ඇන්ටන් චෙකොව් යනු විප්ලවයට පෙර රුසියාවේ විසූ පුශ්කින්ගෙන් පසු පරම්පරාවේ ප්‍රමුඛතම ලේඛකයන් සිව්දෙනා අතරින් කෙනෙකි. අනෙක් තිදෙනා වනුයේ දොස්තතොයෙව්ස්කි, තෝල්ස්තෝයි සහ ගෝකි ය.
වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ චෙකොව්, තමාගේ නීත්‍යානුකූල බිරිඳ වෛද්‍ය වෘත්තිය බවත්, සාහිත්‍යකරණය අනියම් බිරිඳ බවත් නිතර පැවසූ බැව් සඳහන් ය. එහෙත් සැලකිය යුතු කාරණය නම් අභාවයෙන් වසර එකසිය විස්සක් ගෙවෙන මේ වසරේ පවා ඔහුගේ නම දනන් තුඩ තුඩ රැව් දෙන්නේ ඒ අනියම් බිරිඳ නිසා බව ය.
ඉතා දීර්ඝ (නොවෙල්ලා ලෙස හැඳින්වෙන) නිර්මාණ සියයක් , හයසියය ඉක්මවන ඔහුගේ කෙටිකතා අතර වෙයි. ඔහුගේ කෙටිකතා බොහෝ ගණනක් සිංහල බසට ද පෙරළි ඇති අතර, සිංහල පාඨකයන් බහුල ලෙසින් ඔහු දන්නේ කෙටිකතාකරුවකු ලෙසිනි. එහෙත් ඔහු විසින් එක් නවකතාවක් සහ නාට්‍ය දාහතක් රචනා කර ඇත. ඉන් දහයක් ඒකාංක වන අතර හතක් වතුරාංක ය.
1878 දී නමක් නොදුන් නාට්‍යයක් රචනා කිරීමෙන් ඔහු නාට්‍ය පෙළ රචනයට පිවිසියේ ය. ඔහුගේ අවසන් නාට්‍යය වන්නේ මේ චෙරි උයනයි. චෙරි උයන ද මුහුදු ලිහිණි සහ වාන්යා මාමා නමින් සිංහලෙන් නම් කළ හැකි නාට්‍ය දෙක ඔහුගේ නාට්‍ය අතරින් හොඳම ඒවා ලෙස සැලකේ.
‘විශ්න්යොවි සද්’ යන නම දෙමින් ඔහු විසින් රුසියන් බසින් ලියන ලද මෙම නාට්‍යය පරිවර්තකයින් කිහිප දෙනෙකු විසින් ම ‘චෙරි ඕර්චාර්ඩ්’ නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබ ඇති අතර, ඒ ඉංග්‍රීසි පරිවර්තන ඇසුරින් එම නාට්‍යය බොහෝ භාෂාවලට පරිවර්තනය වී තිබෙයි. 1904 ජනවාරි 17 දා මොස්කව් ආර්ට්ස් තියටර් හි ප්‍රථම වරට වේදිකා ගත කරන ලද එය දේශ දේශාන්තරයන්හි කීර්තියට පත් සම්භාව්‍ය නාට්‍ය නිර්මාණකරුවන්, ඇකඩමි සහ නාට්‍ය සංසද විසින් නොයෙක් රටවල වේදිකාගත කරනු ලැබ ඇති අතර, ඒ ඇසුරින් නිර්මිත චිත්‍රපට, නවකතා සහ කෙටිකතා සංඛ්‍යාව අනල්ප ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සම්මානලාභී “වෑකන්දේ වලව්ව” (තිර රචනය: සෝමවීර සේනානායක) නිර්මාණය වී ඇත්තේ මෙහි කතා න්‍යාසය පදනම් කැර ගෙන ය.
රැනවෙස්කයා ආර්යාව රුසියානු ගමක වෙසෙන ධනවත් වංශවත් කතකි. ලෝකයේ ඉතාම ලස්සනම පෞද්ගලික උද්‍යානය ලෙස විශ්ව කෝෂවල පවා සඳහන් චෙරි වත්තක හිමිකාරිය වන ඇයගේ සැමියා බේබදුකම නිසා ම අකාලයේ මරණයට පත් වී ඇත. ඉන් නොබෝ කලකින් ම ඇගේ පුත් මීෂා වත්ත පහළින් ගලා යන නදියේ ගිලී මිය යයි. ශෝකයෙන් පීඩිත ඇය සිය පාරම්පරික නිවෙස හැර පියා පැරිස් නුවර බලා යයි. එහි නිවසක් මිල දී ගන්නා ඇයට පෙම්වතෙක් මුණගැසේ. බීමට ඇබ්බැහි වූවකු වන ඔහු ද ඇය ණය කරවයි. ඒ ණය ගෙවන්නට ඇයට පැරිසියේ සිය නිවස විකුණා දමන්නට සිදු වෙයි. පෙම්වතා ඇය හැර දමා වෙනත් ස්ත්‍රියක හා වාසයට යන අතර ඉන්පසු ඇය පෙරළා සිය මහ ගෙදරට එන්නී ය. නාට්‍යය ඇරඹෙන්නේ එතැනිනි.
මේ වන විට ඇගේ ණය තුරුස්වලට චෙරි උද්‍යානය සහ ඇගේ නිවෙස සින්න වී තිබේ. ඇගේ පරපුරේ ප්රවේණිදාසයකුගේ පුතෙකු වන ලොපෙකින් නැමැත්තා ෙම් වන විට ඇයට යෝජනා කරන්නේ ඉඩම සහ නිවස සංචාරක නිකේතනයක් සඳහා විකුණා දමා එමඟින් ණය ගෙවිය හැකි බවයි. නොයෙක් වාද විවාද තිබුණත් අවසානයේ ඒ යෝජනාව ක්‍රියාත්මක වෙයි. ලොපෙකින් ඉඩම මිල දී ගනියි. රැනවෙස්කයා ආර්යාව පදිංචිය සඳහා ආපසු පැරීසියට යයි.
සෞන්දර්යයෙන් අනූන සිය චෙරි උයනට ආදරය කළ ද, එය සිය පවුලට විනාශය ගෙන එන්නේ ය’යි රැනවෙස්කයා ආර්යාවගේ සිතේ විශ්වාසයක් පවතී. ගයෙෆ් නැමැති ඇයගේ සොහොයුරා සිය ඉඩම හා වංශය නිසා මාන්නයකින් උඩඟු බවට පත්ව සිටිය ද කසා ගන්නට නියපොතුත් නැති අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නෙකි. නොයෙකුත් කූට ව්‍යාපාර මඟින් මුදල් උපයා දැන් ධනවතකුව සිටින ලොපෙකින්ට උයනේ සෞන්දර්යය හෝ නිවෙසේ කෞතුක වටිනාකම හෝ ගැන නිනව්වක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ මුදල් පමණි. ඒ හැර රැනවෙස්කයා පවුලේ හදාවඩා ගත් දියණි වාර්යා ගැන ද ඔහුගේ සිතේ අදහසක් ඇත. ඇය ද ඊට කැමති නමුත් ලොපෙකින්ගේ මුදල් ඉපැයීමේ ආසාව විසින් ඒ අදහස යටපත් කරනු ලැබ ඇත. ආන්යා නමැති රැනවෙස්කයා පවුලේ දියණිය සිය පවුලට මුහුණ පාන්නට සිදුවූ මේ මහා ව්‍යසනයෙන් වික්ෂිප්ත නොවී ඉවසිල්ලෙන් කටයුතු කරන්නී ය. අවශේෂ චරිත වනුයේ ශිෂ්‍යයකු වන ට්‍රොෆිමොව්, ෆියර්ස් නමැති මහලු මෙහෙකරුවා, දුන්යාෂා නමැති මෙහෙකාරිය යාෂා නමැති තරුණ මෙහෙකරුවා චාර්ලොටා නමැති පවුලේ ගුරුවරිය යනාදිහු වෙති.
ලොපෙකින්ට අනුව ඉඩම පිළිබඳ විස්තරය මෙසේ ය.:
‘මේ ඉඩම තියෙන්නෙ හරි අපූරු තැනක. බොහොම ලස්සන ගැඹුරු ගඟක් අයිනේ. හැබැයි ඉතින් මේ කැලෑව කපල සුද්ද බුද්ද කරල ටිකක් පිළිවෙළකට හදා ගන්න ඕන බව නම් ඇත්තයි. කෙළින් ම කියනව නම් මේ වත්තේ තියෙන මේ පරණ ගෙවල් දොරවල් ඔක්කොම බිමට සමතලා කරන්න ඕන. අපි දැන් ඉන්න මේ ගේ දිහා බලමු. මේක කිසි වැඩකට නැති අබලන් ගොඩනැඟිල්ලක්. ඒ වාගේ ම අර චෙරි උයනත් කපල සුද්ද කරල දාන්න ඕන’
‘රැනවෙස්කයා : චෙරි උයන කපල දානවයි කිව්ව! මේ තරහ වෙන්න එපා ලොපෙකින්. ඔහේ දන්නෙ නෑ. ඔහේ කතා කරන්නෙ මොනවද කියල. මේ පළාතටම වැදගත් ඒ වාගේ ම හිත් ඇද ගන්නා දෙයක් තියෙනව නම් ඒ තමයි අපේ චෙරි උයන.
ලොපෙකින්: විශාලත්වය හැරෙන්නට ඔය චෙරි උයනෙ වෙන කිසිම වැදගත් කමක් මට නම් පේන්නෙ නැ. ඕකෙ ගෙඩි පල ගන්නෙත් අවුරුද්දකට එක වතාවයි. අනික් අතට ගෙඩි පල ගත්තාම ඒවයින් මොනව කරන්න ද කියල කවුරුවත් දන්නෙ නෑ.
ගයෙෆ්: ඔහේ දන්නව ද? මේ වත්ත ගැන විශ්ව කෝෂෙත් සඳහන් වෙලා තියෙනව!’
මේ නාට්‍යයේ පළමුවන කොටසේ රැනවෙස්ක්යා ආර්යාවගේ පවුලේ වත ගොත සමඟ අනෙකුත් චරිත විස්තර කැරේ. දෙවැනි අංකය චෙරි උයන ගැන වර්ණනාවකි. එහි පැවැත්වෙන එළිමහන් ග්‍රීෂ්ම ඍතු සාදයකි. ඒ සාදයට විවිධාකාර පුද්ගලයෝ සහභාගි වෙති. එහෙත් දැන් ඒවාට සහභාගි වනුයේ පෙර මෙන් ප්‍රභූවරුන් නොව තැපැල් ස්ථානාධිපති, දුම්රිය ස්ථානාධිපති, වෙළෙන්දන් වැනි අයයි. නාට්‍යයේ තුන්වන අංකයේදී රැනවෙස්කයා තත්ත්වය නිසියාකාරව වටහා ගන්නා බවක් පෙනෙයි.
පැරිසියේ සිටින ඇගේ පෙම්වතාගෙන් ඇයට විදුලි පුවතක් ලැබී ඇත. ඔහු අසරණව සිටින බව එහි කියැවේ. අනුකම්පාවට පත් වන ඇය ඔහු වෙත යායුතු යැ’යි තීරණය කරයි. සිව්වන අංකය සමුගැනීමයි.
මෙතෙක් තමන් සිටි නිවස හා වත්ත හැර යාමට සිදුවීම රැනවෙස්කයාගේ සහ ගයෙෆ්ගේ සිතේ කනගාටුවක් ඇතත් ඒ බව නොපෙන්වමින් සිටින ඔවුහු වෙන්ව යන්නට පෙර එකිනෙකා වැලඳ හඬති. ආන්යා මව අස්වසන්නී ය. අවසානයේ ඔවුහු වෙන්ව යන්නේ මහලු සේවක ෆියර්ස් ගැන වගක්වත් නැතිව ය. ඔහු තමාට මෙසේ කියා ගනියි.:‘…උඹ ගාව හයිය හත්තිය ඉතුරු වෙලා නෑ බං පොඩ්ඩක්වත්. ඉතුරු වෙලා නෑ. … බොලේ උඹ දැන් කිසිම වැදගැම්මකට නැති මිනිහෙක්.’
සාම්ප්‍රදායික ඉඩම් හිමි කුලීන වලව් පැලැන්තිය බිඳ වැටී නවීන සල්ලිකාර පාදඩ පන්තිය එතැන හිමිකර ගැනීම ගැන ලියැවුණු මුල්ම කෘතිය මෙම නාට්‍යය බව විචාරක මතයයි. ප්‍රකට නාට්‍ය විශාරදයකුව සිටි මහාචාර්ය ඇලර්ඩයිස් නිකෝල්ට අනුව මෙය හොඳම රුසියානු නාට්‍ය දහයෙන් එකකි.
මේ නාට්‍යය 1964 දී ආචාර්ය මැන්දිස් රෝහණධීර විසින් ‘චෙරිවත්ත’ නමින් සිංහලට පරිවර්තනය කරන ලද අතර, මේ ලිපිය සඳහා පාදක කැර ගන්නා ලද ‘චෙරි උයන’ රංජිත් ධර්මකීර්තිගේ කෘතියකි.