ඔබ කියවූ පොත් අතුරින් එක් වරකට වඩා කියැවූ පොත් තිබේදැයි හෝ; ඒ පොත්වලින් සිතේ ගැඹුරුම තැනට තදින් කාවැදී ඇති පොතක් වේදැයි විමසුව හොත් ඒ ගුරු ගීතය යැයි නිසැකයෙන්ම ඔබ පවසනු ඇත. එහි ඇති චරිත අතුරින් දුයිෂෙන් ගුරුතුමා අපට කිසිදා අමතක නොවෙයි. අප නිතර දකින දහස් ගණන් ගස් අතර දුයිෂෙන් ගුරුතුමා ඔහුගේ පාසල අසල සිටවූ පොප්ලර් ගස් දෙක සහ කිර්ගීසියානු කඳුකරයේ ස්ටෙප්ස් තණබිම් ආශ්‍රිත දුෂ්කර ගම්මානය ඔබගේ සංකල්ප රූප අතරින් කිසිදා මැකී නොයනු ඇත. අයිලයේ දරුවන්ට අකුරු කියාදෙන දුයිෂෙන් ඔහුගේ තාරුණ්‍යය දියකර හරින්නේ ඒ ගමේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.
ඒ අතරින් දුයිෂෙන්ට හදවතින් ආදරය කළ එක් ධෛර්ය සම්පන්න දැරියක් වන අල්තීනායි ජීවිතයේ විවිධ දුක් ගැහැට මැද සරසවි මහාචාර්යවරියක් වීම දක්වා ගුරු ගීතය දිග හැරෙයි. අපට ඒ දුයිෂෙන්ගේ කිර්ගිස්ථාන් කඳුකරයේ අයිලය කිසිදා අමතක නොවනු ඇත. චිංගීස් අයිත්මාතෙව් කතුවරයාගේ ගුරු ගීතයේ දුයිෂෙන්ට සම ගුරුවරු ද ඔහු ජීවත් වූ කිර්ගිස්ථාන් කඳුකරයේ අයිලය දුෂ්කර ගම්මානවලද එවැනි ගුරුවරු ද ජීවත් වෙති. ඒ ගම වූ කලී සමහර විට දුයිෂෙන්ගේ අයිලයටත් වඩා දුෂ්කර ගමක් විය හැකිය.
දුවා දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔහු දුයිෂෙන් මෙන් අකුරු කියා දුන්නේය. රටේ දරුවන් වෙනුවෙන් කැප කිරීම් කළේය. මේ ගුරුවරයා අපට මුණ ගැසෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොළ අධ්‍යාපන කොට්ඨාසයේ පොල්ලමුරේ නම් දුෂ්කර ගම්මානයෙනි. කඳුපල්ලම් බසිමින් ගල් පරවල හැපෙමින් දරුවන්ට ඉංග්‍රීසියෙන් අකුරු කරන්නට මේ ගුරුතුමා එන්නේ පාපැදියෙනි. ඔහු මේ අකුරු කියාදුන් දරුවකුගෙන් අනාගතයේ සිනාවක්වත් බලාපොරොත්තු නොවන බව පවසයි. ඔහු කොතරම් අගහිඟකම් මධ්‍යයෙ මේ දුෂ්කර කාර්ය ඉටු කළත් කිසිදු දරුවකුගෙන් අකුරු විකුණා මුදල් ගත්තේ නැත.
මේ අපූර්ව පන්තිය පවත්වන්නේ පොල්ලමුරේ ගරාජයක් තුළය. එහෙත් මේ පන්තිය ආරම්භ වන්නේ පාන්දර 5ටය. මේ පන්තිය මුලින්ම ආරම්භ කළේ 2017 වසරේ පොල්ල මුරේ විරසේකර විද්‍යාලයේ ය. එකල දරුවන් රැගෙන ගමේ මවුපියෝ හිමිදිරියේ පොල්ලමුරේ වීරසේකර විද්‍යාලයට පැමිණෙති. පාසලේ මේ පැවැත්වූ පන්තිය ටික කලකට පෙර නැවැතිණි. ගිය වසරේ අප්‍රියෙල් වලින් පසුව ඔවුන් අකුරු කරන්නේ පාසල ආසන්නයේ ඇති ගරාජයකය. පාන්දර පහට ආරම්භ වන මේ ඉංග්‍රීසි පන්තිය පොල්ලමුරේ වීරසේකර විද්‍යාලයේ 2017 වසරේදී මුල්වරට ආරම්භ කරන ලද්දේ ගොඩවත්ත ලියනගේ වීරරත්න නම් වන එවක පාසලේ ඉංග්‍රීසි විෂය භාර ගුරුතුමාය. ඔහු එහි පැමිණෙන විට පාසලේ සිසුන් 100කට ආසන්න සංඛ්‍යාවක් අකුරු කරන ලදී.
මේ ඉංග්‍රිසි පන්තියට පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කරන යු. එම්. එන්. අජන්ත උඳුගොඩ ද ඉගැන්වීමේ කාර්යයට සහභාගි කරවා ගන්නා ලද්දේ වීරරත්න නම් වන ගුරුවරයා විසිනි. වීරරත්න ගුරුතුමාගේ විශ්‍රාම යෑමත් සමඟ එම කාර්යය සම්පූර්ණයෙන්ම පැවැරුණේ අජන්තටය. ඔහු විශ්‍රාම යාමෙන් මාස හයක් පමණ ඉංග්‍රීසි පන්තිය පාසලේ පැවැත්විණි.
මේ ඉංග්‍රීසි පන්තියේ දරුවන්ගේ මුල්කාලීනව ප්‍රගතියක් නොමැති වුවත් පසුකාලීනව ඉතා ඉහළ ප්‍රගතියත් අත් පත් කරගන්නා ලදී. එයට මේ වීරරත්න ගුරුතුමා සහ අජන්ත නොයෙක් උපාය උපක්‍රම යෙදුවෝය. නොයෙක් අත්හදා බැලීම් කළෝය. එසේම වෙනත් ගුරුවරුන්ගේ සාර්ථක ක්‍රමවේදයන් මොවුහු හදාරා නිර්ලෝභීව දරුවන්ට කියා දුන්හ. ජී. එල්. විරරත්න ගුරුතුමාගේ විශ්‍රාම යෑමත් සමඟ වීරසේකර විද්‍යාලයේ පැවැත් වූ උදෑසන ඉංග්‍රීසි පන්තියට පාසලේ ඉඩ ඇහිරි ගිය ද අජන්ත ඒ උත්සාහය අත් හැරියේ නැත. ඒ සද්කාර්ය සඳහා පාසල ආසන්නයේ ගරාජයක ඉඩ ලබාදීමට ගමේ දරුවකුගේ පියකු ඉදිරිපත් විය. එහි පන්තිය පවත්වා ගෙන යාමට අජන්ත කටයුතු කළේය.
පාසල් ආරම්භ කරන්නේ උදෑසන හතයි තිහට වුවත් අලුයම පහට මේ ඉංග්‍රීසි පන්තිය පවත්වන්නේය.
දුවා දරුවන්ගේ ඉංග්‍රීසි කථන හැකියාව වැඩි දියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ඔවුන්ගේ අදහසයි.
“මේ පාසලේ එක වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති පැවැත්වෙනවා. ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයා වීරරත්න තමයි මේ පන්තිය මුලින්ම පාන්දර 4.00ට ආරම්භ කළේ. විදුහල්පතිවරයාගෙන් අවසර අරගෙන දරුවන්ගේ ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කිරීමට අතිරේක වේලාවකදී පන්තියක් පැවැත්විය යුතු යැයි කියලා තමයි මුලින්ම මේ පන්තිය ආරම්භ කරන්න අදහස් කළේ. මෙම කටයුත්ත සඳහා දායකත්වයක් දෙන්න කියලා වීරරත්ත ගුරුතුමා මට කිවුවා. මම හරි සතුටින් ඒක කළා යැයි යූ. එම්. නිහාල් අජන්ත උඳුගොඩ ඔහුගේ කතාව ආරම්භ කරයි.
“මේ පොල්ලමුරේ වීරසේකර විද්‍යාලය අති දුෂ්කර පාසලක්. රත්තනපුර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 60ක් දුරින් මේ ගම පිහිටා ඇත. එසේම බළන්ගොඩ නගරයේ සිට කිලෝ මීටර් විසිපහක් පමණ දුරින් තමයි පොල්ලමුරේ පාසල පිහිටා තියෙන්නේ. මේ පාසලට පැමිණෙන ගමේ බොහොමයක් දරුවන්ගේ මවුපියෝ එදා වේල යාන්තම් පිරිමසා ගන්නෙත් හරි අසීරුවෙන්. “සල්ලි තියෙන අය නගරයේ පාසල්වලට යනවා, බාහිර පන්තිවලට යවනවා. දිළිඳු පවුල්වල දරුවෝ මේ විද්‍යාලයේ වැඩිපුර ඉන්නේ. මම දුප්පත් ගොවි පවුලක දරුවෙක්, මට මේ දරුවන්ගේ දුක හොඳට දැනෙනවා. අපිට ඉගෙන ගන්න ආස වුණත් අඟහිඟකම් නිසා ඉගෙනීම අතරමැද නතර කරන්න වුණා. මේ කටයුත්ත සඳහා අප දරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකර මොන බාධක ආවත් මේ අයගේ පන්තිය නතර නොකරන්නේ ඒ නිසයි. ඒ නිසා මේ අහිංසක දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කරන්න මට අවශ්‍ය වුණා. හය වසරේ සිට එකොළහ වසර දක්වා දරුවන්ට මෙහි උගන්වනවා. මම මුල් කාලයේ එක වසරේ සිට පහ වසර දක්වා දරුවන්ට ඉගැන්නුවේ; මම උදෑසන හතරට අවදි වෙලා මගේ යතුරුපැදියෙන් මේ ගරාජයට ඇවිත් මේ පන්තිය ආරම්භ කරනවා. මුලින්ම ශාරීරික අභ්‍යාසයකුත් කරනවා. මේ සඳහා මවුපියන් විශාල දායකත්වයක් දක්වනවා. සතියේ දින පහේම පන්ති පැවැත්වෙනවා. දරුවන්ට අවශ්‍ය උදෑසන ආහාර මවුපියන් රැගෙන එනවා. ”
“මේ දරුවන්ට දැන් ඉතාමත්ම හොඳට ඉංග්‍රීසි කථා කරන්න පුළුවන්. උඩවලව, දඹුල්ල, සීගිරිය, පොලොන්නරුව වැනි ප්‍රදේශවලට ගිහින් විදේශිකයන් සමඟ චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න දැන් අපේ දරුවන්ට පුළුවන්. දැන් අපේ දරුවන්ට විදේශීය මිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම බළන්ගොඩ කලාපයේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් දරුවෝ ඉන්නවා. පළාත් මට්ටමින් ජාතික මට්ටමින් ජයග්‍රහණ හිමිකර ගත් දරුවොත් ඉන්නවා. පාසලකට ගිහින් ඉංග්‍රීසි භාෂාවෙන් විවාද කරන්න මේ දරුවන්ට හැකියාව තියෙනවා.”
වීරරත්න ගුරුතුමා විශ්‍රාම ගත් පසු පන්තියේ සියලු බර පැටවුණේ අජන්ත මතය. දරුවන්ගේ අනාගතය ඔවුන්ගේ ඉලක්කයන් අත්පත් කර ගැනීමට නම් මේ ගෝලීය ලෝකයට විවෘත විය යුතුයි. රටක් ලෙස අපි ඉදිරියට යෑමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයයි යන හැඟීම ඔහු තුළ විය. සතියේ දිනෙක, සති අන්තයේ දිනෙක ලැබෙන විරාමයක් පවා ඔහු පිටස්තර දරුවන් වෙනුවෙන් කැප කරයි. ඒ සියල්ල පිටස්තර දරුවන් වෙනුවෙන් කරන ඔහුගේ වැඩිමහල් පුතු විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකි. ඔහු ඒ දරුවගේ සියලු කාර්යය වෙනුවෙන් කැප වෙයි. ඒ ඉසිඹුවක් ලද හැම මොහොතකම ඔහු ඉංග්‍රීසි පන්තියේ ඉදිරිය පිළිබඳව නොයෙක් සැලසුම් සකස් කරයි. සෑම මිනිත්තුවක්ම නිරර්ථක ලෙස ගත නොකරන අජන්ත ගමේ දරුවන්ගේ නැණස පෑදීමට කටයුතු කරයි.
ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරු අජන්ත බළන්ගොඩ, පොල්ලමුර, වීරසේකර විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 111 වැනි ශ්‍රේණියේ සේවකයෙක් ව කටයුතු කළේය. එහෙත් ඔහු මේ වනවිට රාජ්‍ය සේවයෙන් ඉවත් ව ඇත. වීරසේකර විද්‍යාලය ආසන්නයේ ජීවත් වන අජන්තට බොහෝ දුරබැහැරට යාම අසීරුය. වයස අවුරුදු 17ක් වන ඔහුගේ වැඩිමහල් පුතු ගේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ ඔහු අතිනි. රැකියාවෙන් ඉවත්වීමට හේතු වූයේ ඔහුට ලැබුණ ස්ථාන මාරුවයි. ඔහුට නිවෙසේ සිට දුර බැහැර යෑම දුෂ්කර කාර්යයකි.
අජන්ත ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සම්මාන සාමාර්ථ තුනක් ද සාමාන්‍ය සාමාර්ථයක් ද ලබා ගනිමින් සමත් වුවත් ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනධ්‍යයන සේවයට බැඳුණේය. ඒ පවුලේ ආර්ථික දුෂ්කරතා නිසාවෙනි. එහෙත් අධ්‍යාපනයට ඔහු දක්ෂයෙකි. ඉගෙන ගැනීමේ දැඩි අවශ්‍යතාව ඔහුට තිබිණි. ලැබෙන හැම මොහොතකම ඔහු අදත් යමක් උගත්තේය.
“මට වීරරත්න ගුරුතුමා කිවුවාම උගන්වන්න එන්න කියලා හරි සතුටු වුණා. මම ඉෙගන ගෙන ඇවිත් දරුවන්ට ඉගැන්නුවා. මම දන්නවා අධ්‍යාපනයේ අගය. ඒවගේම අපිට මඟ හැරුණු තැන්. වීරරත්න මහත්තයයි මමයි ගත්ත උත්සාහයට ඒ තරම් ප්‍රතිඵල මුල් දවස්වල තිබුණේ නැහැ. අපි ක්‍රමවේදයන් වෙනස් කරමින් ඉදිරියට ගියා. නමුත් මුල් කාලයේ දරුවෝ ඒ තරම් උනන්දු වුණේ නැහැ. ඉන්පසුව අපි, අපි වගේම ඉංග්‍රීසි භාෂාව උගන්වන කුරුණෑගල විල්බට් රණසිංහ ගුරුවරයාගෙන් ඉංග්‍රීසි ප්‍රායෝගික භාවිතාවේ යෙදවීම පිළිබඳ කෙටි පුහුණුවක් ලබා ගත්තා. ඒ සඳහා මම හැමදාම කිලෝමිටර් 158ක් ගෙවා ගෙන විල්බට් සර්ගේ ඉංග්‍රීසි පන්තියට සති අන්තයේ ගියා. ගිහින් ඒ ඉගෙන ගන්න ටික හැමදාම වීරසේකර විද්‍යාලයේ දරුවන්ට ඉගැන්නුවා. ඒ කාලයේ වෙද්දි අපේ පන්තිය පාන්දර 5.00 සිට 7.30 දක්වා කාලය වෙන් කරගෙන තිබුණේ. අදාළ බලධාරීන්ගේ අවසරයෙන් තමයි සියලු දේවල් කළේ.
මේ කටයුත්ත අති දුෂ්කරයි. ඔහුට විටෙක අත්හැර දැමීම හැර අන් විකල්පයක් නොවන අවස්ථා ද විය. එහෙත් ඔහු ගමේ අහිංසක දරුවන්ට ඉගැන්වීම අත හැර දැමුවේ නැත. මේ ඉංග්‍රීසි පන්තියට අකුල් හෙළන මිනිසුන්ට ඔහු අභියෝග කළේය; අවසානයේ ඔහු ගරාජයක ගමේ දරුවන්ට අකුරු කළේය.
වීරරත්න ගුරුතුමා විශ්‍රාම ගිහින් මාස හයක් විතර අපි පාසලේ ම පන්ති කළා. පස්සේ නොයෙක් ප්‍රශ්න ආවාම මම පසුකාලීනව පන්තිය කළේ ගරාජයේ.
ඉන් පසුව වීරසේකර විද්‍යාලය පසු කරමින් පොල්ලමුරේ ගරාජයක පැවැත්වෙන පන්තියකට දරුවෝ උදෑසනින් පැමිණිය හ. දැඩි අසීරුවෙන් මවුපියෝ දරුවන්ට ඉඳ ගැනීමට ඩෙස් පුටු ටිකක් සකස් දුන්හ.
“දැන් මම කරන්නේ ගොවිතැන්. මගේ රැකියාව අත්හරින්න මට සිදු වුණා. මගේ ලොකු පුතාගේ සියලු වැඩත් කරන්නෙ මම. බිරියටත් රැකියාවක් නැහැ. අපි ජීවත් වෙන්නේ හරි අසීරුවෙන් වුණත් මට ඕන මම ඉගෙන ගත්ත දේ මේ ගමේ දරුවන්ට නොමිලයේ කියලා දෙන්න. මේ පන්තියේ අ.පො.ස. (සා. පෙළ) පන්තියේ දරුවොත් ඉන්නවා; සමහරු ඉංග්‍රීසි හෝඩියේ අකුරු දැන සිටියේ නැහැ. සාමාන්‍ය පෙළ අයටත් ඉගැන්නුවා. දැන් අපි උගන්වලා 100%ක ප්‍රගතියක් අත් කර ගත්තා.
අජන්ත අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කළ ද ගුරුවරයකුගේ දැනුම් සීමාව ඉක්ම වූ පුද්ගලයෙකි; ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් රැස් කර ගත්තෙකි. නොපසුබට උත්සාහවන්තයෙකි.
“ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කුරුණෑගලට ගියේ දැඩි අසීරුතා මධ්‍යයේ. මම ඒක කළේ මේ දරුවෝ වෙනුවෙන්. මගේ දැනුම අහක ගියේ නැහැ. දැන් අපේ දරුවෝ දක්ෂයි. ගරාජ් එක ඇතුළේ උගන්නන්න පුළුවන් 25ක වගේ සුළු ප්‍රමාණයකට විතරයි. මේ පන්තියේ කිසිම පහසුකමක් නැහැ. අඩුපාඩුකම් රැසක් තියෙනවා අපිට. අපි අපේ දුවලා පුතාලා මොනතරම් දුෂ්කරතා මැද වුණත් උඩවලව, සීගිරිය වැනි සංචාරකයන් වැඩිපුර පැමිණෙන ස්ථානවලට රැගෙන යනවා. ඔවුන්ට එම සංචාරකයන් සමඟ කතාබහ කරන්නට අවස්ථාව උදා කර දෙනවා. එම තත්ත්වය මත දරුවන්ගේ ඉංග්‍රීසි භාවිතයට ගුණාත්මක බවක් එකතු වුණා. අප ලබා ගත් ප්‍රගතිය ගැන පැහැදුණු බොහෝ පිරිසක් අපට ඒ කාලේ උපකාර කළා. ඔවුන් නවීණ තාක්ෂණික පහසුකම් ලබා දුන්නා. මේ ගමට අන්තර්ජාල පහසුකම් හුඟක් අඩුයි. මම ගුරුවරයෙක් නොවුණ නිසා මගේ සේවය පාසලට ලබාදීමට ප්‍රායෝගිකව ගැටලුවක් මතු වුණා. ඒත් අමතර පන්තියක් කිරීමේ අවකාශයක් මට නැතුව ගියා.“
අජන්ත දරුවන් වෙනුවෙන් කරන මෙහෙවර ඇගැයීමක් ලෙස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ යුතු යැයි බොහෝ මවුපියන්ගේ අදහස වුවත් අද වනවිට ඔහු රාජ්‍ය සේවය ද අතහැර දමා ඇත. රැකියාවෙන් සදහටම සමුගෙන ඇත්තේ කලකිරීම් රැසක් සමඟිනි.
“ අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටියේ පැල්මඩුල්ල ගන්කන්ද ජාතික පාසලෙන්. 2014 මාර්තු මාසයේදී වීරසේකර විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එකතු වුණත් මම ඒ කාලයේ සිටම දරුවන් වෙනුවෙන් ශාරීරික අධ්‍යයන කටයුතු කළා. කාලයේදීම විදුහලේ සිටි සෙනෙවිරත්න විදුහල්පතිතුමා දරුවන්ගේ ශාරීරික අධ්‍යාපන විෂය මට භාර කළා. ඒ හැම අවස්ථාවකදීම මගේ සහායට සිටියේ වීරරත්න ගුරුතුමා. ඉන්පසුව මම පාසලේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රීඩා උත්සවයක් සංවිධානය කළා. උදෑසන 6.30 සිට 7.30 දක්වා දූදරුවන්ව ශාරීරික කුසලතා වර්ධනය කිරීම සිදු කළා. ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කටයුතු කළා. මුල් කාලේදී මම විල්බට් සර්ගේ ඉංග්‍රීසි පන්තියට සහභාගි වෙන්න සෙනසුරාදා නිවෙසින් පිටත් වෙනවා, කුරුණෑගල දුම්රිය ස්ථානයේ රාත්‍රිය ගත කරනවා. අපේ කැපවීම දැන ගත්ත කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ හිමියන් මට නොමිලේ නේවාසික පහසුකම් සලසා දුන්නා, මම මගේ දරුවෝ ගැන වගේම මේ ගමේ අහිංසක දරුවෝ ගැනත් හිතන නිසා අති දුෂ්කර ගමනක් කුරුණෑගලට ගියා. අද මට ඒ ගැන සතුටුයි. විල්බට් ගුරුතුමා ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ රටාවන් ඔහුට ම අනන්‍ය වූ ක්‍රමවේදයක් හරහා කියලා දුන්නේ. ඉන්පසු මම එම දැනුම වීරරත්න ගුරුතුමා සමඟ එකතු වී මුල් කාලේ ඉඳලාම පාසලේ දුවා දරුවන්ට ලබා දුන්නා.
අජන්ත උඳුගොඩ සුවිශේෂී ගුරුවරයෙකි. දුෂ්කරතා රැසක් මධ්‍ය යේ කඳු පල්ලම් බසිමින් පොල්ලමුරේ වීරසේකර විද්‍යාලය පසු කරමින් හිමිදිරියේ ගරාජයට පැමිණෙයි. ඒ දරුවන්ට අකුරු කිරීමටය. ඒ වෙනුවෙන් ඔහු අනාගතයේදී අකුරු ඉගෙනගත් දරුවන්ගෙන් කිසිවක් අපේක්ෂා නොකරන බව පවසයි. අජන්ත දකින අපිට දුයිෂෙන් ගුරුතුමා සිහි වෙයි. අති දුෂ්කර පොල්ලමුරේ ගමේ දරුවෝ දෙවන බසින් ලොවක් දිනන විට අජන්ත නිහඬව සතුටු වන්නේය. සැබෑ ගුරු මවුපියවරුන් එසේ වන්නේ ය. මුදලට අකුරු විකුණන ගුරුවරු අතර දුයිෂෙන් වැනි සැබෑ ගුරුවරු අදත් ඉතිරිවී ඇති බවට පොල්ලමුරේ අජන්ත සර් සාක්ෂි සපයන්නේය.
සුභද්‍රා දේශප්‍රිය