රතු මුහුදේදී හවුති කැරලිකරුවන් සහ අැමෙරිකානු යුද නෞකා අතර ඇවිලෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව යේමනය කේන්ද්‍ර කරගත් හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාරයක් පෙරේදා රාත්‍රියේ ආරම්භ කිරීමෙන් පසු මේ තත්ත්වය උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය මාස කිහිපයක සිට රතු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නැව් සහ යුද නෞකා ඉලක්ක කරමින් හවුති කැරැලිකරුවන් අඛණ්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ අතර, ආසියාව සහ අප්‍රිකාව පිහිටි කාර්යබහුල ජාත්‍යන්තර මුහුදු වෙළෙඳ ගමන් මාර්ගය ලෙස සැලකෙන රතු මුහුදේ සටන් ආරම්භ වීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් අර්බුදයක් හට ගැනීමේ අවදානමක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.55 දක්වා 4% කින් ඉහළ ගොස් ඇති අතර, අමෙරිකාවේ ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.73 දක්වා 2.71% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
බොරතෙල් සැපයුම් නෞකා සඳහා වැදගත්ම මුහුදු මාර්ගය වන රතු මුහුදේ දිනකට තෙල් බැරල් මිලියන 20කට වඩා ප්‍රවාහනය කරන අතර, එය ගෝලීය තෙල් පරිභෝජනයෙන් පහෙන් එකකි. මැදපෙරදිග ඊශ්‍රායල -හමාස් යුද ගැටුම් සහ රතු මුහුදේ වාණිජ නැව් ගමනාගමනයට හවුති කැරැලිකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් බොරතෙල් නැව්ගත කිරීමටද බාධා වීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි පසුගියදා අනාවැකි පළ වී තිබිණි
ෆවුස් මොහොමඩ්