ජාතික පුවත්පතක මැද පිටුවේ ‘ ආර්ථික පසුබෑමෙන් විඳවන්නෝ‘ යන මැයෙන් පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික්‍රමගේ සාකච්ඡා සටහනක් මෙවර කෞටිල්‍යගේ අර්ථික විග්රහයට ලක්කෙරෙයි.
එහි සඳහන් වන්නේ මේ ආකාරයෙනි.
“මේ වාර්තාවේ සඳහන් වන්නේ පවුල්වලින් සියයට 31ක් තමන් සතු දේපළ සහ වත්කම් උකස් කර තිබෙන බවයි. කනකර ආභරණ සහ ඉඩම් උකස් කළ පවුල්වලින් සියයට 22ක්ම ඒ සල්ලි වියදම් කර තිබෙන්නේ එදිනෙදා කෑම බීම වියදම් පියවා ගැනීම සඳහාය. දේපළ වත්කම් උකස් කළ ඒ කවුරුත් දවසින් දවස අගාධයටම තල්ලු වෙයි.
ඒ මාසිකව ණය පොලිය ගෙවීමට සිදුවීමෙන් සහ නැවත නැවතත් එදිනෙදා වියදම් සොයා ගත යුතු හෙයිනි. එසේම උකස් කළ දේවල් බේරා ගැනීමට නොහැකි වීමෙනි. ඒ ජනතාවගේ අද දවසට වඩා හෙට දවස ඉතා භයංකාරය. වර්තමාන ආර්ථික අර්බුදයේ ස්වරූපය එයයි. එහෙත් ඒ බව නොකියන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව රටට බොරු චිත්‍රයක් මවාපායි. ඒ දෙපාර්තමේන්තුව කියන්නේ මිනිසුන්ගේ ආදායම් අඩු වී වියදම් වැඩි වී ඇතත් ජනතාව හොඳින් කා බී සිටින බවයි. අපේ නූගත් නොදැනුවත් ගැමියන් පවා එවැනි කතා හඳුන්වන්නේ කුණුහරුප ලෙසිනි. මේ කතාවලින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන අවස්ථා ද අහිමි කරයි.
ලොව පිළිගත් ප්‍රකට සහ ප්රමුඛ ආර්ථික විද්‍යාඥයකු වන කේන්ස් 1936 දී කියා තිබෙන්නේ මෙවැනි ආර්ථික අර්බුදයකදී බදු අඩු කළ යුතු බවය. එවිට ජනතාව අතේ මුදල් ඉතිරි වෙයි. ඒ මුදල් පරිභෝජනයට වැය කළ හැකි වෙයි. එසේම ඒ මුදල් යළි ආර්ථිකයට එකතු වෙයි. එමඟින් ආර්ථිකය සක්‍රීය වෙයි. එසේ වීමෙන් ඉල්ලුම අඩු නොවී වැඩි වෙයි. එහෙත් වර්තමාන ලංකාවේ ආණ්ඩුව කරන්නේ ජනතාව අත තිබෙන සබ්බ සකලමනාවම බදු මඟින් සූරා ගැනීමය. අනතුරුව ඒ මුදල් නැති නාස්ති කිරීමය. එහෙයින් ඒ මුදල් ආර්ථිකයට යළි එකතු නොවෙයි. ජනතාවගේ වියදම් වැඩිවීමට බදු අනුපාත ඉහළ නැංවීම හේතු වී තිබෙන බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෙළි කළ යුතුව තිබු සත්‍යයකි. එහෙත් ඒ කිසිවක් ඔවුන්ගේ වාර්තාවේ සඳහන් නොවෙයි. එහෙයින් මේ වාර්තාව බංකොළොත් ආර්ථිකය ඉන් මුදා ගැනීමටවත් ප්‍රතිපත්ති සම්පාදනයට වත් ඉවහල් නොවන්නකි. මෙය තනිකරම ආණ්ඩුවේ දේශපාලකයන්ට ජනතාව මුළා කර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා හයේ පහරක් ගැසීමට අවකාශ සහ ඉඩකඩ සලසා දීමටම සකස් කළ වාර්තාවක් බව මගේ නිරීක්ෂණයයි, නිගමනයයි, තක්සේරුවයි….”
1830 ගණන්වල ආචීර්ණ කල්පිත ආර්ථික විදයාඥයකු වූ කේන්ස් තියරිය අවුරුදු 194කට පසු අද්‍යතන ශ්‍රී ලංකාවේ මහ පොළොවට ගැළපිය හැකිදැයි උගත් මහාචාර්යතුමා නැවත නැවතත් කල්පනා කර බැලිය යුතුයැයි අපි සිතමු. මක්නිසාද යත් හැට නම ලක්ෂයක ජන වරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත් වූ වහාම එතුමා ළඟ සිටි ප්‍රධාන ආර්ථික උපදේශකයා වූ ජනාධිපති ලේකම් වූ ආචාර්ය පී. බී. ජයසුන්දර දුන්නේ ද මහාචාර්ය ආනන්ද ජයවික්‍රමගේ විසඳුමය. එනම් වහාම ක්‍රියාත්මක වන පරිදි යහපාලන රජය විසින් පනවා තිබූ සියලු බදු වර්ග ඉවත් කිරිම හෝ අඩු කිරීම කළේය.
– “ව්‍යවසායකයන්ට – ජනතාවට නව බලාපොරොත්තු ජාතිය ගොඩනැඟීමේ බද්ද, වැට් බද්ද පහළට“ 2019 නොවැම්බර් 18 වැනි දින ප්‍රධාන පුවතක්
– “ භාණ්ඩ හා සේවා බදු පහළට “ – මුල් පිටුවේ පළවූ තවත් පුවතකි
– “බදු සහන නිසා මැතිවරණ පොරොන්දු යථාර්ථයක් වුණා…“ තවත් පුවතකි.
මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන්ගේ උපදෙස් අනුව ආණ්ඩුව විසින් බලයට පත් වූ විගස ගනු ලැබූ තීරණයන්ය. මෙකි තීරණයන්හි අපේක්ෂිත යහපත් ප්‍රතිපල ලබාගත නොහැකි වූයේ 2020 වන විටත් 2019 වන විටත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණු බව ගැඹුරින් අධ්‍යයනය කොට තීරණ ගැනීමට ජනාධිපතිවරයාට මඟ නොපෙන්වූ නිසාය. ඉහත ලිපිය සැපයු මහාචාර්යතුමා මෙන්ම එදා සිටි ආචාර්ය මහාචාර්යවරු කීවේ ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබා දීමෙන් ජනතා පීඩනය අඩු කිරීමෙන් රට දියුණු කළ හැකි බවය. ඒ එසේ නොවන බව පසක් කරගැනීමට නම් පහත දැක්වෙන සංඛ්‍යා දත්ත ගැඹුරින් අධ්‍යයනය කළ යුතු යැයි අපි විශ්වාස කරමු.
මේ වනවිට සම්පූර්ණයෙන් විගණනය කොට අවසන් වූ 2022 රාජ්‍ය ගිණුම් වාර්තාවන්ට අනුව 2022 වර්ෂයේදී ඍජු හා වක්‍ර බදුවලින් රැස් කරගත් මුළු බදු ආදායම රුපියල් බිලියන 1751කි. එයින් රාජ්‍ය සේවකයන්ට ගෙවූ වැටුප් හා විශ්‍රාම වැටුප් රුපියල් බිලියන 1265කි. එනම් මුළු බදු ආදායමෙන් 22%ක් වියදම් කොට ඇත්තේ රාජ්‍ය සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටය. සමෘද්ධිය, ඇස්වැසුම ඇතුළු සහනාධාර සඳහා දැරූ වියදම රුපියල් බිලියන 506කි. එය රජයේ ආදායමෙන් 28%කි. 2022 වර්ෂයේදී රජයේ මුළු බදු ආදායමෙන් දරා ඇත්තේ වියදම් දෙකක් පමණි. එනම් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සහනාධාරයන්ය.
මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පවසන පරිදි බදු අඩු කළොත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නේ කෙසේද? අස්වැසුම ඇතුළු අනිකුත් දිළිදු ජනතාව වෙන සහනාධාර ගෙවන්නේ කෙසේද?
මෙයට අතිරේකව 2022 වසරේදී රාජ්‍ය ණය සඳහා ගෙවි ඇති පොළී ප්‍රමාණය බිලියන 1565කි. ප්‍රාග්ධන වියදම බිලියන 715කි. මෙවැනි වියදම් දැරීම සඳහා ඉහත දැක්වූ බදු ආදායම් ප්‍රමාණවත් නොවන්නේ නම් මේ වියදම් දරා ඇත්තේ ණය ලබා ගැනීමෙනි. වක්‍ර බදු ඇතුළු අනිකුත් බදු අඩු කොට ජනතාවට සහන දීම ඉතා හොඳය. ජනතාව ද එයට සතුටුය. අපි ද වැඩි වැඩියෙන් සහන ලබන්නට කැමැත්තෙමු. නමුත් රජයේ පුනරාවර්තන වියදම පියවා ගැනීමටවත් ආදායමක් නොමැති රටක බදු අඩු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කොට සංඛ්‍යා දත්ත සහිත ලිපියක් අපේ උගත් මහාචාර්යතුමා සිළුමිණට එවන්නේ නම් ලබන සතියේදී එය අපේ පුවත්පතේ පළ කරන බවද කාරුණිකව දැනුම් දෙමි.