සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය කෘතීන් අතර සෙත් කවි ලක්ෂණ බහුල වශයෙන් දැක්වෙන රචනා පවතින බව ඒවා විමසා බලන විට පැහැදිලි වේ. විශේෂයෙන් ප්රශස්ති සහ හටන් පද්‍ය කෘතීන් තුළින් මෙබඳු රචනා හමු වේ. රජ, ඇමැති, මැති ආදීන් මෙන්ම සේනාපතීන් ආදී ප්‍රභූ ජනයා වෙනුවෙන් රචිත ගුණ වර්ණනා ස්තුතීන් සහ ආශිර්වාදයන්හි මෙබඳු පද්‍ය රචනා දැක්වේ. ප්රශස්ති පද්‍ය අංශයේ ප්‍රථම කෘතිය වන “පැරකුම්බා සිරිතෙහි” එබඳු ප්රශස්ති කීපයකි. “පරංගි හටනින්” ආරම්භ වූ හටන් පද්‍ය අංශයෙහි ආශිර්වාදය සඳහා යෙදෙන නිර්මාණ කීපයක් තුළ සෙත් කවියට සමීප ලක්ෂණ සඳහන් වේ. “හටන් කාව්‍ය” තුළින් දැක්වෙන එබඳු රචනා කීපයක් මෙහි දැක්වීමට අදහස් කිරීමට හේතු වූයේ මෙතෙක් ඒ පිළිබඳ හඳුන්වා දීමක් නොදුටු බැවිනි.
පද්යාරම්භයේදී වැඩි වශයෙන්ම නමස්කාරයෙන් යුතුවූ බව පැහැදිලි වේ. පද්‍ය සාහිත්‍යයේ ආදිතම කෘතීන් යැයි සැලකෙන ‘සසඳා’,’ මුවදෙව්දා’ යන දෙකෙහි මෙම ක්‍රමය අනුගමනය කළ බව පෙනේ. පසු කාලීනව නමස්කාරයට පසුව ආසිරි පැතීමටද පද්‍ය යොදා ගැනිණ. “සියබස් ලකර” එය මෙසේ දැක්වේ.
“වත්නිදෙස ආසී හෝ – නමකර හෝ පෙරට වේ”
කුස ජාතකයෙහි මෙම පද්‍යය නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
“සත් අත් සක් සත් සක ත්
වත් අත් තිනෙත් බර නෙත්
පත් මත් තලත් නත්
සෙත් කෙරෙත් සත් ලොවට මෙසුගත්”
සඳ කිඳුරුදාවෙහි මෙසේ සඳහන්ය.
“සතත තිසුලත් නත්
කොතත විදුරවිරත් ගත්
වතත සොමි පත් මත්
සතත සත රැක මෙසුර සෙත් දෙත්”
ගුත්තිලයෙහි සඳහන් වන ආශිර්වාදය මෙසේය.
“සුගත් මෙත් බෝසත්
විදුරත් තිනෙත් පියුමත්
ගහනත් තිනෙත් පුත්
මෙසත් සුර සත් ලොවට සෙත් දෙත්”
මෙම පද්‍ය තුනෙහිම සුබ ගණවලින් යුතුව රචිතය. පළමු පද්‍ය භූමි ගණයෙන් ආරම්භ වී පාද තුනක් එම ගණයෙන් යෙදේ. සුබ ගණ අතර භූමි ගණය ඉතා බලවත්ය. ජය, සැප සම්පත උදා කරවන්නේයැයි සඳහන් වේ. සඳ කිඳුරුදාවේ (දෙවැන්න) දේව ගණයෙනි. තෙද බල ආසිරි සැලසේ. තෙවැන්න ජල ගණය යොදා රචිතය. ආයු, ජය, දිරිය ලබා දෙන බව දැක්වේ. සපුරාම සෙත් කවි ලක්ෂණ පවතින පද්‍ය තුනකි. ආශිර්වාද සඳහා යෝග්‍ය යෙදුම් මෙහි නොඅඩුව පවතී. පළමුවන හටන් කාව්‍ය වු “කුන්ස්තන්තීනු හටන” කෘතියෙන් පසු 1803 දී සිදු වූ යුද තොරතුරු ඉංග්‍රීසි හටනෙහි දැක්වේ. වැලිගල මුදලි නම් කිවිඳුන් විසින් රචිත එහි කවියා තුළ ශාන්ති කාව්‍යය පිළිබඳ අවබෝධය ප්‍රකට වේ. එහි ආරම්භය රජතුමා රැක දෙන මෙන් දෙවිවරුන්ට ආයාචනය කිරීමෙන්ය. මෙය ආශිර්වාද කවියකි.
“සක අත සරසන උරගිඳු නිදු ඉඳු
එක දත ගුරු – ගුරු නිලඹර කුමරිඳු
සක දළ සඳ සහ දිනකර වදනිඳු
රැක දෙත ‘වික්‍රම රජසිහ’ නරනිඳු”
සටන්හි දී වික්‍රමය පෑ ශක්‍ර, විෂ්ණු සහ කඳ කුමරිඳුගෙන් රජතුමා රැක දෙන මෙන් ඉල්ලා සිටී. සෙත් කවි සඳහා යොදා ගැනෙන ඉෂ්ට අක්ෂර සුබ ශබ්ද, සුබ වචන, සුබ ගණ, සුබ යෝනි ආදියෙන් සුබ සම්මතයට අනුව රචිත පද්‍යයකි. ‘ස’ සුබ දිව්යාක්ෂරයකි. නාමය (අභිධානය) වික්‍රම රජසිහයි. ‘වි’ දිව්‍ය අක්ෂරයකි. දේව ගණවලින්ම අවසන් වන සේ (නාමය හැර) පාද යොදා ඇත. යෝනි විරුද්ධ නොවේ. ‘වික්‍රම රජසිහ’ නාම අභිධානයට යෝග්‍යව යෝනි යෙදේ. මාත්‍රා සතරින් සිවුවරක් විරාම ගැන්වී දහසය මතින් යුත් මෙය සෙත් කවියක් බඳු ලක්ෂණ පවතී. ව්‍යක්ත බස, පද හා යෙදුම් ද ජීව ගුණයක් ගෙන දේ. එහි සඳහන් තවත් පද්‍යයක් මෙසේය.
“පැහැසර සුර ගඟ, කිරණ තරඟ රඟ – යස රැස දස දිගකෙහි විහිදු
නොමහැර දස රජ දහමුත් සුසිරිත – දසට පොරණ මනු, නය පුරුදු
හැම වර ගරු කොට තබමින් මුදුනත – බැති පෙම් බැඳි තුනුරුවනෙහිදු
දිනකර කුළවර, උතුමෙක එබැවින් – ශ්‍රී වික්‍රම රජසිහ නිරිඳු”
මෙහිදී වෙනස් අයුරින් ආශිර්වාදයක් යොදා ගත් අතර රජුගේ ගුණ වැනුමින් පමණක් සෙත් කවි රීතියට අනුව මෙම පද්‍ය රචනා වේ.
එහිම රජුගේ රැකවරණය පිණිස දේව ගණයාගේ පිහිට පතා සෙත් කවියට සමාන වූ පද්‍ය දෙකක් ඉංග්‍රීසි හටනෙහි දැක්වේ. ඉහත සඳහන් පද්‍යය දේව ගණයෙන්ම අවසන් වන සේ (නාමය හැර) රචිතය. සෙත් කවි ආර සපුරා දැක්වෙන ව්‍යක්ත රචනයකි.
සෙත් කවි ආර වඩාත් දක්නට ලැබෙන, එබඳුම ව්‍යක්ත ආශිර්වාදයක් මෙසේ ය.
“පොතත් නීල ගෙල, නැබ සිරි, සරණත
කොතත් කාල කර, හිමකර, කිරණත
දිගත් පාල හැම, සුර සහ, මෙදියත
දිමුත් රාජ සිහ, නරනිඳු රැකදෙත”
සෙත, යසස වෙනුවෙන් යෝග්‍ය යැයි සැලැකෙන ‘බ’ ගණයෙන් (ජල ගණය) ආරම්භ කර දේව ගණ (‘න’ ගණය) තුනකින් පසු, ලගු මත් දෙකකින් අවසන් වනසේ රචිතය. එනම් දාස ගණයට පසුව මිත්‍ර ගණයෙනි. ධෛර්යය දෙවන බව දැක්වෙන යෙදුමෙකි.
එබඳුම සෙත් කවි ක්‍රමයට සමාන පද්‍ය පාඨ කීපයක් ඉංග්‍රීසි හටනෙන් උපුටා මෙහි දැක්වේ.
“පියුම් යාන සක දළ සඳ බරණෙත
කුසුම් බාන පිය නිළඹර සරණත”
‘බ’ ගණ සහ ‘න’ ගණ යොදා සෙත යසස පිණිස රචිත ව්‍යක්ත රචනයකි.
දේව ගණයෙන්ම අවසන් වන සෙත් පතා, සෙත් කවි ලක්ෂණ සපුරා පවතින පද්‍ය පාඨයක් මෙසේය.
“තඹර සිය සරසවිය නිළඹර – සතර වත උමයඟන තුරපති නාමය (අභිධානය) කෙරෙහිම ආශිර්වාදය යොදා ගන්නා ලද සෙත් කවි ආරට සමීප “පරංගි හටන” කෘතියෙහිදී දැක්වෙන කවියක් මෙසේය.
“සමුදුරු ගැඹුරු ගුණයෙන් යුත් පසින්දු
දිනිසුරු තෙදින් යසසින් ලොව සුරැන්දු
පුරඳුරු අයුරු අපෙ “රජසිහ” නිරින්දු
නිරතුරු පවතු ඇති තෙක් සොමි දිනින්දු”
දේව ගණ තුනකට පසු අහස් ගණය යොදා ඇතත් එය අයහපත් නොවේ.
පැරණි පද්‍ය කෘතීන්හි ආරම්භයෙහි නමස්කාරය ඉන් පසු ආශිර්වාදය ද යොදා ගැනීම පද්‍ය සම්ප්රදාය වූ බව පෙනේ.
“එළු සඳස් ලකුණෙහි ” සඳහන් පද්‍යයකි මේ.
“දිවි සතරත් මස ඉස් සුත දුන්නේ
සෙත් මග මොක් සුව පත් කර දුන්නේ
මින් දද මන් දද දප් සහ බුන්නේ
දැන් එන සත් සර සෙත් සත දෙන්නේ”
චන්ද්‍ර ගණය බහුල සෙත් කවි ලක්ෂණ පවතින රචනාවකි. මෙබඳු සෙත් කවි ලක්ෂණ දැක්වෙන රචනා බොහෝ එම කෘතීන්හි දක්නට ලැබේ.
ජ්‍යොතීර්වේදී සෙත් කවි රචක පියදාස කළන්සුරිය