ප්‍රියන්ජන දිල්මිත් යනු ඡායාරූප කලාවේ වෙනස්ම පැතිකඩක් ස්පර්ශ කරන ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ කැමරා ඇස සොයන්නේම සද්ධන්ත කුලයේ අලි ඇතුන්ය. ඔහු ඡායාරූපකරණයට යොමුකර ඇත්තේ ද අලි ඇතුන් කෙරෙහි පවතින දැඩි සෙනෙහසයි. ඔහුගේ කැමරා කාචයට හසුව අලුතින්ම හඳුනාගෙන ලියාපදිංචි කළ අලි ඇතුන් ගණන 15ක් පමණය. ඡායාරූප කලාවට වෙනස්ම මානයක් ගෙන ආ ඔහු ගැනයි මේ කතාව.
“කැබැතිගොල්ලෑව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලෙ ඉඳන්මයි මං අලි ඇතුන් පස්සෙ යන්න පටන් ගත්තෙ. ඒ 2015 විතර. ආසාවට එයාල පස්සෙ ගියාට එයාලගෙ එක එක ඉරියවු දකිද්දි තමයි මට හිතුණෙ ඒව ඡායාරූපගත කළා නම් කොච්චර හොඳද කියලා. ඒත් ඒ කාලෙ මට කැමරාවක් තිබුණෙ නෑ. ඒ පැත්තෙ ඉන්න හිරුෂ කියන මල්ලිට තිබුණ පොඩි කැමරාවක්. ඒකෙන් තමයි මං මුලින්ම ෆොටෝ එකක් ගත්තෙ. එදා පළමු වතාවට මගේ කැමරාවට හසුවෙලා ඡායාරූපයක් බවට පත්වුණේ ඒ පැත්තෙ ගෙවල් කඩන කබරයා කියන අලියා.
ඡායාරූපකරණය ගැන මං කිසි දෙයක් ඉගෙන ගෙන නැහැ. ප්‍රායෝගිකව අත්දැකල ඉගෙන ගත්ත දේ තමයි. සාමාන්‍යයෙන් අයි කන්ටැක්වල හෙඩි ෂොට් එකෙන් තමයි ඡායාරූපයක පීචර්ස් හොඳින් පේන්නෙ. අලියෙක්, ඇතෙක් ගත්තම උන් කන් පුම්බගෙන අපේ පැත්තට ඉන්න අවස්ථාව ප්‍රේම් එකට හසුකරගන්න ඕන. රංචු පිටින් ඉද්දි ඔවුන්ගෙ විවිධාකාර ඉරියවු ගන්න පුළුවන්. හීට් කාලෙට ඒ කියන්නෙ මඳ කිපෙන කාලෙට එයාල ගැහැනු සතුන් හොයාගෙන රංචුවලට එනවා. ඒ කාලෙ තමයි ෆොටෝ ගන්න හොඳම කාලෙ. ඒත් ඒක ඔවුන්ට නොදැනෙන්න පරිස්සමෙන් කරන්න ඕන. දැනුණොත් පස්සෙන් පන්නනවා.“
මෙතෙක් කිසිවකුගේ ඇස නොගැටුණු අලි ඇතුන් ප්‍රියන්ජනගේ කැමරා ඇසින් හඳුනාගෙන තිබීම ඔහුට ඉමහත් සතුටක් ගෙන දෙන බව පැවසූ ඔහු එදා නොදැන හෝ කළ ජාතික මෙහෙවර ගැන අද සිහිපත් කරන්නේ තෘප්තියකිනි.
“මගේ කැමරාවෙ රෙකෝඩ් වුණු අලි ඇතුන් 15ක් විතර ඉන්නවා. ෆොටෝ එකක් ගත්ත පලියටම එයා අලුත් කෙනෙක් කියල කියන්න බෑ. එයා අලුත්ම කෙනෙක් ද කියල හඳුනාගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. 2017 ආරම්භ කරපු ලංකාවෙම ඉන්න අලි ඇත්තු ගණනය කරන wild truster කියන ගෘෘප් එක තමයි හඳුනාගැනීමේ වගකීම ගන්නෙ. දැන් මාත් ඒකෙ සාමාජිකයෙක්. අපි රෙකෝඩ් කරද්දි ඇතාව සම්පූර්ණයෙන්ම නිරීක්ෂණයට ලක්වෙන විදිහට හැම ආනතියකින්ම ඡායාරූපගත කරගන්න ඕන. ඒ ෆොටෝ දැනට ගෘෘප් එකේ තියෙන තොරතුරු එක්ක හොඳින් සංසන්දනය කරල බලනවා. මෙයා මීට කලින් හඳුනාගත් කෙනෙක්ද කියලා. එහෙම නම් එයා හඳුන්වන අංකයක් තියෙනවා. නමක් තියෙනවා. එහෙම නැත්නම් කලින් ෆොටෝ ගනිපු අයට දාල බලනවා. ඒ කොතැනකවත් නැත්නම් තමයි තීරණයකට එන්නෙ මෙයා අලුත්ම කෙනෙක් කියලා. ඊට පස්සෙ එයා අංකයකින් රෙජිස්ටර් කරනවා. ඊට පස්සෙ අපි කැමති නම් අපිට නමක් දෙන්න පුළුවන්. නැත්නම් වෙන කෙනෙක් හරි එයාගෙ පෙනුමට ගැළපෙන ගාම්භීර නමක් දානවා.
එහෙම රෙකෝඩ් වුණාට පස්සෙ කොහේදි, කොහොම, කවුරු එයාගෙ ෆොටෝ එකක් අරන් දැම්මත් එයා පෙන්නන්නෙ එයා රෙජිස්ටර් වුණු ඒ අංකයෙන්. දීඝාභය, බුවනෙක, අනුත්තර, ගජබාහු, මහේශාක්‍ය, දන්ත, මේඝ, දනුද්ධර, පණ්ඩුල කියන්නෙ ඒ වගේ මං හඳුනගත්ත අය. මහේශාක්‍යයි දනුද්ධරයි දැනට ජීවතුන් අතර නැහැ. මේ වගේ එක එක්කෙනා අඳුනගත්ත අලි ඇතුන් 258ක් විතර wild truster ගෘෘප් එකේ දැනට සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් සැරිසරන ප්‍රදේශ, වයස, සෞඛ්‍යය තත්ත්වය, ජීවිත තර්ජන, අවසානයට හමුවුණු ප්‍රදේශය වගේ සියලුම විස්තරත් ඒකෙ තියෙනවා.“
අලි ඇතුන් සොයා යන ගමනේදි ඔහුට මුහුණ පාන්නට සිදුවුණු අමතක කළ නොහැකි සිදුවීමක් ගැනත් ඔහු අප හා පැවසුවේ ශෝකය මුසු හැඟීමකින්.
මං රෙකෝඩ් කරපු මහේශාක්‍ය කියන ඇතා වාහල්කඩ කියන ගමේදි තවත් ඇතෙක් එක්ක රණ්ඩු කරගෙන අසාධ්‍ය තත්ත්වෙට පත්වුණා. අපි කිහිප වතාවක් බෙහෙත් කළා. කොවිඩ් කාලෙ දවසක එයා ගමේ ඇදන් වැටිල හිටිද්දි කිසියම් පිරිසක් ඒ ඇතාගෙ දල කපන් ගිහින් තිබුණා. පස්සෙ එක්තරා සංවිධානයක් යැයි කියාගත්ත පිරිසක් ඒ ගැන සොයා බැලීමේ මුවාවෙන් ඒ ඇතාගෙ ෆොටෝ අවභාවිත කරමින් වෙනම ව්‍යාපාරයක් කරල මුදල් උපයල තිබුණා. අදටත් ඒ සතාගෙ මරණයට සාධාරණයක් වුණේ නෑ. අපි ගන්න මේ ඡායාරූප වලින් සිදුවෙන්නෙ ඒ වනසතුන් ගැන තොරතුරු වාර්තා කිරීමක්. ඒකෙන් ඔවුන්ගෙ ආරක්ෂාව තහවුරු වනවා වගේම ඔවුන්ට යම්කිසි ආබාධයක්, ලෙඩක් තිබුණොත් ඒක හඳුනගන්නත් ඉවහල් වෙනවා. ඔවුන් ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. “
නාමලී ගමගේ