ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැප්පෙට්ටියගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි මාගල කොට්ටච්චි නන්දියස් නමැත්තකු බව ජාතික වැඩිහිටි මහා ලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කළේ මීට ටික කලකට පෙරය. හැඳුනුම්පතට අනුව ඔහුගේ උපන් දිනය ලෙස සැලකුණේ වසර 1914 ජූනි මස 3 වැනිදාය. ඉකුත් ජනවාරි 12 වැනිදා නන්දියස් සිය දිවි ගමනට සමුදුන් අතර, මිය යන විට ඔහුගේ වයස අවුරුදු 110කි.
මිය යන මොහොත දක්වාම මනා මතක ශක්තියක් ඇතිව ජීවත් වූ නන්දියස් සිය ජීවිතය මුළුමනින්ම කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපකළ අයෙකි. ඔහුගේ නිරෝගී බවට හේතුව ස්වාභාවික පරිසරය සමඟ බද්ධ වෙමින් ගත කළ ජීවන රටාවය. ජීවිතයෙන් වැඩි කාලයක් කැත්ත, උදැල්ල හා බැඳුණු ජීවිතයක් ගත කළ නන්දියස් අධ්‍යාපනය ලබා ඇත්තේ පස් වැනි ශ්‍රේණිය දක්වා පමණක් වුවද ඔහුට ලිවීමේ සහ කියැවීමේ හැකියාව තිබුණි.
සිවුදරු පියකු වූ නන්දියස් තුන් මුනුපුරන් දැක ඇති අතර, මීට කලකට පෙර බිරිය මොලොව හැර ගිය ද ඔහු සිය දරු මුනුපුරන් සමඟ සතුටින් ජීවිතය ගත කළ බව පැවසේ. ගමේ පොදු වැඩකදී මෙන්ම ඕනෑම ආපදාවකදී නොපැකිළව ඉදිරිපත් වූ කාරුණික මිනිසකු වූ නන්දියස් මුළු ගමම හැඳින් වූයේ “ලොකු අයියා” නමැති ආදරණීය ආමන්ත්‍රණයෙනි.
සියවසකටත් වැඩි කාලයක් සතුටින් ජීවත් වන්නට නන්දියස් වාසනාවන්ත වුව ද මෙරට බොහෝ වියපත් වූවන්ගේ ඉරණම එතරම්ම වාසනාවන්ත නැත.
ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ජනගහනය වයස්ගත වීම පෙර නොවූ විරූ වේගයකින් සිදු වෙමින් පවතින බව පෙනේ.
සාඵල්‍යතා අනුපාතය ශීඝ්‍රයෙන් අඩු වීම, මරණ අනුපාත සහ ආයු අපේක්ෂාව වැඩි වීම ඊට හේතු බව පැවසේ. ලෝකයේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමට සාපේක්ෂව මෙරටේ ද වැඩිහිටි ජනගහනය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. 2012 ජන සංගණනයට අනුව මෙරට වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන් දස දහසක් වාර්තා වී ඇති අතර ඒ, කාන්තාවන් 6,000ක් සහ පිරිමි 4,000ක් ලෙසිනි.
වයස 60ට වැඩි ජනගහනය එසේ ඉහළ යෑමට හේතුව ආයු අපේක්ෂාව ඉහළ යෑම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වාගේ අදහසයි.
වසර 2012දී මෙරට පිරිමින්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 72ක් සහ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 78.6ක් වූ අතර 2024 දී එය පිරිමින් සඳහා අවුරුදු 75ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 80කි. එසේ ආයු අපේක්ෂාව ඉහළ යෑම මෙරට ජන සංඛ්‍යාවේ ප්‍රමාණයට සහ සංයුතියට බලපෑ අතර 2001දී මිලියන 18.8ක් වූ රටේ සමස්ත ජනගහනය 2012දී මිලියන 20.4ක් විය. 2001දී අවුරුදු 60ට වැඩි ජන සංඛ්‍යාව මිලියන 1.7ක් වූ අතර 2012දී එය මිලියන 2.5ක් විය.
“ආයු අපේක්ෂාව වැඩි වීමත් සමඟ අපේ රට මුහුණ දෙන ප්‍රබල ගැටලුව වියපත් ජනගහනය වැඩි වීමයි. 2032 පමණ වන විට එය රටේ සමස්ත ජනගහනයෙන් 21%ක් පමණ විය හැකි බවට පුරෝකතනය කළ හැකියි. ඒ කියන්නේ තවත් වසර 9කින් පමණ වියපත් වූවන්ගේ සංඛ්‍යාව මිලියන 5කින් පමණ එනම්, සමස්ත ජනසංඛ්‍යාවෙන් හතරෙන් එකකට ආසන්න විය හැකියි. මෙය බරපතළ සමාජ, ආර්ථික ගැටලු මතුකරන කරුණක්.”
2012 ජන සංගනනයට අනුව මෙරට 60ට වැඩි පිරිමින්ගෙන් 80%ක් විවාහකයන් වූ අතර කාන්තාවන්ගෙන් 63%ක් විවාහක වූ අතර 37%ක් වැන්දඹුවන්ය. ඊට හේතුව බොහෝ විට විවාහයකදී පිරිමියා කාන්තාවට වඩා අවුරුදු 4-5ක් වැඩිමහල් වීම සහ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව පිරිමින්ට වඩා වසර කිහිපයක් වැඩිවීමය. සමාජ ආරක්ෂණය දුර්වල වීම ශ්‍රී ලංකාවේ වියපත් ප්‍රජාව මුහුණ දෙන බරපතළ ගැටලුවකි. ඔවුන්ගේ මූල්‍ය ශක්තිය දුර්වල වීම ඊට ප්‍රධාන හේතුවයි.
වයස 60ට වැඩි වයස් කාණ්ඩයේ සමස්තයෙන් 74%ක් පමණ ආර්ථික වශයෙන් සක්‍රීය වුව ද එහි ඵලදායීතාව අඩුය. එම ප්‍රජාවගෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන්නේ 20%ක් පමණි. සිය වියපත් වයසේදී දරුවන්ගෙන් සැලකුම් ලබන්නේ එසේ ආදායමක් ලබන මවුපියන් බවද අනාවරණය වී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය. රට පුරා පිහිටි වැඩිහිටි නිවාසවල 2021 වසරේදී වයස 60ට වැඩි පුද්ගලයන් 8,806ක් වාසය කළ බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ දත්තවලින් හෙළි වේ. ඒ කාන්තාවන් 5,624ක් සහ පිරිමි 3,182ක් ලෙසිනි.
එම වසරේදී වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් සඳහා ගෙවනු ලබන රුපියල් දෙදහසේ මාසික දීමනාව ලබාගත් සංඛ්‍යාව 416,667කි. මේ කරුණුවලින් හෙළිවන්නේ මෙරට වියපත් ජනතාව මුහුණ දෙන ඛේදවාචකයයි.
වයස 60ට වැඩි ජනකොටසෙන් 55%ක් පමණ බෝ නොවන රෝගවලින් හෝ වෙනත් බරපතළ රෝගවලින් පෙළීමද ඔවුන් කායික සහ මානසිකව දුර්වල කරන ප්‍රබල සාධකයකි. බෙහෙත් සහ ප්‍රතිකාර සඳහා මෙන්ම පෝෂ්‍යදායී ආහාරපාන ලබා ගැනීමට ඇති දුෂ්කරතා ඔවුන්ගේ ජීවිතවලට අමතර පීඩාවක් එක්කර ඇත.
එසේ වුවද වියපත් ප්‍රජාව අවලංගු කාසි සේ සලකා නොසලකා හැරීම කළ නොහැක්කකි. වියපත් ජනතාවට ප්‍රීතිමත් සැඳෑ සමයක් ගතකිරීම සඳහා වැඩපිළිවෙළක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකීම රජය සතුය. ජාත්‍යන්තර මූලධර්මවලට අනුකූලව නිදහස, සහභාගීත්වය, රැකවරණය සහ ආත්ම ගරුත්වය ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද හිමිවිය යුතු අතර, ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අතර ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා අවධාරණය කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්