මහ මාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත ඔහුගේ 55වැනි කෘතිය වන “2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක්” කෘතිය ජනගත කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කෘතිය පිළිබඳ එහිදී ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් විශ්ලේෂණයක් පැවැති අතර එම දේශන පවත්වන ලද්දේ මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ හා මහාචාර්ය ශ්‍රීනාත් හීන්කෙන්ද විසිනි.
ආර්ථිකය ගොඩගන්න මේ යන මඟ හැර වෙනත් මඟක් නෑ
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ
මේ කෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමේදී පළමුවෙන්ම අන්තර්ගත පරිච්ඡේදවල සඳහන් වන්නේ එදා සහ අද පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා විසින් කළ කතාවත් මේ වර්ෂයේදි අය වැය ඉදිරිපත් කිරීමේදී කළ කතාවත් මෙහි අන්තර්ගත වීමයි. මෙහි පැහැදිලිව ආර්ථික විද්‍යාව විෂය මත පදනම් වී පැවැති යථා තත්ත්වය පිළිබඳව නිවැරැදි අර්ථ දැක්වීමක් පිළිබඳව ආමන්ත්‍රණයක් කිරීම සිදු වෙයි. පසුගිය කාලයේ IMF එකට යම් කිසි විරෝධයක් පැවැතියත් අද IMF කියන ආයතනය හරහා ආර්ථික ස්ථායීකරණය කිරීම යන කාරණාව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් මනාව විග්‍රහ කරයි. විශේෂයෙන් එතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්බන්ධයෙන් කතා කිරිමේදි පාර්ලිමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය මූල්‍ය යන්න විෂය මූලික කටයුත්තක් වුවත් එතෙක් එවැනි පනත් ඉදිරිපත් කර නොතිබිණි. මේ පනත මූල්‍ය විනයක් ඇති කිරීමට ඉදිරිපත් කළ ප්‍රථම පනතයි. මෙහි වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව කරුණු දෙකක් හඳුන්වා දි තිබෙනවා. එනම් අය වැය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟයයි.
ආර්ථික විද්‍යාව අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල ඉතිරි කිරීම් පහළ මට්ටමක පවතී. ආයෝජන පහළ මට්ටමක පවතී. මෙසේ ආයෝජන පහළ මට්ටමක පවතින්නේ ඇයි? යන ප්‍රශ්නය මතු කළහොත් මූල හේතු සොයාගැනීමට හැකියාව ලැබෙයි. උදාහරණ ලෙස බදු ආදායම පහළ මට්ටමක පවතින නිසා රාජ්‍ය වියදම පහළ මට්ටමක පවතී. ඇයි බදු ආදායම පහළ මට්ටමක පවතින්නේ කියන ගැටලුව එහිදී යළිත් මතු වෙයි. රජයට තොරතුරුනොමැති බව පවසයි. අදායම උපයන පුද්ගලයන් පිළිබඳව තොරතුරු නොමැති බවත් පවසයි. එසේම තොරතුරු එකතු කරන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? එසේනම් මේ තොරතුරු ලබා ගැනීමේ යන්ත්‍රණයක අවශ්‍යතාව නොමැතිකම නොවෙයි ද? යන කාරණය මෙහිදී මතු වෙයි. මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාව ඇත. පැහැදිලිව බදු යන්ත්‍රණය ශක්තිමත් කිරීමට අදාළ යන්ත්‍රණක් සකස් කිරීම අවශ්‍යයි. ඊට අදාළ පෙලඹවීම් අවශ්‍යයි.
ආර්ථික දේශපාලනික ආයතන ඉතා සුළු පිරිසක් වශයෙන් තමන්ගෙ අවශ්‍යතා වුවමනා පරිදි මේ දේවල් සකස් කරගෙන ඇති බවට චෝදනා ඇත. මේ තත්ත්වය මේ යථාර්ථය අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ පවතින අය වැය හිඟය ගෙවුම් ශේෂ හිඟය පියවීමට අදාළව යන මේ තියෙන මුල් හේතුවලට ආමන්ත්‍රණය කළ යුතුයි. ඇයි ව්‍යාපාර අපි ආරම්භ කරන්නේ නැත්තේ අපි ඩොලර් ගේන්නෙ නැත්තේ අපනයනකරුන්ව ඩොලර් ආදායම පිට රට සඟවා ගෙන ඉන්නේ ඇයි යන ප්‍රශ්නයට අපි ආමන්ත්‍රණය කළ යුතුයි. සෑම දෙනාටම සහභාගී විය හැකි ආර්ථික හා දේශපාලනික ආයතන ව්‍යුහයක් ඇති කිරීම යන කාරණාව අත්‍යවශ්‍යව පවතී.
වසර දහයක සිට ගෝලීය මට්ටමේ පවතින සාකච්ඡාවක් නම් රටවල් කඩා වැටෙන්නේ ඇයි කියන කරුණයි. මේ පිටුපස බරපතළ විදිහට ඇත්තේ ආයතනික ව්‍යුහයේ තියෙන දුර්වතාවයි. අවශේෂයෙන්ම ආයතනික ව්‍යුහය ඉතාමත් සිමිත පිරිසකගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පමණක් යොදා ගැනීමයි.
නිදහසින් පසුව ජාතියක් ලෙස මේ රට සංවර්ධනය කරා ගෙන යන්න අවශ්‍ය ආයතන ව්‍යුහය සකස් කිරීමට සහ යථාවත් කිරීමට පාර්ලිමේන්තුව තුළ පවතින ප්‍රධානම වගකීම වෙයි. එනම් ප්‍රතිපත්ති සහා ඊට ආදාළ ආයතනික ව්‍යුහය සහ රාජ්‍ය මූල්‍යට අදාළ වගකීමයි. ඒ නිසා මීට අදාළ විසඳුම් තියෙන්නේ දැවැන්ත ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති මතයි. රජය දැනට කෙරීගෙන යන යම් පියවර වෙයි. ආයතන පද්ධතියක් නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. ඉදිරියේදි අපනයන ප්‍රවර්ධනය රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම මේ සියලු දේ රඳා පතින්නේ කොතෙක්දුරට ආර්ථික සහ දේශපාලනික තොරතුරුවලට සියලු දෙනා අන්තර්ග්‍රහණය වූයේ ද යන කරුණු මතයි. වියට්නාමය වැනි රටවල්වලට සමාජයේ සෑම කොටසකටම සහභාගි විය හැකි වූ ආර්ථික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා සමාජයේ සියලු දෙනාටම සහභාගී විය හැකි ආර්ථික ආකෘතිය තුළ ගමන් කිරීම අවශ්‍යයි. එහෙත් ලංකාවේ එය එසේ නොවෙයි. දේශපාලනය මත පදනම් වී බොහෝ දේ තීන්දු වෙයි. මේ තත්ත්වය දිගටම රටක් ලෙස ගමන් කළ හැකියිද? ඒ ප්‍රශ්නය නියමාකාරයෙන් ආමන්ත්‍රණය කළ හැකි නම් අපිට අනාගතය ජයග්‍රහණය කිරීමට හැකි වෙයි. අපි ළඟා කරගෙන ඇත්තේ සීමිත වූ ස්ථායීතාවකි. අපි පැහැදිලිවම ඒ සම්බන්ධයෙන් සතුටු විය යුතුයි. ඒ සඳහා නායකත්වය දුන් කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා, මේ ස්ථායිතාව ඇති කිරීම සම්බන්ධව. මෙයින් ඔබ්බට යෑමේදී අත්‍යවශ්‍ය කාරණාව තමයි දේශපාලන ස්ථාවරත්වය මේ ගමන කඩා වැටීමට වැඩිපුරම බලපාන හේතු සාධකය වන්නේ දේශපාලන ස්ථාවරත්වය ළඟාකර ගැනීමට අපි අපොහොසත් වීමයි.
ආර්ථිකය ගොඩනඟන්න මේ යන මඟ හැර වෙන මඟක් නැත. අපි එයට එකඟයි. එහෙත් වඩා පුළුල් වූ සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ ඒ ගමන ඉදිරියට යා යුතුයි. එසේ නොවන්නට තාවකාලික පැලැස්තර දැමීමට ගියහොත් නැවත අර්බුදයක් කරා යනු ඇත. විශේෂයෙන්ම දේශපාලන පක්ෂ විසින් දැනට පවතින වැඩපිළිවෙළ පුළුල් කරමින් ඉදිරියට යා යුතුයි. දේශපාලන ස්ථායිතාව ඇති කිරිමට ඔවුන්ගේ සහයෝගය සහ මැදිහත් වීම අත්‍යවශ්‍යයි.
අපනයන වැඩි කිරීමට ආයෝජන වැඩි කළ යුතුයි
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
අපේ රටේ දක්නට ලැබෙන ආර්ථීක විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් අදහස් උදහස් මත පදනම් වූ ආර්ථික විද්‍යාවයි. අපේ රටේ ආර්ථික විද්‍යාව පිළිබඳව යම් යම් අදහස් ගත් විට ඒවා පදනම් වී ඇත්තේ හැඟීම් අදහස් උදහස් මතයි. දෙවැනි කොටස නම් මූලධර්ම මත පදනම් වූ ආර්ථික විද්‍යාවයි. මේ දෙවර්ගයම අපේ රටේ දැනුම ප්‍රසාරණය කිරීමට වැදගත් වෙයි. මේ ග්‍රන්ථය ආර්ථික මූලධර්මයන් පදනම් කරගෙන වැදගත්ම ආර්ථික ගැටලුව විග්‍රහ කිරීම සිදුකර ඇත. එසේ ම මෙහිදී මතු වූ විශාල ගැටලුවක් නම් අපිට මේ බර තව කොතෙක් කල් දරාගෙන සිටීමට හැකිද යන කාරණාවයි. වසර 20ක් සිට 30ක් තව ණය ගෙවීමට සිදු වෙයි යන කාරණාව මෙහිදි මතු වෙයි. ඒ කාලය වනවිට අද වැටී සිටි තත්ත්වයෙන් එළියට ඒමට අපිට හැකි වෙයිද? ඒ සඳහා කොතෙක් කාලයක් ගත වෙනවාද යන කාරණාව මෙහිදි මතු වෙයි. මෙහිදී වඩාත් අවධානය යොමු කරනුයේ විශේෂයෙන් අය වැය සහ විදෙස් විනිමය ප්‍රශ්නයයි. අපේ රටේ අදායම්වලට වඩා වියදම් වැඩි වී ඇත. අපි ණය ගත් පසු ගෙවා ගැනීමට බැරි තැනට පත් වුණාම මේ අර්බුදයට මුහුණදීමට සිදු විය. එහි වැඩි ප්‍රමාණයක් ඩොලර් ණයයි; එනම් විදෙස් ණයයි. එහි ප්‍රධාන කොටස් දෙකක් වෙයි.
පසුගිය කාලයේ විදෙස් ණය සම්බන්ධයෙන් අපේ රටේ ආර්ථික වර්ධනයක් තිබුණි. නමුත් මේ ආර්ථිකය වර්ධනය වෙන්නේ රුපියල් ආදායම් ලැබෙන ආර්ථික වර්ධනය පැත්තෙනුයි. ප්‍රශ්නය වන්නේ ඩොලර් ණය අරගෙන මෙහි ව්‍යාපෘති සිදු කර අය වැය පියවා ණය ගෙවීමට සිදු වීමයි. එහිදී රුපියල් අච්චු ගැසුවත් ඩොලර් අර්බුදය එසේම පවතියි. රුපියල් අච්චු ගැසීම මේ ඩොලර් අර්බුදය තව තවත් වැඩිවීමකි. කෙසේ වුවත් අය වැය ප්‍රශ්නය හා විදෙස් විනිමය ප්‍රශ්නය යන දෙකම එකට බැඳී ඇති ප්‍රශ්න දෙකකි. එකක් විසඳන්නේ නැතුව අනෙක විසඳන්න අසීරුයි. මේ සඳහා බලපාන මූලික ප්‍රශ්නය ඩොලර් අර්බුදයයි. ඇයි අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙන්නේ? මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්න කොතෙක් කාලයක් ගත වෙනවාද? අපට අර්බුදයෙන් ගැලවීමක් නැතිද? මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමේදී යම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ වනවිට සංචාරකයන් පැමිණීමත් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණත් තිබෙනවා නේද යනුවෙන්. මේ ශ්‍රමිකයන්ගේ ලැබෙන ප්‍රේරණ බොහෝ දෙනෙක් සෞභාග්‍යයේ කොටසක් ලෙස දකියි. එය අවාසනාවන්ත තත්ත්වයකි.
ඊට වඩා විශාල අර්බුදයකට අපි පත්ව ඇත. ඩොලර් බිලියන 5ක් සිට වසර 25කට පසුව 250 අපනයන අදායම වැඩි කරගැනිමට වියට්නාමයට හැකිවුවත් අපි ඒ කාලය තුළ වැඩි කර ගත්තේ ඩොලර් බිලියන 5ක සිට ඩොලර් බිලියන 12.5 දක්වායි. අපේ රටේ සංචාරකයන්ගේ වැඩිවීමෙන් 2018 වර්ෂයේදී ඩොලර් බිලියන 4ක් පමණ වැඩි විය. අපිට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන්නේ ඩොලර් බිලියන 6ක් පමණයි. අපිට ණය බර අඩු කර ගත හැකි වෙන්නේ ඩොලර් ඉපැයීමත් සමඟයි. මේ අර්බුදයයෙන් ගොඩ ඒමට නම් අපිට ඩොලර් ඉපැයිය යුතුයි. එසේ නම් අපි දැන් ඩොලර් උපයන්නේ කෙසේද? අපි කාලයක් තිස්සේම ඩොලර් ඉපැයුවේ සංචාරකයන් සහ විදෙස් ප්‍රේෂණ සහ ණය ගැනීමෙනි. මේ කාරණා තුන දිහා අපි පමණක් බලා සිටීම මෙතෙක් සිදු විය. අපිට IMF එකේ විස්තීරණ ණය පහසුකම් ලැබෙනතාක් ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් විවිධ ව්‍යාපෘති ණය ලැබෙයි. මේ ණයට අමතරව සංචාරකයෝ පැමිණීම සහ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණයක් ගැන අපි සතුටු වෙමු. මේ ටිකෙන් රටක් ලෙස අපි තවමත් දිවීම සිදු වෙයි. අපේ අය වැය බැලුවොත් මේ වසරෙදිත් අපි තවත් ණය සිමාව වැඩි කර ඇත. අපි තවම ණය ලබා ගනී. අපි ණය අර්බුදයක සිටියි. බොහෝ වෙලාවට මෑතකදී ලැබුණ රුපියල් 25,000/- පඩියට ගත් බඩු ප්‍රමාණය ගැනීමට අද රුපියල් 50,000ක්වත් වෙයි වෙයි. අර්බුදයේ ලක්ෂණය එයයි. මෙච්චර ඉක්මනින් මේ අර්බුදයෙන් අනිත් පැත්ත හැරීම පිළිබඳ ව අපි සතුටු විය යුතුයි. හැබැයි අපි තවම ඉන්නෙ අවධානමක. පොඩි හරි බාහිර කම්පනයක් ඇති වුණොත් අපි මේ අවධානමට නැවත වැටෙයි. ඒ වැටීම තිබුණු වැටීමටත් වඩා බරපතළ විය හැකියි. අපේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට කාරණා දෙකක් මතු කළ යුතුයි. ඒ ආර්ථික ස්ථායිභාවය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. මෙහි අපි එයින් අදහස් කරන්නෙ අය වැය ප්‍රශ්නය සමථයකට ගැනීම සහ දේශීය ණය, විදේශීය ණය යන මේ දෙවර්ගය ප්‍රතිව්‍යුහගත කර ගැනීමයි.
අපේ රට විවෘත ආර්ථිකයක් පවතින රටක් නොවේ. ආසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ගත රටවල් අතරට අපි අයත් නැත. සාමාන්‍යයෙන් වේගයෙන් ඉදිරියට එන රටවල් සෑම එකකම දේශීය බදු ප්‍රමාණය, ආයාතවලින් අය කරන බදු ප්‍රමාණය, රටේ බදු ආදායමින් ප්‍රතිශතයක් ලෙස ගත්විට 2%ක් 4%ත් අතර වෙයි. අපේ එය 18% ක් වෙයි. කෙසේ වුවත් අපිට විකෘති වූ බදු ක්‍රමයක් අනුගමනය කිරීමට සිදුවී ඇත. එයට හේතුව බදු පරිපාලනයේ ඇති විශාල දුර්වලතාවකි. ඒ සඳහා ආණ්ඩුවට ක්‍රමවේදයක් සකසා නැත. මේ රටේ ඉන්න ජනතාවගේ ආදායම කුමක්ද, වත්කම කුමක්ද, වියදම කුමක්ද යන කාරණා තුන හඳුනා ගෙන නැත. මෙතැනදී අපේ අදායම් බදු ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක නොවෙයි. අපි අපනයන අදායම අනිවාර්යෙන්ම වැඩි කර ගත යුතුයි. මේ රට අපනයන ප්‍රවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති සෑදිය යුතුයි. ස්ථායිතාව සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන කරුණු දෙක මැදිකාලීනව ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්න දෙක වෙයි. මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නේ නැතිනම් මේ ප්‍රශ්නවලින් ගොඩ ඒමට නොහැකියි. ඒ නිසා අපට අපනයන වැඩි කළ යුතු වෙයි. අපනයන වැඩි කිරීමට නම් ආයෝජන වැඩි කළ යුතුයි. ආයෝජන වැඩි කරන්නේ නැත්තේ ඇයි යන ප්‍රශ්නයට අපි ආමන්ත්‍රණය කළ යුතුයි. ඒ කරුණු ආමන්ත්‍රණය කරන්න කොතෙක් කල් ගතවෙනවාද? ඊළඟ මැතිවරණයෙන් අපි මේ ගමන නතර කරනවාද යන කාරණාව මත මෙය තීරණය වෙයි.
2003 මූල්‍ය වගකීම් පනත අනුමත කළා නම් මෙහෙම වෙන්නේ නෑ
– ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
මේ ග්‍රන්ථය පිළිබඳ විග්‍රහ කිරීමේදී එහි නම පිළිබඳව සඳහන් කළ යුතුයි. එහි නම 2024 ආර්ථික විද්‍යාත්මක හෝරාවයි. ආර්ථික විද්‍යාව යන වචනයේ තේරුම නම් මූල්‍ය අර්ථවත් ලෙස යොදා ගැනීමයි. මේ ග්‍රන්ථයෙන් පැහැදිලි කරන්නේ ලංකාවේ මූල්‍ය අර්ථවත් ලෙස යොදා ගත්තා ද යන්නයි. එයට තිබුණ බාධක සහ අපිට වැරදුණ තැන් මොනවාද යන්නයි. ආර්ථික විද්‍යාත්මක ස්වරූපයෙන් යමක් කරන්නේ නම් දත්ත මත පදනම් වී එය සිදුවිය යුතුයි.දත්ත මත පදනම්ව මෙය සිදු කිරීමට මේ ග්‍රන්ථයේ වඩා උත්සාහයක් ගෙන තිබේ. මේ ලෝකයේ මෑතකාලයේදී DDN මාතෘකාව වඩා ඉස්මතු වී ඇත. එනම් දත්ත සහිතව ඉදිරිපත් කිරීම යන මාතෘකාවයි. යම් කරුණක වටිනාකම වඩා වැඩි වෙන්නේ දත්ත සහිතව යමක් ඉදිරිපත් කළහොත් පමණයි. මේ ග්‍රන්ථයේ ද එවැනි දත්ත ඇතුළත් කර ඇත. එය වඩා වැදගත් වෙයි. මහජනයාට ඒ පිළිබඳව තර්ක ගොඩනැඟීමට මෙයින් හැකියාව ලැබේ. සාක්ෂි සහිතව මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.
මෙහි පරිච්ඡේද නවයකි. එහි මේ ආර්ථිකය කඩා වැටුණේ ඇයි යන කරුණ පැහැදිලි කරයි. මෙහිදී දත්ත පදනම් කරගෙන යම් කරුණක් සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි යන විශාල පණිවිඩයක් ඔහු ලබා දෙයි. සම්ප්‍රලාපවලින් එහා ගිය වැදගත් කථිකාවක් මෙහිදී මතු කරයි. ඉන්පසුව එතුමා සඳහන් කරන කරුණු තුනක් වෙයි. ලංකාවේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට පහක් පවත්වා ගත යුතු බව ද එහි සඳහන් වෙයි. මේ සියලු දත්ත පිළිබඳව පැහැදිලි කිරීමේදි ලංකාවේ එය පවත්වා ගෙන නොමැති බවත් පවසයි. මූල්‍ය වගකීම් පනත පැවැතියත් එය උපයෝගී කොට නොගත් බව පැහැදිලි වෙයි. එසේම 2003 අංක 3 දරන මූල්‍ය වගකිම් පනත අනුව මුළු රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60කට වඩා අඩුවෙන් පවත්වා ගෙන යා යුතු බව එහි සඳහන් වෙයි. එය 100%ක් දක්වා ගිය කාල පරිච්ඡේද ද විය. මේ පනත යටතේ මතු කරන කරුණක් නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 %ක් ද වඩා වැඩි විය යුතු නැති බව ද සඳහන් වෙයි. 2003 අංක 3 දරන මුල්‍ය වගකීම් පනත අනුව කරුණු තුනක් වෙයි. මේ එකක්වත් අපට පවත්වා ගෙන යෑමට බැරි වී ඇත.
2 වැනි පරිච්ඡේදයේදී රට බංකොලොත් කළ හේතු දෙකක් පිළිබඳ සඳහන් කරයි. එකක් නම් ණය අවශ්‍ය තිරසර මට්ටමින් පවත්වා ගෙන නොයෑමයි. එහි පිටු අංක 38 සිට 41 දක්වා මතු කරයි; මේ මහ ආර්ථික අර්බුදයට පළමු හේතුව අය වැය ලේඛනයේ ජංගම ගිණුම් හිඟය බව එහි සඳහන් කරයි. අපිට ලැබෙන අදායම, වියදම් කරන ප්‍රමාණයට සාපෙක්ෂව මදිය. එසේම විදෙස් වශයෙන් අපනයන වියදමට වඩා ආනයන වියදම වැඩියි. එසේ දේශීය ඉතුරු කිරීම්වලට වඩා ආයෝජන වැඩියි. මේ තුන් ආකාරයක අර්බුදය ගැන එහි වඩා අවධානය යොමු කරයි. විශේෂයෙන් සැම ආණ්ඩුවක තිබුණු දෙයක් නම් ණය පියවා ගැනීමට දේශීය විදේශීය ණය ගැනීම, දේපළ වත්කම් විකිණීම හා මුදල් අච්චු ගැසීම සිදු කිරීමයි. මෙහිදී දත්ත සහිතව මේවා සඳහන් කරයි.
ජංගම ගිණුමේ හිඟයට බලපාන ලද හේතු මතු කළ කරුණු අතර ප්‍රධාන දෙකක් මෙහිදී සඳහන් කළ යුතුයි. එනම් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් නොමැති වීම, රාජ්‍ය ආදායම පුනරාවර්ථන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම, අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට වැඩි අගයක් ගැනීම, මුල්‍ය වගකිම් පනතේ මූලික න්‍යායයන් පවා අපි කඩා බිඳ දැමීම ආදිය සිදු වීමයි. 69 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට 2000 සිට 2023 දක්වා රාජ්‍ය බදු ආදයම දැක්වෙයි. මේ සියල්ල පැහැදිලි කළහොත් එහි 17% සිට එය අඩු වෙමින් 9.7% දක්වා අඩුවී ඇත. ඒ සම්බන්ධයෙන් දත්ත විශාල වශයෙන් ඉදිරිපත් කරයි.
4වැනි පරිච්ඡේදයේ ජංගම ශේෂයේ හිඟය සහ ගිණුමේ හිඟය ඇති වීමට බලපාන හේතු ජාත්‍යන්තර වෙළෙඳාමේ උපනීති සමඟ සඳහන් වෙයි. වාර්ෂික අපනයන අනුපාතිකය කඩා වැටීම පැහැදිලි කරයි. වාර්ෂික අපනයන අනුපාතිකය කඩා වැටීම, ආනයන වියදම ශීඝ්‍රරයෙන් වැඩි වීම ආදී මේ සියලුම දත්ත සමඟ ගැඹුරු විග්‍රහයක් කරයි. ශ්‍රී ලංකා රුපියල දරුණුතම ලෙස කඩා වැටීම යන කරුණු එතුමා පැහැදිලි කරයි. ශ්‍රී ලංකා රුපියලේ දරුණුතම කඩාවැටීම සිදුව ඇත්තේ යහපාලන කාල වකවානුවේ බව පැහැදිලි කරයි. රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රතිවිපාක අනූ වැනි පිටුවේ විස්තර කරයි. රුපියල බාල්දු වීමේ ප්‍රතිවිපාක විවිධ ව්‍යාපෘති හරහා දක්වයි;
පස්වැනි පරිච්ඡේදයේ විග්‍රහ කරන්නේ රාජ්‍ය ණය අර්බුදයයි. රාජ්‍ය ණය වැඩිවීම කෙසේ සිදුවුයේ ද යන කාරණාව එහිදි පැහැදිලි කරයි. අනෙකුත් ණය ගත් රටවල් එනම් ජපානය 238% ක් ද ඉතාලිය 100% ද එසේම අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් දළ දේශීය නිෂ්පාදිතයට වඩා වැඩි ණය බරක් ඇති බව ද පැහැදිලි කරයි. ඒ රටවල ආර්ථික කළමනාකරණය අනුව ඒ ණය බර පවත්වා ගෙන යා හැකියි බව පෙන්වා දෙමින් ඉතා හොඳ විග්‍රහයක් එහිදී සිදු කරයි. ඒ රටවල් එසේ තිබියදී අපේ රට කඩා වැටුණේ කෙසේද යන්න හොඳ විග්‍රහක් කරයි.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් හයවැනි පරිච්ඡේදයේදී සඳහන් කරයි. ආධාරවලින් තොර රටක් නිර්මාණය කරන්නේ කෙසේද, එයට පවතින වැඩපිළිවෙළ කුමක්ද යන්න මෙහිදී දිර්ඝව සාකච්ඡා කරයි. අපි දැනට යොමුවී තියන විස්තීරණ ණය ප්‍රමාණය යටතේ ඉදිරි වැඩපිළවෙළ කුමක්ද, ඇයි අපි එයට එකඟ නොවුණේ, එය අඛණ්ඩව කරගෙන යාමේ වැදගත්කම ආදිය විග්‍රහ කරයි. අපි රටක් ලෙස පතුලටම පැමිණි විට අපිට විශාල කොන්දේසි ප්‍රමාණයක් පැවරෙයි. ත, අට සහ නවය පරිච්ඡේදවලින් IMF යාමට හේතු කාරණා පිළිබඳ අවශ්‍ය සියලුම දත්ත සඳහන් වෙයි. එසේම අද්‍යයතන යුගය පිළිබඳ හදාරන්නෙකුට 1960 ගණන්වල සිට සම්පූර්ණ දත්ත මෙහි සඳහන් වීම ඉතා වැදගත් වෙයි.
(ඡයාරූප- නිශ්ශංක විජේරත්න)
සුභද්‍රා දේශප්‍රිය