ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන කියමන ඇතැම් අවස්ථාවලදී වෙනස් කරන මිනිසුන් මේ ලෝකයේ කොතෙකුත් ඇත. වෛද්‍ය පුෂ්පික ද සිල්වා එවන් සුවිශේෂි මිනිසෙකි. ඔහු පිළිබඳව අප නෙත ගැටුණේ මුහුණු පොතෙනි. ඒ අපූර්ව මිනිසා ගැන මුහුණු පොතේ සටහන් තබන්නේ වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න විසිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ නේක විධ හද සසල කරවන සටහන් මේ දිනවල මුහුණු පොතේ කොතෙකුත් දක්නට ලැබෙයි; නමුත් මේ වෛද්‍ය පුෂ්පික පිළිබඳ වූ ඒ සටහන නම් එවැන්නක් නොවේ.
මුහුණු පොතෙන් නෙත ගැටුණ මේ ජීවකයා රාජකාරි ඉසව්වෙන් ඔබ්බට ගොස් තම වෛද්‍ය වෘත්තියෙන් එහා ගිය කාර්යක් වෙනුවෙන් කැප විය. මුහුණු පොතේ සටහන් අතරින් ඔහු සුවිශේෂ වූයේ ඒ හෙයිනි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවට අනුයුක්තව සේවය කරන වෛද්‍ය පුෂ්පික ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන අංශයට අදාළ සේවාවේ සියලුම ක්‍රියාකාරකම් සිදු කරයි. මේ පරිගණක දත්ත පද්ධතිය නිර්මාණය කෙරෙන්නේ ඔහු අතිනි. තම වෘත්තිය අබිබවා ගොස් ඔහු රුධිර පාරවිලයන අංශයේ ඇති අර්බුද පරික්ෂා කර එය රුධිර පාරවිලයන විද්‍යාව සහ න්‍යායාත්මක දැනුමත් තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමත් උපයෝගි කර ගනිමින් මේ දත්ත පද්ධතිය දැඩි පරිශ්‍රමයකින් සකස්කර ඇත. වෛද්‍ය විද්‍යාවට අදාළ නොවුණ ද මේ දත්ත පද්ධතිය සකස් කිරීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව පූර්ණ නිවැරැදි හැදෑරීමකින් අනතුරුව ඔහු මේ පරිගණක මෘදුකාංග පද්ධතිය සකස් කර ඇත.
කෙසේ වෙතත් ඇතැම් මිනිසුන් විසින් පුද්ගලික වාසි තකා උවමනාවෙන් මඟ හැර යන දේ ඇතැම් මිනිසුන් තමන්ගේ ජීවිතයේම කොටසක් බවට පත් කොට ගනී. වෛද්‍ය පුෂ්පික එවැන්නෙකි. එවැනි මානුෂිය හැඟීම් පෙරදැරි කර ගෙන ඇති මිනිසුන් මූල්‍ය වාසි හෝ වෙනත් ප්‍රතිලාභවලට රාජකාරිය ලඝුකොට නොගනී. සිය යුතුකම වගකීම සේ සලකා ඔවුහු රාජකාරිය දේවකාරියක් සේ සලකති. මුදල පමණක් අගයන සමාජයක එවැනි සාධුශීලි ගති පැවැතුම් ඇති මිනිස්සු මූල්‍ය ප්‍රතිලාභ නොතකා තම ශ්‍රමය කාලය අන් අයගේ ජීවිත වෙනුවෙන් වැය කරති. වෛද්‍ය පුෂ්පික සුවිශේෂ වන්නේ ද තවෙකකු වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් වර්තමානයේ දුර්ලභ නිසාවෙනි. මේ සටහන මුහුණු පොතේ වෙන් කෙරුණේ ද එවැනි මිනිසකු වන වෛද්‍ය පුෂ්පික වෙනුවෙනි.
“සාමාන්‍යයෙන් අපේ රටේ අගය කළ යුතු මිනිසුන්ව අගය කෙරෙන්නෙ හරිම අඩුවෙන්. මම අද මේ ලිපිය ලියන්නෙ අන්න ඒ වගේ විශිෂ්ට වෛද්‍යවරයෙක් ගැන ඇගැයීමක් කරන්න. ඇත්තෙන්ම අපි අගය කළ යුතු මිනිසුන්ව නිර්ලෝභීවම අගය කළ යුතුයි. ඔහු මට මුණගැහිලා තියෙන්නෙ එකම එක වතාවක් වුණත් ඒ අසාමාන්‍ය නිහතමානීකමට මම අදටත් ගොඩක් ගරු කරනවා.
ඔහු වෛද්‍ය පුෂ්පික ද සිල්වා. සේවය කරන්නෙ කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවට අනුයුක්තව. ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවයේ සියලුම කටයුතු සිදුවන පරිගණක දත්ත පද්ධතිය නිර්මාණය වෙන්නෙ ඔහුගෙ අතින්. රජයේ බොහොමයක් ආයතනවල දැනටත් තියෙනවනෙ මිලියන ගණන් වියදම් කරලත් තවමත් අක්‍රීයව තිෙයන පරිගණක දත්ත පද්ධති. ඒත් ඔහු විසින් නිර්මාණය කළ ජාතික රුධිර පාරවිලයන සේවයේ දත්ත පද්ධතිය මේ වනවිට ඉතා සාර්ථකව භාවිත වෙනවා.
සියලුම ලේ දන්දීමේ කඳවුරුවල රුධිරය එකතු කිරීම, ඒ එකතු කළ රුධිරය සකස් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම වගේම රෝහල්වලදී රෝගීන්ට නිකුත් කිරීම ආදී සියල්ලම වෙන්නෙ මේ දත්ත පද්ධතිය හරහා. දැනට ලංකාවේ 100 කට අධික ලේ බැංකු මේ පද්ධතිය හරහා ජාලගත වී තිබීම නිසා ඒ හරහා වසරකට මිලියන ගණනක ඉතිරියක් රජයට සිදුවෙනවා.
ඔබ දන්නවද? ඒ වෙනකොටත් අති විශාල මුදලක් වැය කරලත් අසාර්ථක මෘදුකාංගයක හිර වෙලා හිටපු ජාතික රුධිර පාරවිලයන සේවය වෙනුවෙන් මේ සාර්ථක දත්ත පද්ධතිය නිර්මාණය කිරීම වෙනුවෙන් හෝ, නඩත්තු කිරිම වෙනුවෙන් මේ වෛද්‍යවරයා එක රුපියලක්වත් අය කිරීමක් කරල නැති බව. ඒ විතරක් නෙවෙයි, දත්ත පද්ධතියෙ ගැටලුවක් ආවම ලේ බැංකු 100 කින් විතර එන ඇමතුම්වලට පැය 24 පුරාවටම ඉතාම කාරුණිකව පිළිතුරු දීල ඔහුම තමයි ඒ ප්‍රශ්න විසඳන්නෙත්.
මේ හරහා ඔහු රුපියල් මිලියන ගණනක් රජයට ඉතිරි කර දුන්නත් එයට නිසි ඇගැයීමක් නොලැබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. තම උපන් රටට නිහඬව කළ මේ විශිෂ්ට සේවය වෙනුවෙන් පුද්ගලයකුට ලබාදිය හැකි විශිෂ්ටතම සම්මානයෙන් ඔහු පිදුම් ලැබිය යුතුයි.
“තම ගුවන් කාලය අනවශ්‍ය නැටුම් වැයුම්වලට නිර්ලෝභීව යොදවන සමහර මාධ්‍ය ආයතනවලට මෙවැනි විරුවන්ව ද ඉඳහිට හෝ නෙත ගැටේවා” යැයි සටහන අවසන වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න වෛද්‍යවරයා මුහුණු පොතේ ලියා තබයි. වෛද්‍ය දර්ශන මුහුණු පොතට මේ සටහන එකතු කරන්නේ මේ වටිනා කාර්යය ඉටු කළ පුද්ගලයා පිළිබඳ කිසිවකු දැන සිටියේ නැත.
මේ නව දත්ත පද්ධතිය දැඩි පරිශ්‍රමයක් දරමින් සකස් කළ වෛද්‍ය පුෂ්පිකට ඇතැම් විට ප්‍රශංසා වෙනුවට ගැරහුම් ද ලැබෙන්නට විය. ඒ ගැරහුම් කෙතරම් බරපතළ ද යත් ඔහුට රැකියාව පවා අහිමි වූ අවස්ථා තිබිණි. එහෙත් ඔහු එය අතහැරියේ නැත. අද මෙරට සියලුම ලේ දන්දීමේ කඳවුරුවල රුධිරය එකතු කිරීම, ඒ එකතු කළ රුධිරය සකස් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම මෙන්ම රෝහල්වලදී රෝගීන්ට රුධිරය නිකුත් කිරීම ආදී සියල්ලම වන්නේ ඔහු විසින් නිපදවන ලද මේ දත්ත පද්ධතිය හරහාය. මේ වන විට මෙරට 100 කට අධික ලේ බැංකු මේ නව දත්ත පද්ධතිය හරහා ජාලගත වී තිබීම නිසා වසරකට මිලියන ගණනක් රජයට ඉතිරි වෙයි. මම ඒ හැම අවස්ථාවකම තවත් ශක්තිමත් වුණා. ඒ තෙරපීම, පීඩාව මට ගෙනත් දුන්නේ තවත් ශක්තියක්. මම සැළුණේ නැහැ. ඔහුගේ නොවතින උත්සාහය මල්ඵල දරා ඇත.
“මගේ මුල්ම පත්වීම ලැබුණේ ඇල්පිටිය ජාතික රුධිර පාරවිලයන සේවය අංශයට. ඒ කාලේ මේ සියල්ල සිදු කෙරුණේ තාක්ෂණය උපයෝගි කරගෙන නොවෙයි. රෝගියෙක්ගේ පරණ වාර්තා ලබා ගන්න එක සංකීර්ණ අසීරු කාර්යයක්. පරිගණක දත්ත පද්ධතියක් තිබුණේ නැති නිසයි, ඒක හරිම අමාරු කාර්යයක් වුණේ. ඒ නිසා මේ රුධිර පාරවිලයන සම්බන්ධ සේවාවන් කොටස් කිහිපයකට බෙදලා තොරතුරු වෙන වෙනම රැස් කරන්නේ කොහොමද කියන දේ ගැන මම හැමදාම කල්පනා කළා. ඒ නිසාම 2009 වසරේ මම රුධිර පාරවිලයය පශ්චාද් උපාධිය හදාරන්න ජාතික රුධිර මධ්‍යස්ථානයට අනුයුක්ත වුණා. ඒ වෙන කොටත් ඩේටා බේස් එකක් හදන්න ආයතන දෙකකට දෙවරකට භාර දීලා තිබුණා. නමුත් සාර්ථක වෙලා තිබුණේ නැහැ. එයට හේතුව තොරතුරු තාක්ෂණය පිළිබඳව ඒ අය ප්‍රවීණ වුණත් මේ රුධිර පාරවිලනය විද්‍යාව පිළිබඳ සහ ලේ බැංකුවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ඒ අයට දැනුමක් නොමැති වීමයි. මේ වගේ දෙයක් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල පිරිසට මූල්‍ය ආයතන වැනි ක්ෂේත්‍රවල සාර්ථක දත්ත පද්ධතියක් සකස් කරන්න පුළුවන්. නමුත් මේ අංශය ඒ අයටත් ටිකක් සංකීර්ණ වෙන්නේ රුධිර පාරවිලනය විද්‍යාව පිළිබඳ සහ ලේ බැංකුවල ක්‍රියාකාරීත්වය ගැන ඒ අයට ජීවවිද්‍යාත්ම දැනුම නොතිබීම නිසයි. ඒ නිසා මම හිතුවා මේ සම්බන්ධයෙන් මගේ දැනුමෙන් දත්ත පද්ධතියක් හදන්න අවශ්‍යයි කියලා.
මේ පද්ධතිය හදන්න පෙර මම තනියම තොරතුරු තාක්ෂණය පිළිබඳ හැදෑරිමක් කළා. ඉන් අනතුරුව ක්‍රමානුකූලව පියවරින් පියවර ජාතික රුධිර පාරවිලනය පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කළා. ඒ සඳහා මට තිබුණ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම අඩු නිසා මූලික දැනුම භාවිත කරමින් මේ ඩේටා බේස් එක හැදුවේ. මිල අධික පරිගණක මෘදුකාංග පාවිච්චි කිරීම කළේ නැහැ. මම ඒ සියලුම දේවල් කළේ මගේ අතින්ම මෘදුකාංගයකට අයිති සියලුම කේතයන් අතින් ටයිප් කරමින් පරිගණකගත කරමිනුයි. මේවා කරන්න කිසියම් මෘදුකාංගයක් පාවිචිචි කළා නම් ඒක බැරූරුම් ඉතාමත් දුෂ්කර කාර්යයක්. එසේම මිලත් අධිකයි.
ඔහු තොරතුරු තාක්ෂණය පිළිබඳව අන්තර්ජාලය පුරා සැරිසරමින් සෙව්වේය. ඒ උගත් පාඩම්වලින් ස්වයංක්‍රිය දැනුම උපයෝගි කර ගනිමින් මේ මෘදුකාංගය සකස් කළේය. දැඩි වෙහෙසක් දරා සකස් කළ එම මෘදුකාංගය පාවිච්චි කිරීමට එවකට හිටපු ජාතික රුධිර පාරවිලනයේ ඉහළ නිලධාරීන් ප්‍රසාදයක් දැක්වූයේ නැත. එයට හේතුව අධික මිලක් යටතේ ඒ අසාර්ථක මෘදුකාංග දත්ත පද්ධතිය භාවිත කරමින් සිටීමයි. ඒ නිසා මේ දත්ත පද්ධතිය භාවිත කිරීම ගැටලුකාරී විය හැකි වීමයි.
“එතැන් සිට මම මගේ මෘදුකාංග දත්ත රැස් කිරීමේ පද්ධතිය භාවිතය වැඩි දියුණු කිරීම අතහැර දැම්මා. නමුත් මා සේවය කළ වෙනත් රෝහල්වල මේ රුධිර පාරවිලනය අනු සේවාවන්වලට මම මගේ පරිගණක මෘදුකාංග පාවිචිචි කළා. එම මෘදුකාංග වර්තමානය වන විටත් පාවිච්චි කරනවා. උදාහරණයක් ලෙස කිව්වොත් වකුගඩු රෝගීන්ට වකුගඩුව දෙන දායකයාගේ සහ රෝගියාගේ පටක ගැළපීමට අදාළ මෘදුකාංගය තවමත් පාවිච්චි වෙනවා. එම මෘදුකාංගය පාවිචිච් කිරීමෙන් පමණයි අදටත් වකුගඩුවක් ගැළපීම කරන්නේ.
කෙසේ වුවත් රුධිර පාරවිලනය පශ්චාත් උපාධිය ලබාගෙන ඔහු ඇල්පිටිය රෝහලට පසුකාලීනව මාරුවීමක් ලබා ගන්නා ලදී. ඉන්පසුව ඉතාමත් පරිශ්‍රමයක් යොදා වෛද්‍ය පුෂ්පික නිපද වූ පරිගණක මෘදුකාංගය ඇල්පිටිය රෝහලේ ලේ බැංකුවේ ස්ථාපනය කළේය. එය වර්තමානය දක්වා මෙරට පුරා ක්‍රියාත්මක වන එකම පරිගණක මෘදුකාංග පද්ධතියයි.
“මම ඇල්පිටිය රුධිර පාරවිලනය සේවයට මාරුවීමෙන් අනතුරුව ඇල්පිටිය රෝහලෙන් මගේ මෘදුකාංගය පාවිචිචි කිරීමෙන් ඇල්පිටිය රෝහලේ අඩු ශ්‍රමිකයන් ප්‍රමාණයකින් මේ කාර්යය මනාව ඉටු කිරීමට පහසු වුණා. එහෙත් මට මේ පරිගණක දත්ත පද්ධතිය සකස් කරන්න වසර දෙකක් ප්‍රමාද වුණා. එයට හේතුව මා නොකළ වරදකට මාව සේවයෙන් නෙරපා හැරීමට ඇතැම් නිලධාරීන් කටයුතු කිරීමයි. නැවත සේවයේ පිහිටුවීමෙන් පසුව මා නැවතත් පරිගණක මෘදුකාංගය වැඩි දියුණු කිරීම ආරම්භ කළා. මේ ඉතා සාර්ථක පරිගණක මෘදුකාංගය පිළිබඳ ව දැනගත් අනෙක් රෝහල්වල ලේ බැංකුවලට එම මෘදුකාංගය භාවිත කිරිමට ඉල්ලීමක් කළා. 2016 කළුතර රෝහලේ ලේ බැංකුවත් මේ පරිගණක මෘදුකාංගය ඉල්ලුම් කළා. ඉන්පසුව 2016 සිට 2019 වසර දක්වා එම දත්ත පද්ධතිය රෝහල් 10ක ස්ථාපිත කළා. ඉන් අනතුරුව ඉතා විශාල ලෙස භාවිත කරන්නන් ප්‍රමාණය වැඩි වුණා. ඒ නිසා එහි ශීඝ්‍ර වැඩි දියුණු කිරීමක් අවශ්‍ය වුණා.
2019 වසර අවසන් වන විට රුධිර දායක අංශයට හැර ලේ බැංකුව අනෙක් සියලු අංශවලට අදාළ මෘදුකාංගයේ කොටස් නිපදවා තිබුණා. ඒ අනුව ඒ ලේ බැංකුවල රුධිර සංචිත පරිපාලනය කිරීම, රෝගීන්ට රුධිරය නිකුත් කිරීම, රුධිරයේ ගුණාත්මකභාවය පරික්ෂා කිරීම වැනි අංශවල දත්ත රැස් කිරීම මේ මෘදුකංගය මඟින් සිදු කරනු ලැබුවා. 2019 වසරේ කොවිඩ් අර්බුදය මතු වූ පසු රටේ රුධිර දායකයන්ගේ පැමිණීම අඩු වුණා. කඳවුරු සංවිධානය කිරීමත් අඩු වුණා. එබැවින් රටේ පවතින රුධිර සංචිත උපරිමයෙන් පරිපාලනය කිරිමට අවශ්‍ය වුණා. මේ කාරණාව නිසාම මා විසින් නිපදන වන මෘදුකාංගය රට පුරාම ජාතික වශයෙන් භාවිත කිරීම අවශ්‍ය වුණා. වෛද්‍ය පුෂ්පික පැවසුවේය.
මේ රුධිර පාරවිලනය සම්බන්ධයෙන් පැවැති උභතෝකෝටිකය අද ඔහු විසින් විසඳා දී ඇත. එහෙත් වෛද්‍ය පුෂ්පික ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය කිරීමක් නොකළේය.වෛද්‍යවරයකුට පැවැරී ඇති කාර්ය භාරයෙන් ඔබ්බට ගොස් ඔහු නිහඬව මේ සේවාව ඉටු කළේය .
වෛද්‍ය පුෂ්පික බන්දුසිරි ද සිල්වාගේ (45) උපන් ගම ගාල්ල අම්බලන්ගොඩයි. ඔහු පාසල් අධ්‍යාපනය ලබන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. ඔහු ජීවවිද්‍යාවෙන් ඒ සමාර්ථ හතරක් සහිතව සමත් වී කොළඹ වෛද්‍ය විද්‍යාලයට 1999 වසරේදී ඇතුළත් විය. ඔහුගේ මව ලීලා විජේසූරියයි (76). ඇය විශ්‍රමික විදුහල්පතිනියකි. පියා බන්දුසිරි ද සිල්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියෙක් ලෙස කටයුතු කළේය. පුෂ්පික උසස් පෙළ සිසුවකුව සිටින අවධියේදී පියා මෙලොව හැර ගියේය.එහෙත් තම පියාගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් පුෂ්පික අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ වසර දහයකට අධික කාලයක් පැවැති වාර්තාව බිඳ හෙළමින් ජීව විද්‍යා අංශයෙන් ඒ සමාර්ථ් හතරක් ලබාගෙන උසස් පෙළ සමත් විය. ගාල්ල බද්දේගම අම්පේගම මේ වන විට පදිංචි වී සිටින ඔහු විවාහ වී සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වන නිරෝෂා සඳමාලි ලේකම්වසම් සමඟය.
වෛද්‍ය පුෂ්පික මේ වන විට තොරතුරු තාක්ෂණය පිළිබඳව වැඩිදුර හැදෑරීම සඳහා පශ්චාද් උපාධි ඩිප්ලෝමාවකට සූදානම් වෙයි. දැඩි පරිශ්‍රමයක් දරා ඔහු විසින් නිමවන ලද මේ පරිගණක මෘදුකාංගය අද සමස්ත රට පුරාම රුධිර පාරවිලයන අංශවල භාවිත කරනු ලබයි.
“වර්තමාන රුධිර පාරවිලනය අංශයේ අධ්‍යක්ෂතුමා පසුගිය කාලයේ භාවිත කරමින් සිටි මෘදුකාංගය ඉවත් කර මා විසින් නිපදවන ලද මෘදුකාංගය භාවිත කිරීමට අවසර ලබා දුන්නා. එය මා ජීවිතයේ ලද විශාල ජයග්‍රහණයක්.
ඇත්ත වශයෙන් ම මා බලාපොරොත්තු වෙන්නේ ජාතික වශයෙන් රුධිර පාරවිලනය සම්බන්ධයෙන් මගේ මෘදුකාංගය භාවිත වන්නා සේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයත් අනෙක් අංශවලටත් පරිගණක දත්ත පද්ධති නිර්මාණය කිරිමයි. ඒ සඳහා පරිගණක දත්ත පිළිබඳව හැදෑරීමේ ඩිප්ලෝමා පාඨමාලාවකට යොමුවීමට මා තීරණය කළා. ඒ තුළින් කාලය ශ්‍රමය සහ වඩා නිරවද්‍යතාවෙන් යුතු කාර්යක්ෂම සේවයක් සේම පිරිවැයක් ද අඩු කර ගත හැකියි. ඔහු වෛද්‍ය වෘත්තියට එහා ගිය සේවාවක් මෙරටට ඉටු කරයි. මුදල පසුපස හඹා යන සමාජයක ඒ කිසිවක් අපේක්ෂා නොකර ජනතාව වෙනුවෙන් කැපවූ වෛද්‍ය පුෂ්පික වැනි ජීවකයන් අපි ඇගැයීමට ලක් කළ යුතුම ය.
සුභද්‍රා දේශප්‍රිය