Home » බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළ දිවා ගුහාව

බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළ දිවා ගුහාව

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

දොළොස්මස්ථාන වන්දනා කරන ගාථාවෙහි පස්වන පූජනීය ස්ථානය ලෙස දැක්වෙන්නේ දිවා ගුහාවයි. බුදුරජාණන් වහන්සේ තුන්වන වර මෙරටට වැඩම කළ අවස්ථාවෙහි උන් වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි ස්ථාන සොළොස්මස්ථානයන්ට අයත් අතර, එහි පස්වන ස්ථානය වන්නේ දිවා ගුහාවයි. බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් ශ්‍රී පාදස්ථානයට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය කළ ස්ථානය දිවා ගුහාව ලෙස හැඳින්වූ අතර, එම ස්ථානය සොයා ගැනීමට නොහැකි ස්ථානයක් බවට මතයක් පැවතුණි. දිවා ගුහාව සම්බන්ධ මති මතාන්තර රැසක් පැවතුණු අතර, ඒ අතරින් එක් ස්ථානයක් වන්නේ හැටන් – නල්ලතන්නිය මාර්ගයේ හමුවන මහගිරිදඹට පසුව හමුවන භගවා ලෙනයි.‍

බුදුරජාණන් වහන්සේ සමනල ගිරි මුදුනට වැඩම කළ පසු වෙහෙස නිවා ගනු පිණිස මෙන්ම සමවත් සුවයෙන් දිවා විහරණය කළ ස්ථානය එලෙස හැඳින්වෙන අතර සබරගමුවේ ඓතිහාසික ස්ථාන හා නටබුන් ගවේෂණය කළ පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල නාහිමියන් 1942 දී ‘සපරගමුවේ පැරැණි ලියවිලි’ කෘතියේ ඒ සම්බන්ධයෙන් මෙසේ දක්වා තිබේ.

‘සිරිපා මළුවේ සිට හැටන් පාර දිගේ අඩි 300ක් පමණ බසින විට මාවත වම්පස අඩි අටහමාරක් උස, අඩි විසි පහක් පමණ දිග හා එපමණ අවකාශ ඇති කොටසක් හාරා පළල් කළ ක්‍රමයෙන් නැමී ගිය රමණීය ගල් ගුහාවකි. සුමන සුරිඳුගේ ආරාධනයෙන් සමන් කූටය මත සිරිපා ලකුණ තැබූ තථාගතයන් වහන්සේ දිවා විහරණය කළ සේක් පර්වත පාදයෙහි නුදුරින් පිහිටි තෙල, ගල් ගුහාවෙහි යැයි සිතිය හැක.”

කිරිඇල්ලේ ඥානවිමල නාහිමියන් විසින් එසේ පළ කළ මතයට අනුව එය කලක සිටම එය ‘භගවා ලෙන’ නමින් හැඳින්වීය. එමෙන්ම නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රි.ව.1187 – 1196) රුව හා සෙල්ලිපි නිසාත් බොහෝ දෙනා එය ‘භගවා ලෙන‘ –‘භගවත් ලෙන‘ හෙවත් ‘දිවා ගුහාව’ ලෙස සලකන ලදී.

එමෙන්ම මහනුවර සමයේ රචිත ‘කැටකිරිලි සංදේශයේ’ භගවා ලෙන හමුවන්නේ සීත ගඟුලටත්, ආඩියාමල තැන්නටත් අතර බව සඳහන් කර තිබේ.

එසේ වුවත් දිවා ගුහාවේ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් කල් ගත කරන ලද්දේ රහතන් වහන්සේ 500 නමක් සමඟ වන හෙයින් භගවා ලෙන එම ස්ථානයදැයි සැක සහිත බවක් පැන නැඟුණි. එම ස්ථානයේ රහතන් වහන්සේ සිය ගණනක් වැඩ සිටිය හැකි ස්ථානයක් නොවීම ඊට හේතුවයි.

එමෙන්ම දිවා ගුහාව කූරගල වන සෙනසුනේ පිහිටි බවට පසු කලෙක මතයක් පැන නැඟුණි. කූරගල ඇත්තේ ‘දිවා ගුහාව’ බව ‘කූරගල ශ්‍රී පාද දිවා ගුහාව’ යන කෘතියේ පහත පරිදි දක්වා තිබුණි.

“බුදුරජාණන් වහන්සේ සිරිපතුල් පිහිටු වූ ස්ථාන අතරින් වැදගත්ම ස්ථානය ලංකාද්වීපයයි. එහිදි දිවා විහරණය කළ ස්ථානය ඒ තරමටම වැදගත් වේ. නැවත මෙම කූරගල තාණ්ඩු ල්‍යෙක එක පබ්බතය කසාවතින් බබළන දිනය වැඩි ඈතක නොවේ…..‘

එහෙත් කූරගල සිරිපා අඩවියට සැලකිය යුතු දුරකින් පිහිටා තිබීමත් එම ස්ථානයේද භගවා ලෙන මෙන්ම රහතන් වහන්සේ 500 නමකට එක්වර සමවත් සුවයෙන් වැඩ සිටීමට හැකි පරිදි අවකාශ තිබුණේදැයි ඇති වූ මති මතාන්තර මෙන්ම වෙනත් කිසිදු ඓතිහාසික සාධක නොමැතිවීමත් නිසා එම මතයද පිළිගැන්මට ලක් නොවුණි.

එහෙත් බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය මහ නා හිමියන් විසින් 1995 වසරේදී උන් වහන්සේ විසින්ම සොයා ගත් කරුණු පදනම් කරගෙන රත්නපුර කුරුවිට කොට්ඨාසයේ එරත්න පාරේ පිහිටි බටතොට ලෙන දිවා ගුහාව විය හැකි බවට සාක්ෂ්‍ය රැසක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ ඇස ඒ කෙරෙහි යොමු විය.

බටතොට ලෙනෙහි ඉතිහාසය පොලොන්නරුව යුගය දක්වා දිව යයි. පොලොන්නරුවේ නිශ්ශංකමල්ල රජු මෙම දිවා ගුහාවේ විහාරයක් කරවා කේරළයෙන් පැමිණි ඇමැතිවරයකුට එහි වගකීම් භාර දුන් බවත්, ඔහු සමඟ පැමිණි කේරළ පිරිස, ඒ අසලම තවත් ලෙනක පදිංචිව සිටි බවත් ජනප්‍රවාදයන්හි දැක්වේ. එහෙත් එම ඇමැතිවරයා විසින් එහි සිටි රූමත් රත්නවල්ලි නම් කුමරියක් ලෙන ඉදිරිපිටදී කිසිදු හේතුවක් නොමැතිව මරා දැමූ බවත්, ඇය මිය යන අවස්ථාවේ වෛරී සිතුවිල්ලෙන් පසු වූ බවත්, ඇය මරණින් මතු යක්ෂණියක්ව ඉපිද එම ලෙන් විහාරයට අරක් ගත් බවත්, ඇයගේ ඒ යක්ෂ ආත්මය නිසා ජනතාව එම පෙදෙසට නොපැමිණි බවත් වාර්තා වේ.

ඒ නිසා බටතොට ලෙන් පරිශ්‍රය ජනතාවගෙන් ඈත්ව ජනශුන්‍ය වී ඇති අතර, පසුව එය වනගත පෙදෙසක් බවට පත්ව තිබේ. කණ්ඨමාලි නමින් හඳුන්වන්නේ මේ කුමරියම බව සඳහන්ය.

එයින් වසර 700කට පමණ පසු යක්ෂ දෝෂය පිළිබඳව දැන ගත් සුභූතිතිස්ස නම් හිමිනමක් 1908 වසරේදී එහි වැඩම කර ලෙන් කෙළවර දේවාලයක් ගොඩනඟා එම යක්ෂණියට සිදුවී ඇති අසාධාරණය පෙන්වීමට දෙවොල තුළ තනා තිබූ ‘විනිශ්චය සභාවක්’ දැක්වෙන පිළිම අලුත්වැඩියා කර ඇත.

සුභූතිතිස්ස හිමියන්ගේ අපවත් වීමෙන් පසු යළි වනගත වූ බටතොට ලෙන විහාරයට බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය මහ නාහිමියන් 1995 වසරේ ඔක්‌තෝබර් මස 15 වැනිදා වැඩම කරන අතර එය බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළ දිවා ගුහාව විය හැකි බව ප්‍රකාශ කළහ. ආනන්ද මෛත්‍රේය නාහිමියන්ගේ උපදෙස් අනුව එහිදී මහා සංඝයාට දානයක් පුදා යක්ෂණියට පින් අනුමෝදන් කළ පසු එම ලෙන් භූමියට අරක්ගෙන සිටි යක්ෂණිය එම ආත්මයෙන් මිදුණු බවත් ඇය වෙනුවෙන් නුග රුකක් සිටුවා ඇයට වෙන්කර දී ඇති බවත් පැවසේ.

බටතොට ලෙන තුළ 21 රියන් බුදු පිළිමයකි. එහි නේත්‍රා පිහිටුවා ඇත්තේ ශ්‍රී පාදස්ථානය දෙස බලා සිටින අයුරිනි. ඉපැරැණි සත් රියන් බුදු පිළිමයක් ද එහි වැඩ හිඳී. දහවල් කාලයේදී ඉතා හොඳින් ලෙන තුළට හිරු එළිය පතිත වීම එහි ඇති සුවිශේෂත්වයයි. ගල්ලෙන පිහිටි ස්ථානය, ශ්‍රී පාදස්ථානයට මුහුණ ලා ඇති ආකාරය සහ එහි පෙනුම ආදිය ගැන සලකා බලන විට මෙය දිවා ගුහාව විය හැකි යැයි ආනන්ද මෛත්‍රේය මහ නා හිමියන්ගේ නිගමනය නිවැරැදි බව වැටහී යනු ඇත.

පසු කලෙක සබරගමු අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශ්වයේ මහනායක කරවිට පියනන්ද නා හිමියන් විසින්ද මේ බටතොට ලෙන සම්බන්ධ දිවා ගුහාව විය හැකි බවට පෙන්වා දී තිබුණි. එමෙන්ම කෑගලු දිසාවේ අධිකරණ සංඝනායක ධුරය දැරූ මෙනේරිපිටියේ චන්ද්‍රරතන නාහිමියෝද දිවා ගුහාවේ බහු ලක්ෂණ බටතොට ලෙනෙහි ඇති බවට පැවසූහ.

වත්මන් බටතොට ලෙන් විහාරාධිපති රාස්සගල චන්ද්‍රකීර්ති හිමියන් පවසන්නේද බටතොට ලෙන දිවා ගුහාව ලෙස සලකන්නට ආනන්ද මෛත්‍රේය හිමියන් පෙලඹෙන්නට හේතු වූ කරුණු රැසක් ඇති බවයි.

‘‘ දිවා කර නමින් හඳුන්වන්නේ සූර්යයා. දිවා කළ මෙන් එළිය වැටෙන ස්ථානය දිවා ගුහාව ලෙස හැඳින්වන්නට ඇති. අද වුණත් උදෑසන බටතොට ලෙනට උදෑසන නැඟෙන හිරු එළිය වැටෙනවා මෙන්ම පස්වරුවේ සිරිපා කඳු පන්තියට වැටෙන හිරු එළිය පරාවර්තනය වෙලා ලෙනට වැටෙනවා.

ඒ වගේම බුදු රජාණන් වහන්සේ වැඩම කළේ රහතන් වහන්සේ 500 නමක් එක්ක. ඒ නිසා 500නමකට වැඩ ඉන්න හැකියාව තියෙන ලෙනක් විය යුතුයි. බටතොට ලෙන එසේ 500නමකට වැඩ සිටිය හැකි ස්ථානයක්.

ඒ වගේම දිවා විහරණය කළ ස්ථානයක නම් ජල පහසුකම් තියෙන්න ඕන. ලෙනේ එක් කොනක වසර පුරාම ජලය වැක්කෙරෙනවා. එම නිසා ජල පහසුවත් තියෙනවා.

ඒ වගේම දිවා ගුහාව වන්දනා කරන ගාථාව ගැන අවධානය යොමු කළත් අපට තවත් යමක් වටහා ගත හැකියි.

“ඛීනා සවෙහි සහපඤ්ච සතෙහි ගන්ත්වා 
යස්මිං අකාසි භගවා සදිවා විහාරං
සංඵුල්ල සාල සුමනාචලපාද දේසේ
වන්දේ සුසීතල මහං භගවා ගුහංතං…”

මේ ගාථාවෙන් කියැවෙන්නේ

‘රහතන් වහන්සේ 500 නමක් සමඟ වැඩම කොට, යම් තැනක භාග්‍යවතුන් වහන්සේ දිවා විහරණය කළේද, සල්ගස්වලින් පිරීණු භූමියක සමන්තකුට පර්වතය පිහිටි ප්‍රදේශයේහි සිසිල් බවින් යුක්ත දිවා ගුහාව මම වඳිමි. ‘

ඒ අනුව සුසීතලං (සිසිල් බවින් යුක්ත) හා සල්ගස්වලින් පිරුණු ලෙනක් ලෙස ලෙන පෙන්වා දිය හැකිය.

අද වුවද ලෙන අසල සල් ගස් පිරී තියෙනවා. ඒ අනුව එකලද සල් ගස්වලින් පිරී ගිය ස්ථානයක් ලෙස මේ ස්ථානය හඳුන්වා දිය හැකියි. ඒත් සමඟම සමන්තකූට පර්වතය අසලම යන්නත් මෙයින් පැහැදිලියි. ඒ අනුව දිවාගුහාව මේ ලෙන බවට ඇති සාධක බොහෝමයක් තිබෙන බව අපට වටහා ගැනීමට පුළුවන්.

එමෙන්ම දිවා විහාරයට ‘බැස්සා වූ තොට‘ බටතොට නමින් හඳුන්වා තිබෙන බවත් මෙහිදී කියැවෙනවා. බොහෝ දෙනා දිවා ගුහාව හඳුන්වා දෙන්නේ පහසුවෙන් ළඟා විය නොහැකි ස්ථානයක් ලෙස අතීතයේ සිට පැවති බවයි. එයටද හේතුවක් තියෙනවා. නිශ්ශංකමල්ල රජ සමයේ කණ්ඨමාලි නම් කුමාරිකාවක් මේ ස්ථානයේ මරා දමා ඇති බවත් ඇය යක්ෂණියක්ව උපත ලබා යක්ෂ ආත්මයේ සිදුකළ බලපෑම් නිසා එම ස්ථානයට යාමට නොහැකි වූ බවයි, මෙහිදී අනාවරණය වී ඇත්තේ. ඒ බව ආනන්ද මෛත්‍රේය හිමියන් විසින් දැන ගැනීමෙන් පසුව ඇය වෙනුවෙන් භූමියක් වෙන් කර කිරිපලු නුග රුකක් රෝපණය කළ බවත් කණ්ඨමාලිගේ යක්ෂ ආත්මයට පින් අනුමෝදන් කළ බවත් වාර්තා වනවා. ඒ අනුව 1995 වසරේ සිට ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට කටයුතු කර තිබෙනවා.

ආනන්ද මෛත්‍රේය මහනා හිමියන්ගේ වැඩම කර බුදු රජාණන් වහන්සේ දිවා විහරණය කළ ස්ථානය බටතොට ලෙන ලෙසින් සොයා ගැනීමෙන් පසුව ජනතාව වන්දනා මාන පිණිස එහි පැමිණීම ආරම්භ කර තියෙනවා. එතැන් සිට අද දක්වාම වන්දනාකරුවන් බටතොට ලෙන වෙත පැමිණීම සිදු වෙනවා.

දිවා ගුහා විහාරයට පිවිසෙන දොරටුව අසල අඹා ඇති රූප පෙළක් දකින්න පුළුවන්. ඒ අතර විෂ්ණු දෙවියන්ගේ ඇතුළු දේව රූප මණ්ඩලයක් තියෙනවා. ඒ වගේම තවත් කුමාරවරුන් දෙදෙනකුගේ රූපත් අඹා තියෙනවා. මේ සියලු රූප අඩි 4ක් 5ක් පමණ උසින් යුත් පැරැණි රූප. ඒ වගේම කණ්ඨමාලිගේ සිතුවමක්ද එහි දක්නට තියෙනවා. ඇයගේ හිසෙන් ඉහළට ඇදී එන සුදුපාට නයෙක් එම සිතුවමේ දකින්න පුළුවන්. ඒ කියන්නෙ ඇය වෛරයෙන් ඉන්න බවක්. දේව මණ්ඩලයක් විසින් විනිශ්චය කරන බවක් එහි දකින්න තියෙන්නේ.

මේ පිළිම පොලොන්නරු යුගයේදී ආරම්භ වූ බවත් ඉන් පසුව වරින් වර ප්‍රතිසංස්කරණය කරන පද ඒවා බවත් පෙනෙන්නට තියෙනවා. අවසන් වරට මහනුවර යුගයේදී එම පිළිම ප්‍රතිසංස්කරණය කර ඇති බවත් පැහැදිලියි. විහාරය ඇතුළත ප්‍රතිමා අඹා ඇත්තේ නිශ්ශංකමල්ල රජු සමයේ බවට සාධක තියෙනවා. ඒ සෑම චිත්‍රයකම මෙන් සල් මල් දකින්න පුළුවන්. සල් මල් අතින් රැගෙන රහතන් වහන්සේ ගුවනින් වැඩම කරන තත්ත්වයක් දකින්න පුළුවන්. ඒ සමඟම ගෙම්බෙකුගේ රුවක් මැද ඇති කුඩා විලක් දැකගන්නට පුළුවන්. එම විලේ බහිරව දෝෂයක් ඇති නිසා ඒ දෝෂය මඟ හැරීම පිණිස බහිරව සංකේතයක් වන ගෙම්බා ඒ වෙනුවෙන් යෙදූ බවටයි වාර්තා වන්නේ.‘‘

දිවාගුහාව යන්න බුදුරජාණන් වහන්සේ විසින් දිවා විහරණය කළ ස්ථානය බවට වූ විශ්වාසය නිසා බටතොට ලෙන අවට බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් රැසක් මූර්තිමත් කර ඇත. ඒ අතර දුෂ්කර ක්‍රියාව මෙන්ම, දෙව්දත් තෙර ගල් පෙරළීම, දහම්සොඬ ජාතකය, මහා කපි ජාතකය මෙන්ම සිරිසඟබෝ රජු හිස දන්දීම, මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලයට වැඩම කිරීම ඇතුළු තවත් විශේෂිත අවස්ථාවන් රැසක් මූර්තිමත් කර තිබේ. ඒ සියල්ලම සිසිල් සුව විඳිමින් නැරඹිය හැක්කේ අප පෙර කී ලෙසින්ම නිතරම බටතොට ලෙන සිසිල් බවින් යුක්ත නිසාය. සමනල කඳු පන්තියට ආසන්නයේම බටතොට ලෙන පිහිටා ඇති නිසාය.

බටතොට ලෙන මෙතරම් සාධක සහිත වුවත් බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර සිරි පතුල පිහිටුවා දිවා විහරණය කළ දිවා ගුහාව බටතොට ලෙන බවට ස්ථිර වශයෙන් ප්‍රකාශ කර නැත. එහෙයින් දිවා ගුහාව කුමන ස්ථානයදැයි යන්න පිළිබඳව තවමත් ඇත්තේ මතභේදාත්මක තත්ත්වයකි.

දිවා ගුහාව ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රාචීන භික්ෂු විද්‍යාලය

බටතොට ලෙන අයත් භූමි භාගයේ විහාරාධිපති රාස්සගල චන්ද්‍රකීර්ති නා හිමියන්ගේ මූලිකත්වයෙන් මේ වන විට පිරිවෙණක් ආරම්භ කර ඇත. දිවාගුහාව ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රාචීක භික්ෂු විද්‍යාලය නමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරන මේ පිරිවෙණෙහි ප්‍රාචීන, මධ්‍යම හා අවසාන විභාග කටයුතු ආරම්භ කර ඇත.

දිවා ගුහාව වන්දනාව පිණිස පැමිණෙන වන්දනාකරුවන්ගේ දායකත්වයෙන් එම පිරිවෙණ පවත්නවාගෙන යන බව පරිවේණාධිපති රාස්සගල චන්ද්‍රකීර්ති නා හිමියෝ පවසති.

භික්ෂූන් වහන්සේගේ දානමාන කටයුතු පවා සිදු කරන්නේ එම වන්දනාකරුවන්ගෙන් ලැබෙන්නා වූ දායකත්වයෙන් බව චන්ද්‍රකීර්ති හිමියෝ පවසති.

පිරිවෙන් අවසාන විභාගය සමත් ආචාර්යවරුන් පමණක් මෙහි ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් යොදා ගන්නා අතර සාමණේර හිමිවරුන්ට අන්තර්ජාතික තලයට යා හැකි ලෙසින් අධ්‍යයන කටයුතු සිදුකිරීම මෙහි අරමුණ වේ.

විශේෂයෙන්ම ඉංග්‍රීසි බසින් දහම් දෙසීම මෙන්ම වත් පිළිවෙත් ඇතුළු සියලු දහම් කරුණු මේ පිරිවෙණ හරහා සිදු කරන්නට කටයුතු කර තිබේ.

බටතොට ලෙනට මාර්ගය

පෞද්ගලික වාහනයකින් යන්නේ නම් කොළඹ – රත්නපුර මාර්ගයේ කුරුවිට හන්දියෙන් වමට හැරී කුරුවිට – එරත්න මාර්ගයේ කිලෝ මීටර 7ක් පමණ ගිය විට හමුවන බටතොට හන්දිය හමුවන අතර එතැන් සිට බටතොට ලෙනට කිලෝමීටර් 2ක් ගමන් කර බටතොට ලෙනට ළඟා විය හැකිය.

බස් රථයකින් යන්නේ නම් කොළඹ රත්නපුරය මාර්ගයේ මාර්ග අංක 3 (ඇඹිලිපිටිය / රත්නපුර) හෝ මාර්ග අංක 98 (මොනරාගල) මාර්ග අංක 99 (බදුල්ල) බස් රථයකින් ගොස් කුරුවිටෙන් බැස එතැන් සිට මහවත්ත හෝ එරත්න බස් රථයකින් බටතොට හන්දියට ගොස් එතැන් සිට කිලෝමීටර් 2ක් පා ගමනින් යා යුතුය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division