද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
යාපනය වෙළඳ සංගමය සමඟ එකඟතාවයෙන් කොළඹ යාපනය අතර භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීම, තිරිඟු පිටි ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරයට පහසුකම් සැපයීම වැනි නව විදේශ විනිමය ඉපැයුම් මාර්ග සඳහා යොමුවීම තුළින් පවතින ආර්ථික අර්බුදයට නිර්මාණශීලී විසඳුම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවට දායක විය හැකි බව ද මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
දුම්රිය සමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්ලිව් බණ්ඩාර, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස් වීරකෝන්, යාපනය දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තාරක වික්‍රමසේකර