මෙවර පැවැති 50 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම කෙටි නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය සඳහා වන සම්මාන ත්‍රිත්වයම දිනා ගනු ලැබුවේ ‘වේකන්සියක් ඇත’ කෙටි නාට්‍ය නිර්මාණය කළ රවිඳු සම්පත් වික්‍රමසේකරයි. හොඳම නළුවා සහ හොඳම රංගාලෝකය සඳහා හිමි සම්මාන 2 ද හිමි වූවේ ඔහුගේ ‘වේකන්සියක් ඇත’ නාට්‍ය සඳහාය. සියලු ආනුෂාංගික අංගයන්ගෙන් සමබරව, පර්යේෂණාත්මක අත්හදාබැලීම් සහිතව නැවුම් බවකින් යුතුව වේදිකාව මත කළ කාර්ය උදෙසා මෙම සම්මාන හිමිව තිබිණි.
ගාල්ල, කොග්ගල උපන් රවිඳු කලාවේ තිඹිරිගෙය කරගත්තේ ගාල්ල, කතළුව ජාතික පාසල් වේදිකාවයි. නාලක ජිනේන්ද්‍ර ගුරුතුමාගේ ගුරුහරුකම් මැද ඔහු නාට්‍ය හා රංග කලාව විෂය ධාරාව ඔස්සේ සමස්ත ලංකා මට්ටම දක්වා ගියේය. 2017 වසරේ ඔහු කොළඹට පිවිසෙන්නේ ද ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ඇතුළත් වීමේ අරමුණෙනි. එහි ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් ප්‍රවීණයන් ඇසුරේ කොළඹ නාට්‍ය කලාව යනු කුමක්ද? යන්න මෙන්ම යාවත්කාලීන වන නාට්‍ය කලාව ගැන අධ්‍යයනය කරන අතරේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනීකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ද හදාරනු ලැබීය. 2019 වසරේ 47 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා නිර්මාණය කළ ‘අහේතුවක්’ කෙටි නාට්‍ය අවසන් වටය දක්වා සුදුසුකම් ලබන්නේ ඔහුගේ කුලුඳුල් නාට්‍ය අත්දැකීම ලෙසිනි. 2020 වසරේ ඔහු අතින් නිමවෙන්නේ ‘ගිනිගත් දවසක්’ කෙටි නාට්‍යයයි. 49 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළ සඳඟා ඔහු නිර්මාණය කළ ‘නමක් නැති කවියක්’ කෙටි නාට්‍ය කුසලතා සහතිකයකින් පිදුම් ලබන්නේ ද දමින්ද නන්දරතනට එහි හොඳම නළුවා තුන්වැනි ස්ථානය හිමිකර දෙමිනි.
මෙවර 50 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන 5කින් පිදුම් ලබන්නේ ඔහුගේ සිවු වැනි කෙටි නාට්‍ය නිර්මාණය වන ‘වේකන්සියක් ඇත’ යන්නයි. නාට්‍ය කලාවට පිවිස වසර 12කින් පසුව ලබන කුලුඳුල් සම්මාන ගැන ඔහු සතුට පළ කළේ මෙලෙසිනි.
“‘වේකන්සියක් ඇත’ නාට්‍ය පිටපත මුලින්ම ලියැවෙන්නේ 2022 මොරටුව විශ්වවිද්‍යාලයේ අසනි නාට්‍ය උලෙළට. ඒකට පාදක වුණේ ෆේස්බුක් එකේ ෂෙයාර් වුණ පෝස්ට් එකක්. දුප්පත් සීය කෙනෙක් සේලයින් බෝතලයක් අතේ තියාගෙන රජයේ රෝහල් ඇඳක ඉඳගෙන රෝහලේ ජනේලයකින් ඈත ලස්සනට පේන කොළඹ නෙළුම් කුලුන දිහා බලාගෙන ඉන්න දර්ශනයක්. ඒක දැක්කම මගේ හිතට ආවෙ ප්‍රශ්නයක්. එක පැත්තකින් අපේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රශ්නයක් තියේද කියල හිතන්නවත් බැරි දේවල් දකිනවා. අන්න ඒ ගැන තමයි මං මේකෙන් කියන්න උත්සාහ කළේ. ලොකුම ඛේදවාචකය කියන්නෙ අපි ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුරුදු වෙනව, එහෙම නැත්නම් ඒවත් එක්ක ජීවත් වෙනව මිසක් කවුරුවත් ඒවට විසඳුම් සෙවීමක් කරන්නෙ නැහැ.
‘වේකන්සියක් ඇත’ කියන එකෙන් කියවෙන්නෙ මේ නෙළුම් කුලුනෙ ලයිට් දාන පුද්ගලයාගෙ වේකන්සිය ගැන. ඒකට එන්නෙ තරුණයෙක්. එතැනදි ඔහු මුහුණදෙන පුහුණුවීමේ ක්‍රියාවලිය තමයි කතාව තුළ ගලාගෙන යන්නෙ.
මේ සම්මාන අපට තවත් විශේෂ වෙන්නෙ මේක යෞවන සම්මාන උලෙළේ දෙවැනි වටයට ඉදිරිපත් වෙලා ඒකෙන් ඉවත් වුණා. ඊට පස්සෙ රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කළේ කොහොමහරි තුන් වැනි ස්ථානයට හරි එනව කියන බලාපොරොත්තුවෙන්. එහෙම ගිය අපට අන්තිමේ පළවෙනි ස්ථානය විතරක් නෙවෙයි සම්මාන පහක්ම ලැබුණා. මුලින්ම හොඳම තිර පිටපත විදිහට මගේ නම කියැවෙද්දි හිතාගන්න බැරි වුණා. ඊට පස්සෙ මගේ නාට්‍යයට සම්මාන පහක් ලැබෙද්දි ඇඟත් පණ නැතිවෙලා ගියා. කියාගන්න බැරි සතුටක් දැනුණා. අපි මේක පටන් ගත්තෙ එකම බෝඩිමේ හිටිය කිහිප දෙනෙකුගෙන්. මම, පසිඳු, සඳුන් සහ සුදෙව්. ඒ නිසා මේක බෝඩිමේ නිෂ්පාදනයක් කිවුවත් හරි. ඒ දවස්වල අපි රස්සාවට ගිහින් ඇවිත් රෑට උයල තමයි රිහසල් පටන් ගන්නෙ. මේ වෙද්දි සෑහෙන පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. කාන්තා චරිත නෑ. එක පවුලක් වගේ ගොඩක් කැපවීමෙන් දායක වුණ මගේ නාට්‍ය කණ්ඩායම මේ වෙලාවෙ ආදරෙන් සිහිපත් කරනවා. මේකෙ පිටපත, අධ්‍යක්ෂණය සහ රංග වින්‍යාශය මගේ. සඳුන් ප්‍රසාද් අබේකෝන්, පසිඳු රාජපක්ෂ රංගනයෙන් දායක වෙනවා. වේදිකා පරිපාලනය සුරාජ් ලසන්ත හේවගේ, ඉරේෂ් නුවන්, රවිචන්ද්‍රන් දීපන්. ආලෝකකරණය රංග කාරියවසම්. පසුතල නිර්මාණය චතුරංග පෙරේරා සහ ගයාන් සඳකැලුම්. සංගීතය මහේල සහ ඉසුරු හේරත්. ඒ හැරුණම අංජානි පෙරේරා, චාමර, ඉසුරු සඳරුවන් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කටයුතු කළා. අංග රචනය රන්දික ටිෂාන්.”
‘වේකන්සියක් ඇත’ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළට පමණක් සීමා නොකර ඔහුගේම තවත් නාට්‍ය තුනක් එක්කරමින් නාට්‍ය උලෙළක් ලෙස කොළඹින් පිට පළාත්වල ද වේදිකාගත කිරීමට බලාපොරොත්තු වන රවිඳු අනාගතයේ දී සිනමා නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුව සිතැතිව සිටියි.
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නෙ
නාමලී ගමගේ