Home » නායකත්වය බලන්නෙ එයාලගෙ පැවැත්ම විතරයි

නායකත්වය බලන්නෙ එයාලගෙ පැවැත්ම විතරයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔබ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා? මොකක්ද ඇත්තටම හේතුව?

සමස්ත ලාංකේය සමාජයම දේශපාලනයත් එක්ක වෛරයෙන් ඉන්නෙ. ඒ වෛරය එන්න එන්නම වැඩිවෙනවා. කිසිම පැහැදිලි විසඳුමක් නැහැ මේ තත්ත්වයට. ඒ ගැන කතා කරල වැඩකුත් නැහැ. පාර්ලිමේන්තුවේ ඒ ගැන හඬ නඟන අපට බාධාත් ඇති වෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම තියෙද්දි, අපි තව දුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමෙන් වැඩක් තියෙනවද?

නමුත් ඔබගෙ දුවට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීමේ කතාවකුත් ඔබගේ මේ අස්වීම පිටුපස තියෙන බව ඔබ කියා තිබුණා?

ඒකත් ආසන්නම හේතුවක් තමයි. මගේ අවුරුදු 4ක දරුවට මම බේත් ගන්න කොළඹ පෞද්ගලික රෝහලකට ගියේ අනෙක් මැති ඇමැතිවරු වගේ නෙමෙයි. මම අංකයක් අරගෙන නියමිත විදිහට චැනල් කරල පෝලිමේ ගියේ. මට ලැබුණෙ අංක 01, ඒ වුණත් මම 6 වෙනියට යවල මට පස්සෙ අංක තිබුණු අය මුලින් යැව්වා. මම එතන හිටපු කෙනාට කිව්ව එය සුදුසු ක්‍රියාවක් නොවන බව. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මම චැනල් කරපු වෛද්‍යවරයට ඒ ගැන කිසි දෙයක් කිව්වෙ නැහැ, මම හිතන්නෙ මම කියපු කතාව ඒ කෙනා වෛද්‍යවරයට කියන්න ඇති. වෛද්‍යවරයට මම කිව්වෙ දරුවගෙ අසනීපය ගැන විතරයි. වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ ක්‍රියාව වෛද්‍ය ආචාරධර්මවලට එකඟ ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ වරදක් නැතිව පවා අවුරුදු 4ක දරුවට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය ඒක නම් අපි මැති ඇමැතිවරු ලෙසින් ඉඳීමේ තේරුම මොකක්ද? ඒකත් බලපෑවා තමයි මේ තීරණයට. මන්ත්‍රීවරුන්ට සමාජයේ තියෙන අප්‍රසාදය ගැන මට හොඳට තේරෙනවා.

නමුත් ඔබට විරුද්ධව මේ වෙලාවෙ චෝදනාවක් ඇවිත් තියෙනවා ඔබ ලක්ෂ 900කට මන්ත්‍රී ධුරය පාවා දුන් බවට..

මම උපතින්ම කෝටිපතියකුගේ පුතෙක්. මම පාර්ලිමේන්තුවට ආවෙ වී 8 රථයකින්. අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණාට පස්සෙ මට තාත්තා අරගෙන දීපු බයිසිකලේ ලක්ෂ 3 ½ක් විතර වුණා. උසස් පෙළ සමත් වුණාට පස්සෙ අරගෙන දුන්නෙ රේසිං කාර් එකක්. මෙතෙන්ට ඇවිත් ඩීල් දාන්න අවශ්‍යතාවක් මට නැහැ. මොකද මගේ තාත්තගේ විශාල දේපළක් එක්කයි මම ඉන්නෙ. මම පිරිසිදු චරිතයක් කියල විතරයි මට කියන්න පුළුවන්.

ඔබ කිව්වා සමාජයේ නිතරම ගැවසෙන කෙනෙක් විදිහට මන්ත්‍රීවරුන්ට සමාජයේ වෛරයක් තියෙන බව දන්නවා කියලා. ඇයි මෙච්චර කාලයක් ගියේ ඉවත්වීමේ තීරණයක් ගන්න.

මගේ දරුවන් පාසලට ගෙනියන්නෙ ගේන්නෙ මම, මට ඇහෙනවා පාසල් ළඟදි මවුපියන්ගේ කතාබහ. එක්කෙනෙක් දේශපාලකයන්ගේ හොඳක් දකින්නෙ නැහැ. ඇහෙන්නෙම වෛරයෙන් කියන කතා. අප්‍රසාදය ඉතා පැහැදිලියි. මේ ගැන අවස්ථා කීයක් කතා කළාද?

ඇත්තෙන්ම ඔය හේතු විතර ද බලපෑවෙ.

මම පිරිසිදු දේශපාලකයෙක්. කවදාවත් හොරකම් කරල නැහැ. වංචා දූෂණවලට සම්බන්ධ නැහැ. මම ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ආවෙ ඒ අයට ඉදිරියට එන්න අත දෙන්න. එහෙම වෙලා සමස්ත පාර්ලිමේන්තුවේ ඉන්න 225ම හොරු කියන සංකල්පයට එන්න මට බැහැ. ඒ ජනතාවට උදවු කරන්න මට බැරි නම් මට විතරක් නෙමෙයි මගේ දරුවන්ට පවා සමාජය පිළිකුල් කරන තත්ත්වයක් ඇති වෙනවා. නියම ජනතා නියෝජිතයෙක් ලෙස ඉන්න බැරි නම් මොකක්ද පාර්ලිමේන්තුවේ සිටීමෙන් ඇති ප්‍රතිඵලය? ඇත්තෙන්ම පාර්ලිමේන්තුව කියන්නෙ සැබෑ මහජන නියෝජනයක් ද කියල හිතල බලන්න.

ඔබ මේ ගැන පක්ෂය දැනුවත් කිරීම් කළේ නැත්ද?

කලින් ඉඳලම මේ තත්ත්වය ගැන අපි කතා කළා. මම කිව්ව වගේ ඒ ගැන කතා කරන්න පුළුවන් වාතාවරණයක් පාර්ලිමේන්තුවේ නැහැ. ඇත්තෙන්ම කතා කරල වැඩක් නැහැනෙ. ජනතාව ගැන තේරුම් අරගෙන කතා කරන දේශපාලකයන් කීදෙනා ද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. ජනතාවත් ඒ අයම පත් කරල එවනවා.

ඒ කියන්නෙ අපේ ජනතාව බුද්ධිමත් නැහැයි කියන එකද?

ජනතාව බලන්නෙ පක්ෂයේ ප්‍රතිපත්ති, ගම්මටටමේ නියෝජනය කරන දේශපාලක පිරිස් හැමවිටම පක්ෂ ප්‍රතිපත්ති කියනවා. ඒ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්න අනුගාමිකයන් යොමු කරන්න උත්සාහ කරනවා. නමුත් නායකත්වය ඒ පක්ෂයේ ප්‍රතිපත්ති, පක්ෂ නියෝජිතයන් රකිනවද? නායකත්වය පක්ෂ නියෝජිතයන් රකින්නෙ නැහැ. එයාලගෙ පැවැත්ම විතරයි බලන්නෙ.

ඔබ කියන්නෙ සියලු පක්ෂවල නායකත්වය එහෙමයි කියල ද?

මම කිව්වෙ බහුතර පක්ෂවල තත්ත්වය

එතකොට ඔබ නියෝජනය කරන සමගි ජන බලවේගයේ නායකයා?

හොඳ නායකත්වයක් තියෙනවා, නිවැරැදි තීරණ ගැනීමේ හැකියාවක් ඇති නායකත්වයක් සමගි ජන බලවේගයට තියෙනවා.

ඇයි එහෙමනම් අයින් වුණේ, පක්ෂයේ තවදුරටත් ඉන්න තිබුණනෙ..

මම පක්ෂයෙන් අදටත් අයින් වෙලා නැහැ. මම නායකතුමාටත් කියල තියෙනවා රටේ තත්ත්වය ගැන, මට අවශ්‍ය ජනතා නියෝජිතයා කියන එක වචනයකට සීමා කරන්න නෙමෙයි.

ඔබට නායකත්වයෙන් යම් බලපෑමක් එල්ල වුණා ද ඉවත් වෙන්න කියලා…

නැහැ , කිසිසේත්ම නැහැ. මම ඉවත් වෙන්න තීරණය කරපු බව දන්නෙ මමයි , නෝනයි, තාත්තයි විතරයි.

විශේෂයෙන්ම මගේ කලකිරීම තේරුම් ගත්ත තාත්තා, කිව්ව. “තමන්ගෙ ගෞරවය තියාගෙන දේශපාලනය කරන්න බැරි නම් අයින්වෙන එක හොඳයි‘ කියලා. නැත්නම් මගේ දරුවන්ටත් පාරෙ බැහැල යන්න බැරි තත්ත්වයක් එයි කියල තාත්තා, කියල තිබුණ.

ඔබ පක්ෂයේ ඉඳිමින් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ..

පක්ෂය පවරන නිවැරැදි ක්‍රමවේදයක් අනුව වැඩ කරනවා. නමුත් යම් අවස්ථාවක පක්ෂයට මාව අනවශ්‍ය බව දැනුවත් කළොත් මම පක්ෂයෙනුත් ඉවත් වෙනවා.

ඒ කියන්නෙ වෙනත් පක්ෂයකට යනවද?

නැහැ , මම මගේ දූ දරුවොත් එක්ක ඉන්නවා.

ජනතාව 225ටම බණිනව නම්, ඇයි මේ තරමට පක්ෂය බදාගෙන ඉන්නෙ.

පක්ෂය බදාගැනීමක් නෙමෙයි, හැම ආණ්ඩුවක්ම බලයට එද්දි කිව්වෙ මොකක්ද? හොරු අල්ලනව කියල, අල්ලපු හොරෙක් ඉන්නවද? ඉහළ පෙළේ නායකයො හොරකම, දූෂණයට සම්බන්ධ අය එකිනෙකා ආරක්ෂා කර ගන්නවා. අවුරුදු 74ක සාපයක් ගැන කතා කරන හොරු අල්ලන්න අතේ ෆයිල් තියෙනව කියන අය මොකද කරන්නෙ. එයාල කියන්නෙ හොරු ඉන්නව එයාලට බලය දෙන්න කියල, නමුත් ඔච්චර ෆයිල් තියෙනවා නම් සේරම හොරු අල්ලන්න එපැයි. නමුත් අපේ පක්ෂ නායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මේ රට බංකොලොත් කරපු අය ගැන නියම තීන්දුව ජනතාවට ලබා දුන්නා. කිසිම ඩීල් දැමිල්ලක් නැහැ. ජනතා හිතවාදීත්වය කියන්නෙ සැබෑ‍ හොරු ඒ විදිහට හෙළි කරන එකනෙ. නැතුව අරයගෙ ෆයිල් එක මා ගාව තියෙනවා, අරය මෙච්චර හොරා කාල තියෙනව කියල කියවා කියවා ඉන්න එක නෙමෙයිනෙ.

ඔබ කළමනාකරණ උපාධිධාරියෙක්. රටේ ආර්ථික ගමන් මාර්ගය ගැන දකින්නේ කෙසේද?

අපි IMF එක කියන කියන පදේට නටන්න ඕන නැහැ. අද වන විට වැට්, වගේම බදු වැඩි කරල ජනතාව විශාල පීඩාවකින්නෙ ඉන්නෙ. ඒකෙන් වෙන්නෙ සියලු දේ වැටෙන එකනෙ. ඒකෙන් වෙන්නෙ ජනතාවත් දේශීය ව්‍යාපාරත් විශාල අගාධයකට වැටෙන එකයි. ව්‍යාපාර ගොඩ ගන්න ක්‍රමවේදයක් ඕන. ඒත් ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසි දෙයක් කරල නැහැ. මේ තත්ත්වයෙන් වෙන්නෙ තියෙන ආර්ථිකයත් වැටෙන එකනෙ. කන්න නැති ජනතාවට දීල තියෙන පහසුකම් මොනවද?

ජනතා සහන වැඩපිළිවෙළ තියෙනවනෙ…

ඒවා, ඇත්තටම ජනතා සහන නෙමෙයිනෙ. දේශපාලකයන් තමන්ට ලකුණු දාගන්න, ඉදිරි මැතිවරණ අපේක්ෂාවෙන් කරන වැඩ, ඒවට ජනතාව අහුවෙනවා.

උදාහරණයක් විදිහට කියනවා නම් මේ දවස්වල ජනතාව දැඩි පීඩනයකින් ඉන්නවා දූ දරුවන්ට පොත් පත් අරගෙන දෙන්න විදිහක් නැතුව. ඒකෙනුත් අපේ දේශපාලකයො ප්‍රයෝජන ගන්නවා. පොත් පත් ටිකක් ගෙනැල්ල බෙදනවා. අහිංසක පොත්පත් ගන්න බැරිව ඉන්න මවුපියන් ගිහින් ඒව ගන්නවා. එයාලට ඒ වෙලාවෙ ඒව දෙන කෙනා වීරයෙක්. එයා හොරෙක්, තක්කඩියෙක්, මේ කවුද කියන එක ගැන ඒ අවස්ථාවෙ එයාලට දැනෙන්නෙ නැහැ. මොකද අවශ්‍යතාව ලොකුයි ඊට වඩා.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division