චමුදි අබේකෝන් කියන්නේ සිදූ නාට්‍යය තුළින් රංගනයට ඇවිත් ටිකෙන් ටික රංගන ක්ෂේත්‍රය තුළ සිය නාමය රඳවන්නට උත්සාහ කරන නව පරපුරේ රංගන ශිල්පිනියක්. චමුදිව දකින්න ලැබෙන්නේ දෙරණ නාලිකාවේ ඉස්කෝලෙ ටෙලි නාට්‍යය තුළින්. විවිධ චරිත ඔස්සේ සිය රංග කුසලතාව ඔප් නංවමින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට ආස කරන චමුදි රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ….
නිළියක් වෙන්න ඕනේ කියලම හිතුනේ ඇයි?
එහෙම නිළියක් වෙන්න ඕනෙමයි කියලා පොඩි කාලේ ඉඳන්ම හීනයක් තිබුණේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෙද්දි රඟපාන්න කැමැත්තක් ඇති වුණා. ටෙලි නාට්‍ය එහෙම ගොඩක් බලනවා. එතකොට අනිත් නිළියෝ රඟපාන විදිය දකිද්දී පාසලෙන් අවුට් වෙන අන්තිම කාලෙ නිළියක් වෙන්න ඕනි කියල හිතුණා. මට මුලින්ම රඟපාන්න ලැබුණේ තිළිණ බොරලැස්ස අයියගේ සිදූ ටෙලි නාට්‍යයෙ. ඒකෙ මම කළේ සුළු චරිතයක්.
කොහොමද ඒ අත්දැකීම?
කලාවට රඟපෑමට ආස වුණාට මම පාසල් කාලයේදීවත් රඟපෑම ගැන හදාරල නැහැ. සිදූ ටෙලිනාට්‍ය හරහා තමයි මුලින්ම අත්දැකීමක් ලැබෙන්නේ. රඟපෑම කියලා ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි. පළමුවෙනි දවසේ රඟපද්දී මට ගොඩක් බය හිතුණා. තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලත් හිතුණා.
වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක් ද?
තිළිණ බොරලැස්ස අයියගේ රාජිනී ටෙලි නාට්‍යයේ වාසනා ටීචර්. මිනිස්සු මාව වැඩියෙන්ම වැලඳ ගත්ත චරිතය සහ මම මිනිස්සු අතරට ගිය චරිතය. ඒ වගේම මම වැඩියෙන්ම ආදරය කරන චරිතය.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
දෙරණ නාලිකාවේ ඉස්කෝලෙ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තුළින් ඉදිරියේදී මාව දැකගන්න ලැබේවි. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයකින් මාව ඉස්සරහට දැකගන්න ලැබේවි.
අමතක නොවන මතකයන් ඇති?
මේ හැම නිර්මාණයකම මට අමතක නොවන මතකයන් තියෙනවා. එකක් ගැන මතක් කළොත් මම පළමුවෙනියටම රංගනයෙන් දායක වුණු සිදූ ටෙලි නාට්‍ය පටිගත කළේ ගලක් උඩ. සීන් එක අවසානයේ මට ඉවර කරන්න තිබුණේ දුවගෙන එන්න.. ඒ කියන්නේ ගල පහළට දුවගෙන එන්න එක පාරට මම දුවගෙන එනකොට ලොකු නිදුකුම්බ පඳුරක් තිබුණ මම දැක්කේ නැහැ. මම නතර වුණේ ඒ නිදුකුම්බ පදුරු ටික මගේ කකුල් දෙක වටේම ඔතාගෙන. ඒ වෙනකොට කකුල් දෙක හොඳටම තුවාල වෙලා තිබුණා. ලේ ආවා. ඒවගේ අමතක නොවන මතකයන් ගොඩක් තියෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තම කිව්වොත් මේ ක්ෂේත්‍රයට එන මුල් කාලයේ මගේ තනි කැමැත්තට තමයි මම ආවේ. මම මේ ක්ෂේත්‍රයට එනවට ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන් මම ටෙලි නිර්මාණවලින් දකිද්දි ගෙදර අයට ආසයි. ඒක නිසා දැන් නම් ඇත්තටම මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
ජීවිතේ දකින්නෙ කොහොමද?
ජීවිතය කියලා කියන්නේ හීන ගොඩක්. අපි එක එක්කෙනාට එක එක විදියේ හීන තියෙනවා තියෙනවා. අපි ඒ හීන පස්සේ යනවා නම් අපිට පහුවෙලා හරි ඒ හීන හැබෑ කරගන්න පුළුවන්. කිසිම දෙයක් බැහැ කියලා අතෑරලා දාන්න හොඳ නැහැ. මොන ප්‍රශ්න මොන බාධක ආවත් ඒ ප්‍රශ්නවලත් පොඩි හරි සතුටු දෙයක් හොයාගන්න පුළුවන් නම් ජීවිතයේ ඉස්සරහට ගෙන යන්න ලේසියි.
ඔබ ආදරවන්තියක් ද?
නැහැ
මොන වගේ කෙනෙක් ද හොයන්නෙ?
ඇත්තටම මම ගොඩක්ම කැමති මට ඇහුම්කන් දෙන කෙනෙක්ට. ඒ කියන්නේ එයාගේ අදහස්ම විතරක් නෙමෙයි මගේ අදහස්වලටත් ගරු කරන මාව මැරෙනකම්ම පරිස්සමෙන් බලාගන්න පුළුවන් කෙනෙක්ට.
ක්ෂේත්‍රයේ ඉන්නකොට කටකතා, ගොසිප් හැදෙන්න පුළුවන්, ඒ ගැන මොකද හිතෙන්නෙ?
මම හිතන්නේ කටකතා ගොසිප් සාමාන්‍ය දෙයක්. මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අනික් ක්ෂේත්‍රවලත් කටකතා ගොසිප් කියන්නේ සාමාන්‍ය දේවල්. නමුත් මේ ක්ෂේත්‍රය තුළ ඉන්න අය ජනප්‍රිය නිසා මේ ක්ෂේත්‍රයේ අයගේ කටකතා ගොසිප් වගේ දේවල් ප්‍රසිද්ධ වෙනවා වැඩියි මිනිස්සු අතරට යනවා වැඩියි. මම නම් ඒ දේවල් එච්චර ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. මොකද තමන් ගැන දන්නෙ තමන් විතරයි.
රංගනයට සීමාවන් තියෙනවා ද?
ඔව්, යම් යම් සීමාවන් තියෙනවා.
චරිතයක් තෝරා ගනිද්දී මුලින්ම බලන්නෙ මොකක් ද?
මම කැමතියි එක චරිතයකට කොටුවෙන්නේ නැතිව චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. මම තෝරා ගන්නේ මට ගැලපෙන සහ මට කරගන්න පුළුවන් කියලා හිතන චරිත. ඒ වගේම රංගනය ගැන හදාරන්නත් මම ගොඩාක් කැමතියි.
විලාසිතාවලට කොයි තරම් තැනක් දෙනවද?
විලාසිතාවලට ගොඩක් කැමති කෙනෙක් මම. ලස්සන ඇඳුමක් සපත්තු දෙකක් මට ගැලපෙනවා කියලා හිතුණොත් මම අනිවාර්යෙන්ම ගන්නවා. මම ආසයි මට ගැලපෙන විලාසිතා කරන්න.
අනාගත බලාපොරොත්තු මොනවද?
අනාගතයේදී මම රංගනය පැත්තෙන් වගේම මගේ ව්‍යාපාරය පැත්තෙන් ඉදිරියට යන්න ආසයි. මම දැනට ව්‍යාපාරයක් කරගෙන යනවා Beauty By Chamu කියලා. එක්කෝ මම අනාගතයේදී රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යයි නැත්තම් මම ව්‍යාපාරික කාන්තාවක් විදියට ඉදිරියට යයි. ඒ දෙක තමයි මගේ ලොකුම අනාගත බලාපොරොත්තු විදියට තියෙන්නේ.
අනුෂා රණසිංහ