ඔබ කවියට පෙම් බඳින්නකු නම් ඔහුගේ කවි කිසිදා ඔබට මඟ හැර යා නොහැකිය. ඒ එතරම්ම අපූර්වය. ඔබ ගීත ලෝලියකු නම් ඔහු ලියූ ගී පද ඔබේ සවන් සිප හදවත සොරා නොගත්තේ නම් ඔබ රසවතකු විය නොහැකිය. ඒ එතරම්ම රසය, මිහිරිය; අරුත්බරය.
“ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරණා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා“
යනුවෙන් ප්‍රවීණ ගායන ශීල්පී අමරසිරි පීරිස් ගයන මේ සුගායනය ඔබ නැවත නැවත අසන්නේ විඳින්නේ එහි ඇති ඒ අපූර්වත්වය නිසාමය. මේ කියන්නට යන්නේ ඒ අපූර්ව ගී පද ගෙත්තම් කරන අපේ කාලයේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචක අමිල තේනුවර ගැනය.
අමිල කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ ඔහුගේ සිංහල ගුරුවරයා වූයේ ප්‍රවීණ ගීත රචකයකු වූ සුනිල් ගුණවර්ධනය. ඔහුගේ සාහිත්‍යකාමී රසවත් ඉගැන්වීම් රටාව නිසා අමිල තුළ කවිය හා ගීතය කෙරෙහි පුදුමාකාර ආශාවක් ඇති විය. මේ ආශාව නිසාම ඔහු කවි ගී අකුරු කරන්නට පටන් ගත්තේය. අමිල ඒ ගැන කියන්නේ මෙවැන්නකි.
සුනිල් සර් හරිම රහට සිංහල ඉගැන්නුවා. කවිය ගීතය ගැන ඔහු අපට ඉගැන්වූ ආකාරයට මගේ හිත මටම නොදැනී ඒ වෙත ඇදී ගියා. මටත් සර් වගේ වෙන්න ඇත්නම් කියල හිතුණා. එහෙම හිතල මම කවි ලියන්න පටන් ගත්තා. ඒ විදිහට ගොඩක් කවි මං ළඟ එකතු වුණා. ඒ කවි එකතු කරලා 1997 දී “පුර හඳ වරදේ බැඳේ” කියන නමින් කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළා.
උසස් පෙළ අවසන් වී ඉන්න කාලේ අමිල කවිවලට අමතරව ගීත ලිවීමටද උත්සාහ ගත්තේය. නමුත් තමන් ලියූ ගීත පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මේ කාලයේ ප්‍රතිභාපූර්ණ ගීත රචකයකු වූ රත්න ශ්‍රී විජේසිංහයන් වාසය කළේ ගාලු කොටු පවුර තුළ පිහිටි නිවසේය. අමිල තමන් විසින් ලියූ ගීතද රැගෙන ඔහු හමුවීමට ගියේය.
“එතුමා මා ලියූ ගීත හොඳින් කියෙව්වා. හරිම ළෙන්ගතුකමින් ඒවායේ තිබූ ගුණ දොස් කියා දුන්නා. ඒ විදිහට ඔහුගෙන් ලැබුණු උපදෙස් අනුව මා නැවත නැවත ගී ලිව්වා. ඒ විදිහට ලියපු ගීත 16ක් “සක්වාලිහිණි” නමින් ජනගත කරන්න මට හැකියාව ලැබුණා. ඒ ගීත ඇල්බමයේ තිබුණු ගීත අතරින් දෙකක් ශ්‍රාවකයන් අතර ඉතා ජනප්‍රිය වුණා.
ලක්ෂ්මන් හේවාවිතාරණ ගයන “ මං අහන්නෙ නම් නෑ රත්තරනේ” ගීතයත් ඒ විදිහට අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණ ගීතයක්. ඒ ගීතය හැම රේඩියෝ නාළිකාවකම ප්‍රචාරය වුණා. මේ නිසා මම ගීත රචනා ක්ෂේත්‍රය තුළ ගීත රචකයෙක් ලෙස බොහෝදෙනා හඳුන ගත්තා. ඇත්ටම මේ ගීතය නිසා ලක්ෂ්මන් සහ මා දෙන්නාම ජනප්‍රිය වුණා.“
අමිල පැමිණි ගමන් මඟේ සන්ධිස්ථානය සලකුණු වන්නේ අමිල හා දර්ශන රුවන් දිසානායක අතර ඇතිවන මිත්‍රත්වයයි. ඒ ගැන අමිල කියන්නේ මෙවැන්නකි.
“මම මෙතෙක් ලියපු ගීතවලට හොඳම තනුව සංගීතය එකතු වුණේ දර්ශන රුවන් අතින්. ඒ ගැන මං කියන්නේ අනෙක් සංගීතඥයින් අවතක්සේරු කරන්න නෙමෙයි. ඔහු මගේ පරම්පරාවේ කෙනෙක් නිසා. මගේ හැඟීම් වලට හොඳින්ම සංවේදී වුණේ ඔහුයි. මේ වන විට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය රසිකයන් ආදරයෙන් වැලඳ ගත්ත ගොඩක් නිර්මාණ ඔහුගේ සංගීතයෙන් හැඩවූ නිර්මාණ. අපි අතර කතා බහ අතරතුර ගීතයකට නිමිත්තක් පහළ වුණොත් ඔහු ගිටාරය අරන් ඒකට තනුවක් නිර්මාණය කරනවා. ප්‍රවීණ ගායක විශාරද අමරසිරි පීරිස් මහත්මයා ගයන“කාත් කවුරුවත් නැති බව දැන දැන”, “ඉකිගසා හඬන අතීතයක”, “අතින්වත් අත ඇල්ලුවේ නෑ”, “විශ්වය විනිවිද මන්දාකිනියම”, “නුඹ නුඹේම විතරක්”… වැනි ගීත ඒ විදිහට වේගයෙන් රසික සිත් ආකර්ෂණය කළා.
“අතින්වත් අත ඇල්ලුවේ නැ
කිසිම කිලුටක් තිබුණේ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුණේ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ“
අමිලගේ නිර්මාණ දිවියේ අපූර්වතම ගීතයත් වන මේ ගීතයත් හැඩ වෙන්නේ දර්ශන රුවන් දිසානයක අතිනි.
මේ සින්දුව අහම්බෙන් ලියැවුණු ගීතයක්. මමයි දර්ශනයි තවත් කිහිප දෙනකුයි මධු විතක් තොලගාමින් ඉන්න වෙලාවක පළමු ආදරේ ගැන කතාබහක් ඇති වුණා. ඔබේ සුවඳ පිරුණු පුංචි කාමරේ, ඔබට යන්නම ඕනෑ නම්, නින්ද නැති රැයේ වගේ එදා අපේ මාතෘකාවට ආවා. ඒ කතාබහ යන අතරේ දර්ශන ඇහැව්වා අමිල උඹ පළමු ප්‍රේමය ගැන මුකුත් තාම ලියලා නෑ නේද කියලා. අම්මපා ඔවුනෙ බං. මට ඒක මඟ ඇරුණනනේ කියලා. ඒක ඒ වෙලාවේ මගෙ ඔළුව ඇතුළෙ වැඩ කරපු නිසා මං සර්වියට් පේපර් එකක් අරගෙන “අතින්වත් අත ඇල්ලුවේ නෑ කියලා” ලිව්වා. දර්ශන ඒ වචන ටිකට එවෙලෙම ගිටාර් එකෙන් මෙලඩියක් දැම්මා. ඒ මෙලඩිය මට රහටම දැනුණා. ඒ රහ නිසාම ගීතය එවෙලෙම සම්පූර්ණ කරලා දර්ශනට දුන්නා. දර්ශන මෙලඩිය දාලා ඉවරවෙලා මචං මේ සින්දුව රහටම කියන්න පුලුවන් අමරසිරි අයියට තමයි” කියල කිවුවා. මමත් එතැන හිටපු හැමෝමත් ඊට එකඟ වුණා.
එවෙලෙම අපි පිළියන්දල පිහිටි අමරසිරි අයියගෙ ගෙදරට ගියා. දර්ශන ගිටාර් එක වාදනය කරමින් මේ ගීතය කියල පෙන්නුවා. අමරසිරි අයියා දෙනෙතේ කඳුළු පිසිමින් ගීතය භාර ගත්තා.
කුළුදුල් ප්‍රේමය කියන්නෙ අපි හැමෝටම අහිමිවුණු සුන්දරම අත්දැකීමක් ඒ වගේම අමතක කරන්න බැරි මතකයක්. වත්පොහොසත් කම්, ජාති කුල මල හෝ වයස් පරතරයක් මේ කිසිම දෙයක් නොතකන සුන්ඳර හැඟීමක්. පළමු ප්‍රේමය ඒ තරම්ම පිවිතුරු අධ්‍යාත්මික යි. ඒ නිසාම කුළුඳුල් ප්‍රේමය ගැන ලිය වුණු පරිපූර්ණ ගීතයක් විදියට රසිකයන් අතර මේ ගීතය අදටත් රැඳී තිබෙනවා.
“ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා“
අමරසිරි පීරිස්ගේ හඬින් ගැයෙන මේ ගීතයද ශ්‍රාවක ප්‍රජාව අතර විශාල ආකර්ෂණයක් ඇති කළ ගීතයකි. මෙය අමිල තේනුවර අතින් රචනා වෙන්නේ අප එකතුව කළ පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන කාලයේදීය.
මේ සින්දුව අහල දවසක් ජයන්ත අයියා මට කතා කරල මල්ලි මේ සින්දුව මගේ අලුත් ෆිල්ම් එකේ තේමා ගීතයට හරියටම ගැළපෙනවා. මට මේක දෙනවද කියලා. “ඉතිං ඔයා ගන්න”කියලා මං ගත් කටටම කිවුවා.
මෙම ගීතය සමනල සංධ්වනිය සිනමා පටයේ තේමා ගීතය විදියට යොදා ගැනීමත් සමඟ ගීතය නිසා චිත්‍රපටයටත් චිත්‍රපටය නිසා ගීතයටත් ලොකු ආලෝකයක් ලැබුණේය. එමෙන්ම යූටියුබ් හරහා චිත්‍රපටයේ විෂුවල් එක්ක මිලියන ගණනක් ජනතාව මේ ගිතය නරඹා තිබුණි. අදටත් නරඹති.
හැම තිස්සෙම මං උත්සාහ ගන්නේ කෙදිනකවත් අසා නැති ගීතයක් ලියන්න මිසක් එක වගේ ගීත ලියන්න මං ආස නැහැ. අදාළ ප්‍රශ්තුතය වගේම ආකෘතිය පිළිබඳවත් මං සැලකිලිමත් වෙනවා. මගේ හැම ගීතයකම ඒ ගීතයටම අනන්‍ය වූ ආකෘතියක් ඇත්තේ ඒ නිසා. අමිලගේ බොහෝ ගීතවල ඇති සුවිශේෂත්වය වන්නේ ඔහු බොහෝවිට සිය ගීතවල ධ්වනිථාර්ථ මතුකරන්නේ ඒ අත්දැකීමේ හිඩැස කියැවීමට ගන්නා උත්සාහය නිසාය. එය බොහෝ ගීත රචකයන් තුළ ඉතා අඩුවෙන් දකින ලක්ෂණයකි.
මෙම ප්‍රතිභාපූර්ණ කලා ශිලිපියාගේ නිර්මාණ දිවියට වසර විසි පහක් ගෙවී යන මේ වසරේ හේ අකුරු කළ ගීත අතුරින් තෝරාගත් ගීත විසි හතරත් ආදරණීය සහෘද ඔබ සමඟ වින්දනය කිරීමට බලා පොරොත්තුවෙන් සිටී. ඒ සුබ හෝරාව උදාවන්නේ ‘නාවේ නුඹ විතරයි’ නමින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනවාරි මස 18 වැනිදා සවස 6:30ට පැවැත්වෙන සංගීත සංධ්වනිය සමඟය.
මෙහිදී අමිලගේ යූ ටියුම් නාළිකාවද ජනගත කිරීමද සිදු වීමට නියමිතය. එහි අමිලගේ ගීත පමණක් නොව ඔහු ලියූ කවි ද රසිකයන් අතට පත් කිරීමට කටයුතු කරනු ඇත. මෙවන් අර්බුදකාරී සමයක ප්‍රංශය සඳහා පූර්ණ අර්ථපතීත්වයෙන් අනුග්‍රහය දක්වන්නේ ඔහුගේ රසිකාවියක වන ග්‍රෙගරිස් ආයතනයේ අධිපති කුමාරි ජයසිංහය.
මෙම සන්ධ්‍යාවේදී අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, සේනානායක වේරලියද්ද, කසුන් කල්හාර, චන්දන ලියනආරච්චි, ජානක වික්‍රමසිංහ, ලක්ෂ්මන් හේවාවිතාරණ, ශෂිකා නිසංසලා, රවින් කණිෂ්ක, ඉන්දිකා උපමාලි, සමිතා මුදුන් කොටුව, ක්‍රිෂාන්ත එරන්දක, දයාන් විතාරණ, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, මිත්‍ර කපුගේ, ඇතුළු පිරිස ‘නාවෙ නුඹ විතරයි ප්‍රසංගය ගීතවත් කරන අතර, කැලුම් ශ්‍රීමාල් කථනයෙන් දායක වේ. ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම දර්ශන රුවන් දිසානයක ගෙනි.
රසික කොටුදුරගේ