– කොවිඩ් කාලේ ලැබුණු විවේකයෙන් මම මගේ නමින් යූ ටියුබ් චැනලයක් පටන් ගත්තා
– ඩිජිටල්කරණය සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමාන ලෝකයම අපේ අල්ල උඩ තියෙන්නෙ
– ඇතැම් අය එවැනි ගීත ගයන්නට බය වුණත් මම ඒ අභියෝගයට මුහුණ දුන්නා
– ඔවුන් නොහිටින්න ප්‍රදීපා කියන ප්‍රතිපත්තිගරුක ගායිකාව බිහි නොවන්න ඉඩ තිබුණා
කොතැන කොයි මොහොතක කෙසේ ඇසුණද හඳුනා ගත හැකි හඬක් වේ නම් ඒ ඇයගේ කට හඬයි. මධුර මනෝහර හඬින් ඇය ගයන්නේ භාවමය සංගීතයෙන් රසගැන්වූ අරුත්බර පද මාලාය. ප්‍රේමය ගැන ළයාන්විතව ගයමින් හදවත් නළවන ඇයම විටෙක ජීවිතයේ කටුක යථාර්ථයන්, සමාජ විෂමාචාර ගැන නොබියව ගයන්නේ ඒ ළයාන්විත හඬ නොනසා ඊට අයෝමය ශක්තියක් මුසු කරමිනි. එනිසාම ඇයගේ ගී අසන සහෘදයන් තුළ සාධාරණ මනුෂ්‍යත්වය පිළිබඳ දයාවක් සහ අසාධාරණ අමානුෂිකත්වයට එරෙහිව නැඟී සිටීමේ ඕනෑකමක් ඇතිවීම අරුමයක් නොවේ. පුරවැසියකු මෙන්ම කලාකාරිනියක ලෙස සිය සමාජ වගකීම, වගවීම මනාව හඳුනා ගත් ඇය අප හමුවේ සිටින්නී, දොළොස් වසක නිහැඬියාව බිඳින ‘සුපෙම් හැඟුම්’ ප්‍රසංගය පිළිබඳ සුපෙම් හැඟුම්වලින් හදවත පුරවාගෙනය.
” මගේ නිර්මාණ චාරිකාව බොහොම හෙමින් ආව ගමනක් වුණත් ඒ ගැන මට කිසිම පසුතැවීමක් නැහැ. මේ දක්වා රසිකයන්ට ගුණාත්මක නිර්මාණ තිළිණ කළා කියන ආත්ම තෘප්තිය මම විඳිනවා. ඒ නිසාම දොළොස් වසරක නිහැඬියාව බිඳිමින් පවත්වන මේ ප්‍රසංගයත් මගේ රසිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වෙයි කියා මම විශ්වාස කරනවා” ඇගේ හඬ ද ගීයක් මෙන් සුපසන්ය; තිරය. ගායිකාවක, ටෙලිනාට්‍ය හා චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස රටම හඳුනා ගන්නට පෙර ඇය කළ එළි දුටුවේ වේදිකාව තුළිනි. ඒ අතීතය ඇය සිහිපත් කරන්නේ සොම්නසිනි.
“මගෙ මවුපියන් දකුණේ වුණත් මම ඉපදුණේ මොරටුව රාවතාවත්තෙ බොහොම සාමාන්‍ය පවුලක. මගේ පියා පී. කේ. ධර්මදාස. ඔහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ රාජ්‍ය නිලධාරියෙක්. අම්මා හේමා ධර්මදාස ගෘහිණියක්. අක්කා කෙනෙක් සහ මල්ලිලා දෙන්නෙක් ඉන්න පවුලේ මම දෙවැනියා. පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා මම ඉගෙන ගත්තේ මොරටුවේ වේල්ස් කුමරි විදුහලේ. උසස් පෙළ සඳහා නුගේගොඩ සුජාතා විද්‍යාලයට ඇතුළත් වීම තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. පාසලට ඇතුළත් වෙලා සතියක්, දෙකක් වගේ සුළු කාලයක් තුළ ප්‍රවීණ නාට්‍යවේදිනී, රංගන ශිල්පිනී සෝමලතා සුබසිංහ මහත්මිය ඇයගේ සඳකිඳුරු නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ සඳ කිඳුරියගේ චරිතයට මාව තෝරාගත්තා. ඒ කාලේ බොහොම කුලෑටි පාසල් සිසුවියක් වූ මා තුළ තිබූ රංගන හැකියාව හඳුනාගත්, එය දියුණු කරන්නට උපකාර කළ මගේ කලා ජීවිතයේ මව විදිහට සෝමලතා සුබසිංහ මහත්මියට මම හැමදාම ගෞරව කරනවා.”
සඳ කිඳුරියගේ චරිතය එකල නව යෞවනියක් වූ ප්‍රදීපාට වාසනාව ගෙනාවේ මුහුදු පුත්තු, සුබසරණාගත, සක්විති නික්මන, මුහුණු දෙකක්, සත්යාංගනාවී, නෙළුම් පොකුණ, උක්දඬු ගින්න, නාග ගුරුළා සහ සිංහබාහු වැනි ජනාදරයට පත් වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණයට මඟ සලසමිනි. ජයන්ත චන්ද්‍රසිරිගේ “වෙදහාමිනේ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය වූ “දූවිල්ලෙන් සැදුන ලියේ” ගීතය ගයමින් ගායන ලොවට පිවිසි ප්‍රදීපා එතැන් සිට මනෝහර හඬින් රසිකයන් පිනවූවාය. වේදිකා නාට්‍ය, මෙන්ම ටෙලිනාට්‍ය රංගනයට පිවිසි ඇයගේ මුල්ම ටෙලි නාට්‍ය ‘සමුගැනීමේ නවාතැන’ යි. ධවල රාත්‍රිය, අවසඳ, යශෝධ යනාදී ටෙලි සිත්තම් කිහිපයකට රංගනයෙන් දායක වූ ප්‍රදීපා අවසන් වරට රඟපෑවේ මාලනී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පිංමඳ පුතුනි’ ටෙලිනාට්‍යයේය. ඒ, 1991දීය.
ප්‍රදීපා ධර්මදාස යනු සරල සුන්දර ගී පද රචනා වෙනුවට කාලීන සමාජ ප්‍රශ්න සිය නිර්මාණ සඳහා යොදා ගත් ගායන ශිල්පිනියකි. රාජ්‍ය මාධ්‍යයන්හි වාරණ තහංචි මැද විකල්ප මාධ්‍ය කවයේ අනුග්‍රහය ඇතිව ඇය සිය ප්‍රථම කැසට් පටය ‘දූවිල්ලෙන් සැදුන ලියේ ‘ එළිදක්වන්නේ 1992 වසරේදීය. වාරණයට ලක් වූ සිය නිර්මාණ ගැන ලිපියක් පළ කරවා ගැනීමට ලක්දිව පුවත්පත් කාර්යාලයට ගිය ඇයට මාධ්‍යවේදියකු වූ ඩලස් අලහප්පෙරුම හඳුනා ගන්නට අවකාශ සැලසෙන්නේ ද දෛවෝපගත ලෙසිනි. සිතුම් පැතුම් අදහස්වලින් සම සිත් ඇති ඔවුනොවුන් හඳුනා ගැනීමේ සුන්දර ප්‍රතිඵලය ඩලස්- ප්‍රදීපා විවාහයයි.
“මේ වෙද්දි මම ගීත තුන්සියයක් පමණ ගායනා කර තිබෙනවා. ඒ අතරින් වැඩිම ගීත ප්‍රමාණයකට තේමා වුණේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න සහ සමාජ අසාධාරණකම්. තමන්ටත් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට වෙයි කියලා ඇතැම් අය එවැනි ගීත ගයන්නට බය වුණත් මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. මම හිතනවා ඒ සඳහා ආභාසය සහ ශක්තිය මගේ පියාගෙන් සහ සැමියා ඩලස්ගෙනුත් ලැබුණා කියලා.”ඇය පවසන්නේ කෘතවේදීවය.
1997 වසරේදී ප්රදීපාගේ කඳුළු තොටුපළ ගීත එකතුවත් 2004දී සත්‍යාංගනා ගීතාවලියත් එළිදුටුවේය. ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ ‘අරගලය’ චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, නිදි යහන කැලඹුණි, සාවිත්‍රිගේ රාත්‍රිය, හඬන කිංකිණි, මිරිවැඩි සඟලක්, තහනම් ගහ, ඉර හඳ යට ආදී චිත්‍රපටවල පසුබිම් ගායනයට එක්වෙමින් ලාලිත්‍යයත් පෞරුෂත්වයත් මනාව සංකලනය වූ සිය කටහඬේ අනන්‍යතාව ප්‍රකට කළාය.
ජනතා සම්මානයෙන් නිරන්තර පිදුම් ලැබූ ජනතාවගේ ගායිකාව වූ ප්‍රදීපා ධර්මදාස විශිෂ්ට ගායනය මෙන්ම රංගනය වෙනුවෙන්ද ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබුවාය. නිමල් ඒකනායකගේ ‘උක්දඬු ගින්න’ වේදිකා නාට්‍යයේ මලීගේ චරිතය වෙනුවෙන් 1994 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය සම්මානයත් විශිෂ්ටතම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සමන්ත නීලවතුරගේ ‘සාවිත්‍රිගේ රාත්‍රිය’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1997 වසරේදී සරසවි සහ ජනාධිපති යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබුවාය. සමාජ සංහිඳියාව ඇති කිරීමට කරන ලද නිර්මාණ දායකත්වය උදෙසා යාල්දේවී ගීතය වෙනුවෙන් කොළඹ දෙමළ සංගමයෙන් පිරිනැමූ ගෞරව සම්මානය සහ 2012 වසරේදී ලෝක කාන්තා දිනයේදී ශ්‍රේෂ්ඨ කාන්තාවන් ඇගයීම වෙනුවෙන් පිරිනැමූ සම්මානය ද ප්‍රදීපාට හිමිවිය.
නිසඟ කලා හැකියාවන්ගෙන් පොහොසත් කලාකාරිනියක වන ප්‍රදීපා, වජිර-චිත්‍රසේන ඇකඩමියෙන් නර්තනය හැදෑරූ අතර නුගේගොඩ කලා භූමියෙන් සංගීතය උගත්තාය. සෝමලතා සුබසිංහයන්ගේ ශ්‍රී ලංකා යොවුන් රඟහල පදනමේ නාට්‍ය පාඨමාලාවක් හැදෑරු ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. ඉන්දියාවේ ලක්නව්හි භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ සංගීත විශාරද විභාගය විශිෂ්ට ලෙස සමත් සංගීත විශාරදවරියක වන ප්‍රදීපා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාධාරිනියක් ද වේ. එමෙන්ම ඇය අමරිකාවේ කර්ක්වුඩ් අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිනියක ද වේ. දැනුම සොයා යෑමේ නිරන්තර පිපාසයෙන් පෙළෙන ප්‍රදීපා පවසන්නේ කලාකාරිනියකට එය අත්‍යවශ්‍ය වන බවයි.
” ඩිජිටල්කරණය සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමාන ලෝකයම අපේ අල්ල උඩ තියෙන්නෙ. ස්මාර්ට් ජංගම දුරකතනය, යූ ටියුබ් ඔස්සේ ලෝකය පුරාම සැරිසරන්න පුළුවන්. ඒ නිසාම කලාකාරිනියක ලෙස යාවත්කාලීන වීම අත්‍යවශ්‍යයි. ඉගෙන ගන්න වයසක් නැහැ වගේම කලාවත් හැමදාව අලුත් වෙනවා. පරම්පරා වෙනස සහ කාලයේ පරතරය අපේ නිර්මාණවලට බාධාවක් විය යුතු නැහැ. ඒ නිසාම මම විශ්වාස කරනවා මගේ නිර්මාණ එදා පරපුර වගේම අද පරපුරත් රසවිඳිනවා කියලා. ඒක මට සතුටක්. සංගීතය ගැන ඉගෙනගන්න වගේම විමර්ශනය කරන්න මම තාමත් කැමතියි. පහුගිය කොවිඩ් කාලේ ලැබුණු විවේකයෙන් මම මගේ නමින් යූ ටියුබ් චැනලයක් පටන් ගත්තා. ඒ වගේම අත්හදා බැලීම් සහ හොඳ රසඥතාවක් තියෙන අලුත් පරපුරක් අපිට ඉන්නවා. දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ ඔවුන්ට කලඑළි බහින්න, හොඳ නිර්මාණ කරන්න පරිසරය සකසා දීම මාධ්‍යයෙත් වගකීමක්”
විවාහයෙන් පසු රංගන දිවියට සමු දුන්නද තමා තවමත් වේදිකාවට පෙම් බඳින බව ප්‍රදීපා පවසන්නීය. සැමියා ඩලස් අලහප්පෙරුමත් මහිම ඉඳුවර සහ කෞශික නාලන්ද පුතුන් දෙදෙනාත් ඇයගේ කලා දිවියට නිබඳ දිරි දෙති. රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ ‘දුවේ මගෙ රත්තරන් ඇයි නුඹ නාවේ’ ජනප්‍රිය ගීතය සැමියා ඩලස්ගේ පබැඳුමකි. නීතිඥවරියක වන්නට සිහින දුටු තමා රංගන ශිල්පිනියක, ගායිකාවක වූයේ අහම්බෙන් වුවද ඒ අහම්බය අතිශය සොඳුරු වූවක් බව ප්රදීපාගේ හැඟීමයි.
“ගායන සහ රංගන ජීවිතය දිහා මම ආපස්සට හැරිලා බලන්නේ හරිම සතුටින්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස තමයි මට සින්දු කියන්න පුළුවන් කියලා ඔප්පු කළේ. ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහයන් මගේ ගුරුතුමා වගේම ඔහු නිසා තමයි මගේ ගීත රසිකයන් අතර ජනප්‍රිය වුණේ. ඔවුන් වගේම මගේ සියලුම ගුරුවරුන්, මගේ ගීත සංගීතවත් කළ සියලුම සංගීතවේදීන්, ගී පද රචකයන්ට සහ රංගනය සඳහා මාව සම්බන්ධ කරගත් සියලුම සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට මම හදවතින්ම කෘතඥ වෙනවා. ඔවුන් නොහිටින්න ප්‍රදීපා කියන ප්‍රතිපත්තිගරුක ගායිකාව, රංගන ශිල්පිනිය බිහි නොවන්න ඉඩ තිබුණා. ඒ වගේම මගේ රසික රසිකාවියන්ටත්, මගේ නිර්මාණ ජනතාව අතරට ගෙන ගිය සියලුම මාධ්‍ය ආයතනවලටත් මගේ ස්තුතිය පුද කරනවා.” අව්‍යාජ හඬින් මෘදු ස්වරයෙන් ප්‍රදීපා එසේ පැවසුවාය.
ඇය පැවැසුවේ සුපෙම් හැඟුම් ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 0728470717 කේෂාණිගෙන් විමසිය හැකි බවය.
(Mytickets.lk)
ඉතින්, ගී අහනා මිනිස්සුන්ට පන් පැදුරක් එළා දෙන්නට නොව, කොළොම්තොටින් නැව් නැඟි අපේ රටේ මනුස්සකමට තවමත් ආදරේ මිනිසුන්ට සුපෙම් හැඟුම් රැගෙන සත්යාංගනාවියක් වී 21 වැනිදා නෙළුම් පොකුණ රඟහලට ප්‍රදීපා එන්නීය. ඒ ගීතවත් සැදෑවේ දෙහෝරාවක් පමණ ඇය ඔබේ නෙත්මානේ සිට සරා සඳ නැඟෙන තුරා හංස ගීතය ගයනු ඇත.
සුපෙම් හැඟුම් මිහිර විඳින්නට 21 වැනිදා නෙළුම් පොකුණට එන්න
ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනී, රංගනවේදිනී ප්‍රදීපා ධර්මදාසයන්ගේ නවතම ගී ප්‍රසංගය ‘සුපෙම් හැඟුම්’ ජනවාරි 21 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි හවස 6.30ට පැවැත්වීමට නියමිතය. 2012 වසරේදී පැවති ‘හැන්දෑවට කලින් එන්න’ ප්‍රසංගයෙන් දොළොස් වසකට පසු ප්‍රදීපා ධර්මදාස විසින් පවත්වනු ලබන මෙම ප්‍රසංගය ඇයගේ ගීත 23කින් සමන්විතය. විශාරද එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර සහ රවීන් කනිෂ්ක ගායනයෙන් සහාය වන අතර, ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන මෙම ප්‍රසංගයේ සහෘද ආමන්ත්‍රණය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසිනි. ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ නර්තන වින්‍යාසයෙන් සහ සහන් රන්වල පදනමේ සිසු සිසුවියන්ගේ ඉදිරිපත් කිරීම්වලින් සුපෙම් හැඟුම් සංගීත සන්ධ්‍යාව තවත් විචිත්‍රවත් වනු ඇත.
සුරේකා නිල්මිණි ඉලංකෝන් ඡායාරූප- තිලක් පෙරේරා