කොවිඩ් වසංගතය අපේ රටේ ආර්ථිකයට පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනයට ද ලොකු බලපෑමක් කළේය. නිසි පරිදි කලට වේලාවට විභාගයක්වත් පවත්වා ගැනීමට හැකියාවක් නොලැබෙන්නේ එබැවිනි. දරුවන්ගේ තීරණාත්මක විභාග ලෙස සැලකෙන අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය ද පැවැත්වීමේ දින වකවානු පවා වෙනස් වී ඇත්තේ එබැවිනි. 2023 වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණු අපොස උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙන්නේ ද ඒ හේතුව නිසාය.
විභාග දෙපාර්තමේන්තුව විසින් මුලින් සැලසුම්කර තිබුණු ආකාරයට අනුව ජනවාරි 04 වෙනිදා ආරම්භ වන අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ අවසන් වීමට නියමිතව තිබුණේ ජනවාරි 31 වෙනිදාය. එහෙත් දැන් විභාගය අවසන් වන්නේ පෙබරවාරි 01 වෙනිදාටය. විෂය අංක 08 යටතේ පසුගිය 08 වෙනිදා පැවති කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පළමු කොටස සහ 10 වෙනිදා පැවැත්වූ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස විභාගයට පෙර පිටවී ඇති බව තහවුරු වීම හේතුවෙන් නැවතත් එම විෂයට අදාළ විභාගය පෙබරවාරි 01 වෙනිදා පැවැත්වෙන බැවිනි.
මෙවර අපොස උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 281,445 සහ පුද්ගලික අයදුම්කරුවන් 65,531 දෙනෙක් පෙනී සිටියේය. ඒ අය අතරින් කෘෂි විද්‍යා විෂයට මුහුණ දී ඇතැයි පැවසෙන්නේ 17,000ක් හෝ ඒ ආසන්න සිසුන් පිරිසකි. මෙම සිසුන් මුහුණ දුන් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවී ඇතැයි කියැවෙන්නට ගන්නේ එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එහෙම් පිටින්ම කඩදාසියක ලියා මුහුණු පොත තුළ විභාග පැවැත්වීමට පැය කිහිපයක් තිස්සේ හුවමාරුවෙමින් තිබීම හේතුවෙනි. හැබැයි ඒ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය පමණි.
කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න එහෙම් පිටින්ම මුහුණු පොතේ හුවමාරු වන බව දැනගත් වහාම ඒ ගැන මූලික විමර්ශනයක් පැවැත්වීමට පවා විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගත්තේය. එහිදී පෙනී යන්නේ කෘෂි විද්‍යා දෙවැනි කොටසේ සඳහන් ප්‍රශ්න එහෙම් පිටින්ම පිටපත් කර කිසියම් අයෙක් විසින් විභාගය පැවැත්වීමට පැය කිහියකට පෙර මුහුණු පොතට දමා ඇති බවය. ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නේ එම ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වීමට බොහෝ වේලාවකට පෙර පිටවී ඇති බවකි. ඒ වන විටත් මුහුණු පොතේ හුවමාරු වෙමින් තිබුණු මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට මුහුණ දෙන දරුවන් අතට ද ගොස් ඇතැයි අනුමාන කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර තීරණයක් ගනු ලබන්නේ එම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන්නටය.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර එයින් සෑහීමකට පත්වූයේ නැත. ප්‍රශ්න පත්‍රය පිටවුණු තැන සහ ඊට සම්බන්ධ පිරිස් සොයා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ පසුගිය 12 වෙනිදා ලිඛිත පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරමිනි.
එම පැමිණිල්ල තමා අතට ලද වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර විසින් පවරනු ලබන්නේ විශේෂ විමර්ශන අංශ 03ටය. මෙම අංශයේ නිලධාරීන් මුලින්ම සිය නිරීක්ෂණයට ලක් කරනු ලබන්නේ මුහුණු පොතේ හුවමාරුවූ අදාළ ප්‍රශ්න පත්‍රයේ පිටපත කෙරෙහිය. ඒ එම ප්‍රශ්න පත්‍රය හුවමාරු වූ මුහුණු පොතේ ගිණුම් හඳුනා ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම උත්සහ කරන්නට වූයේ එම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතට යොමු කළ මුල් ගිණුම හඳුනා ගැනීමටය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරයේ නිලධාරීන්ගේ ද සහය ලබා ගත්තේය.
ඒ ඔස්සේ මෙම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතට එක් කළ පුද්ගලයාව පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ඇතුළත හඳුනා ගන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් 13 වෙනිදා එළිවෙන කොට සිටින්නේ අම්පාරේය. ඒ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න කඩදාසියක සටහන් කර මුහුණු පොතට යොමු කර ඇත්තේ අම්පාරේ පදිංචිකරුවෙක් බව අනාවරණය වන්නට වූ බැවිනි.
ඒ පුද්ගලයා අම්පාර පැත්තේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂයට අදාළව උපකාරක පන්ති පවත්වන ඔහු දමින්ද ලක්ෂාන් ධර්මදාසය. වයස අවුරුදු 52ක් වන ඔහු එම ප්‍රදේශයේ උසස් පෙළ කෘෂි විද්‍යා සිසුන් අතර තරමක් ප්‍රසිද්ධියක් උසුලන අයෙකි. එසේම මේ තැනැත්තා අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සේවයේ නිරත ගුරුවරයෙකි. ඒ බව අනාවරණය වන්නේ අම්පාරේදී මෙම තැනැත්තාව විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි.
ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන තොරතුරු මත විමර්ශන නිලධාරීන් මේ තැනැත්තා පදිංචිව සිටින අම්පාර විජිතපුර පිහිටි නිවෙස ද පරීක්ෂා කළේය. එහිදී ඔහු මුහුණු පොතට යොමු කළ අතින් ලියූ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් කඩදාසිය ද විමර්ශන නිලධාරීන් සොයා ගත්තේය.
10 වෙනිදා සවස පැවැත්වූ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න එහෙම් පිටින්ම විභාගය පැවැත්වීමට පැය කිහිපයකට පෙර තමන් ලැබුණු ආකාරය ගැන එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තමන් දන්නා හැම ශිල්පයක්ම දමා ප්‍රශ්න කරනු ලැබීය. එහිදී මෙම තැනැත්තා පවසන්නට වූයේ 10 වෙනිදා පැවැත්වූ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්වීමට පැය දෙක තුනකට පෙර තමාට වට්ස් ඇප් ඔස්සේ ලැබුණු බවය. එසේ ඔහුට ලැබෙන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කළ ප්‍රශ්න පත්‍රයක් විනා අතින් ලියූ කඩදාසි කැබැල්ලක් නම් නොවේ. එම ප්‍රශ්න පත්‍රය ඒ වන විටත් ඔහුගේ ජංගම දුරකතනයේ තැන්පත්වී තිබී විමර්ශන නිලධාරීන් සොයා ගත්තේය.
තමන්ට ලද මෙම ප්‍රශ්න පත්‍රය මෙම තැනැත්තා මෙසේ අතින් පිටපත් කර මුහුණු පොතට දමා ඇත්තේ විභාගයෙන් පසු තමන්ගේ උපකාරක පන්තියට සිසුන් අද්දවා ගැනීමේ අපේක්ෂාව ඇතිවය. ඒ විභාගයට කලින් විභාගයේ ප්‍රශ්න සිසුන්ට ලබාදීමට තරම් තමා දක්ෂයෙක් බව පෙන්වීමටය. විභාග කොමසාරිස් ජනරාල්වරයාට කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් පැවැත්වීමට පවා සිදු වන්නේ ඔහු එසේ මුහුණු පොත ඔස්සේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කඩදාසියක පිටපත් කර ප්‍රසිද්ධ කිරීම නිසාය. එසේ නොවන්නට කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවී ඇති බවත් බලධාරීන්ට සොයා ගන්නට තියා සිතා ගන්නටවත් බැරිවන්නට තිබුණු ඉඩකඩ බොහෝය.
මෙරට ඉතිහාසය පිරිස්සීමේදී මෙයට පෙර විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2012 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය පිටවීමය. එම ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමට එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ නිරත්නතරයෙන් ආන්දෝලනයට තුඩු දෙන චරිතයක් වන සම්පත් අත්තටගේ නැමැති උපකාරක පන්ති ගුරුවරයා ඇතුළු පිරිසකි. ඒ අතර විභාග දෙපාර්තමේන්තුවේ ලිතෝ යන්ත්‍රයේ ක්‍රියාකරුවකු ද සිටියේය. විභාග දෙපාර්තමේන්තුව තුළ පිහිටි මුද්‍රණාලයේ දී විභාග ප්‍රශ්න පත්‍ර මුදුණය කරමින් තිබියදී එක් ප්‍රශ්න පත්‍රයක් යන්ත්‍රයේ සිරවී ඇති බවත් එම සිරවූ ප්‍රශ්න පත්‍රය යන්ත්‍ර ක්‍රියාකාරු සඟවාගෙන විභාග දෙපාර්තමේන්තුවෙන් පන්නා තිබුණු බවත් විමර්ශනයේදී හෙළිවී තිබුණි. එම ප්‍රශ්න පත්‍රය යන්ත්‍රයෙන් පිටතට ගැනීමේදී ඉරීයාම හේතුවෙන් එහි ඉතිරි වන්නේ ප්‍රශ්න 19ක් පමණි. එම ප්‍රශ්න 19 ඇතුළත් එම ප්‍රශ්න පත්‍රය සම්පත් අත්තටගේ අතට පත්වී තිබුණේ විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු මඟිනි. එම සෙබළා විසින් එම ප්‍රශ්න පත්‍රය සම්පත් අත්තටගේට ලබාදී තිබුණේ රුපියල් ලක්ෂයක මුදලකටය. ඒ මුදලින් 25,000ක් සහ චෙක්පතකින් 75,000ක් වශයෙනි. විමර්ශනයේදී පෙනී ගිය කරුණක් වූයේ සම්පත් අත්තටගේ මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට එන සැබෑ ප්‍රශ්න පත්‍රය බව නොදැන එය මුදලට ලබාගෙන ඇති බවය. ප්‍රශ්න 19ට තවත් එක් ප්‍රශ්නයක් එක්කර ප්‍රශ්න 20ක අනුමාන බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලෙසය. මෙම ප්‍රශ්න පත්‍රය ඔහු සිය උපකාරක පන්තියට එන සිසුන්ට පවා ලබාදෙමින් ප්‍රශ්නවලට පිළිතුරු පවා ලියන්නට උගන්වනු ලැබීය. එහෙත් ඒවා නිවැරැදි පිළිතුරු නොවීය.
කෙසේ වෙතත් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය මෙන් එදා අපොස සාමාන්‍ය පොළ විද්‍යා ප්‍රශ්න පත්‍රය නම් නැවත පැවැත්වීමක් නම් සිදුවූයේ නැත. ඒ බහුතරයක් සිසුන්ට ඒ තුළින් බලපෑමක් නොවූ බව පෙනී යන්නට වූ බැවිනි.
ඊට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීමක් ගැන සමාජයේ දැඩි කතාබහක් ඇති වන්නේ 2003 වසරේ පැවැති අපොස උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නේ එකල ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙක් වූ උපුල් ශාන්ත සන්නස්ගලය. විභාගයට පෙර ඔහු විසින් සිය උපකාරක පන්තිවලට පැමිණෙන දරුවන්ට ලබාදී කියා දුන් රචනා ප්‍රශ්න කිහිපයක් එහෙම් පිටින්ම විභාගයට ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ ද තිබීම ගැන එකල දැඩි ආන්දෝලනයට තුඩුදුන් කරුණක් බවට පත්ව තිබුණි. ඒ නිසාම එකල සිටි විභාග කොමසාරිස්වරයා මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන දීර්ඝ විමර්ශනයක නිරත වෙමින් අවසානයේදී එකවරම විමර්ශන හමාර කරනු ලබන්නේ එම ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අවසාන නිගමනයකට එළඹීමකින් තොරවය. එදා එම විභාගයේ ප්‍රතිඵල නිකුත්වන විටත් එය පවතින්නේ අවසානයක් නොමැති විමර්ශනයකි. එබැවින් එම විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් නැවත විභාගයක් පැවැත්වීමට පවා බලධාරීන්ගේ කිසිදු උනන්දුවක් නොවීය.
ඊට එහා ඉතිහාසය පිරිස්සීමේදී 83 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවීමක් ගැන තොරතුරු දැනගන්නට ඇත. එකල ජනප්‍රිය ගණිත උපකාරක පන්ති ගුරුවරයෙක් වූ සනත් ලෙනොරා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එදා එම ගණිත ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබුණේ සිසිර මෙන්ඩිස් නැමැති නිලධාරියාය. අද ඔහු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. වත්මන් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ 80 දශකයේය. විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිදුවීමක් එකලත් සිදුවී තිබුණි. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට අවස්ථා දෙකකදී මුහුණ දීමට පවා අමිත් ජයසුන්දරට පවා සිදුවී ඇත්තේ එබැවිනි.
ඒ අනුව පෙනී යන්නේ විභාග ප්‍රශ්න පත්‍ර හෝ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න විභාගයට කලින් පිටවීම අරුම පුදුම දේවල් නොවන බවය. විභාගයක් අවසානයේදී නිතර ඇසෙන කතාවක් බවට පත්වන්නේ ද විභාගයේ ප්‍රශ්න පත්‍ර හෝ ප්‍රශ්න කලින් පිටවී ඇති බවය. කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පවා පිටවී තිබුණත් එය පිටවී ඇති බව තහවුරුවී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට මඟ පෑදෙන්නේ එම ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න එහෙම් පිටින්ම මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙනි. එසේ නොවන්නට මෙම ප්‍රශ්න පත්‍රය පිටවීම බොහෝවිට හුදු කතාබහකට පමණක් සීමා වීමට තිබුණු ඉඩකඩ බොහෝය.
මෙම විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවූ ස්ථානය ද සොයා ගත්තේය. ඒ අම්පාරෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයාට වට්ස් ඇප් ඔස්සේ එම ප්‍රශ්න පත්‍රය යොමුකර තිබුණු වට්ස් ඇප් අංක එකින් එක පිරිස්සමින් කළ ජාල විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී පෙනී යන්නේ මෙම ප්‍රශ්න පත්‍රය පිටවී ඇත්තේ එම ප්‍රශ්න පත්‍රය සිසුන්ගේ අතට පත්කිරීමට පැය කිහිපයකට පෙර බවය. මෙහි ඇති භයානකම හෙළිදරව්ව වන්නේ ප්‍රශ්න පත්‍රය පිටවී ඇත්තේ විභාග මධ්‍යස්ථානයකින් වීමය.
විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශය විසින් විභාග දෙපාර්තමේන්තු පරීශ්‍රයේ ඇති මුද්‍රණාලයෙන් මුද්‍රණය කරන සෑම ප්‍රශ්න පත්‍රයක්ම මුද්‍රා තබා දැඩි ආරක්ෂාවක් සහිතව ගබඩා කර තබා බෙදා හරිනු ලබන්නේ මුද්‍රා තබා පොලිස් ආරක්ෂාවක් ද සහිතවය. එම ප්‍රශ්න පත්‍ර කට්ටල දිවයින පුරා පිහිටි විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට රැගෙන ගොස් තැන්පත් කෙරන්නේ විභාගයට පෙර දිනයේදීය. ඒ දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේය. විභාග මධ්‍යස්ථාන වෙත එම ප්‍රශ්න පත්‍ර කට්ටල් යොමු කරනු ලබන්නේ විභාගය පැවැත්වෙන දින උදෑසන කාලයේදීය. සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට පැමිණ එම ප්‍රශ්න පත්‍ර කට්ටල අත්සන් තබා රැගෙන යා යුත්තේ ශාලාධිපතිවරුන් විසිනි. මෙවර අපොස උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථාන 2298ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත්තේය. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කරනු ලබන්නේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ඒකාබද්ධ කරමිනි.
ශාලාධිපතිවරු විසින් සම්බන්ධිකරණ මධ්‍යස්ථානයෙන් එදිනට නියමිත ප්‍රශ්න පත්‍ර රැගෙන යන්නේ ද විභාගය පැවැත්වීමට පැය භාගයකට හෝ පැයකට ආසන්න කාලයක් තුළදීය. ඊට පෙර නම් මෙම මධ්‍යස්ථානවලින් ප්‍රශ්න පත්‍ර කට්ටල නිකුත් කරනු ලබන්නේ නැත. එම ප්‍රශ්න පත්‍ර කට්ටල ද ඇත්තේ මුද්‍රා තබාය. ඒ විභාග මධ්‍යස්ථානයේ ශාලාවෙන් ශාලාවට වෙන වෙනම බණ්ඩල් කරමිනි.
ශාලාධිපතිවරුන් රැගෙන යන එම ප්‍රශ්න පත්‍ර කට්ටලවල මුද්‍රා ඉවත් කර විභාගයට මුහුණ දෙන සිසුන්ට බෙදා දෙන්නේ විභාගය පැවැත්වීමට නියමිත වේලාවට විනාඩි 10කට පෙරය. එහිදී ශාලාධිපති විසින් ප්‍රශ්න පත්‍ර කට්ටලය ඇති කවරය විභාග අපේක්ෂකයන්ට පෙන්වා මුද්‍රා කඩා නොමැති බව පවසා සිසුන් කිහිප දෙනෙකුගෙන් ඊට අත්සන් ද ලබා ගනී. ඒ හැරුණු කොට එම විභාග මධ්‍යස්ථානයේ සේවයේ නිරත නිරීක්ෂකයන් වන ගුරුවරුන්ගෙන් ද ඊට අත්සන් තබා ගනියි. ඒ හැම දෙයක් ගැනම විභාග කොමසාරිස් ජනරාල් විසින් ලබාදී ඇති උපදෙස් පත්‍රිකාවේ ද සඳහන්ය.
මේ හැම දෙයක්ම සිදු වන්නේ විභාගයේ විශ්වාසනීයත්වය රැක ගැනීම උදෙසාය. එහෙත් මොරටුව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපති මේ විශ්වාසය කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් නම් බිඳ දමා තිබුණේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කරමින් දරුවන්ට දෙවැනි වරටත් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ලියන්නට පවා සිදු කරමිනි. ඒ මෙවර කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී තිබුණේ එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙන් වූ බැවිනි.
මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිවරයා මොරටුවේ වෙනත් පාසලක විදුහල්පතිවරයෙකි. මොරටුව මහා විද්‍යාලය මෙයට ගෑවෙන්නේ එම ශාලාධිපතිවරයා යටතේ සේවයේ නිරතව සිටි කාර්යාල සහයකයකු විසින් ප්‍රශ්න පත්‍රය පිටකර තිබීම හේතුවෙනි. එසේ නොමැතිව මොරටුව මහා විද්‍යාලය මෙම විභාග වංචාවට කිසිසේත්ම සම්බන්ධකමක් නොමැත. එම කාර්යාල සහයකයා ද සේවයේ නිරතව සිටින්නේ අදාළ ශාලාධිපතිවරයාගේ පාසලේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් සිය විමර්ශන ඔස්සේ අනාවරණය කරගෙන ඇති තොරතුරුවලින් පෙනී ගොස් ඇත්තේ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය පමණක් නොව, පළමු ප්‍රශ්න පත්‍රයත් මෙම විභාග ශාලාවේ සේවයේ නිරතව සිටි ශාලාධිපතිවරයාගේ කාර්යාල සහයක විසින් පන්නා ඇති බවය. එම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතට දමා හුවමාරු නොවූ නිසා එම ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බවක් බලධාරීන් දැන සිටියේ නැත. එසේ වී නම් එම ප්‍රශ්න පත්‍රයත් මුලින්ම අවලංගු කර හමාරය.
කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය සිසුන්ට බෙදා දී ඇත්තේ පසුගිය 08 වෙනිදාය. දෙවැනි ප්‍රශ්න පත්‍රය බෙදා දී ඇත්තේ 10 වෙනිදාය. මෙම ප්‍රශ්න පත්‍ර දෙකටම අදාළ විභාගය පැවැත්වී ඇත්තේ සවස් කාලයේදීය. පළමු ප්‍රශ්න පත්‍රය සවස 1.00 සිට 3.00 දක්වාත් දෙවැනි ප්‍රශ්න පත්‍රය සවස 1.00 සිට 4.10 දක්වාත් පවත්වා තිබේ.
මෙම ප්‍රශ්න පත්‍ර දෙකම විභාගය පැවැත්වෙන අදාළ දිනවල සම්බන්ධිකරණ මධ්‍යස්ථානයෙන් රැගෙනවිත් විභාග මධ්‍යස්ථානය තුළය. කළුතර මහා විද්‍යාල විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාගේ කාර්යාල සහයක කර ඇත්තේ 08 වෙනිදා උදෑසන ප්‍රශ්න පත්‍ර කට්ටල රැගෙන විත් එදින උදෑසන සෙසු විෂයන්ට අදාළ විභාගය පැවැත්වෙන අතරතුර සවස නිකුත් කිරීමට නියමිත කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර කට්ටලයේ මුද්‍රා කඩා එක් ප්‍රශ්න පත්‍රයක ඡායාරූපයක් ගෙන එය ඔහු දන්නා කියන සිසුවකුට වට්ස් ඇප් කිරීමය. ඒ ආකාරයටම ඔහු 10 වෙනිදාත් උදෑසන කෘෂි විද්‍යා ප්‍රහ්න පත්‍ර දෙවැනි කොටසේ ප්‍රශ්න පත්‍ර කට්ටලයේ මුද්‍ර කඩා පුශ්න පත්‍රයක් ඉවතට ගෙන එම සිසුවාට වට්ස් ඇප කළේය. ප්‍රශ්න පත්‍ර දෙකම විභාගයට කලින් පිටවන්නේ එසේය. මේ කටයුත්ත කාර්යාල සහයකයා කර ඇතැයි පැවසෙන්නේ එදා උදෑසන විභාගය පැවැත්වෙන විට ශාලාධිපති ඇතුළු පිරිස විභාග ශාලාව තුළ රැදි සිටියදීය. ප්‍රශ්න පත්‍ර කට්ටලයේ මුද්‍රා කඩා ප්‍රශ්න පත්‍ර පිටතට ගෙන ඒවා තමන් දන්නා කියන සිසුවකුට වට්ස් ඇප් කර ඇති එස්.ටී.එස්. චන්දන නැමැති කාර්යාල සහයකයාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ ඔහු විසින් එම ප්‍රශ්න පත්‍ර දෙක වට්ස් ඇප් කර යොමු කළ සිසුවාගෙන් ලද තොරතුරු ඔස්සේය. කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය සොයා ගන්නේ එම සිසුවාගේ ජංගම දුරකතනයේ තිබියදීය. එතෙක් පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කිසිවෙක් දැන සිටියේ නැත. එම ප්‍රශ්න පත්‍රයත් අම්පාරේ ගුරුවරයා අතට පත්වූයේ නම් එයත් ඔහු මුහුණු පොතේ දමනු ඇත. පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බවත් හෙළි නොවන්නේ එම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතේ දමා ප්‍රසිද්ධ නොකළ බැවිනි.
ප්‍රශ්න පත්‍රය මෙසේ මොරටුව මහා විද්‍යාල විභාග මධ්‍යස්ථානයෙන් පිටකළ කාර්යාල සහයකයා වයස අවුරුදු 38ක් වයසැති මොරටුව ඉහළ ඉදිබැද්දේ පදිංචිකරුවෙකි. මෙතෙක් එම ප්‍රශ්න පත්‍රය හැරුණු කොට වෙනත් විෂයන්වලට අදාළ ප්‍රශ්න මේ ආකාරයට පිටකර ඇති බවක් අනාවරණය වන්නේ නැත. මෙම ප්‍රශ්න පත්‍ර දෙක පවා පිට කරනු ලැබුවේ මුදල් ගනුදෙනුවක් මත ද එසේත් නොමැති නම් හිතවත්කමක් මතදැයි පවා ඇත්තේ තවමත් ප්රශ්නාර්ථයක්වය. ඒ මෙම ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප් ඔස්සේ හුවමාරු කළ සිසුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බැවිනි. ඒ එම සිසුන් තවමත් විභාගයට මුහුණ දෙමින් සිටින බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සූදානමින් සිටින්නේ පෙබරවාරි 01 වෙනිදා විභාගය අවසන් වීමෙන් අනතුරුව සිසුන්ගෙන් මේ ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නටය. එහිදී මෙතෙක් හෙළි නොවූ තවත් බොහෝ තොරතුරු හෙළිවනු ඇතැයි විමර්ශන නිලධාරීන්ගේ විශ්වාසයයි.
ගයාන් කුමාර වීරසිංහ