හිරු පෑයූ දීප්තිමත් උදෑසනක පළිඟු මෙන් දිලෙන නිල් පැහැ සමුදුරු ජලයේ රැලි මත පෙරළෙමින් නෙක දස්කම් පාන ඩොල්ෆින්ලාගේ දසුනක් සිතට කෙතරම් මිහිරියාවක් ගෙන දිය හැකිද? ඩොල්ෆින්ලා එකෙකු දෙන්නකු නොව බැලු බැලූ අත එවැනි අපූරු රැඟුම් රඟන ඩොල්ෆින්ලා රංචු පිටින් දැක ගන්නට හැකි නම් එහි අපූර්වත්වය තවත් වැඩි වනු ඇත. තණ පිටියක දඟ පන්දු යවන්නාක් බඳු ජවයකින් යුතු ඩොල්ෆින්ලාගේ දසුන ඔබේ සිතේ විඩාවත් දොම්නසත් සැණින් මකා දමනු නිසැකය. ඒ වෙනුවට සිත අලුත් ජීවයකින් පිරෙනු ඇත. ඩොල්ෆින්ලාගේ නර්තනයන්ගෙන් සසල වන මුහුද යළි කෙමෙන් සන්සුන් වූ විට මුහුදු පතුලේ විස්මිත ලෝකයක් බඳු සුන්දර කොරල්පර පවා ඔබේ දෑසින් දැක ගැනීමට අවකාශ සැලසේ. මා කී ඒ සුන්දර දසුන් සියල්ල ඔබට මෙරටේදීම දැකගත හැකි ස්ථානයක් වේ නම් ඒ කල්පිටිය මුහුදු ප්‍රදේශයයි. මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන කල්පිටිය මුහුදේ දිස්වන්නේ ඉතා අපූරු සුන්දරත්වයකි. ඒ හැම වසරකදීම මේ කාලයේදී කල්පිටිය මුහුදට ඩොල්ෆින් වසන්තය උදාවන නිසාය.
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ තල්මසුන් හා ඩොල්ෆින් රංචු ගැවසෙන බව ලෝකයම දන්නා කරුණකි. කල්පිටිය, මිරිස්ස හා ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශවලදීද ඩොල්ෆින් නැරඹිය හැකි වුවත් මිරිස්සේදී ඒ සඳහා මුහුදු සැතපුම් 30ක් පමණ දුරකට යා යුතුය. එහෙත් කල්පිටි මුහුදේදී ඉතා පහසුවෙන් ඩොල්ෆින්ලා දැකගත හැකි අතර, ඉන්දු පැසිෆික් වර්ගයේ ඩොල්ෆින්ලා ලංකාවෙන්ම දක්නට ලැබෙන්නේ කල්පිටි මුහුදේදී පමණක් වීම විශේෂත්වයකි. කල්පිටියේ ඉතා අඩු දුරකින් ගැඹුරු මුහුදත් නොගැඹුරු මුහුදු තීරයත් හමුවන ප්‍රදේශයේ ඩොල්ෆින් 1,000 – 2,000ක් පමණ දැකගත හැකි වීම විශේෂත්වයකි.
මේ අපූරු වෙරළ තීරය හමුවන්නේ කොළඹ සිට කිලෝ මීටර 150ක් පමණ ගිය විටය. මීගමුව වෙරළ තීරයේ සිට පැය 2 1/2 ක පමණ ගමනකින් පසු ඊට ළඟා විය හැකිය. කිලෝමීටර් 306ක් පමණ ප්‍රදේශයක පැතිර ඇති මෙම මුහුදු ප්‍රදේශය ඩොල්ෆින්ලා පමණක් නොව කොරල් විශේෂ 122 කින් සමන්විත කොරල් පර සහ තල්මසුන් දැක බලා ගත හැකි අපූරු ප්‍රදේශයකි. දහස් ගණනින් ඩොල්ෆින්ලා සයුරු දිය මත නිදහසේ රැඟුම් රඟන එය ඩොල්ෆින්ලාගේ රජ දහනක් යැයි කීම නිවැරැදිය.
සෑම වසරකම ඔක්තෝම්බර් මස මැද සිට මාස කිහිපයක් ඉදිරියට එනම් අප්‍රේල් මාසය දක්වා කල්පිටිය මුහුදු තීරයේ ඒ ඩොල්ෆින් රජදහන මැවෙයි. විශේෂයෙන් මේ ජනවාරි මාසය ඒ අතර වඩාත් විශේෂය. අප්‍රේල් මාසයෙන් පසු මුහුදු රළු වන්නට පටන් ගන්නා බැවින් ඩොල්ෆින් රංගන දැකගැනීමට ඉඩක් නොවේ. ඒ පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා සහ සාගර භූ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මෙසේ පැහැදිලි කළේය.
විශේෂයෙන් මේ කාලය තුළ කල්පිටිය ප්‍රදේශයේ ඩොල්ෆින්ලා වැඩිපුර ගැවසීමට හේතුව ඊසාන දිග මෝසම් සක්‍රිය වන කාලයේදී මෙම මුහුදු කලාපය ප්‍රචණ්ඩ නොවීම නිසයි. මුහුද ඉතා සෞම්‍ය බවකින් යුතු වගේම වීදුරුවක් වගේ පැහැදිලියි. ඒ නිසා අන් කවරදාටත් වඩා හොඳින් ඩොල්ෆින්ලා දැකබලා ගත හැකියි. ඩොල්ෆින් 50ක් පමණ රංචු වශයෙන් එනම්, මෙගා පොඩ් (Mega Pod) විදිහට මේ කාලයේ බහුලව දැකිය හැකියි. ඒ වගේම මේ කාලයේදී ඩොල්ෆින්ලාගේ ප්‍රජනනයත් සිදුවනවා. ඒ නිසා මේ කාලයේදී ඩොල්ෆින්ලා නරඹන්නට යන අයට ඒ විරල අවස්ථාවත් දැකබලා ගත හැකියි. ඒ වගේම මේ කාලයේදී මුහුදු යට ඇති කොරල් පර වගේම විවිධ මසුන් ද පැහැදිලිව දැකබලා ගත හැකියි. හම්බන්තොට දක්වා දකුණු මුහුදේ මේ සියල්ලම දැක බලාගැනීමේ අවස්ථාව මේ දිනවල තිබෙනවා. කල්පිටිය මුහුදු ප්‍රදේශයේ අප්‍රේල් මාසයෙන් පසුවත් ඩොල්ෆින්ලා සිටිනවා. නමුත් වර්ෂාව සහ සුළං නිසා ඔවුන් දැකගැනීමට ලැබෙන්නේ නැහැ. මුහුද ප්‍රචණ්ඩ වීම නිසා ජනතාවට ඔවුන් නැරඹීමට යෑමේ අවස්ථාව ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි සංචාරකයන් වැඩි වශයෙන් මේ දිනවල ඩොල්ෆින්ලා නැරඹීමට කල්පිටියට යන්නේ ”
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වයඹ දිග වෙරළේ උතුරින් මන්නාරම් මුහුදු සීමාවෙන්ද, නැඟෙනහිරෙන් වනාතවිල්ලුව සහ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙන්ද, බටහිරින් ඉන්දියන් සාගරයෙන්ද, දකුණින් පුත්තලම සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙන් ද වටවූ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ගොඩබිම් තීරුවට අමතරව මුහුදේ පිහිටි ආකර්ෂණීය දූපත් 14ක් සහ කලපුවේ පිහිටි මනරම් වූ දූපත් 17ක් අයත් වේ. මෙරට පිහිටි අර්ධද්වීප ද්විත්වය අතරින් කල්පිටිය අර්ධද්වීපය පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි දිගම වෙරළ තීරය සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද වේ. එම වෙරළ තීරයේ දිග කිලෝ මීටර් 71.8ක් වන අතර, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන පුත්තලම කලපුවට ද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිම් වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1508/18 සහ 2007.08.01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් කල්පිටිය සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ද කල්පිටිය සතු සංචාරක ආකර්ෂණය සැලකිල්ලට ගනිමිනි. ඊට හේතුව ඩොල්ෆින් නැරඹීමට අමතරව කයිට් සර්ෆින් ක්‍රීඩාවට සහ තල්මසුන් වැනි මුහුදු ක්ෂිරපායින් සහ දූපත් නරඹීම සඳහා ද දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් මෙහි පැමිණීමය.
ජෛව විවිධත්වයෙන් ද මෙම ප්‍රදේශය ඉතා ඉහළ වන අතර, මෙරට තිබෙන කඩොලාන 24න් 15ක්ම මේ ප්‍රදේශයේදී දැකගත හැකිය. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන සාගර විද්‍යාඥයන් පවසන පරිදි මෙරට වැදගත්ම ඉහළම ජෛව විවිධත්වයෙන් යුත් කොරල් පරය ද පිහිටා ඇත්තේ ද කල්පිටිය දූපත් ආශ්‍රිතවය. එය විශාල ප්‍රදේශයක පැතිරුණු වැලි සහිත ප්‍රදේශයක් සහ වර්ග කිලෝමීටර් 40ක පමණ පැතිරුණු ප්‍රධාන කොරල් පදාසයන් දෙකක් එම බාර් පරය (Bar Reef)ට ඇතුළත්ය. එය කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් ඇති මුහුදු තීරයේ පිහිටා ඇති අතර කරෙයිතිවු දූපත දක්වා විහිදී යයි. කොරල් විශේෂ 122 කින් සමන්විත මෙම කොරල් පරය පිහිටි මුහුදු ප්‍රදේශය 1992 වර්ෂයේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සමුද්‍ර අභය භූමියක් ලෙස ද නම් කෙරිණ. ශ්‍රී ලංකාව අවට පිහිටි විශාලතම කොරල් පරය වන මෙහි ලොව දුර්ලභ කොරල් විශේෂ 150ක් හා දුර්ලභ මත්ස්‍ය විශේෂ සමඟ කොරල් ආශ්‍රිත මත්ස්‍ය විශේෂ 400ක් ජීවත් වන බව පැවසේ.
එම Bar Reef අවට මුහුදු තීරයේ ද ඩොල්ෆින් බහුලව සැරිසරන අතර, ඩොල්ෆින්ලා නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් වඩාත් ප්‍රිය කරන්නේ ඩොල්ෆින් යනු මිනිසාට ඉතා සමීප සත්ත්වයකු ලෙස සැලකෙන නිසාය. ඉතා ඉක්මනින් මිනිසා සමඟ මිත්‍ර වන, මිනිස් ඇසුර ප්‍රිය කරන ඩොල්පින් මිනිස් කටහඬට විශාල ඇල්මක් දක්වයි. මේ නිසාම ඩොල්ෆින් සතකු සුරතල් කිරීමට කැමති සංචාරකයන්ට ඔවුන් ස්පර්ශ කරමින් සුරතල් කිරීමටත්, උන්ට කෑම බීම දීමටත් හැකි ස්ථානයක් බටහිර ඔස්ට්‍රේලියාවේ මන්කිමියා වෙරළේ පිහිටා ඇති අතර එය ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයකි. ප්‍රෙසර්ස් මුල්ලා (Fraser’s Dolphin), තිත් මුල්ලා (Spotted Dolphin), සාමාන්‍ය බෝතල් හොට මුල්ලා (Bottlenose Dolphin), කබර මුල්ලා (Indu- Pacific humpback Dolphin) , දඟර මුල්ලා (Spinner Dolphin), මිංකි තල්මහ (Minke Whale), නිල් තල්මහ (Blue Whale), කන්ද තල්මහ (Humpback Whale), කොමදා කුඩා වරල තල්මහ (Sperm Whale) සහ මකර කොමදුවා (Killer Whale) යන ඩොල්ෆින් විශේෂ කල්පිටි මුහුදු තීරයේදි දැකගත හැකිය. එමෙන්ම ලෝකයෙන්ම දඟර මුල්ලා (Spinner Dolphin) දැකිය හැක්කේ කල්පිටි මුහුදේදී පමණක් වීම විශේෂත්වයකි. ඊට අමතරව දුර්ලභ ඩොල්ෆින් හා තල් මසුන් වර්ග මේ මුහුදු තීරයේදී දැක ගත හැකිය. ඇතැම් ඩොල්ෆින් විශේෂ, නිල් තල්මසුන් පැටවු දැමීමට සහ විවේකීව ගත කිරීමට කල්පිටි මුහුදු තීරයට පැමිණෙන්නේ මෙම ප්‍රදේශය සතුන්ට ආරක්ෂාකාරී ආකාරයට සැකසී ඇති නිසාය.
ඩොල්ෆින් නැරඹීම සඳහා කල්පිටියේ කන්දකුලිය කුඩාව සහ ඉලන්තඩිය දොරටුවලින් මුහුදට පිවිසිය හැකි අතර, ඒ සඳහා එම ස්ථානවල වන ජීවී දෙපාර්තමේන්තුවේ වන අඩවි කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රවේශ පත්‍ර කාර්යාලයෙන් ප්‍රවේශපත් මිලදී ගත හැකිය. විදේශීය වැඩිහිටි සංචාරකයකු සඳහා ප්‍රවේශ පත්‍රයක මිල දැනට ඇමරිකන් ඩොලර් 8ක් වන අතර, දේශීය වැඩිහිටි සංචාරකයකු සඳහා ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 20කි. ඩොල්ෆින්ලා නැරඹීම සඳහා සංචාරකයන් සයුරට ගෙන යෑම සඳහා දෙපාර්තමේන්තු නිසි අවසරය ඇතිව පෞද්ගලික බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වන අතර, බෝට්ටු 119ක් ඊට ඇතුළත්ය. ඒ සඳහා මුදල් අය කෙරේ.
කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග පැවසුවේ ඩොල්ෆින් නරඹන්නට දවසේ හොඳම වේලාව උදෑසන 6ත් 11ත් අතර කාලය බවය. බෝට්ටුවල සිට ඩොල්ෆින් නරඹන සංචාරකයන් සියලු දෙනා ජීවිත ආරක්ෂක කබා පැලඳ සිටිය යුතු අතර, සතුන්ගේ ස්වාභාවික හැසිරීම්වලට බාධා නොවන අයුරින් සිය නැරඹුම් සිදු කිරීමටත් සතුන්ට හිංසාකාරී නොවන අයුරින් හැසිරීමටත් වගබලා ගත යුතුය. මේ වන කල්පිටියට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් ජල පහසුකම් සහ තාවකාලික වැසිකිළි පහසුකම් ක්‍රියාත්මක වන අතර මේ වසරේදී එම පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට නියමිතය. එමෙන්ම කල්පිටියේ සමුද්‍ර කෞතුකාගාරයක් සහ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් ද ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග පැවසුවේය.
එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ගත් අගනා ක්‍රියාමාර්ගයක් වනු ඇත්තේ ගෝලීය වසංගතයත් දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේත් කඩා වැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට යළි සමෘද්ධියේ අරුණලු දකිමින් සිටින නිසාය. සිවු වසරකට පසුව මෙරටට පැමිණි සංචාරකයන් මිලියනය ඉක්මවා ගිය පළමු අවස්ථාව සටහන් වූයේ ඉකුත් 2023 දෙසැම්බර් දෙවැනි සතියේදීය. ඒ වන විට මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.3ක ඉක්මවා ගොස් තිබිණ. නොවැම්බර් මාසයේදී සංචාරකයන් 150,000කට වැඩි පිරිසක් මෙරටට පැමිණි අතර 2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයන්ගේ මාසික අගය එය විය. ආර්ථිකයේ සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තයෙන් වෙසෙස් දායකත්වයක් ලැබෙන අතර, කල්පිටියේ ඩොල්ෆින් කර්මාන්තය නිසා එම ප්‍රදේශයේ පවුල් 700ක් පමණ ඍජුව සහ වක්‍රව දිවිසරි කරගනිති. එබැවින් මෙය රැකගත යුතු කර්මාන්තයකි.
” ඩොල්ෆින් නැරඹීමට යෑමේදී ඔවුන්ට හිරිහැරයක්, හිංසාවක් නොවන ආකාරයට නැරඹිය යුතු බවද මතක් කළ යුතුයි. ඇතැම් බෝට්ටු ඩොල්ෆින්ලාගේ මඟ හරස් කරමින් ගමන් කරනවා. එය ඔවුන්ට මහත් හිරිහැරයක්. එවැනි දේවල් නිසා ඩොල්ෆින්ලාට තුවාල වූ අවස්ථා ද නැතුවා නෙවෙයි. ඒ නිසා නිතරම බෝට්ටුවත් ඩොල්ෆින්ලාත් අතර මීටර් 50ක පරතරයක් පවත්වා ගත යුතුයි. ඩොල්ෆින්ලා නරඹමින් විනෝද වන අතරම ඔවුන්ගේ ආරක්ෂාව සහ නිදහස ගැන ද සැලකිලිමත් විය යුතුයි” මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අවධාරණය කළේය.
එමෙන්ම ඩොල්ෆින් නරඹන්නට ගොස් එම ස්වාභාවික පරිසරයට පොලිතින් සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මුදා හැර එහි සුන්දරත්වයටත් වටිනාකමටත් හානි නොකිරීමට ද එහි යන ඔබට වගකීමක් ඇත. ඩොල්ෆින්ලාගේ සොඳුරු රංගන නරඹා ඒ මිහිරි මතක පමණක් රැගෙන එම ස්ථානයෙන් පිටවනවා මිස කැළි කසළවලින් ඒ ස්වාභාවික පරිසරය අපවිත්‍ර නොකරන්නට වග බලා ගන්නැයි අපි ඔබට මතක් කරමු.
සුරේකා නිල්මිණි ඉලංකෝන්