රටට ආයෝජකයෝ නො එන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එනවා, මොකක්ද ඇත්ත තත්ත්වය.
ආයෝජන නො එන කතාව පිළිගන්න බැහැ, කොවිඩ් අර්බුදය නිසා යම් ආකාරයක පසුබෑමක් තිබුණා. ඒ වගේම රටේ පැවැති ආර්ථික අර්බුදයත් මේ සඳහා බලපෑවා. ඊටත් වැඩිය ගැටලුව වුණේ වගකිව යුතු අපේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස් විසින් රට බංකොලොත් කියල හඬ නැඟීමයි. මුදල් අමාත්‍යාංශය බංකොලොත් වෙන එකයි, සමස්ත රටක් බංකොලොත් වෙන එකයි කියන්නෙ දෙකක්. ඩොලර් මිලියන 2ක 3ක සංචිතයක ගැටලුවක් තිබුණා. එහිදී අපි රටම බංකොලොත් කියල කිව්වහම රටේ අස්ථාවරත්වයක් ඇති වෙනවා. රටක් බංකොලොත් වෙන්න නම් ඒ රටේ සියලු දේපළ ඉවර වෙලා තියෙන්න ඕන. ඒ වචනය භාවිත කළ එකම ඇත්තෙන්ම ගැටලුවක්.
ආයෝජන පැමිණීමේ දැන් තත්ත්වය කොහොමද?
ඉතා හොඳ මට්ටමක තියෙනවා, IMF එක මෙරට මූල්‍ය කටයුතුවලට සම්බන්ධ වීම තුළම, ඒ කියන්නෙ අපේ වගකීමේ කොටස්කරුවන් වීම අනුව ආයෝජක පිබිදීමක් ඇති වුණා. පසුගිය වසරේ පමණක් අලුතින් ආයෝජන 38ක් මෙරටට පැමිණ තිබෙනවා.
නමුත් ඇත්තෙන්ම ආයෝජකයො යම් ආකාරයක ඉවත්වීමක් වුණා නේද? රට හැර ගියා නේද?
ආයෝජකයො රට හැරයාමක් වුණේ නැහැ. අන්තර්ජාතික යුද තත්ත්වය නිසා ඇඟලුම් ඇණවුම් අඩු වෙලා තියෙනවා. ඒ වගේම IMF නිර්ණායක ක්‍රියාත්මක කිරීම නිසාත් ඇඟලුම් කර්මාන්තයේ යම් යම් නිෂ්පාදන අඩුවීම් ඇති වෙලා තියෙනවා. උදාහරණ ලෙස ආදායම් බදු එකවරම 30%ක් දක්වා ඉහළ නැංවීම එම කර්මාන්තයට සැලකිය යුතු ලෙසින් බලපෑවා. ඒත් එක්කම විදුලි බිල ඉහළ ගියා, ප්‍රවාහන වියදම් අධික වෙලා. එක පැත්තකින් ඇණවුම් අඩුයි, අනික් පැත්තෙන් නිෂ්පාදන වියදම් වැඩි වෙලා. මේ තත්ත්වය නිසා අදාළ ආයෝජන කලාප තුළ අලාභදායක තත්ත්වයක් නිර්මාණය වුණා. එම නිසා ඇතැම් සමාගම් තම ආයතන 10ක් ක්‍රියාකාරීව තිබුණා නම් එය 2කින් අඩු කර 8ක් පමණක් ක්‍රියාත්මක කළා. උදය හවස දෙකම සේවා මුර සිදු කළ ආයතන එක් මුරයක් පමණක් වැඩ කටයුතු කරන්න ගත්තා. මේ වෙනකොට 5000ක පමණ සේවක සේවිකාවන් පිරිසක් නිවාසයන්හි තබා මූලික වැටුප පමණක් ගෙවන තත්ත්වයක් තියෙන්නෙ. කිසිම සේවකයෙක් මූලික වැටුප් හෝ නොමැතිව නිවසේ තබා නැහැ. අපි ඇත්තෙන්ම ස්තුතිවන්ත විය යුතුයි ඒ සියලු ආයතනවලට මොකද කිසිදු සේවකයකුට අගතියක් නොවන විදිහට මේ කරපු කර්තව්‍යයට.
මේ වසරේ අත්සන් කළ යුතු ආයෝජන ගිවිසුම් සම්බන්ධ තත්ත්වය ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
මේ වසර තවමත් ආරම්භ වුණා විතරයි. නමුත් පසුගිය වසරේ ගිවිසගත් ආයෝජන ව්‍යාපෘති 30ක් අත්සන් කිරීමට නියමිතයි.
අලුතින් ආයෝජන ප්‍රවර්ධන කලාප ඇති කරන්න පසුගිය දිනවල සාකච්ඡා කළා නේද?
ඔව් මේ වන විට අලුත් ආයෝජන ප්‍රවර්ධන කලාප 4ක් වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබිල තියෙන්නෙ. ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කරගෙන එම ආයෝජන ප්‍රවර්ධන කලාප ඇති කෙරෙනවා. ඒවා ත්‍රිකුණාමලය, පරන්තන්, මාන්කුලම්, කන්කසන්තුරේ ස්ථාපිත කෙරෙනවා, විශේෂයෙන්ම මේ වන විට ජනාධිපතිවරයා අරාබි රටවල් සමඟ සාකච්ඡා කර තිබෙන්නේ එම රටවල ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්.
මේ කලාප හරහා ලැබෙන රැකියා අවස්ථා සම්බන්ධයෙන් විස්තර කළොත්…
ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ආරම්භ කළ සැණින් සියලු දෙනාට රැකියා උත්පාදනය වන්නේ නැහැ. කොහොමත් එක් කලාපයකින් 20,000කට ආසන්න පිරිසකට රැකියා ලැබෙයි කියල අපි අපේක්ෂා කරනවා, ඒ කියන්නෙ 80,000ක් පමණ පිරිසකට රැකියා අවස්ථා උදාවෙයි කියල බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ පළාත්වල දක්ෂ, තරුණ කාර්යක්ෂම පිරිස් ඉන්නවා. ඒ අයගේ සුදුසුකම්වලට සරිලන රැකියා ලබා දෙන්න පුළුවන්. කම්කරු වෘත්තියේ සිට ඉහළම තත්ත්වය දක්වා එහිදී අවශ්‍ය පුරප්පාඩු සපයා ගන්න පුළුවන්.
නමුත් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ආයෝජන අනුමැතිය ගන්න ආයතන 20කට විතර යන්න වෙන එක. මේ තත්ත්වය ආයෝජකයන්ට එපා කරවනවා නේද?
ඇත්ත, නමුත් අපි පසුගිය වසරේ මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කළා. ඒ අනුව IFC කියලා අමාත්‍යාංශ ලේකම්වරුන් 7 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් හරහා අනුමැති කඩිනමින් ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කළා. ඒ අනුව වෙරළ සංරක්ෂණ, භූවිද්‍යා, පරිසර මේ වගේ සියලු අනුමැතීන් කඩිනමින් ලබා දෙන්න පුළුවන් වුණා. ඒ සියලු දෙනා මාසෙට දෙපාරක් රැස් වෙලා කටයුතු කළා. මේ වසරේ නව ආයෝජන නීති ගෙන ඒමත් ආයෝජන කොමිසම පිහිටුවීමත් හරහා සියලු ආයෝජන අනුමැතීන් කඩිනමින් ලබා දෙන්නට පුළුවන් වේවි. වර්තමාන තත්ත්වය අනුව පරිසර වාර්තාව ලබා දෙන්න අවම කාලය දින 116ක් වනවා. ඒ වගේම අදාළ භූමිය සම්බන්ධව සති 3ක් විරෝධතා පිණිස ලබා දී තියෙනවා. නවීන තාක්ෂණය තියෙන මේ යුගයේ යල් පැන ගිය මේ රාමුවෙන් අපි ඉවත් විය යුතුයි.
මේ තත්ත්වය වෙනස් කර කඩිනමින් අනුමැතිය ලබා දෙන්නට කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව උපරිම දින 35ක් 45ක් අතර කාලයකදී සියලු අනුමැතීන් ලබා දෙන්නට කටයුතු කෙරෙනවා.
ආණ්ඩුවේ ගමන ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
හොඳ ප්‍රශ්නයක්, මහ පාරේ ඉඳල බලන කෙනෙකුට ඇත්තෙන්ම පැහැදීමක් වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නෙ. නමුත් තාක්ෂණිකව මේ දිහා බලපුවහම පැහැදිලියි රට මේ වන විට ස්ථාවර වෙමින් පවතින බවට. ජනතාවට දැනෙන්නේ ප්‍රස්ථාරවල තියෙන සංඛ්‍යා ලේඛන නෙමෙයි. කුස්සියට දැනෙන දේ තමයි ජනතාව දන්නෙ. ඒත් එක කාරණයක් පැහැදිලිව අවබෝධ කර ගත යුතු වෙනවා.
වසරකට කලින් විදුලිය, ගෑස් ඉන්ධන තිබුණෙ නැහැ. පෝලිම් කිලෝමීටර් ගණන් තිබුණා. අද වැඩි මිලට හරි ගන්න ඒ භාණ්ඩ හා සේවා තියෙනවා. දැනට පවතින මූල්‍ය විනය නිසයි මේ තත්ත්වය ඇති කර ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මූල්‍ය විනය කියන එක ජනතාවට දැනෙන්නෙ බදු කියල.
මේ තත්ත්වය තව කොච්චර කාලයක් ජනතාවට විඳින්න වෙයි ද?
අපේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 4ක් 5ක් පමණ වූවායින් පසුව අපට යම් ආකාරයක සහනදායි තත්ත්වයකට එන්න පුළුවන් වේවි. ඒත් අප අමතක නොකළ යුතු කරුණක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට අපි ණය ගෙවීම් නවත්වලා තියෙන බව. මේ වසරේ අගභාගයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී අප යළිත් ණය ගෙවීම් ආරම්භ කළ යුතු වෙනවා. අප අමතක නොකළ යුතුයි 67%ක් වූ උද්ධමනය අද වන විට 0.8 දක්වා අඩු වෙලා තියෙන බව. නමුත් අපි දන්නවා මේ තත්ත්වය අවබෝධ කර ගන්න පුළුවන් වන්නේ සීමිත පිරිසකට බව. ජනතාවගේ ප්‍රසාදයක් නැහැ ආණ්ඩුව කෙරෙහි, බඩු මිල වැඩි බව විතරයි ජනතාවට පේන්නෙ.
උද්ධමනය අඩු වුණා කිව්වට ජනතාවට දරා ගන්න අමාරු පැහැදිලි බරක් තියෙනවා…
ඔව් කඩේට ගියාම බඩු මිල වැඩියි වෛරයෙන් තමයි ජනතාව ඉන්නෙ. ඒ වෛරයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ගෝඨාභය ජනාධිපතිතුමාට යන්න වුණේ. එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කර ගත්තා නම් අපිට හුඟක් ඉහළට එන්න තිබුණා. නමුත් ජනතාවගේ ක්ෂණික ප්‍රතිචාර නිසා එතුමාට යන්න වුණා. දැන් මොකද වුණේ. බදු පිට බදු ගේන්න වුණා. මේ ආණ්ඩුවත් හොඳ නෑ කියල වෙනත් ආණ්ඩුවක් ගෙන ඒමේ ප්‍රතිඵලය මොකක්ද වෙන්නෙ. මොකද ඒ එන ආණ්ඩුව ගෙදරින් සල්ලි ගෙනැල්ල ආර්ථිකය හදනවද? කවුරු ආවත් මේ ගමන යන්නම වෙනවනෙ.
අපේ රටේ කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ විදිහෙ ප්‍රතිපත්තියක් අඩුම ගානෙ විදෙස් ආයෝජන සම්බන්ධයෙන් හෝ ඇති කරන්න කටයුතු කර නැතිද?
කලින් කිව්ව වගේ ගෝඨාභය ජනාධිපතිතුමා උත්සාහ ගත්තෙ ඒක කරන්න තමයි. මේ රටේ තියෙන යල් පැන ගිය ප්‍රතිපත්ති එක්ක ඒ වැඩේ කරන්න බැහැ. ඩෙංගු වැඩි වුණහම ඩෙංගු නිලධාරීන් පත් කරනවා, මැලේරියා වැඩි වුණහම ඒ වෙනුවෙන් නිලධාරීන් පත් කරනව. දැන් සේරම ගොඩගැහිල ඒ අයගෙ ගැටලු විසඳන්න වෙලා. මේ වගේ අවුල් ජාලයක්නෙ තියෙන්නෙ. ඒක නිසා සම්පූර්ණ ව්‍යවස්ථාවම වෙනස් කරල මේ තත්ත්වයට විසඳුමක් හොයන්න වෙන්නෙ.
සේයාරුව – දුෂ්මන්ත මායාදුන්නෙ
තාරක වික්‍රමසේකර