නෙ වැඩ ටික නං ලස්සනට සිද්ධ වුණා.” මියුලා සිරිසෝම අසලට පැමිණ සැටිය මත හිඳ ගත්තාය. සිරිසෝම කතාවක් බහක් නොමැතිව පුවත්පතට දෑස් යොමා සිටියේය.
“තාත්තා කන්න කැමති පුඩිං, වටලප්පන්, මාෂ්මෙලෝස්, පැණි බූන්දි අතුරුපසට කිසිම අඩුවක් පාඩුවක් නැතුව දානෙට පිරිනැමුණා. ආගිය කිසිම කෙනෙක්ට කෑම බීම අතින්නම් කිසිම අඩුවක් පාඩුවක් වුණෙත් නැහැ.”යි මියුලා තොරතෝංචියක් නැතුව කියාගෙන ගියාය. එහෙත් සිරිසෝම වචනයක් හෝ කතා කළේ නැත. ඔහුට අතීතයේ සෑම සිදුවීමක්ම තිරපටක් මෙන් මැවී පෙනෙන්නට විය. මියුලා කොපමණ දානමාන පිංකම් කළත් තාත්තා ජීවත්ව සිටි කාලයේ සැලකූ ආකාරය සිරිසෝමගේ සිත් නොගත්තේය.
සිරිසෝමගේ සිතට යක්ෂයා ආරූඪ විය. බලමින් සිටි පුවත්පත ඉදිරිපිට තිබූ ස්ටූල් එක මතට වේගයෙන් දමා ගැසුවේය. අහස් කුස සිසාරා කළු වලාකුළක් පැතිරී යන්නාක් මෙන්, සිරිසෝමගේ මුහුණ අඳුරු වී ගියේය.
“අනේ මගේ කට… තාත්තා මැරෙන්න කලින් සලකපු හැටි සහසුද්දෙන් මගෙන් අහගන්න එපා. තමුසෙට වැඩිය මගේ තාත්තා ගැන මට කැක්කුමක් තියෙනවා. කට තිබුන පළියට නිකං වාචාලකමට කියවන්න එපා ඕයි…”
මියුලා කෝප වුවහොත් හැපින්නක් මෙන් මුළු දවස පුරාම එළව එළවා පහර දෙන බව සිරිසෝම සක්සුදක් සේ දැන සිටියේය. එබැවින් ඔහු කෝපය ආයාසයෙන් යටපත් කරගෙන මුහුණට සිනහවක් ආරූඪ කර ගත්තේය.
“හරි… හරි… ඔයා හරි. මං වැරදියි. කෑගහන්න නම් එපා. අහල පහල මිනිස්සුන්ට කන්දොස්කිරියාවක්…”
“ඔව්… මං අහල පහල මිනිස්සුන්ට කන්දොස්කිරියාවක් තමයි. පුළුවන්නම් මගේ කට වහන්න කියනවා…”
“හරි…. හරි හලෝ… ඕං මං මගේ කට වහගත්තා. ඔයාත් කට වහගන්න කෝ…” සිරිසෝම මියුලා ඉදිරියේ බැගෑපත් විය. ඒ මියුලගේ වචන හුවමාරුව තවදුරටත් පැවැතියහොත්, අහල පහල ඇත්තන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දී කෙළවරක් නැති බව සිරිසෝම හොඳින් දැන සිටි නිසාය. සිරිසෝමට අතීතය සිහිපත් විය.
“ඇත්තටම තාත්තාට කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද? ඔය පැණි රස ජාති වැඩිය කන්න හොඳ නැහැ. ඩයිබිටික්ස්, පේෂන්ට්ලාට ලෙඩේ වැඩිවෙයි…”යි සමහර දිනවල මියුලා තාත්තාගේ ඇඟට කඩා පැන්නේ වැලහින්නියක් ලෙසිනි. එවිට තාත්තා හිරු දුටු කදෝපැණියකු මෙන් කාමරයට රිංගා ගනී. මියුලාගේ අප්‍රමාණ නීති රීති යටතේ තාත්තා ගත කළ ජීවිතය කොතරම් කටුක එකක් දැයි සිරිසෝමට සිතිණි. ඔහු තව ටික කලක් හෝ ජීවත්ව සිටියේ නම්, උන්මත්තකයෙකු පරිද්දෙන් මියයන බවද සිරිසෝම සහ සුද්දෙන්ම දැන සිටියේය.
“කොච්චර කිවුවත් අහන එකක්යැ. පැණි රස ජාති කිවුවොත් ඇඹලයා වගෙයි… ඊට හපන් මේවා ගෙනල්ලා දෙන මිනිස්සු. පොඩ්ඩක් හිතනවාද මේවා මේ මනුස්සයාට හොඳද කියලා… කොහේද ඉතින් ගෙනල්ල දෙන එවුන්ට මේවායේ අමාරුවක් තේරෙනවයැ. ලෙඩක් දුකක් හැදුනම මම එපායැ මැරෙන්න..” සමහර දිනවල මියුලාගේ දොස් පරොස් තාත්තාට පමණක් නොව සිරිසෝමට ද එල්ල වෙයි. එවන් විටෙක සිරිසෝම ද නිහඬව සිටින්නේ නැත.
“ඔව්. ඉතින් ඒ මනුස්සයට ආසාවටවත් පැණි රස ජාතියක්වත් කන්න බැහැ. මොකද හදිස්සියෙ වටලප්පන් ටිකක් කෑවට මැරෙනවද?”
“මැරෙනවා නම් ඒකත් හොඳයි. කොහෙද ඉතින් ඒකත් වෙන දෙයක්යැ. ලෙඩ හදාගෙන දහදුක් විඳිනවා මිසක්. අන්තිමට මට තමයි සේරටම කර ගහන්න වෙන්නේ…” මියුලාගේ සිතේ තාත්තා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නැතුවාක් මෙනි. ඉවක් බවක් නොමැතිව පවසන වචනවලින් තාත්තා අනේක වාරයක් පසුතැවිලි වෙන්නට ඇත.
“උඹලා දෙන්න මම නිසා රණ්ඩු සරුවල් වෙන්න ඕන නැහැ. මං වැඩි දොහක් ජීවත් වෙන එකක් නැහැ. මැරිලා යාවි…” තාත්තාගේ වචනවලින් සිත පෑරෙන්නේ, මියුලාගේ නොව සිරිසෝමගේය. මේ සියල්ලටම මුල තමා නොවේදැයි සිරිසෝමට සිතුණි.
රජයේ සේවකයකු වීම කොපමණ පාප කර්මයක්දැයි සිරිසෝමට වරෙක සිතුණි. ඒ පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් වැටුපක් නොලැබුණු නිසාය. ලැබුණු සොච්චම් වැටුප ද තාත්තාගේ බෙහෙත්වලටත්, පුතාගේ අධ්‍යාපන කටයුතුවලටත්, එදිනෙදා පවුලේ කටයුතුවලටත් ප්‍රමාණවත් නොවීය. ඒ හේතුව නිසාම ඔහුට සිදුවූයේ, විවිධ මූල්‍ය ආයතනවලට ණය වීමටයි. දැනට ලබන මාසික වේතනයෙන් හරි අඩක්ම වියදම් වන්නේ ද ණය වාරික ගෙවීමටය. මෑතක සිට සිරිසෝමට හොස්ස ළඟින් මැස්සා ගියත් කෝපයක් හටගන්නේ, මේ ආර්ථික අහේනිය නිසාය.
“අම්මපා මියුලා… එක් කෙනෙක් ආණ්ඩුවේ රස්සාවක් කරලා මේ සම්මත් ජාතියේදී පවුලක් නඩත්තු කරන්න බැහැ. මීට වැඩිය හොඳයි කසාද නොබැඳ තනිකඩව ජීවත් වුණානම්…”
“කවුද ඉතින් තනිකඩව ඉන්න එපා කිවුවෙ. මං යාළු කරගෙන කසාද නොබැන්දා නම් ඔයාට කොච්චර සන්තෝසයෙන් ඉන්න තිබුණාද?”
“ඔයා මොනවා කියනවද මියුලා, ඒ කාලේ අද වගේ නොවෙයි. ගත්තු පඩියෙන් හොඳට කාලා බීලා විනෝද ගමන් බිමන් ගිහිල්ලා තවත් මුදලක් ඉතුරු කරගන්නත් පුළුවන්. මියුලාට මතකද මගේ පළමු පඩිය කීයද කියලා? රුපියල් නමසිය පණහයි. මොකද එදා අපි හොඳට කාලාබීල ඇඳල පැලඳලා හිටියෙ නැද්ද? අපට අද වගේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒක ඉතින් ඔයත් දන්නවා නේද? අද හැමදේම ගණන්. මැරි මැරී තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.” සිරිසෝමට අතීතයේ කළ කීදේ සිහිපත් වෙයි.
“පුතා කෝ මේ ළමයා… මෙහාට එනවා. මොනවද සීයාගේ කාමරේ ඉඳගෙන කරන්නේ…?”
“සීයා පැණි බූන්දි ටිකක් ඉල්ලුවා අම්මේ… මං ටිකක් දුන්නා.”
“මොනවා… තාත්තාට වඩා හොඳයි පුතා. සීයාට පැණි බූන්දි කවලා ලෙඩ හදන්නද ලෑස්තිය. කන්න බැරි නම් මෙන්න මෙහාට දෙනවා ඕක…”
දිනක් මියුලා සිරිසෝම පුතාට ගෙනවිත් දුන් පැණි බූන්දි පාර්සලය උදුරා මිදුලට වීසි කළාය. දරුවාගේ කනෙන් අල්ලා අඬන තුරු මිරිකුවාය.
“මොකද මියුලා ඔය ළමයාට කරන්නේ? මමයි දරුවාට පැණි බූන්දි ගෙනැත් දුන්නේ. මට බනිනවා. ඔයා හරියට කුඩම්මා කෙනෙක් වෙන්න එපා. අපේ දරුවාට අපි සලකන්න ඕන. මට කොච්චර ආර්ථික අපහසුකම් තිබුණත් පුතා කන්න කැමැති දෙයක් ගෙනැත් දෙන එක මගේ යුතුකමක්. වගකීමක්…”
“ඔව්… ඔව් වගකීමක්.. වගකීමක් කවුද නැහැ කිවුවේ? දරුවාට ගහන්න එපා නම් දැනගන්න ඕන මේවා සීයාට නොදෙන විදිහට වැඩ කරන්න. පුතාත් තාත්තා වගේමයි. අර මනුස්සයාට මේවා කවලා ලෙඩ හදන්නද ලෑස්තිය.’
එදා මියුලාත්, සිරිසෝමත් අතර ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් තාත්තාගේ සිත පෑරෙන්නට ඇත. හවස්වන විට තාත්තාගේ අසනීප තත්ත්වය උග්‍ර වී ඔහුට කතා කර ගැනීමටවත් නොහැකි විය.
“ඔය කරල තියෙන්නේ තාත්තයි, පුතයි දෙන්නා එකතු වෙලා. දැන් ඉතින් ගිහින් බෙහෙත් අරගෙන එන එකයි ඇත්තේ…” මියුලාගේ කතාවට සිරිසෝමට යකා නැග්ගේය. ඔහුගේ සිතට ආ කෝපය බුර බුරා නගින ගිනි ජාලාවක් මෙන් ඇවිළී ගියේය.
“කට වහගෙන හිටපිය… ප.. පරට්ටි… හැම දේකටම වැරදි මමයි දරුවයි. උඹ විතරක් සුදනා…” සිරිසෝමගේ කෝපය නැවතත් ඉහවහා ගියේය. ඔහු ගේ පෙරළෙන තරමින් අඩි පොළවේ හප්පා කෑ ගැසුවේය.
ඔහු වහාම වාහනයක් ගෙනවිත් තාත්තා දොස්තර මහතා ළඟට ගෙන ගියේය. ඒ වනතුරුම මියුලා වචනයක් හෝ මුවින් පිට නොකළාය.
වෛද්‍යවරයා ලෙඩා හොඳින් පරීක්ෂා කළේය. “ලෙඩාට කිසිම අමාරුවක් දැනගන්න නැහැ. ඒත් ලෙඩාට විවේකය අවශ්‍යයි. සතුටින් විනෝදයෙන් ඉන්න දෙන්න. හිතේ අමාරුවට තමයි මෙහෙම වෙන්නේ.”
“ඩොක්ටර්… කෑම අපත්තියක් වෙලාද?” මියුලා ඇසිය යුතු ප්‍රශ්නය විමසුවේ සිරිසෝමය.
“නැහැ… නැහැ… එහෙම දෙයක් දැනගන්න නැහැ. දිනපතා ගන්න බේත් ඒ විදියටම ගන්න. ඉල්ලන දෙයක් කන්න බොන්න දෙන්න. හිතේ සතුටින් ඉන්න දෙන්න. ප්‍රශ්න ගැටලු ගැන හිතන්න දෙන්න එපා.”
දොස්තර මහතාගේ වචනයෙන් සිරිසෝමගේ සිතට මඳ අස්වැසිල්ලක් දැනුණි. ඔහු යටි සිතින් සතුටු විය.
“ඩොක්ටර්… තාත්තා ඩයිබිටික්ස් පේෂන්ට් කෙනෙක්. කොච්චර කිවුවත් අහන්නෙ නැහැ. පැණි රස ජාතිමයි කන්නෙ…” මියුලා සිතේ ගුළිවී තිබුණු අදහස් දොස්තර මහතා ඉදිරියේ දිග හැරියාය.
“නැහැ… නැහැ… එහෙම අමාරුවක් දැනට දැන ගන්න නම් නැහැ. ලෙඩා ඉල්ලන දෙයක් කන්න දෙන්න. ඕනම දෙයක් වැඩිපුර ගත්තොත් නම් හොඳ නැහැ. වයසත් එක්ක තාත්තා කෑමත් ටිකයිනේ ගන්නවා ඇත්තේ..?”
“ඩොක්ටර්ට වැරදිලා. ලෙඩේ අල්ලගන්න බැරි වෙලා වගෙයි. නැත්නම්, මේ වගේ ලෙඩෙකුට ඕන දෙයක් කන්න දෙන්න කියනවාද?”
මියුලා ගෙදර එන ගමන් කීවේ, සිරිසෝමට ඇසෙන පරිද්දෙනි. එහෙත් සිරිසෝම ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. නෑසුනාක් මෙන් නිහඬව සිටියේය.
එහෙත් දින කිහිපයක් නිරාහාරව සිටි තාත්තා අවසන් හුස්ම හෙළුවේ සිරිසෝමගේ සිතේ කනගාටුවක් ද ඇති කරවමිනි. ඔහු තාත්තා කෑමට ප්‍රියකළ විවිධ ආහාරපාන ගෙනවිත් දුන්නද ඒවා සියල්ලක්ම ප්‍රතික්ෂේප කළේය. අවසානයේ සිරිසෝම ආහාරමය පෝෂ්‍යදායී දියර පාන වර්ග ද තාත්තාට ගෙනවිත් දුන්නේය. එහෙත් ඒවායින් ද කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් නොලැබූ බවද සිරිසෝමට වැටහුණි. කොපමණ අගහිඟකම් තිබුණත් දරුවකු විසින් කළ යුතු උපරිම යුතුකම් නොවලහා ඉටුකළේ යැයි සිරිසෝම හදවතින්ම සතුටු විය.
“තමුසේ මෙච්චර කලක් මැරෙන්න හැදුවානේ. දැන් ඉතින් සතුටු වෙනවා. පැණි රස ජාති නොවෙයි බත් කටක්වත් ඒ මනුස්සයාට අවසාන කාලෙ කවා ගන්න බැරි වුණා…”
සිරිසෝම සිංහයකු මෙන් මියුලාගේ ඇඟට කඩා පැන්නේය. එහෙත් මියුලා සිරිසෝමට එරෙහිව වචනයක් හෝ කතා නොකළාය.
“මේ… මේ… ඔයාට ඇහුනද? දානෙ වැඩ ටික නම් නියමෙට කළා. ඔයා ඒ ගැන මොකක්ද හිතන්නේ?” මියුලාගේ කට හඬින් සිරිසෝමගේ කල්පනා ලෝකය බිඳී ගියේය.
“ජීවත්ව ඉන්න කොට කන්න නොදුන්න දේ මැරුණාට පස්සේ දානෙට දීලා හරියනවාද යකෝ…” යි කියා සිරිසෝමට කෑගසා කීමට සිත් වුවත්, එය දැඩි ආයාසයෙන් මැඬ ගත්තේය.
“මේ… ඔයාට ඇහුනද?”
“ඔව්… ඔව්… ඇහුණා.. ඇහුණා.”
“දානේ ගැන මොකක්ද හිතන්නේ?”
“හිතෙන්නෙද?”
“ඔව්… ඔව්…”
“ඔව් ඉතින් ඒ මළ දානෙත් ඉවරයි නේදැ?”යි කියමින් සිරිසෝම දිග හුස්මක් පිටකර, ස්ටූලය මත තිබූ පත්තරය අතට ගෙන එයට මුහුණ ඔබා ගත්තේය.
අම්බලන්ගොඩ සමරනායක