අද රටට අවශ්‍ය වන්නේ ප්‍රශ්න පිළිබඳ කතා කිරීම නොව, ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒ බව මැනවින් අවබෝධ කරගෙන කටයුතු කරන නායකයෙක්ය. නමුත් විරුද්ධ පක්ෂය කතා කරන්නේ ප්‍රශ්න ගැන පමණය.
2022 ජූලි මස රට ගිනි ගන්නා විට කිසිවකු ඊට විසඳුම් සෙවීමට ඉදිරිපත් වූයේ නැත. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වටලන විට සියලුදෙනා පසුපස දොරින් පැන ගියහ. මෙම අභියෝගකාරි අවස්ථවේ රටේ නායකත්වයේ වගකීම බාරගත් ජනාධිපතිවරයා නිවැරදි දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ රට මෙහයවීමේ සුක්කානම අතට ගත්තේය. එපමණක් නොව රටේ ආර්ථිකය නිවැරදි මඟට යොමු කළේය. දැන් කවුරුත් හෙටක් ගැන හිතන්න ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඒ වැඩපිළිවෙළ නිසාය. අවාසනාවන්ත විපක්ෂය ඒ මල් වට්ටියට ඇත ගැසුවේ නැත. ඔවුන් කරගැසුවේම රට අරාජික කරන, තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර සාර්ථක කරගන්නටය. ඔවුන්ගේ ඒ තර්කයට අනුව රටේ ප්‍රශ්න විසඳා ගන්නට නම් කවදා හෝ ඔවුන්ම බලයට පැමිණෙන තෙක් බලා සිටිය යුතුය. වගකීම් යුතුකම් ඉටු කිරීම, කවදා හෝ ඔවුන් ලබන බලයකින් පසුව සිදුකරන්නට කල්මරන විපක්ෂයක් හමුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසු ගිය උතුරේ සංචාරය අතිශය වැදගත් ය.
උදා වූ නව වසරේ ජනාධිපතිවරයා, සිය පළමු සංචාරය ලෙස උතුරට යාමේ ඇති තීරණාත්මකම වැදගත්කම නම්, උතුරේ සිටින්නේ ද ශ්‍රී ලාංකික ජනතාවම මිස කොන්කර නොතකන ලද පිරිසක් නොවේය යන පණිවිඩය නිකුත් කිරීමය. මීට පෙර දකුණේ කියන නායකයන් උතුරට ගියේ ජන්ද ඉලක්ක කරගෙනය. ඒ වෙනුවෙන් වන පොරොන්දු මලු පිටින් ගෙන ගියත්, ඒවා මැතිවරණ සමඟ අවසන් වූයේ කඩවුණු පොරොන්දු ලෙසය. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරට ගියේ, සංවර්ධනය අරගෙනය. ඊට අදාළව දැනටමත් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ සමඟය. එම ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු, කිසිවෙක් විසඳන්න තියා බලන්නවත් අකමැති අභියෝගාත්මක ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙළ සමඟය.
යුද්ධයෙන් අහිමිවූ ආදායම නැවත උතුරට ලබා දෙමින් ඉදිරි වසර 5 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක්කරන බව, ඒ ගිය ගමනේදී ජනාධිපතිවරයා පැවසීය. උතුරේ ජනතාවගේ ප්‍රශ්න තවදුරටත් ඇඳගෙන යා යුතු නැත. ගැටලු විසදා උතුරට සැබෑම සංවර්ධනයක් උදාකර දෙන බවට රාජ්‍ය නායකයා නව වසර ආරම්භයේදීම පැමිණ තහවුරු කිරීම එම ජනතාවට සැබවින්ම සුබාරංචියක්ම විය.
මෙම වසරේ මුල් මාස හය තුළ රටේ සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුය. ඉන් පසුව 2025 දී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ඉන් අනතුරුව ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා කීවේය. මෙය මැතිවරණ වසරක් වුව ද ජනාධිපතිවරයා උතුරේ සංවර්ධනයට අදාළ සාකච්ඡා රැසකට මෙහිදී එක් විය.
සාමාන්‍යයෙන් දකුණේ දේශපාලන නායකයන් උතුරට යන්නේ යුද්ධය නිසා ඇති වූ ප්‍රශ්න ගැන කතා කිරීමට පමණය. සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී ඇතත් යුද්ධය හේතුවෙන් ඇති වූ ගැටලුවලට තවමත් විසඳුම් ලැබී නොමැති බවට චෝදනා එල්ල වෙයි.
යුද්ධයට අදාළ සියලු ගැටලුවලට මේ වසර දෙක තුළදී විසඳුම් ලබාදී උතුර පූර්ණ සංවර්ධනයකට ගෙන යාම ජනාධිපතිවරයගේ දැඩි ස්ථාවරයය.
යාපනයේ සංචාරයේදී මොකද වුණේ?
යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල සංවර්ධනය පිළිබඳ විමසා බැලෙන විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැඳවා තිබිණි. 2025 වසර වන විට අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සියල්ල සිදු කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උතුරේ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අදාළ දිස්ත්‍රික්කවල දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වී සිටි මෙම රැස්වීමේ දී එම දිස්ත්‍රික්කවල ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනයට ලක්වූ අතර, ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.
එසේම යාපනයට පැමිණ උතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳුම් ලබාදීමට ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් උතුරට එවන බවද ජනාධිපතිවරයා පැවසීය.
පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සොයා බැලීමේ සාකච්ඡාවකට ද එක් විය.
වව්නියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන, සෞඛ්‍ය, නැවත පදිංචි කිරීම්, ඉඩම්, විදුලිය, ජලය, සංචාරක, වන සංරක්ෂණ හා ධීවර ක්ෂේත්‍රවල පවතින ගැටලු පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
අනතුරුව පුනරින් ප්‍රදේශයේ සංචාරයකට එක් වූ ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පුනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකට ද පුනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී එක් විය.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පුනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මඟින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව පුනරින්හි පිහිටි ඓතිහාසික ලන්දේසි බළකොටුව නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා තරුණ ව්‍යවසායිකාවක් විසින් පුනරින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් නිරීක්ෂණය කිරීමට ද එක් විය.
උතුරු පළාතේ සිදු කළ සිය සිව්දින සංචාරයේදී යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් ද හමුවීමට අමතක නොකළ ජනාධිපතිවරයා ඔවුන් මුහුණපාන ගැටලු පිළිබඳව ද සොයා බලමින් ඒවාට විසඳුම් ලබාදීමට පියවර ගත්තේය.
එසේම උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ හමුවකට ද එක් වූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා උන්වහන්සේලාගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ. රට තුළ ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට එහිදී ආගමික නායකයන්ගේ ආශීර්වාදය හිමි විය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව ද හමුවී උතුර පළාත ජාතික ආර්ථිකයට සක්‍රියව දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළහ. ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ පුළුල් ලෙස කරුණු සාකච්ඡා කළ ජනාධිපතිවරයා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද අදාළ නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය දැනුවත් කළේය.
මින් ඉදිරියට මෙවැනි ගැටලු ඇති නොවිය යුතු බව ද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උතුරේ ජනතාවට යහපත් අනාගතයක් උදා කරදීම වෙනුවෙන් ක්‍රියා යුතු බව ද යෝජනා කළේය.
එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන්, යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම උතුර පළාත් නීතිඥ සංගමය ද හමු වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ද අදහස් විමසීය.
මේ අතර යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ හමුවකට එක් වී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට කටයුතු කළ ජනාධිපතිවරයා යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන් සමඟ හමුවකට ද එක් විය.
මේ අතර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමි කරගත් අකිලා තිරුනායක හමුවී සුබ පැතුම් එක් කිරීමට ජනාධිපතිවරයා අමතක නොකළේය.
උතුරේ ආර්ථිකය සවිබල ගැන්වීම
රටේ ආර්ථිකයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන බස්නාහිර පළාත අද මෙරට ආර්ථිකයේ ප්‍රධාන එන්ජිමයි. ඉදිරියේ දී දකුණු, උතුරු, මධ්‍යම යන පළාත් මෙන්ම වයඹ පළාත ද ඊට එක් කර ගනිමින් මෙරට ආර්ථිකය නැමති දුම්රියට තවත් එන්ජින් හතරක් සවි කිරීම ජනාධිපතිවරයාගේ අරමුණයි.
ඉන් පසුව එන්ජින් පහක් සමඟින් මෙරට ආර්ථිකය ධාවනයට සැලසුම් කර ඇති ක්‍රම ක්‍රමයෙන් එම එන්ජින් ප්‍රමාණය වැඩි කර ගනිමින් මෙරට ආර්ථිකය අධි ධාවනයක යෙදවීම ජනාධිපතිවරයාගේ සැලැස්මයි.
එම ධාවනයේ ප්‍රධාන තීරයක් බවට උතුර පළාත් පත් කරමින් උතුරත් රටත් පූර්ණ සංවර්ධනයකට ගෙන එ්මේ මූලික සැලැස්ම සකස් කිරීමට ජනාධිපතිවරය පසුගියදා උතුරේ සිදු කළ සංචාරය ඉවහල් වූ බව කිව යුතුය. සැබවින්ම උතුරේ සියලු දේශපාලඥයන්ගෙන් ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, උතුර සංවර්ධනය කිරීමේ සැලැස්ම තවදුරටත් පෝෂණය කිරීමට දායක වන ලෙසය. ඒ හරහා උතුර සංවර්ධනය කරමින්, රටේම සංවර්ධනයේ කොටස්කරුවන් වන ලෙසය. නමුත් අවාසනාව වන්නේ, ජනාධිපතිවරයාගේ මේ යෝජනා උතුරේ ඇතැම් දේශපාලනඥයන් නොතකා සිටීමය. ඒ ඔවුන්ට අවශ්‍ය උතුරේ ජනතාවගේ ප්‍රශ්න හිඟන්නාගේ තුවාලයක් ලෙස තබා ගනිමින් තමන්ගේ දේශපාලනය ඉදිරියට කරගෙන යාම නිසා විය යුතුය.
උතුරේ ඇතැම් දේශපාලනඥයන් එසේ ක්‍රියා කළ ද උතුරේ සැලකිය යුතු දේශපාලනඥයන් පිරිසක් ජනාධිපතිවරයාගේ රට ගොඩනඟන මෙන්ම උතුර ගොඩනඟන වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තබා ඇත. ඊටත් වඩා වැදගත් වන්නේ උතුරේ සාමාන්‍ය ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ වැඩපිළිවෙළ කෙරෙහි දරන ආකල්පයයි. ඒ බව එම ප්‍රදේශයේ තරුණ ගොවි මහතකු වචන බවට පත්කළේ මෙසේය.
“අපිට දේශපාලනඥයන් ඕන තරම් පොරොන්දු දීලා තියෙනවා. නමුත් ඒවා ඉෂ්ට වෙලා නෑ. නමුත් දැන් අපිට දැනෙනවා වැඩක් වෙමින් තියෙනවා කියලා. දෙකට බෙදිලා මරා ගත්ත ජාති එකට එකතු කරන එක ලේසි නෑ. නමුත් ඒ බෙදීම දිගටම ගෙනියන්න අවශ්‍ය නෑ. අපේ දරුවන්ට වෛරය වෙනුවට අධ්‍යාපනය දෙන්නයි මට ඕන. මට සේරටම වඩා එක දෙයක් හිතට වැදුණා, ජනාධිපතිතුමා කිව්වා, කෘෂි කර්මාන්තයේදී උතුරේ ගොවි ජනතාව ගැන එතුමා විශ්වාසය තියනවා කියලා. මට ඒ වෙලාවේ මතක් වුණේ, ඒ කාලේ සීයා කියපු යාපනේ ලූනු, යාපනේ මිදි කොළඹ හරහා රටටම යවපු හැටි. ඇත්තටම අපි ගැන විශ්වාසය තියනවා කියන ඒ වචන ටික අපිට ධෛර්යයක්. ඒ නිසා අපේ මිනිස්සුන්ගේ ආකල්පත් මගේ වගේම වෙනස් වෙමින් ඇති බව මට විශ්වාසයි.”
සිරිල් ලියනආරච්චි