බ්‍රිතාන්‍ය රාජකීය පවුල ගැන ලෝ පුරා ජනතාව අතර ඇත්තේ පුදුමාකාර උනන්දුවකි. තොරතුරු දැනගැනීමේ කුතූහලයකි. රාජකීයයන්ගේ ඕනෑම ඕපාදූපයක් උණු කැවුම් මෙන් අලෙවි කළ හැකි බැවින් බ්‍රිතාන්‍යයේ පැපරාසියෝ පැල් බැඳගෙන පින්තූර ගනිති. ඇතැම් ටැබ්ලොයිඩ් පුවත්පත් එවැනි තොරතුරු හෙළිකර ගැනීමට පෞද්ගලික රහස් පරික්ෂකයෝ ද කුලියට ගනිති. ලොවම ආදරය කළ ඩයනා කුමරියට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ද එවැනි පැපරාසියෝ නිසාය. ඩයනා ලොව වැඩිම කතාබහට හා අවධානයට ලක් වූ බ්‍රිතාන්‍ය කුමරිය වූවත් ඊට පෙර එවැනි ජනප්‍රියත්වයක් හිමි වී තිබුණේ ඊයේ පෙරේදා ශ්‍රී ලංකාවට සැපත් වූ ඈන් කුමරියටය.
එලිසබෙත් රැජනගේ එකම දියණියත්, පවුලේ දෙවැනි දරුවා ලෙසත් ඈන් කුමරිය 1959 අගෝස්තුවේ උපන්නේ ඇගේ සීයා 6 වැනි ජෝර්ජ් රජුගේ කාලයේදීය. ඇය උපන්නේ බ්‍රිතාන්‍ය සිහසුනට හිමිකම් කියන රජ පවුලේ සාමාජිකයන් අතර තුන්වැන්නා ලෙසිනි. ඇයට ඉදිරියෙන් සිටියේ මව් කුමරිය එළිසබෙත් සහ වැඩිමල් සොහොයුරු චාල්ස් ය. සීයාගේ අභාවයෙන් පසු මවු කුමරිය එළිසබෙත් රැජන නමින් සිහසුනට පත්වෙද්දී ඔටුන්න හිමි කුමාරයා ලෙස චාල්ස් ලැයිස්තුවේ පළමු තැනට පත් වූ අතර, ඈන් කුමරියට දෙවැනි තැන හිමි විය. එහෙත් මවු රැජන දශක 7ක්ම සිහසුන දැරීම නිසා රජ පවුලට පරම්පරා ගණනාවක සාමාජිකයන් එකතුවීමත් සමඟ අද වනවිට ඇය එම ලැයිස්තුවේ 17 වැනි තැනට තල්ලු වී ගොසිනි.
එළිසබෙත් රැජනගේ එකම දියණිය වූ බැවින් එවකට ලොව වැඩිම අවධානයක් ඇය වෙත යොමු වී තිබිණි. 70 දශකයේ මුල් භාගයේදී සිදු වූ ඇගේ පළමු විවාහය රූපවාහිනියේ සජීවිව විකාශය කළ අතර, එවකට වැඩිම පිරිසක් නැරැඹූ රාජකීය විවාහය ද වූයේය. අසූව දශකයේ මුල් භාගයේදී චාල්ස්- ඩයනා විවාහය ඒ සියල්ල අබිබවා ගියේ රජ පවුලේ වැඩිම අවධානය ඩයනා කුමරිය වෙත යොමු කරමිනි. ඈන් කුමරියගේ විවාහය සිදු වූයේ 1973 නොවැම්බර් 14 වැනිදාය. ඒ නිමිත්තෙන් එදින බ්‍රිතාන්‍යයට විශේෂ බැංකු නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කර තිබූ අතර, විශේෂිතම කාරණාව වන්නේ වර්තමානයේ බ්‍රිතාන්‍ය සිහසුන දරන ඇගේ වැඩිමල් සොහොයුරු චාල්ස්ගේ විසිපස්වැනි උපන්දිනයත් එදිනට යෙදී තිබීමය. ගෝලීය වශයෙන් ඇස්තමේන්තු කළ පරිදි වෙස්මිනිස්ටර් ඇබේ ශාලාවේ පැවැති ඈන් කුමරියගේ විවාහය නැරැඹූ ගෝලීය ප්‍රේක්ෂකයන්ගේ සංඛ්‍යාව මිලියන 500කි. බ්‍රිතාන්‍යයේ පමණක් මිලියන 27.6ක පිරිසක් විවාහය ඇසින් දුටු සාක්ෂිකරුවෝ වූහ.
බ්‍රිතාන්‍ය ජනතාව ඈන් කුමරියට අසීමිතව ආදරය දැක්වීමට ලොකුම හේතුව ඇය රජ පවුලේ සෙසු සාමාජිකයන් මෙන් රාජකීයත්වයෙන් හිස උදුම්මාගත් කුමරියක නොවීමය. එවැන්නෝ රජ පවුලේ අතිශය දුර්ලභය. පසුකාලීනව එසේ ජනතාව අතර වැඩි ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූයේ ඩයනා කුමරිය සහ ඇගේ බාල පුතු හැරී කුමරු පමණි. නිරහංකාර ගති පැවැතුම් ඇති ඈන් කුමරිය එවකට ඉඩ ලද හැම විටම ගැවසුණේ ජනතාව අතරය. එය එක් අතකින් එළිසබෙත් මවු රැජනගේ ජනතා ප්‍රසාදය ඉහළ යෑමට හේතුවක් ද විය. අනික් අතට එවකට තරුණ වියේ පසුවූ වැඩිමල් සොහොයුරු චාල්ස් සහ බාල සොහොයුරු ඇන්ඩෘගේ දඟකාර සහ දඩබ්බර හැසිරීම් රටාව නිසාම මවු රැජන සිටියේ තරමක කනස්සල්ලකිනි. එබැවින් ඈන් කුමරියගේ සන්සුන් ගති පැවැතුම් ඇගේ සැනසිල්ලට හේතු විය.
එළිසබෙත් රැජන සහ ඈන් කුමරිය අතර බැඳීම රැජනගේ අභාවය දක්වාම එකලෙස පැවැතිණි. පිලිප් කුමරු මෙලොවින් සමුගෙන යෑමෙන් පසුව ශාරිරීකව මෙන්ම මානසිකව ද දුර්වල වූ එළිසබෙත් රැජන කාලය ගත කළේ දියණියගේ රැකවරණය මැදය. දෙදෙනා අතර බැඳීම එසේ වුව ද, එළිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය රැජන ලෙස රාජාභිෂේක ගන්වනු ලැබූ අවස්ථාවට සහභාගී වීමට නම් ඈන්ට අවස්ථාවක් ලැබුණේ නැත. එළිසබෙත්ගේ රාජභිෂේකය සිදු වූයේ 1952දීය. එවකට දෙහැවිරිදි වියෙහි පසු වූ ඈන් කුමරියට සිය මවගේ ඔටුනු පැලඳවීමේ අවස්ථාව දැක බලා ගැනීමට වාසනාවක් නොලැබුණේ ළාබාල වියෙහි පසුවීම නිසාය. එබැවින් එම අවස්ථාවට සහභාගි වීමේ වාසනාව අත් වූයේ වැඩිමල් සොහොයුරු චාල්ස්ට පමණි. එහෙත් පසුව එළිසබෙත් රැජන පළමුවතාවට ජනතාවට ආචාර කිරීමට බකිංහැම් මාළිගාවේ සඳළුතලයට පැමිණෙද්දී ඒ අවස්ථාවට එක්වීමට නම් ඇයට අවසර ලැබී තිබිණි.
රාජකීය සම්ප්‍රදායට අනුව එවැනි බොහෝ චාරිත්‍ර හා රාජකීය නීති රෙගුලාසිවලට මැදිවූ ඈන් කුමරිය සම්ප්‍රදායට අනුව අධ්‍යාපනය ලැබුවේ ද මාළිගාවේදීම ය. එහෙත් අවුරුදු 13දී ඇය බාලිකාවන් සඳහාම වෙන් වූ කෙන්ට් ප්‍රාන්තයේ පාසලක නේවාසිකව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි වී තිබිණි. ඉන් ඇයට ස්වාධීන ජීවිතයකට අවශ්‍ය පසුබිම නිර්මාණය වූවා පමණක් නොව ජනතාවගේ ආදරයට පාත්‍ර වීමේ අඩිතාලම වැටීමටත් හේතු විය.
ඇගේ නිදහස සීමා සහිත වූව ද, ඇය ඉන් නොසතුටට පත් වූයේ නැත. ඈන් සහ ඩයනා අතර තිබූ එකම වෙනසත් එය විය. රජ පවුලට එක්වීමෙන් පසු ඩයනා කුමරිය සියලු සම්ප්‍රදායන් බිඳ දමා සිය නිදහස සහ ස්වාධීනත්වය භුක්ති විඳින්නට පටන් ගත් අතර, බ්‍රිතාන්‍ය ජනතාවගේ ආදරයත්, ජාත්‍යන්තර මාධ්‍ය අවධානයත් දෙකම ඩයනා වෙත යොමු විය. ටැබ්ලොයිඩ් පුවත්පත්වල මුල් පිටු ඩයනාගේ ආකර්ෂණීය ඡායාරූපවලින් පිරී ගියේය. සිය ජනතා ආකර්ෂණය උදුරා ගත් ඩයනා කෙරෙහි ඈන් කිසිදු අයුරකින් කෝප නොවූව ද, රජ පවුලේ සම්ප්රදාය ආරක්ෂා කිරීම අකුරටම ඉටු කළ බැවින් ඇය ඩයනාව දැඩි ලෙස විවේචනය කිරීම එකදිගටම සිදු විය. එසේ වූයේ ඈන් කුමරියට උපතින්ම දායාද වූ ‘කෙලින් කතා කිරීමේ පුරුද්ද‘ නිසාය. ඇය වෙතින් කිසිදාක ඉවත්ව නොගිය මේ ගුණාංගයත්, අව්යජභාවයත් නිසාම බ්‍රිතාන්‍ය මාධ්‍ය ඈන් කුමරිය ලේබල්ගත කර තිබුණේ No Nonsense කුමරිය හැටියටය. එම ලේබල්ගත කිරීම සිදුවූයේ ඈන් කුමරිය පිළිබඳ එවකට එනමින් වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය වීම හේතුවෙනි. ඇතැම්හු ඇය ‘ලේඩි බොස්‘ නමින් ද ආමන්ත්‍රණය කළහ.
අසූව දශකයේ අගභාගය වන විට ඈන් – ඩයනා දෙනෑනලා විරසකයක් ඇතැයි මුල් වරට හෙළි කළේ බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත්ය. ඇතැම් වාර්තාවලට අනුව ඈන් කුමරිය සිය නෑනා නුරුස්සන්නට වූයේ ආරම්භයේ සිටමය. ඩයනා ‘පිස්සු කෙල්ලෙක්‘ යැයි ඈන් ප්‍රකාශ කිරීමේ සිදුවීමක් ගැනත් වාර්තා විය. ඩයනාට වඩා අවුරුදු 11ක් වැඩිමල් චාල්ස්ගේ සොහොයුරියට ඇගේ වැරදි මුලදීම පෙනෙන්නට පටන් ගත් බවත් ඇතැම් වාර්තාවල සඳහන් විය. ඉන් කියැවෙන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදායික පිළිවෙත් රැක ගැනීමට ඈන් කුමරියට දැඩි අවශ්‍යතාවක් තිබූ බවය. ඉන් පැහැදිලි වන්නේ ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිය මවගේ අඩිපාරේ ගිය කුල කාන්තාවක බවය.
පසුකාලීනව ඩයනාගේ ජනප්‍රියත්වයෙන් යටපත් වූවත් ඈන් කුමරියට මුල් කාලයේදී තිබූ ජනතා ආකර්ෂණය සහ අවධානය ඩයනාට වඩා වැඩිය.
වසර 1974 මාර්තු මස 20 වැනිදා ඇය පැහැර ගැනීමකට ලක්වීමට ගියේ ද එනිසාවෙනි. එය සිදු වූයේ ඇය සිය සැමියා වූ මාක් පිලිප්ස් සමඟ සුබසාධන වැඩසටහනකට සහභාගි වී එදින රාත්‍රී 8.00ට පමණ ආපසු බකිංහැම් මාළිගාවට පැමිණෙමින් සිටියදීය. බකිංහැම් මාළිගාව ඉදිරියේ ඇති උත්සව පැවැත්වෙන මාර්ගයේදී ඔවුන් ගමන් කරමින් සිටි පැරණි ලිමොසිං මෝටර් රථයට බාධා කරමින් සුදු පැහැති ෆෝර්ඩ් එස්කෝට් රථයක් පැමිණ මඟ හරස් කළේය. ෆෝර්ඩ් එස්කෝට් රථයෙන් බැසගත් පුද්ගලයකු පිස්තෝලයකින් වෙඩි තැබීමට පටන් ගත්තේය. පසුව එම පුද්ගලයා ඉයන් බෝල් ලෙස හඳුනා ගෙන තිබිණි. ඈන් කුමරියගේ ආරක්ෂාවට සිටි පොලිස් පරීක්ෂක ජේම්ස් බීටන් වහා රථයෙන් බැස්සේ ඉයන් බෝල් නිරායුධ කර කුමරිය ආරක්ෂා කර ගැනීමටය. එහෙත් පොලිස් පරීක්ෂකවරයාගේ රිවෝල්වරය පත්තු වූයේ නැත. ප්‍රතිඵලය වූයේ ඔහු බෝල්ගේ වෙඩි පහරකට ලක් වීමය. අනතුරුව ආයුධ සන්නද්ධ පුද්ගලයා මෙල්ල කිරීමට රථයෙන් බට ඈන් කුමරියගේ රියැදුරු ඇලෙක්ස් කලෙන්ඩර්ට ද වෙඩි වැදිණි. ඒ මොහොතේ අසල සිටි ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තාකරුවකු වූ බ්‍රයන් මැක්කෝනල් ද ඊට මැදිහත් වූ අතර, බෝල්ගේ වෙඩි පහරක් ඔහුගේ ළය පසාරු කළේය.
ඉන් අනතුරුව ඈන් කුමරියගේ රථය අසලට පැමිණි වෙඩික්කරු ඇයට කීවේ කප්පම් මුදලක් ලබාගැනීමට තමා ඇය පැහැර ගන්නා බවය. එම මුදල ඇතැම් වාර්තාවලට අනුව පවුම් මිලියන දෙකකි. තවත් වාර්තාවකින් දැක්වූයේ පවුම් මිලියන 3ක් ලෙසිනි. එම මුදල ඉල්ලා සිටින්නේ ජාතික සෞඛ්‍ය සේවයට පරිත්‍යාග කිරීමට බවත් වෙඩික්කරු ඈන් කුමරියට පවසා තිබිණි.
ඈන් කුමරියට රථයෙන් බසින ලෙස බෝල් තර්ජනය කරද්දී ඇය වහා එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට බැණ වැදී ඇත්තේ කිසිදු බියකින් තොරවය. එවකට 24 හැවිරිදි වියෙහි පසු වූ ඇය ඉන් නොනැවතී වෙඩික්කරු පසෙකට තල්ලු කර ඒ වනවිට භීතියෙන් ඇළලී සිටි සිය සැමියා සමඟ රථයේ අනෙක් දොරටුවෙන් බිමට බැස ඇත. ඒ වනවිට ඇගේ පෞද්ගලික සහායිකාව රොවේනා බ්‍රේසි ද රථයෙන් බිමට බැස සහාය ඉල්ලා කෑගසමින් සිටියාය. ඒ මොහොතේ එතැනින් ගමන් කරමින් සිටියේ හිටපු බොක්සිං ක්‍රීඩකයකු වූ රොන් රසල් ය. ඔහු වෙඩික්කරුට පහර දී මෙල්ල කර ඈන් කුමරිය නිරුපද්‍රිතව මුදා ගත්තේය. ඒ වන විට එතැනට පැමිණ සිටි පොලිස් කොස්තාපල්වරයකු වූ මයිකල් හිල්ස් ද බෝල්ගේ වෙඩි පහරකට ලක් වී සිටි අතර, ඒ වනවිට ඔහු පොලිස් හදිසි සේවයට ඇමතුමක් ලබා දී තිබූ බැවින් බෝල් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
පසුව වාර්තා වූ පරිදි වෙඩික්කරු 26 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මානසික රෝගියකු බවටත් හෙළි වී තිබේ. ඔහු ව්‍යාජ නමකින් මෝටර් රථයක් කුලියට ගෙන ඇති අතර, එම මෝටර් රථයේ තිබී මාංචු කුට්ටම් දෙකක් ද, මහ රැජනගේ නමට ලියන ලද කප්පම් මුදල් ඉල්ලීමේ ලිපියක් ද පොලිසිය සොයා ගත්තේය. කප්පම් මුදල පවුම් පහේ නෝට්ටුවලින් ගෙවන ලෙසත්, සියලු මුදල් අගුලු නොදැමූ ගමන් මලු 20ක අසුරා ගුවන් මගින් ස්විට්සර්ලන්තයේ ලිපිනයකට යවන ලෙසත් එහි සඳහන්ව තිබූ බව වාර්තා විය. පසුදින බ්‍රිතාන්‍යයේ සහ ජාත්‍යන්තර පුවත්පත්වල ශීර්ෂ පාඨය බවට පත්වූ මේ සිදුවීම ඈන් කුමරියගේ ජාත්‍යන්තර අවධානය දෙගුණ තෙගුණ කළේය.
ඒ වෙද්දී එළිසබෙත් රැජන සිටියේ ඉන්දුනීසියාවේ සංචාරයකය. යළි බ්‍රිතාන්‍යයට පැමිණි වහා එළිසබෙත් රැජන ඈන් කුමරියගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ සියලු පොලිස් නිලධාරින්ට සහ වෙඩික්කුරු මෙල්ල කළ හිටපු බොක්සිං ක්‍රීඩකයාට රාජකීය පදක්කම් පලඳවනු ලැබුවාය.
ඈන් කුමරිය ද ක්‍රීඩිකාවකි. ඇය සිය තරුණ වියේදී අසුන් පැදවීමේ ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩිකාවක බව දන්නේ අතළොස්සකි. ඇය අවුරුදු 21දී යුරෝපීය අසුන් පැදවීමේ ශූරතාවලියේ රන් පදක්කම්ලාභිනියකි. අවුරුදු 25දී එම තරගාවලියේ ඇය රිදී පදක්කම් දෙකක් ද දිනා ගැනීමට සමත් වූවාය. එපමණක් නොව ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කළ බ්‍රිතාන්‍ය රජ පවුලේ පළමු සාමාජිකාව ලෙසත් ඇය වාර්තා තැබුවාය. 1976 වසරේ කැනඩාවේ මොන්ට්‍රියෙල් ඔලිම්පික් උලෙළ නියෝජනය කළ ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කළාය.
ක්‍රීඩාව සහ සුබසාධන කටයුතුවලට මුල් තැන දුන් ඈන් කුමරියගේ පවුල් ජීවිතය එතරම් ප්‍රීතිමත් එකක් නොවීය. රජ පවුලේ සිරිත් විරිත් අනුව ජීවත් වූවත් ඇගේ ප්‍රේමය දිනා ගත්තේ සාමාන්‍ය තරුණයෙකි. මුල් කාලයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කර පසුව අසුන් පැදවීමේ තරගවලින් ඔලිම්පික් රන් පදක්කම් දිනූ මාක් පිලිප්ස් සමඟ පෙමින් බැඳී සිටි ඇය 1973 දී ඔහු සමඟ විවාහ වූවාය. පිටස්තර පිරිමින් රජ පවුලෙන් විවාහයක් සිදු කර ගැනීමේදී ඔවුන්ගේ දරුවන්ට රාජකීය පෙළපත ලබාදීම සඳහා එම පිරිමින්ට චාරිත්‍රානුකූලව ‘අර්ල්‘ නම්බු නාමය පිරිනමන අතර, මාක් පිලිප්ස් එම නම්බු නාමය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිදු වූයේ ඈන් කුමරියගේ දරුවන් වන පීටර්ට සහ සාරාට රාජකීය පෙළපත් නාමය අහිමි වීමය. ඈන් සහ මාක් අතර රජ පවුලේ සිරිත් විරිත් සහ සම්ප්රදායයන් පිළිබඳ එවැනි කරුණු බොහෝ විය. 1989 අගෝස්තුවේදී දෙදෙනා වෙන්වීමට තීරණය කරනු ලැබුවේ වරින් වර ඒවා ඉස්මතු වීමෙන් පසුවය. වසර 16ක විවාහ ජීවිතය කටු ගා දැමූ ඈන් කුමරිය අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කොමදෝරු තිමොති ලෝරන්ස් සමඟ යුග දිවියට පිවිසියාය. 1992 දෙසැම්බරයේදි අමුත්තන් 30 දෙනකු පමණක් සහභාගී වූ චාම් විවාහ උත්සවය පැවැත්වූයේ අතිශය පෞද්ගලික ආකාරයෙනි. ඔහු පසුකාලීනව නයිට් නාමයෙන් ද පිදුම් ලැබුවේය.
මුල්කාලීනව සිය මවගේ සියලු රාජකීය කටයුතුවලදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ඈන් කුමරිය රජ පවුලේ සාමාජිකයන්ගෙන් වැඩිම සුබසාධන කටයුතුවලට එක්වී සිටින කුමරිය ද වේ. මේ වන විට 73 හැවිරිදි වියෙහි පසුවන ඇය දෙස් විදෙස් සුබසාධන වැඩසටහන් 300කට අධික ප්‍රමාණයකට දායකත්වය ලබා දෙමින් සිටින්නීය. එළිසබෙත් මවු රැජනගේ අවසන් කාලසීමාවේ සියලු විදේශ රාජකීය සංචාරවලදී මහරැජන නියෝජනය කරමින් ඊට සහභාගි වූයේ ද ඈන් ය. නිල විදේශ සංචාරවලදී ඈන් කුමරිය රජ පවුලේ කීර්තිය සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටි අතර, ස්වාධීනත්වය ආරක්ෂා කරමින් තවදුරටත් ජනතාවගේ සිත් ඇද බැඳ තබා ගැනීමට ද සමත් වූවාය. නිරහංකාර ගති පැවැතුම් නිසාම ඇගේ ජනප්‍රියත්වය තවදුරටත් ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනේ. එළිසබෙත් රැජනගෙන් පසු බ්‍රිතාන්‍ය රජකමට පත් වූ චාල්ස් ද සිය නැගණිය තවදුරටත් එම තනතුරෙහි තබා ගැනීමට කටයුතු කර ඇත්තේ එබැවිනි. කවුරුත් කියන්නේ ඈන් කුමරිය දැන් චාල්ස් රජුගේ දකුණත කියාය. බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් සඳහන් කරන්නේ දශක ගණනාවක් තිස්සේ රජ පවුලේ විවිධ හැලහැප්පීම් රැසකට මුහුණ දුන් චාල්ස් රජුට සියලු අත්දැකීම් විඳ දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබී ඇත්තේ ඈන් කුමරියගෙන් මිස ඔහුගේ අගමෙහෙසිය වන කැමිලා රැජනගෙන් නොවන බවය.
ෆවුස් මොහොමඩ්