අවලෝකිතේශ්වර යනු මහායානයෙහි උගන්වන පංචධ්යානි බුදුවරයන් අතරින් ප්රධානත්වයෙහි ලා සැලකෙන අමිතාභ නොහොත් අමිතායුෂ් බුදුවරයා වෙනුවෙන් මේ ලෝකයෙහි පෙනී සිටින, සියලූ සතුන්ගේ දුකට පිහිට වන බෝසත්වරයා බව පොත පතෙහි සඳහන්ය. සියලු බුදුන් වහන්සේලාගේ මහා කරුණාව මූර්තිමත් කෙෙරන ශ්‍රේෂ්ඨතම පරම බෝධි සත්ත්වයන් ලෙස ද අවලෝකිතේශ්වර සැලකේ.
විවිධ සංස්කෘතීන් හා ඇදහිලිවලට අනුව අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ හැඩරුවද වෙනසකට ලක්වී ඇත. චීනයේ අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ රුව කාන්තාවකගේ ස්වරූපයෙන් වන්දනා මානයට ලක් කෙරේ. ගුවාන්යින් බෝධි සත්ත්වරිය ලෙස චීනයේ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනාමාන කෙරෙන බව සඳහන්ය. කාම්බෝජය තුළ මෙම බෝසතුන් ලෝකේස්වරක් ලෙසත්, ජපානය තුළ කන්සොන් හෝ කන්නොන් ලෙසත් හැඳින්වේ.
අපේ රටේ අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් ලෙස පෙනී සිටිමින් මිසදුටුවන් පිරිසකගේ වන්දනාමානයට ප්‍රාප්ත වූයේ මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයෙකි. සර්වඥ බලයක් ඇති බව කියන මේ පුද්ගලයා දෙසන ධර්මය ඇසීමට දේවත්වයට පත්වූවෝ පැමිණෙන බව ද කියති. එසේම මේ තැනැත්තා යමා මහ පෙළහර ද පාති. හැබැයි සාමාන්‍ය ජනතාවට නම් ඔහුගේ පෙළහරපෑම් පෙනෙන්නේ නැත. ඔහු පවසන්නේ ඔහු පාන යමා මහ පෙළහර පෙනෙන්නේ දෙව් මිනිසුන්ට බවය.
මෙවැනි හොරු සහ වංචාකරුවන් කලින් කලට අපේ රටේ බිහිවෙති. සෝවාන් මාර්ග ඵලය ලැබූ අයද සිටිති. මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයකට හිමිකම් කියන එක්තර ව්‍යාපාරිකයෙක් සෝවාන් වී ධර්මය දේශනා කරමින් යන්නේ තවත් පිරිසක් සෝවාන් ඵලයට පත් කරමිනි. සිය අනුගාමිකයන් සෝවාන් වූ විට ඔහු සෝවාන් සහතිකයන් ද ඒ අයට ලබා දෙයි.
එසේම අපේ රටේ ඇතැම් භික්ෂූහු රහත් ඵලය ද අත්පත් කරගෙන සිටිති. තමන් රහත් වී සිටින බවත් මතු බුදු වන බවත් කියන ප්‍රසිද්ධ භික්ෂුවක් ද සිටිති. හිටි හැටියේම පහළ වන දේශකයකුගේ මඟ යමින් නිර්වාණයට යාමට වස විස කා සියදිවි හානිකර ගත්තවුන් ද අපේ රටේ නැත්තේම නැත. එහෙව් රටේ මෙතෙක් බිහි නොවූයේ බුදුවරයකු පමණි. දැන් ඒකත් සම්පූර්ණය. ඒ අවලෝකිතේශ්වර බෝධි සත්ත්වයන් ලෙස මහින්ද කොඩිතුවක්කු නැමැත්තා බිහි වී සිටින බැවිනි.
මෙම පුද්ගලයා අම්බල්තොට බරවකුඹුර පැත්තේ උපන් අයෙකි. උපන් දිනය ලෙස සැලකෙන්නේ 1979 ජුනි 23 වෙනිදාය. අධ්‍යාපනය ලබා ඇත්තේ ඒ පැත්තේම ඇති ගමේ පාසලිනි. සාමාන්‍ය පෙළ අසමත් ඔහු රැකියාව ලෙස රියැදුරෙක් ලෙස කටයුතු කර ඇති බව කියැවෙති. ඔහු විවාහ වී ඇත්තේ පළමු විවාහයෙන් වෙන්වී සිටින දෙදරු මවක් සමඟිනි. ඒ 2011 වසරේදීය. එම මවගේ දියණියකට මෙම පුද්ගලයා විසින් අතවර කර ඇති බව ද පැවසේ. ඒ ගැන ඔහු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝවක ද සඳහන් වන්නේ එය එතරම් ලොකු ක්‍රියාවක් නොවන බව ඒත්තු ගන්වමිනි. ගිහිගෙය අතහැර මෙම පුද්ගලයා අභිනිෂ්ක්‍රමණය කළේ යැයි කියන්නේ එම සිදුවීමෙන් අනතුරුවය. ඔහු කියන ආකාරයට අනුව ඔහු එම දියණියට අතවර කර අභිනිෂ්ක්‍රමණය කර ඇත්තේ ඊජිප්තුවටය.
අනාවරණය වන ආකාරයට අනුව මේ පුද්ගලයා ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇත්තේ 2012 වසරේදීය. ඒ වසය අවුරුදු 33 දීය. දැන් ඔහුට වයස අවුරුදු 45 කි. කියැවෙන ආකාරයට අනුව ඔහු වසර 12ක්ම රැඳී සිට ඇත්තේ ඊජිප්තුවේය. එරට පිහිටි ඇමෙරිකානු කඳවුරක ප්‍රධානියාගේ නිවෙසේ බල්ලන් බලා ගනිමින් සිටි මෙම පුද්ගලයා හිටි හැටියේම අවලෝකිතේෂ්වර බෝධිසත්ත්වයෙක් ලෙස යූ. ටියුබ් නාළිකාවක් ඔස්සේ පෙනී සිටිමින් දේශනා පවත්වන්නට ගන්නේ ආන්දෝලනයට තුඩුදී සිටින සිය භික්ෂු නාමය පවා වෙනස් කර ගනිමින් ථේරවාදී භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් මහායානය ව්‍යාප්ත කරන්නට උත්සාහ දරන මතු බුදුවන බවට පවසමින් කුරුණෑගල කේන්ද්‍ර කරගෙන මේ වන විට ක්‍රියාත්මකව සිටින භික්ෂුවකගෙන් ධර්මය ඇසීමෙන් අනතුරුවය. බුද්ධ දේශනාව සහ ධර්මය තමනට ඇවැසි ආකාරයට වෙනස් කරමින් දේශනා කරමින් මා අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් බව කියමින් මෙම පුද්ගලයා යූ ටියුබ් නාළිකාවක් ඔස්සේ එළියට එන විට ථේරවාදී බුදු දහම විනාශ කිරීමට මාන බලමින් සිටින ඇතැම් බලවේග ඔහුට සහායක් වී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති කරුණකි.
මේ පුද්ගලයා තමන්ව මුලින්ම හඳුන්වා දී ඇත්තේ රට බේරා ගන්න පහළ වූ දියසෙන් කුමාරයා බව පවසමිනි. ඒ බව තහවුරු කිරීමට ඔහු යොදා ගනු ලබන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් දියසෙන් කුමාරයකුගේ බිහිවීමක් ගැන කළ දේශනාවකි. එම දේශනාවේ සඳහන් කරුණු තමාට ගළපපමින් දියසෙන් කුමාරයෙක් ලෙස කරලියට ආ ඔහු අවසානයේදී බුදුවරයෙක් ලෙස කල එළි බසින්නේ මහයානි දර්ශනයේ සඳහන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයෙක් ලෙසිනි.
මේ අයට පොදු සමාජය හඳුන්වන්නේ මොලේ අමාරුකාරයන් යැයි කියාය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු ගවේෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුට ඊජිප්තුවේද බිරියක් සිටින බවය. දරුවන් දෙදෙනෙක්ද සිටින අතර එම දරුවන් අසනීප තත්ත්වයක සිටින අය බවත් ඔවුන් නිවුන් දරුවන් බව ද පැවසේ. ඒ ගැන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිටින්නේ දැඩි අවධානයකින් විමර්ශනයට ලක් කරමිනි.
දියණියකට අතවර කර මෙරටින් ඊජිප්තුව බලා අභිනිෂ්ක්‍රමණය කර ඊජිප්තුවේ බල්ලන් බලා ගනිමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති දියසෙන් කුමාරයා හිටිහැටියේම අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයෙක් බවට පත්වන්නේ සිහිනයක් දැකය. එම සිහිනය තිදෙනෙක් ඇඟ මතට රාක්කයක් කඩා වැටීමකි. එම රාක්කය කඩා වැටී දෙදෙනෙක්ම යන අතර මහින්ද කොඩිතුවක්කු නැමැති මෙම තැනැත්තා සිය අනුගාමිකයන්ට පවත්වන දේශනාවලට අනුව එම සිහිනයෙන් දුටු අනතුරින් දිවි බේරෙන එකම පුද්ගලයා ඔහුය. අවලෝකිතේශ්වර බෝධිසත්වයෙක් බවට ඔහු පත්වන්නේ ඒ සමඟිනි.
අවලෝකිතේශ්වර බෝධිසත්වයෙක් බවට මෙම පුද්ගලයා පත්වූ බව කියැවෙන්නේ වසර හතර පහකට පෙරය. එතැන් සිට ඔහු යූ ටියුබ් නාළිකාවක් ඔස්සේ දේශන පවත්වමින් අනුගාමිකයන් ගොඩනඟන්නේ ටිබෙට් මහායාන සංකල්පවල සඳහන් හිත එකඟ කර ගැනීමේ ක්‍රමවේදයක් යොදා ගනිමින් “දෙකළවර පේනවද“ යැයි සඳහන් දේශනාවන් පවත්වමිනි. මෙම තැනැත්තාගේ දෙකළවර පේන දේශනාවලට වහ වැටුණු අය අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පොලිස් නිලධාරීන් මෙන්ම ඇතැම් භික්ෂූන්ද සිටිති. මේ තැනැත්තාගේ ලොකුම විහිළුව වන්නේ ඔහුගේ දෙෙකළවර පේන දේශනා ඇසූ 41 දෙනෙක් රහත්භාවයට පත්ව සිටීමය. ථෙරවාදී බෞද්ධ ඉගැන්වීම්වලට පහර ගසමින් අමුතු දේශනාවක් කරමින් සිටින මෙම පුද්ගලයා පවසන ආකාරයට අනුව ඔහුට සිටින අනුගාමිකයන් ගණන ලක්ෂ 03කට වැඩිය. විමර්ශනවලින් නම් පෙනී ගොස් ඇත්තේ එතරම් අනුගාමිකයන් පිරිසක් ඔහුට නොමැති බවය. ඔහු ඊජිප්තුවේ සිට දේශනා ප්‍රසිද්ධ කළ 180 යූ ටියුබ් නාළිකාවේ සිටින ග්රාහකයන් ප්‍රමාණය පවා පන්හයදහසකට එහා ගොස් නැත. එම යූ ටියුබ් නාළිකාව ඔස්සේ තමන් දේශනා 4000ක් කර ඇති බව මේ තැනැත්තා කියයි. ඒ යැයි කියා එම චැනලයට විශාල ග්‍රහකයන් පිරිසක් එකතු වී ඇති බවක් නම් විමර්ශනවලින් පෙනී ගොස් නැත. නමුත් ලොකු තරගයත් තිබී ඇත්තේ දේශනාවලට වහවැටී සිටි කිහිප දෙනා අතර මේ තැනැත්තාගේ අග්‍රශාවකයන් බවට පත්වන්නටය. එම තරගයෙන් ඒ වන විටත් ජයගෙන සිට ඇත්තේ වෛද්‍යවරයෙක් සහ පොලිස් නිලධාරියෙකි. අවලෝකිතේශ්වර බෝධිසත්්ව ලෙස පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නැමැති මේ තැනැත්තාගේ වෛද්‍යවරයෙක් වන අගසව්වරයා මේ වන විට සිටින්නේ විදේශගතව බව කියැවෙති. පොලිස් නිලධාරියා නම් නිවාඩු දමාගෙන බැහැගෙනම සිටින්නේ මහින්ද කොඩිතුවක්කු පස්සේය. අම්පාර පැත්තට කිට්ටු පොලිස් ස්ථානයක සේවයේ නිරතව සිටින බව කියන සැරයන්වරයෙක් වන මෙම පොලිස් නිලධාරියා සිටින්නේ අවලෝකිතේශ්වර බෝධිසත්්ව ලෙස පෙනී සිටින මහින්ද කොඩිතුවක්කුගෙන් බණ අසා දේවත්වයට පත්වූ අයෙක් ලෙසිනි.
ඊජිප්තුවේ බල්ලන් බලා ගනිමින් සිටියදී 2016 වසරේදී විශේෂ ඥානයක් ලැබී අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයෙක් බවට පත්වූ බව කියන මහින්ද කොඩිතුවක්තු තමාව උලුප්පා ගැනීමට යොදා ගන්නා යූටියුබ් නාළිකා ගණන 05කි. ඒ හැම නාළිකාවක් ගැනම තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සොයාගෙන අවසන්ය. මේ නාළිකා මඟින් ථේරවාදී බෞද්ධ දර්ශනයට පමණක් නොව බුදුරජාණන් වහන්සේගේ දෙතිස්සමහා පුරුෂ ලක්ෂණවලට ද පහර ගසමින් හෑල්ලුවට ලක්කරන බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේම ඔහු දේශනා පවත්වන්නේ සියදිවි හානිකර ගැනීම ප්‍රවර්ධනය කරමිනි. ශරීරයට ගිනි තබා ගැනීම බුදුන්ට කෙරන පූජාවක් බව ද ඔහුගේ දේශනාවල අන්තර්ගතය. මෙම තැනැත්තා සිය දේශනාවලදී වැඩි වශයෙන් ගුරුකොට සලකනු ලබන්නේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයයි.
මනුසත් බෝධිසත්ත්වයා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ශ්‍රවණය කර ඊට පූජෝපාහාර ලෙස කල්ප අසූවක් ශරීරය දල්වා සිටි බව පවා මෙම තැනැත්තා සිය දේශනාවල සඳහන් කරනු ලබන්නේ තමන්ගේ ආත්මය බුදුන්ට පූජාවක් ලෙස ගිනි තබා ගන්නා ලෙස ද පවසමිනි.
මෑතකදී වස කා එක දිගට 07 දෙනෙක් සියදිවි හානිකර ගත්තේ ද මෙවැනි මානසික උන්මන්තකයන්ගේ දේශනා අසාය. අතුරුගිරිය පැත්තේ භාවනායෝගීව සිටි භික්ෂුවක් ද දර සෑයක් ඉදිකොට ඒ තුළ භාවනායෝගීව සිට මෑතකදී ගිනි තබාගෙන සිය දිවි හානිකර ගත්තේ ද බුදු දහමේ ඇති ඇතැම් කරුණු වැරදියට වටහාගෙනය. උන්වහන්සේ ද ගමන් කර තිබුණේ මෙවන් උන්මන්තකයන් ගිය මඟය. පුද්ගල මනස විකෘති කරමින් අමුතුම දේශනා පවත්වමින් බුදු දහමට පහර ගසමින් සිටි අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව බව කියන මහින්ද කොඩිතුවක්කු නැමැත්තාගේ ලංකා ගමනය සිදුවන්නේ පසුගිය 01 වෙනිදාය. ඔහු මෙරටට එන්නේද “මහත් ඵල දොරටුය විවෘතකර ලංකාවට ආවා“ යැයි කියාගෙනය.
මෙරටට එන්නට අතේ සතේ නොමැතිව සිඟන්නකු ලෙස සිටි මේ තැනැත්තා එම ගණනට මුදල් සොයා ගන්නේ ද තමාව ලංකාවට අවශ්‍ය නම් ගෙන්වා ගන්නැයි සිය 180 යූ ටියුබ් නාළිකාව ඔස්සේ කළ ප්‍රකාශයක් ඔස්සේය. ඒ අනුව ඔහුගේ ලංකා ගමනය සංවිධානය කරනු ලබන්නේ දෙස් විදෙස් සිටින ඔහුගේ අනුගාමිකයන් බව කියන පිරිසකි. ඒ අතර අගසව් වන පොලිස් සැරයන්වරයා සංවිධාන කටයුතු වල වැඩි බරක් දරා තිබුණේය. එහෙත් බර පැන දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින ඉරේෂා නැමැති කාන්තාවකි. ඇය ඒ සදහා මුදල් බැර කරනු ලබන්නේ සුදර්ශනි නැමැති කාන්තාවකටය. අවුරුදු 58ක් පමණ වයසැති ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පළමු විවාහක බිරියය. එම නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මෙම තැනැත්තියත් සායි බබා ඇදහූ අයයි. සායි බබාගේ මරණින් පසු ඇය විතැන් වී ඇත්තේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ඇදහීමටය. මහින්ද කොඩිතුවක්කුට ඇය වහ වැටෙන්නේ එබැවින් විය හැකිය.
ථේරවාදී බෞද්ධ දර්ශනය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක් භාරගෙන සිටින මෙම තැනැත්තා ඊජිප්තුවේ සිට මෙරටට එන්නේ ද වසර 04ක කාලයක් වීසා නොමැතිව එරට රැඳී සිටීමේ වරදට ඇමෙරිකානු ඩොලර් 450ක දඩයක්ද ගෙවමිනි. ඊජිප්තුවේ සිට ගුවනින් පැමිණ ජනවාරි 01 වෙනිදා උදෑසන 6.22ට මෙරටට ගොඩ බසින මේ තැනැත්තා රටට ඇතුළු වන්නේ ගුවන්තොටුපොලේ ප්‍රභූ පර්යන්තයෙනි. ඒ වෙස් නැටුම් කණ්ඩායමක් පෙරටුකරගෙනය. ඊට පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා ගැනීමට පවා ඔහුගේ අනුගාමිකයන් කටයුතු කර තිබුණේය.
අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙස මෙරටට පා තබන මහින්ද කොඩිතුවක්කු නැමැති මේ තැනැත්තාව පිළිගැනීමට ගුවන්තොටුපොල භූමියට අනුගාමිකයන් විශාල පිරිසක් ද රැස්ව සිටියේ කල්වේලා ඇතිව සිදු වූ සංවිධාන කටයුත්තක් හරහාය. ලංකාවට පය තැබීමෙන් අනතුරුව මහනුවර, කැලණිය, අනුරාධපුර, ශ්‍රීපාදය ආදී ස්ථානවලට තමා ගමන් කරන බව ද කල් ඇතිව මේ තැනැත්තා පවසා තිබුණේය. ඔහුගේ අනුගාමිකයන් ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේ සිට ඔහුව රැගෙන යන්නේ කැලණිය රජමහා විහාරස්ථානය වෙතය. එහි ගමන් කිරීමට ඔහුට වෙන්කර තිබෙන්නේ ලිමොසින් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයයි. කැලණියේ පුද්ගලයකුට අයත් මෙම රථය කුලියට ගත් එකකි. ඒ රුපියල් 25,000කටය. ඒ සඳහා ගෙවීමට මුදල් ලබා දුන්නේ යැයි කියනු ලබන්නේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පළමු විවාහක බිරිය විසිනි. ඇය ඒ සඳහා වියදම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට ඇගේ බැංකු ගිණුමකට ඉරේෂා නැමැති අය විසින් බැර කළ මුදල්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වෙසින් මෙරටට පැමිණි මහින්ද කොඩිතුවක්කු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය කළ බවය. කටුනායක ගුවන් තොටුපොලේ සිට කැලණියට පැමිණීම දක්වාත් කැලණියේ සිට බොරලැස්ගමුවෙන් ඔහු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් නිවෙසකට ගෙවූ කුලියත් ඔහුට කන්න බොන්න දීමට වැය කළ මුදලුත් සමඟිනි.
කැලණියට එන විට මේ තැනැත්තාය පිළිගැනීමට අනුගාමිකයන් පමණක් නොව, කුලියට ගත් පිරිස් ද යොදා සිට ඇති බව පෙනී ගොස් ඇත්තේය. කැලණියේදී ඔහුව පිළි ගන්නේ සළුපිළි පළන්දවාය. කැලණිය යනු බුදුන්ගේ පහස ලද භූමියකි. කැලණි ගඟ දෙබා කරමින් පසුගිය කාලයේ නාග ලෝකයෙන් නයෙක් මතුවූයේද මෙම කැලණි පූජා භූමිය ආශ්‍රිතවය. අද ඒ නයාට වූ දෙයක් නැත. එදා නයා පෙන්වා කැලණිය පුද බිමට කළ හානියට වඩා වැඩි හානියක් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වෙසින් පැමිණි මහින්ද කොඩිතුවක්කු කළේය. ඒ දස සිල් මාතාවක් යොදවා ඔහුට වන්දනා මාන කරමිනි. එම දසසිල් මාතාව එහි ගෙන්වා මහින්ද කොඩිතුවක්කුට වන්දනා කරගෙන ඇත්තේ ද ඇයට මුදලක් ලබාදී කල්තියා කළ සැලසුමකට අනුව බව දැන් හෙළිවී හමාරය. ගුවන්තොටුපොලේ සිට කැලණියට පැමිණි ලිමෝසින් මෝටර් රථය කැලණියේම තබා මෙම බෝධිසත්වයාව ඔහුගේ නවාතැන්පොළ වෙත අනුගාමිකයන් විසින් රැගෙන යන්නේ වෙනත් රථයක නංවාගෙනය. ඒ ලිමෝසින් රථය කුලියට ගෙන තිබුණේ ගුවන්තොටුපොළේ සිට කැලණිය දක්වා පමණක් වූ බැවිනි.
මෙම බෝධිසත්වයා වෙනුවෙන් ඒ වන විටත් ඔහුගේ අනුගාමිකයන් විසින් කැස්බෑව බටුවන්දර පිහිටි දෙමහල් නිවසක්ද කුලියට ගෙන තිබුණේය. ඒ මාස 06ක කාලයක් සඳහාය. සර්වෝදය මාවතේ පිහිටි මෙම නිවෙස කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයකුට අයත් එකකි. එම වෛද්‍යවරයා මෙම නිවෙස බලා කියා ගැනීමට භාරදී තිබුණේ දන්නා හඳුනන ත්‍රීරෝද රථ රියැදුරකුටය. එම ත්‍රීරෝද රථ රියදුරා මගින් මෙම නිවස කුලියට ගැනීමට මුදල් ගෙවීම් කරනු ලබන්නේ ද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරියය. ඒ මසකට රුපියල් 40,000 බැගින් මාස 06ක කුලියක් එකවර ගෙවමිනි. ඒ පසුගිය දෙසැම්බර් මාසයේදීය. මෙම නිවෙස පවා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිය විසින් කුලියට ගන්නේ යැයි කියැවෙන්නේ අමෙරිකාවේ සිට පැමිණෙන සිය දියණියට නවාතැන් ගැනීමට බව කියමිනි.
දියණියට පුතෙක් සිටින බවත් එම පුතා භාවනා කරන අයෙක් බැවින් නිස්කලංක ස්ථානයක් ලෙස මෙම නිවෙස තෝරාගත් බවත් ඇය නිවෙස කුලියට ගන්නා අවස්ථාවේදී පවසා තිබුණාය. මෙම නිවෙස කුලියට ගැනීමේදී බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කරනු ලබන්නේ ත්‍රිරෝද රථ රියැදුරාය ඔහුට බ්‍රෝකර් ගාස්තු ලෙස රුපියල් 25,000ක මුදලක්ද ලැබී තිබුණේය.
මෙම නිවෙසේ රැඳී සිටින කාලය තුළ අවලෝකිතේශ්වර බෝධි සත්ව වෙස්ගත් මහින්ද කොඩිතුවක්කුට අවශ්‍ය ආහාර පාන සඳහා වූ විය හියදම්ද දරන්නට වූයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරියය. ඒ වෙනුවෙන් ඇයට ඕස්ට්‍රේලියාවේ මිතුරියගෙන් මුදල් නොඅඩුව ලැබී තිබුණාය. මේ නිවෙසේ සිටත් ඔහු කරනු ලැබුවේ දේශනා පවත්වමින් ඒවා යූ ටියුබ් නාළිකාවල දමමින් බෞද්ධයන් කුපිත කරවීමකි. ඇතැම් දිනවල මෙහි දේශනා රාත්‍රී 12.00 සිට අලුයම 3.00දක්වාම පවත්වමින් තිබුණේ අසල්වැසියන්ට ද හිරිහැර වන ලෙසිණි.
බෞද්ධ දර්ශනයට, බුදුන් වහන්සේට, යසෝදරා දේවියට, භික්ෂූන් වහන්සේට අවමන් කරමින් දේශනා පවත්වමින් සිටි මෙම අවලෝකිතේශ්වර බෝධි සත්ත්ව වෙස්ගත මහින්ද කොඩිතුවක්කු කෙරෙහි මෙරට භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ජනතාවගේ වඩාත් අවධානයට යොමුවන්නේ කැලණිය විහාරස්ථානයේ කළ නාටකයත් සමගිනි. බෞද්ධයන්ගේ සිත් රිදවූ මෙම නාටකයට එරෙහිව බෞද්ධ ජනයා පෙළ ගැසෙමින් සිටින විට එය ලොකු විනාශයකට මුල පිරීමක් බව අවබෝධ කරගත් අගුළුගල්ලේ සිරි ජනානාන්ද , බලංගොඩ කස්සප යන හිමිවරු ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ කිහිප නමක් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක ඇතුළු ගිහි පැවිදි පාර්ශ්ව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරන්නටය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාර විමර්ශන ආරම්භ කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවය. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද කොඩිතුවක්කුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නේ විමර්ශන අතරතුර ඔහු රටින් පලායාමට ඇති ඉඩකල සලකා බලාය. එම නියෝගය ලබාගැනීමත් සමඟ උරණ වූ මෙම තැනැත්තා හැසිරෙන්නේ අයි.ආර්.සී. කාරයෙකුටත් වඩා අන්ත ලෙසිණි.
අවලෝකිතේශ්වර බෝධි සත්්වයෙක් ලෙස පෙනී සිටිමින් බෞද්ධ දර්ශනයට පහර ගසමින් සිටි මහින්ද කොඩිතුවක්කු ලා වැනි අය කෙරෙහි මහානායක හිමිවරුන්ගේ විශේෂ අවධානයක් යොමු වන්නේ ද මේ අතරතුරදීය.
සංවිධානාත්මකව බුදු දහම පිළිබද සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හරපද්ධතීන්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කරමින් පසුගිය 13 වෙනිදා මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ,අමරපුර මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත ලිපියක් යොමු වන්නේ මේ අතරතුරදීය. අවලෝකිතේෂ්වර බෝධි සත්්ව වෙසින් සිටි මහින්ද කොඩිතුවක්කු ත්‍රීරෝද රථයක නැඟී පසුගිය 15 වෙනිදා මහ දවල් හිස මුළු මනින්ම ආවරණය කරගත් ලෝගුවකින් සැරසී ගමන් කරමින් සිටියදී පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලබන්නේ මහානායක හිමිවරුන්ගේ ලිපිය ජනාධිපති කාර්යාලයට ගොස් පැය 24ක් යන්නට මත්තෙනි. අවලෝකිතේශ්වර බෝධි සත්ත්ව වෙසින් සිටි මහින්ද කොඩිතුවක්කු ඊජිප්තුවේදී ඔහු බලා කියා ගත් සත්්වයාගේ තත්ත්වයට පත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ තබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදීය. අනතුරුව ඔහුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ 16 වෙනිදාය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ය.
“මෙම පුද්ගලයාට දඬුවම් කරල වැඩක් නැහැ. ප්‍රතිකාර කරන්න ඕනේ. මේ අය ගැන අනුකම්පාවෙන් බැලිය යුතුයි“ යැයි දිලීප පීරිස් විවෘත අධිකරණය හමුවේ එහිදී පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශන වලින් මෙම තැනැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්ෙනක් බව පෙනී ගොස් ඇති නිසා විය හැකිය.
අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද මෙම තැනැත්තාගේ අමුතු හැසිරීම් කෙරෙහි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ අවධානයට ද යොමු වී තිබුණේය. එය ද සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තා ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු ලබන්නේ 24 වෙනිදාට පෙර මේ තැනැත්තා සම්බන්ධයෙන් මානසික වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස දැනුම් දෙමිනි.
රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ මෙම තැනැත්තා රඳවා තබන්නට වූයේ මැගසින් බන්ධනාගාරයේ එන්. වාට්ටුවේය. නවක සිරකරුවන් රඳවා තැබෙන්නේ එන්. වාට්ටුවේය. එම වාට්ටුවේ ඔහු රැඳී සිටින්නට වූයේ ද සිරකරුවන්ට දේශනා පවත්වමිනි. ඒ ඔහුගේ මතයන් සිරකරුවන්ට ද වපුරමිනි. ඇතැම් සිරකරුවන් මේ පුද්ගලයා වටා රැඳෙමින් ඔහුගේ දේශනා අසමින් අවසානයට “ මූ පිස්සෙක්“ යැයි කියන තැනට පත්ව ඇත්තේ සිරකරුවන්ට පවා මේ පුද්ගලයා මානසික රෝගියෙක් බව දැනෙන්නට වූ බැවිනි.
ගයාන් කුමාර වීරසිංහ