මෙයට ප්‍රථම පොත් මුද්‍රණය කිරීමට යොදා ගැනෙන කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය සඳහා වැට් බදු අය කෙරුණ ද ඍජුවම පොත්වලට වැට් බදු අය කිරීමක් මෙතෙක් ඉතිහාසයේ සිදු කර නොමැතිය. නමුත් දැන් පොත් මිල දී ගැනීමේදී ඍජුවම වැට් බදු ඊට ඇතුළත් කර ඇති ආකාරය දැකිය හැකිය. ඒ මේ වන විටත් පොත් ප්‍රකාශන ආයතනවලින් වැට් බදු අය කිරීම ආරම්භ කර ඇති පසුබිමක් යටතේය. මෙම වැට් බද්ද දේශීය පොත් ප්රකාශනවලට මෙන්ම වෙනත් රටවලින් ආනයනය කරන පොත් සඳහා ද බලපා ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර ගෙන් අප කළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කර සිටියේ “ මෙච්චර කාලෙකට පොත් තිබුණේ බදුවලින් නිදහස් ලැයිස්තුවේ. නමුත් 2024 ජනවාරි පළමු වැනිදා සිට පොත් බදු අය කරන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. කොපමණ ආර්ථික දුෂ්කරතා පැවතිය ද සාක් රටවල් කිසිවක් පොත්පත් සහ අධ්‍යාපනික දේ සඳහා බදු අය කරන්නේ නැහැ. ඒ, රටක ඉදිරි ගමන තීරණය කරන අධ්‍යාපනික ක්ෂේත්රයට එය ඍජුවම සම්බන්ධ වන නිසා. මේ ක්‍රියාමාර්ගයත් සමඟ පොත්පත් සඳහා බදු අය කරන සාක් රටවල් අතර පළමු රට බවට ලංකාව පත් වෙනවා. ඒ වගේම දකුණු ආසියාවේ කිසිදු රටක පොත් සඳහා බදු අය කරන්නේ නැහැ. මේ වැට් බදු අය කිරීමත් සමඟ පොත් ප්‍රකාශන ක්ෂේත්රය තුළ ගැටලු ගණනාවක් මතු වී තිබෙනවා. මොකද පොත් ප්‍රකාශකයෝ ගත්තහම වැට් බදුවලට අදාළ කොටස සහ වැට් බදුවලට අදාළ නොවන කොටස ලෙස කොටස් දෙකක් සිටිනවා. ඒ අනුව වැට්වලට අදාළ කොටස වෙන්නේ වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වඩා වැඩි කොටස. මේ සියලුම දෙනා වැට් එකට යටත්. මීට ප්‍රථම වැට් බදු අය කළේ මිලියන 80 ඉක්මවූ වාර්ෂික පිරිවැටුමක් තිබූ ආයතනවලට පමණයි. ඒ අගය 20කින් අඩු කර 60ට ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම මීට ප්‍රථම ලිපිද්‍රව්‍ය හා මුද්‍රණ කඩදාසි මත සියයට 15ක බද්දක් අය කර තිබුණා. එය සියයට 3න් වැඩි කර සියයට 18ක් කර තිබෙනවා. නමුත් පොත්වලට වැට් එකක් තිබුණෙම නැහැ. නමුත් නව තත්ත්වය යටතේ එය සියයට 0 සිට 18කින් ම වැඩි වෙනවා. අනෙක් කොටස පිරිවැටුම මිලියන 60ට වඩා අඩු අය. මේ අය වැට් එකෙන් නිදහස් කර තිබෙනවා. මේ තත්ත්වය තුළ බදු අය කරන හා බදු අය නොකරන පාර්ශ්ව දෙකක් ලෙස එකම පොතට විවෘත්ත වෙළඳපොළ තුළ මිල ගණන් දෙකක් තීරණය වෙනවා.
උදාහරණයක් ලෙස රුපියල් 100කට මිල නියම කළ පොතක් බදු ගෙවන ප්‍රකාශන ආයතනය රුපියල් 118ට විකුණද්දී බදු නොගෙවන පාර්ශ්වය ඒ පොතම රුපියල් 100ට විකුණනවා. මෙය ඉතාම ගැටලුකාරී තත්ත්වයක් ප්‍රකාශන ක්ෂේත්රය තුළ මතු කරනවා.
අනෙක් ගැටලුව වන්නේ 2023 දෙසැම්බර් 31 වනතෙක් වැට් අය කිරීමක් නොකළ පොත් සඳහා 2024 පළමු වැනිදා සිට වැට් අය කිරීමට සිදු වීමයි. මේ පොත් පසුගිය වසරේ වැට් නොමැති තත්ත්වයක් තුළ නිෂ්පාදනය වූ ඒවා. නමුත් නව තත්ත්වය යටතේ එය සියයට 18ක වැට් බද්දට යටත් වනවා. ඒ පොත් පරණ පොත් වුවත් කිසිදු ප්‍රකාශකයකුට පරණ මිලට විකුණන්න බැහැ. අනිවාර්යයෙන්ම ඒ වැට් ප්‍රතිශතය ඊට එකතු කරන්න සිද්ධ වෙනවා. එසේ නොමැති නම් ඒ තොග විකුණා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු වෙනවා. ඒ නිසා කිසිදු අධ්‍යයනයකින් තොරව ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි අප මෙය දකින්නේ.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් අප කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ මිල වැඩි කරන ලෙසයි. නමුත් පොතක මුද්‍රිත මිලක් සටහන් කර ඇති නිසා පාරිභෝගික සේවා ආධිකාරිය පවසන්නේ එහි නීතියට අනුව එය හිතුමතේ වෙනස් කළ නොහැකි බවයි. එහෙම බැලුවම එකම රජයක් යටතේ වෙනස් නීතිමය තත්ත්ව දෙකකට අපි මේ මොහොතේ මුහුණ දෙනවා.
එහෙම නොවෙන්න නම් මේ ආයතන අතර අනෝන්‍ය අවබෝධයක් පවත්වා ගනිමින් මේ සඳහා විසඳුම් ලබාදිය යුතු වෙනවා. නමුත් ඒ කිසිදු අවබෝධයක් මේ ආයතන අතර පවතින බවක් මේ තත්ත්වය තුළ අප දකින්නේ නැහැ. මේ නිසා පොත් ප්‍රකාශකයන් විදියට තම ආයතය ඉතාම අසරණ තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙන හෙතෙම බුද්ධිමය දේපල සඳහා අය කරන මෙම වැට් බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් දයාවංශ සහ ජයකොඩි ප්‍රකාශන ආයතනයේ අධිපති දයාවංශ ජයකොඩි ප්‍රකාශ කර සිටියේ “ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බදු අය කරන්න ඕන. ඒ වගේම ව්‍යාපාරිකයො හැටියට අප බදු ගෙවන්න ඕන. නමුත් මේ බද්ද පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මෙය මුළුමණින්ම බලපාන්නේ අධ්‍යාපනික ක්ෂේත්රයට. මිනිස්සු හිතනපතන දේ සඳහා තමයි මේ බදු ගහල තියෙන්නේ. මොකද ජනතාව දැනුම්වත් වෙන්නේ හිතන අවකාශය පුළුල් වෙන්නේ පොත්පත් නිසා. එවැනි දේකට බදු ගැසීම කිසිසේත් අනුමත කරන්න බැහැ. අනික මිනිස්සු ඉතාම අමාරුවෙන් ඉන්න වෙලාවේ ගෙන ආයුතු බද්දක් නෙමෙයි මේ.”
ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා මේ සම්බන්ධයෙන් සිළුමිණට අදහස් දක්වමින් කියා සිටියේ “ මේ බදු පැනවීම නිසා මෙතෙක් කල් බදුවලින් ඉවත් කර තිබු භාණ්ඩ හා සේවා අනූ ගණනක් සියයට 18ක ඍජු බද්දට යටත් කර තිබෙනවා. විශාල භාණ්ඩ ප්‍රමාණයක් සියයට 15වේ සිට සියයට 18 දක්වා වැඩි කර තිබෙනවා. අප දකින්නේ මෙය මිනිසුන්ගේ ජන ජීවිතය තවතවත් ප්‍රපාතයට ඇද වැටීමට මං සලසන බද්දක් බවයි. ඒ වගේම මේ බදු පැනවීම අපට විවිධ පැතිවලින් බලන්න පුළුවන්. අර්ථික පැත්තෙන්, සංස්කෘතික පැත්තෙන්, අධ්‍යාපනික පැත්තෙන්, සදාචාරමය පැත්තෙන් ආදී පැති ගණනාවකින් බලන්න පුළුවන්. ලේඛකයන් හා කලාකරුවන් විදියට මේ ප්රශ්නය දෙස අප බලන්නේ සංස්කෘතිකමය හා සදාචාරමය පාර්ශ්වය පැත්තෙන්. ලෝකයේ අපට වඩා දියුණු රටවල් පවා සාහිත්‍ය කලාව නැතිනම් සංස්කෘතික අවකාශය බද්දකට යටත් කරන්න උත්සාහ ගන්නේ නැහැ.
මේ රටේ අය දුප්පත් වුණත් ජන ජීවිතයට සාහිත්‍ය හා කලාව මඟින් ලබාදිය හැකි ආලෝකය කුමක්ද කියා IMF එක පවා දන්නවා. මොකද ඔවුන්ගේ රටවල්වල ජන නායකයන් ක්‍රියා කරන හැටි ඔවුන් දන්නවා. අපේ රටේ පාලකයන් මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයටයි. මින් අපට හැඟෙන්නේ තවදුරටත් බුද්ධිමත් ජන ප්‍රජාවක් අපේ රටට අවශ්‍ය නැහැයි කියන පණිවිඩයයි. පොත්පත්වලට බදු අය කිරීමට ගත් තීරණයත් සමඟ අපේ කලාත්මක ජීවිතය කෙරෙහි තිබෙන ආකල්පය ඉතා හොඳින් පෙනී යනවා.
මේක ලේඛකයන්ට පමණක් නෙමෙයි මේ රටේ සමස්ත සාහිත්‍ය ක්ෂේත්රයම බිඳ වට්ටන බද්දක් විදියටයි අප දකින්නේ. මෙමඟින් ජනතාවගේ බුද්ධිමය අවකාශයට මරු පහරක් එල්ල කර ඇති බව ඔහු පවසයි.
බදු අය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරසවි ප්‍රකාශන ආයතනයේ සභාපති එච්. ඩී. ප්‍රේමසිරි කියා සිටියේ “ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න රජයක් බදු අය කිරීම සාධාරණයි. නමුත් ඍජුව පාඨක ප්‍රජාවට මෙවැනි බද්දක් අය කිරීම ගැටලු සහගතයි.
මොකද මීට ප්‍රථම කවදාවත් මෙවැනි බද්දක් අය කළේ නැහැ. ඒ නිසා පාඨකයන්ට ලොකු උදව්වක් වුණා තමන් කැමති පොතක් පතක් මිලදී ගෙන කියවන්න. පවතින ආර්ථික අර්බුදයත් එක්ක පොත් අලෙවියත් මේ වෙද්දී සීඝ්රයෙන් පහළ බැස තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ තවතවත් මේ ව්‍යාපාරය කරගෙන යන්න අමාරු වෙනවා.
මොකද පොත් කියන්නේ මිනිස්සුන්ට එදිනෙදා දේවල් වගේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. ඔවුන්ගේ මානසික තෘප්තිය සඳහා කරන වියදමක්. අද කිසි කෙනෙක් තමන්තේ මූලික අවශ්‍යතා කැප කර පොත් මිල දී ගනීවි යැයි හිතන්න අමාරුයි. මොකද ඒ දේවල්වල මිල ගණන් පවා ගීඝ්රයෙන් ඉහළ යමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ පාඨකයන් මේ වෙළඳ පොළ අතහැරියොත් ප්‍රකාශකයන් විදියට අප විශාල අර්බුදයකට යනවා. අප පොතට දෙන ඩිස්කවුන්ට් අඩු කර තමයි දැනට මේ සේවාව පවත්වා ගෙන යන්නේ.
මගේ අදහස සියලුම ප්රකාශනයන් වැට් බද්දට යටත් කර එය සියයට 5ක් වැනි අගයකට ගෙනාවොත් වෙළෙඳ පොළ තුළ මුද්‍රණ සඳහා මිල තීරණය වීමේදී ඇති විය හැකි වෙනස නැති කරන්න පුළුවන් වගේම ඉන් පාඨකයාට අසාධාරණයක් නොවෙනවා වගේම රජයට මීට වඩා මුදලක් එකතු කරගත හැකි බවයි”.
ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ රජිව් ගුණසේන අප වෙත පවසා සිටියේ “ ඉතිහාසයේ පළමු වතාවට තමයි මේවගේ බද්දක් පොත්වලට වැදුණේ. ප්‍රකාශන ව්‍යාපාරයක් ලෙස මේ බද්ද ඉතාම නරක අන්දමින් මේ ක්ෂේත්රයට බලපා තිබෙනවා. පොතක් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි, තීන්ත, ප්ලේට්, ඩිවලොපර්, ආදී මුද්‍රණ කාර්ය සඳහා අවශ්‍ය සියලුම දෑ ගෙන්වන්නේ පිටරටවලිනි. වරායේදී මේ සඳහා ආනයනික බද්ද අය කරනවා.
නිෂ්පාදන ක්‍රියාවලියේදී නිමි භාණ්ඩයක් බවට පත් වූ විට නැවතත් බද්දකට යටත් වෙනවා. වෙළඳ පොළට පැමිණීමේදී තවත් බද්දකට යටත් වෙනවා.
ඉන් අනතරුව තමයි මෙය පාඨකයා අතට පත් වන්නේ. ඒ අනුව පොතක් නිෂ්පාදනය කිරීමේ සිට පාඨකයා අතට පත්වන තෙක් මේ ආකාරයේ බදු ගණනාවකට යටත් වෙනවා. මෙහි ගැටලුව වන්නේ වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් සමඟ පොතක් මිල දී ගැනීම අපේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉතාම පහළ අගයක් ගැනීමයි. මේ නිසා පොත් නිෂ්පාදකයන් විදියට අප ඉතාම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙනවා. අනෙක් අතට මේ වැට් බද්ද දෙයාකාරයකින් අපට බලපෑම් කරනවා. ඒ පිරිවැටුම් බද්ද සියයට 60කට වඩා ඉහළ අය බද්දට යටත් වීම හා ඊට අඩු අය වැට් බද්දට යටත් නොවීම හේතුකොටගෙනයි. මෙහිදී වෙළඳ පොළ මීල තීරණය කිරීමෙදී එකම පොතක් සඳහා මිලගණන් දෙකක් දකින්න ලැබෙනවා.
මෙහිදී නිතැතින්ම පාඨකයා අඩු මිලට ඇදී යනවා. එමඟින් සිදු වන්නේ අපට මේ වෙළෙඳ පොළ තුළ පැවතීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමයි. ව්‍යාපාරයක් විදියට අප වැනි ආයතන කඩා වැටුණොත් ආණ්ඩුව මුදල් අයකරගන්නේ කාගෙන්ද? කියන ප්රශ්නය මෙහිදී මතු වෙනවා. ඒ වගේම පොත්වල අනෙක් භාණ්ඩ වගේ කල් ඉකුත් වීමේ දිනයක් නැහැ.
පොත් වසර ගණනාවක් විකුනන්න පුළුවන්. එහෙම අපේ ගබඩාවල සෑහෙන් පොත් තිබෙනවා. ජනවාරි පළමු වැනිදා සිට වැට් එකතු කළාම අපට ඒ පොත්වලටත් වැට් එකතු කරලයි විකුණන්න වෙන්නේ. ඒක එක ප්‍රශ්නයක්. දෙවන ගැටලුව තමයි ඉදිරියේදී මුද්‍රණය වන පොත්වල වැට් ලියාපදිංචි නැති අය අපට වැට් ලදුපතක් ලබා දෙන්නේ නැහැ.
එහෙම ලදු පතක් නැතිව ලැබෙන ඒවටත් අපි අතින් ගෙවන්න වෙනවා. ඒක අපිට පාඩුයි. මේ නිසා පොත් වෙළඳ පොළ තවත් පහළට ඇද වැටෙන්න පුළුවන්. මේ පිළිබඳ නැවත සලකා බලන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා.
පොත් මත සියයට 18ක බදු පැනවීම සම්බන්ධයෙන් ප්රවිණ ලේඛක එස්. නන්දලාල් සිළුමිණ සමඟ ප්‍රකාශ කර සිටියේ “ ලෝකයේ කිසිම රටක බුද්ධිමය අවකාශය පුළුල් කරන දේ සඳහා පහසු කම් සලසා දෙනවා මිසක් බදු ගහන්න යන්නේ නැහැ.
ඒක රටේ අනාගතයට ආයෝජනයක් බවයි ඔවුන් කල්පනා කරන්නේ. මේ ක්‍රියාමාර්ගය නිසා ලේඛකයන් බොහෝදෙනෙක් අඩපණ වෙනවා. ඒ විතරක් නොමෙයි අංකුර ලේඛකයන් බිහිවෙන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. මෙහෙම වුණාම පොත් ප්‍රකාශකයො වුණත් බලන්නේ නමක් තියෙන පාඨකයො වැඩියෙන් ආකර්ෂණය කරන අය දිහා විතරයි.
මේ නිසා රටේ නිර්මාණශීලී දරුවන්ට එළියට එන්න තියෙන ඉඩ කඩ ඇහිරෙනවා. යමක් කමක් කරගන්න පුළුවන් කෙනෙක් අතින් සල්ලි දීලා හරි පොත් මුද්‍රණය කර ගනීවි. නමුත් එහෙම බැරි අය මොකද කරන්නේ.
මේ නිසා මේ තත්ත්වය තුළ නව අර්බුද රාශියක් ඉදිරියේදී ඇති කරන්න පුළුවන්. මේ පිළිබඳව වගකිවයුතු රජයක් ලෙස බුද්ධිමත්ව කල්පනා කර බැලිය යුතු බව” හෙතෙම පෙන්වා දෙයි.
lරසික කොටුදුරගේ