අන් කුමන කාර්යයකදී බොරු කළත් සාහිත්‍යයේදී බොරු කළ නොහැකි යැයි පැවසුවේ රුසියානු මහ ගත්කරුවකු වූ ඇන්ටන් චෙකෝෆ් ය. එය ඉන්තේරුවෙන් ම සැබෑවකි. කිසිම ව්‍යාජ නිර්මාණයක් අවසාන විග්රහයේදී සැබෑ සාහිත්‍ය නිර්මාණයක් හැටියට මේ මහ පොළොව මත ඉතිරි වන්නේ නැත.
සම්මාන හෝ වෙන යම් කිසියම් හෝ දෙයකින් තාවකාලික ව මේ වැනි දෑ ඇගැයුමට ලක් වුව ද එහි නිසි ඇගැයුම වන පාඨක ප්‍රසාදය ව්‍යාජ නිර්මාණයකට හිමි නොවන්නේ ය. ඒ අනුව කාලයාගේ ඇවෑමෙන් පාඨක සමාජය මත යමක් ඉතිරි වෙන්නේ ද එය සදාකාලික වටිනාකමකින් යුතු වෙන්නේ ය. මේ අතින් බලන විට, වර්තමාන සිංහල ගද්‍ය, පද්‍ය හා දෘෂ්‍ය ඉතිහාසයෙහි අව්‍යාජ ව සැරූ නිර්මාණකරුවන්ගේ නාම අතරට ඉදිරියෙන් ම වැටෙන්නේ මහගම සේකර නාමය වීම වැළැක්විය නොහැකිය. ඔහුගේ කාව්‍ය හා ගීත නිර්මාණ කාලයේ විනිශ්චයට ලක් වෙමින් මතු මත්තෙහි ද පවතිනු ඇත්තේ ය.
මහගම සේකර කියන්නේ කවිය වූ කලී කවියාගේ ආධ්‍යාත්මය මිස අනෙකක් නොවන බැවින් කවියා දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙන බව ය. කවියා සංයමයෙන් යුක්ත වන තරමට කවියෙහි සංයමය ඇති වෙන බවත්; කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය ද නිර්ව්‍යාජ වෙන බවත් හේ පවසන්නේ රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත කෘතියේ පෙරවදනේ ය. හේ පවසන පරිද්දෙන් ම ඒ ගුණාංග සහිත යමෙක් පෙන්වන්නට යැයි කිසිවකු හෝ කියන්නේ නම් ඒ පෙළෙහි මුලින් ම සිටින්නේ ද මහගම සේකර ය. ඔහු සිංහලයට සුදුසු කාව්‍ය මාර්ගයක් සොයා ගිය ගවේෂකයෙකි. හෙළ හවුලේ කවි මඟ සේ ම, කොළඹ යුගයේ කවියේ බාහිර ස්වරූපය පිළිබඳවත් හැදෑරූ ඔහු ඉංග්‍රීසියට නැඟුණු බොහෝ කවි ද හැදෑරුවේ ය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අතින් හෙට ඉරක් පායයි කුඩා කාව්‍ය සංග්‍රහය බිහි වෙයි. නව මඟක හැදෑරීමක ලකුණු සටහන් වූ නිදහස් ආරෙන් ලියූ මේ කාව්‍ය සංග්‍රහයේ ගැබ් වුණු සහකම්පනීය සේයාව මවිත කරවන සුළු ය.
වඩා ලස්සන රුව මවන්නේ
කිසිම දවසක ලස්සනක් නොදුටු ඇසයි
වඩා මිහිරට ගී ගයන්නේ
කිසි දවසක රස බසක් නෑසුව කනයි…
හෙට ඉරක් පායයි මහගම සේකර ලියන්නේ 1963 දී ය. එය 63න් එපිටට ද හැටතුනෙන් සිය දහස් ගණනක් මෙපිටට ද පරම සත්‍යයක් සේ ලියැවෙන්නේ මෙපරිද්දෙන් ය. එදවස කවියට කුළු ගල් පහරක් එල්ල වූවාක් බඳු මේ කාව්‍ය සංග්‍රහය නිසා කවියට දෘෂ්‍යමාන අලංකාරයක් එකතු විණි. ජීවිතයේ ගන්නා හුස්ම පොදක සිට ගහක හට ගන්නා කොළයක ද මුහුදේ රළ නැඟෙන ධ්වනියේ රිද්මය ද මහගම සේකරට හමු විණි; ආගන්තුක ද නොවුණි. රිද්මය, ළය මානය, ස්වභාවික රිද්ම රටා ගැන හේ කළ පර්යේෂණය සේම ස්වකීය නිර්මාණවලට ද ඒවා සාර සුභාවට එකතු වූයේ ඔහුටත් නොදැනී ම වන්නට ඇත. ආරෝපණය කර නොගන්නා සෑම දෙයක් ම නොදැනීම අප ජීවන විලාසයට එක්වීම සාමාන්‍යයකි. මහගම සේකර හා රිද්මය යනු එකක් ම ය වැනි යැයි සිතෙන තරමට ඔහු ස්වකීය නිර්මාණකරණයේ රිද්මීය පරිධිය පිළිබඳ සැලකිලිමත් වූයේ ය. නිර්මාණකරණය හා සැබෑ ජීවිතය එකක් ම යැයි සිතෙන තරමට ඔහු අව්‍යාජ ය. සේකර සිය කාව්‍ය මඟ පිහිටු වූයේ ඊට ගැළපෙන ආකෘතියක ය. සඳැස, නිසඳැස හා කෙටි කාව්‍ය ඒ අතර විණි. පශ්චාත් නූතනවාදයේ ඡායාමාත්රයක් ද ඒ අතර සැඟවෙමින් පෙනෙමින් තිබිණි.
දශක දෙකක කාල පරාසයක පමණ පැතිර ගිය මහගම සේකර සාහිත්‍යාලංකාරය නොකිය වූ හා නොඇසූ ගී බහුල යැයි කියන්නාක් මෙන් වූවකි; එහෙත් දශක කිහිපයක වැඩ සම්පාදිත වූවකි. කාව්‍යකරණයේ, සිතුවම්කරණයේ, සිනමාකරණයේ, තිරපිටපත් කරණයේ, නාට්‍යකරණයේ, නවකතාකරණයේ මතු නොව ගේය කාව්‍යකරණයේ ද හේ සලකුණකි. ස්වතන්ත්‍ර නිර්මාණකරණයට අමතර ව ඔහු විවිධ කතුවරුන්ගේ සාහිත්‍ය නිර්මාණ සඳහා නිමවන ලද කංචුක චිත්‍ර සංඛ්‍යාව ද අනල්ප ය. පොත් පිටකවර ක්ෂේත්රයේ නව මං සටහන් කළ රීතියක් හඳුන්වා දීමේ ලා හේ ප්‍රමුඛයකු වූයේ ය. කලා ක්ෂේත්‍ර ගණනාවක විහිද පැතිර ගිය ඔහුගේ නිර්මාණකරණ ප්‍රතිභාව වනස්පතියක් බඳු ව පසු පරම්පරාවලට සෙවණ සලසන්නේ ය. නිසර්ග කවිත්වය විසින් ඔප දමන ලද නිර්ව්‍යාජත්වය අපූර්ව නිර්මාණ රැසක් පාඨක සමාජයට තිළිණ කළේ ය. ඔහුගේ කෙටි දිවිය මුළුමනින් ම පාහේ කැප වූයේ ජීවිතය විවිධාකාරයෙන් කියවා ගැනීම වෙනුවෙනි. ජීවිතය සුසර කරගන්නේ යම් සේ ද එයට එහි ආත්මීය රිද්මය මහෝපකාරී කර ගන්නා අයුරු ඔහු මැනවින් දැන සිටියේ ය. සරල පද අතරේ සෞන්දර්යයෙන් ඔපමට්ටම් වී සැඟවුණු දාර්ශනිකත්වය භාෂා නෛපුණ්යතාවේ අග්‍රඵලයකි. එය ජීවිතයේ යම් ඉසව් වෙත එල්ල කරන ආලෝකය විටෙක අප පුදුම කරවන සුළු ය. කවියකුට එහා ගිය මහා දාර්ශනිකත්වයකින් පිරි හේ කියවා ගන්නට ඔහුගේ මහා නිර්මාණ ගොන්නෙන් රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත කියවා ගත්තත් ප්‍රමාණවත් යැයි සිතේ. කාලාත්රය එකට කැටිකොට එක් කෘතියකින් ගෙන හැර දක්වන මහගම සේකර එයින් ම තුන්කල් දුටු දාර්ශනිකයා බවට පත් වෙයි. දශක ගණනාවක අවෑමෙන් වුව ද අපට තේරෙන්නේ මේ කියන්නේ අප ගැන කියා ය; අපේ ම ජීවිත ගැන කියා ය.
1929 අප්‍රේල් 7 වැනිදා සියනෑ කෝරළයේ රදාවානේ උපත ලැබූ මහගමගේ සේකර සිය නාමය ජන හදවත් හි කෙටූයේ මහගම සේකර ලෙසිනි. කලාව කෙරෙහි ඉමහත් ඇල්මක් දැක්වූ මහගමගේ ජෝන් සිංඤෝ ඔහුගේ පියා වන අතර, මව රණවක ආරච්චිගේ රොස්ලින් රණවක ය. සොහොයුරු සොහොයුරියන් නැති පවුලේ සියලු ආදරය කැටි කොට ලැබූ හේ රදාවාන රජයේ පිරිමි විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ය. ද්විතීක අධ්‍යාපනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විදුහලට ඇතුළත් වූ සේකර කොළඹ ටෙක්නිකල් විදුහල කලායතනයෙන් ස්වකීය වෘත්තීය පුහුණුවේ අතපොත් තබන්නේ ය. සර් ආතර් කොනන් ඩොයිල් ගේ The White Company කෘතිය ධවල සේනාංකය නමින් පරිවර්තනය කරමින් ලේඛන දිවියට පිළිපන් හේ 1950 දී නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළත් වෙයි. 1962 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ මහගම සේකර; 1969 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබයි. සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණ කෙරෙහි රිද්මය බලපා ඇති ආකාරය නම් කෘතිය වෙනුවෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් දර්ශනශූරි උපාධිය මහගම සේකරට පිරිනැමෙන්නේ 1981 දී ඔහුගේ අභාවයෙන් පසුව ය. 1952 දී රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයට චිත්‍ර කලා ගුරුවරයකු ලෙස බැඳුණු ඔහු 1973 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරි තනතුරට පත් වෙයි. ඔහු රජයේ ලලිත කලායතනයේ විදුහල්පති තනතුරට පත් වෙන්නේ 1975 දී ය.
1963 සැප්තැම්බර් 05 වැනිදා සුරවීර ආරච්චිගේ කුසුමලතා සුරවීර සමඟ විවාහ වෙන මහගම සේකරට දරුවන් තිදෙනෙකි. ඒ ගේෂා පාටලී, නිරුපමා සල්මාලී හා රවින්ද ලෙසිනි. ඔහුට මුනුබුරු මිණිපිරියන් තිදෙනෙකි. ඒ සුලක්නා සානන්දී වීරසූරිය, සුබන්යා චමත්ගී වීරසූරිය හා ජනිඳු සුචරණ පහලවත්ත ලෙසිනි.
ස්වකීය නිර්මාණාත්මක ප්‍රතිභාව වෙනුවෙන් කිහිපවරක් සම්මානිත වෙන හේ කිසිවිටෙකත් ඒ කිසිවකින් බැබළුණු කෙනෙක් නොවේ. සම්මානයට ඔහු සම්මානයක් වූවා මිස හේ කොහොමත් පාඨක රසික හදවත්හි සම්මානය නිරන්තර ලැබූවෙකි. 1966 දී සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගෙ රටයි ගීතයේ පද රචනය වෙනුවෙන් සරසවි සම්මානය, 1968 දී සත්සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදු මුදු තලාවේ ගීතයේ පද රචනය වෙනුවෙන් සරසවි සම්මානය, 1970 දී බිනරමලී චිත්‍රපටයේ රටකින් රටකට පාර අසාගෙන ගීතයේ පද රචනය වෙනුවෙන් සරසවිය සම්මානය, තුංමංහන්දිය චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් 70 දශකයේ විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස 1980 දී ජාතික කතෝලික සිනමා පර්ෂදයේ OCIC සම්මානය, 1997 දී 50 වසරක ශ්‍රී ලංකා සිනමාවේ විශිෂ්ටතම සිනමා නිර්මාණ 10 අතරට තේරී පත් වීම නිමිත්තෙන් තුංමංහ හංදිය චිත්‍රපටයට ස්වර්ණ සංඛ සම්මානය, සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණ කෙරෙහි රිද්මය බලපා ඇති ආකාරය නම් ආචාර්ය උපාධි නිබන්ධනයට 2002 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ආදී භෞතික සම්මාන රැසක් ඔහුට ලැබී තිබේ. 1976 ජනවාරි 14 ගම්පහ සිය නිවෙසේදී නාමශේෂභාවෝපගත වන විට ඔහු හතළිස් හත්වන වියෙහි පසු විය.
රදාවාන හන්දියට යන අපට තවමත් හිතේ ඇඳී ඇත්තේ සේකරගේ තුංමංහන්දිය ය. තුංමංහදියේ සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක තුන්මං හන්දියට එයි. එහිදී පාරවල් තුනක් තුන් අතට විහිදී යයි. එකකින් ගම්පහ ලෝරන්ස් විදුහලට ගොස් ඉංග්‍රීසි ඉගෙන ගත හැකිය; අනෙකෙන් ආපහු ගෙදරට යා හැකිය; තුන්වැන්නෙන් යා හැක්කේ මරදාන පැත්තට ය. එනම් කාර්මික විද්‍යාලයට ගොස් වෘත්තීය අධ්‍යාපනයක් ලැබීම ය.
සිරිසේනගේ ඡායාමාත්රයක් මහගම සේකර මතට වැටෙනු වැළැක්විය නොහැකි ය. මගෙ කවියේ මා නොසොයන් කීවාට ඒ නිර්මාණ ඇතුළේ අපට සේකර මෙන් ම ඔහුගේ අධ්‍යාත්මය ද හමු වෙන්නේ ය. ඕනෑ ම තුන්මංහන්දියක් දකින විට තවමත් මැවෙන්නේ හා දැනෙන්නේ සේකරගේ තුන්මංහන්දියේ සේයාව ය. තවමත් හිත සසල කරන එකී තුන්මංහන්දිය සේකරගේ පමණක් නොව පාඨක අපේ ද වෙන්නේ ඒ නිසා ය.
පැන්සල, පෑන, හුණු කැටය හෝ අඟුරු කැබැල්ල ද ඔහු අත තෙලිතුඩක් විණි. සැරසිලි චිත්‍ර සම්බන්ධයෙන් ගම් තුලානේ ඉතා ප්‍රකට පුද්ගලයකු වූ මහගම සේකරගේ පියාගේ ආභාසය සේකරට නොඅඩු ව ලැබෙන්නට ඇත. සිය ප්රබුද්ධ කාව්‍ය සංග්‍රහය තම පියාට පිළිගන්වමින් ඔහු සිය පියා ගැන මෙසේ ලියන්නේ ඒ නිසා ය.
විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කවකටුව දිග රූල
ඇඳ නෙක මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉඳු බොකුටු නියනින්
විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි
කුඩා කල සිටම මට කියා දුන්
තාත්තට…..
සම්මත සිතුවම්කරණ අමුද්‍රව්‍ය සේ ම ආලේඛ්‍ය චිත්‍ර හෝ භූමි දර්ශන පමණක් ඇඳීම චිත්‍ර කලාව නොවන බව මහගම සේකරගේ විශ්වාසය විය. ස්වාධීන චිත්‍ර රටාවක රිද්මය ඔහුගේ නිසර්ග හැකියාවට එල්ල කළ ආලෝකය අතිමහත් ය. චිත්‍ර ප්‍රදර්ශන 3ක් පමණක් ස්වකීය ජීවිත කාලය පුරා පවත්වා ඇති ඔහු ට චිත්‍ර කලාව සම්බන්ධයෙන් එක් සම්මානයක් හිමි වී තිබේ. ඒ 1956 දී ජාතික කලා පෙරමුණ සංවිධානය කළ චිත්‍ර තරගයක දී ඔහුගේ ‘මහභිනිෂ්ක්රමණය’ නම් වූ චිත්‍රය වෙනුවෙනි. තුංමංහංදිය නවකතාවේ ඔහු කියන්නේ පිකාසෝගේ චිත්‍ර ඔහුට නොතේරෙන බවකි.
එහෙත් ඒවායේ පෙර නොවූ විරූ අලුත් ගතියක් ඇති බවත්, ඒවා දිහා කොපමණ හෝ වෙලාවක් බලා සිටිය හැකි බවත් කියන ඔහු ඒවා නොතේරුණාට කුමන හෝ තේරුමක් ඇති බව පවසයි. මේ සියල්ලෙන් පෙනෙන්නේ නව්‍ය දෑ අධ්‍යයනය සම්බන්ධයෙන් ඔහුගේ ඇති නොපසුබට බවයි.
කාව්‍ය සංග්‍රහ හතක් ඔහු ස්වකීය කෙටි නිර්මාණාවලෝකන සමයේ ඉදිරිපත් කර ඇත. ඒ සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි හා ප්රබුද්ධ ය. ඊට අමතර ව කේ. ජයතිලක සමඟ ව්‍යංගා කාව්‍ය සංග්‍රහය ද 1960 දී සේකර පළ කරයි. සද්දන්ත සහ තවත් නාටක 1961 දී ද, මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) 1964 දී ද, හංස ගීතය සහ වෙනත් නිර්මාණ 1985 දී ද ඔහු අතින් නාට්‍ය නිර්මාණ සේ බිහි වෙයි. 1967 දී තුංමංහංදිය ත්, 1972 දී නිකුත් වුණු මනෝමන්දිර ත් ඔහුගේ නවකතා ද්විත්වයයි. මේ ඔහුගේ නිර්මාණ අස්වැන්නෙන් කොටසක් පමණි.
මහගම සේකර සිය නිර්මාණ කාර්යය කරනු ලැබුවේ විවේක බුද්ධියෙන් යුතු ව ය. හදිසිය නිර්මාණ කලාවට කරන හානිය ගැන ඔහු දැනුම්වත් ව සිටියේ ය. හදවත නිරන්තරයෙන් සුසර කරමින් හේ සිය නිර්මාණ වස්තු බීජ ඇතුළේ ජීවත් වූයේ ය. පාරේ තොටේ ඇවිදිද්දී පවා සිතේ ගොඩනැඟෙන කවි, ගී පද ඔහු මිමිණූ බැව් ඇසුරු කළෝ පවසති. මහගම සේකර හා නිර්මාණ දිවිය දෙකක් නොව එකක් වූයේ එලෙසිනි.
ලොව සිදුවන්නේ පුනර්පාඨනයක් බැව් ඔහු දැන සිටියේ ය. එය සිදුවන ආකාරය හා එයට මුහුණ දෙන ආකාරය වෙනස් විය හැකි වුවත් සිද්ධිය නම් එකක් ම ය. මේ සියල්ල පිළිබඳ අන්තර්ඥානයෙන් සිටි හේ ලොව දහම පිළිබඳ සවිඥානයෙන් යුතු ව ඊට මුහුණ දුන්නේ ය. ලොව ඇත්තේ යාම් ඊම් පමණී. ඒ යාම් ඊම් අතර කාලය මැනවින් ගත කරන්නේ කෙසේද යන්න ගැන පමණක් සවිඥානික වීම ප්‍රමාණවත් ය. එවිට ශෝකයක්, බියක් හෝ කණගාටුවක් නැත. සොබාදහම හා ජීවන දහම එකක් බව පසක් කළ හේ භෞතික කායෙන් නික්ම ගිය ද දනන් මුවඟ නිතර රැඳෙන නාමයක් ව ඇත්තේ එබැවිනි.
ජීවිතය යනු කෙටි තිළිණයකි. ඒ තිළිණය නිසියාකාර ව භාර ගන්නා යමෙක් වේ ද ඔහු අමරණීයත්වයට පත් වීම වැළැක්විය නොහැකි ය. මහගම සේකර වැටෙන්නේ ඒ ගණයට ය.
තවමත් හදවත රිදුම් දෙන මොහොතක් වේ ද සේකරගේ කවියකින් තැවුල් සිත සනසා ගත හැක්කේ ඒ නිසා ය.
මළ හිරු බසිනා සැන්දෑ යාමේ අඳුරට ඉඩ දී සැඟවී ගිය මහගම සේකර මහපොළොවෙන්, ඉරෙන් හෙඳන් මෙන්ම දියෙන් ද අද ද පෙනී නොපෙනී යෑම අරුමයක් නොවේ. මරණය පරාජයක් නොව නැවත අමරණීය වූවක් බව ජිවිතයෙන් ම පසක් කළ මහගම සේකර නොලියූ නොගැයූ දහස් ගණන් කවි ගී මත දිලෙන ප්‍රදීපස්ථම්භයක් බැව් සටහන් කරන්නට මැළි නොවෙමි.
නිර්මාණ කෙතේ ඇවිද යන ඔබට සේකර මුණ ගැසීම කිසිසේත් ම අහම්බයක් නොවේ. ඒ මඟ මහගම සේකර ඔබ අතින් අල්ලා ගනු නිසැක ය. ඒ නව මඟක් වෙනුවෙන් විනා අල්ලා ගැනීම වෙනුවෙන් නොවන බව ඔබ තේරුම් ගත් දා නිර්මාණ මාර්ගය ඔබට විවර වෙනු ඇත. එදාට ඔබට සිතෙන දේ ද මහගම සේකර ලියා තබා යෑම අරුමැසියක් ම ය.
මා ලිව් කවි මට වගේම
ඔබ හැමටත් පොදු වෙනු ඇත
සබඳ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න…