දුම්රිය ධාවනය සෙසු සියලු ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් වෙනස් වන්නේ එය නියමිත මාර්ගයකම ගමන් කළ යුතු හෙයිනි. දශම ගණනාවක් හෝ ගමන් මාර්ගය එහා මෙහා නොවී ගමනේ යා යුතු හෙයිනි. ගුවන් යානා හැර ලෝකයේ සියලු ප්‍රවාහන මාධ්‍ය අබිබවමින් දුම්රිය පළමු තැනට පත්ව ඇත්තේ එහි ඇති අධික වේගය මෙන්ම සැප පහසු බවත් නිසාමය.
විශේෂයෙන්ම ජපානයේ MLX01, Maglev දුම්රිය මේ වන විට ගොඩබිම් මාර්ගයේ අධි වේගයෙන්ම ධාවනය වන අතර එය පැයට කිලෝමීටර් 581ක වේගයෙන් ගමන් කර තිබේ. බස් රථයකට හෝ වෙනත් ගොඩබිම් වාහනයකට එවැනි වේගයක් ගැන තවම සිතන්නටවත් බැරිය. කිසිදු විටක දශමයක් හෝ එහා මෙහා නොවී ගමන් කළ යුතු මාර්ගයක එසේ අධි වේගයකින් ගමන් කරන්නට නම් එම මාර්ගය මෙන්ම දුම්රිය ද ඉහළම ප්‍රමිතියකින් තිබිය යුතුය.
අසල්වැසි ඉන්දියාවේ ද පැයට කිලෝමීටර් 180ක් දක්වාම අධි වේගයෙන් ධාවනය වන දුම්රිය ඇත. ඉන් එක් ප්‍රධාන දුම්රියක් වන්නේ නව දිල්ලිය හා වාරාණාසි අතර ධාවයන වන Vande Bharat ‘සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස්‘ දුම්රියයි.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ප්‍රධාන වශයෙන්ම දුම්රිය මැදිරි සපයන රයිට්ස් සමාගම ද එවන් අධිවේගී දුම්රිය සඳහාද දුම්රිය මැදිරි එන්ජින් නිෂ්පාදනය කර ඇත. එමෙන්ම බොහෝ දුම්රිය මාර්ග ස්ථාපිත කිරීම මෙන්ම නඩත්තුව සිදු කරන්නේ ද ඉන්දියාවේ තවත් රාජ්‍ය සමාගමක් වන අපේ රටේ ද දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කරන ඉර්කොන් සමාගම විසිනි.
අපේ රටේ දුම්රිය වෙනුවෙන් ඉන්දීය රජයද දුම්රිය මැදිරි සපයන ලදී. එමෙන්ම 90 දශකයේ සිට දුම්රිය එන්ජින් ද ලබා දීමට කටයුතු කරන ලදී. විශේෂයෙන්ම එම් 8 පන්තියේ ඩීසල් ඉන්දීය විදුලි දුම්රිය එන්ජින් එලෙස පළමු වරට අපට ලැබුණු එන්ජින් විය. එතැන් පටන් ඉන්දීය දුම්රිය එන්ජින් අපට සහන මිලකට මෙන්ම ණය ආධාර යටතේ ලබා දෙන්නට ඉන්දීය රජය විසින් කටයුතු කරන ලදී.
ඉන්දීය රයිට් සමාගම විසින් එස් 11 වර්ගයේ බලවේග කට්ටල දුම්රිය 20ක් ද අපට ලබා දෙන ලදී. එක් දුම්රියක් මැදිරි 6කින් සමන්විත විය.
ඉන් පසුව එස් 13 කාණ්ඩයේ ද්විත්ව බලවේග කට්ටල 6ක් ද අපට ඉන්දීය ණය යෝජනා ක්‍රමයෙන් හිමි වූ අතර එම් 10 පන්තියට අයත් අධිබල දුම්රිය එන්ජින් ද වරින් වර ලබා දෙන ලදී. මේ වන විට දුම්රිය පද්ධතියේ දුර ධාවන දුම්රියයන් වෙනුවෙන් එම් 10 පන්තියේ හා මෑතකදී ආනයනය කරන ලද එම් 11 පන්තියේ දුම්රිය එන්ජින් සපයන්නේ ඉහළ සේවාවකි.
එසේම ඉන්දීය ණය ආධාර යටතේ තවත් දුම්රිය මැදිරි 160ක් පසුගිය 2022 වසරේ ආනයනය කරන ලදී. එහෙත් ඒ සියල්ල ණය ආධාර යටතේ සිදු කළ ඒවා විනා එක් මැදිරියක් හෝ දුම්රිය මාර්ගයේ කොටසක් හෝ නොමිලේ ලබා දුන් ඒවා නොවේ.
එහෙත් අසල්වැසි ඉන්දියාවෙන් අපට අතිවිශාල සහයෝගයක් මේ වන විට ලැබී ඇත. ඒ ඉන්දියාවේ දුම්රිය මාර්ගවල ධාවනය කළ ඩීසල් විදුලි දුම්රිය එන්ජින් 23ක් මෙරටට නොමිලේම ලබා දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කිරීමය. මෙරට දුම්රිය සේවාව අරඹා මේ වන විට වසර 160කට ආසන්නය. ඒ කාලය තුළදී ඉන්දියාවෙන් අපට කිසිදු දුම්රිය එන්ජිමක් හෝ මැදිරියක් නොමිලේ ලැබී නැත. මේ ඉතිහාසයේ පළමු වතාවට එලෙස දුම්රිය එන්ජින් ලැබුණු අවස්ථාවය.
ඒ සඳහා පදනම වැටුණේ ඉන්දීය දුම්රිය සේවාවේ ඉන්ධන භාවිත දුම්රිය එන්ජින් ඉවත කර ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම විදුලි දුම්රිය භාවිතයට ගැනීමට කටයුතු යෙදීමය.
එම නිසා මේ වන විට ධාවනයේ ඇති ඉන්ධන භාවිත විදුලි දුම්රිය එන්ජින් භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ඉන්දීය රජයේ දැනුම් දීම මතය. ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවේ දුම්රිය ධාවනයට ලබා දෙන්නැයි වත්මන් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේය.
ඒ 2023 වසරේ අගෝස්තු මස 22 දින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ වෙත යොමු කරන ලද ලිපියක් මඟිනි.
එමඟින් ඇමැතිවරයා අවධාරණය කර ඇත්තේ ඉන්දියාව විසින් අපගේ දුම්රිය සේවාව වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කරන බවත් 2011 වසරේ සිට මේ දක්වා සිදු කරන ලද දුම්රිය ව්‍යාපෘති අපට විශාල ශක්තියක් වූ බවයි. එහිදී ඇමැතිවරයා විසින් පිළිවෙළින් දක්වා ඇත්තේ උතුරු දුම්රිය මාර්ගය පූර්ණ ලෙසින් යළි ස්ථාපිත කිරීම දුම්රිය මැදිරි හා එන්ජින් ලබා දීම ඇතුළු ඇමරිකන් ඩොලර් මිලියන 466.1ක ව්‍යාපෘති මෙරට දුම්රිය ධාවනය ශක්තිමත් කරන්නට දායකත්වය සැපයූ බවයි. එසේම එම් 11 වර්ගයේ දුම්රිය එන්ජින් ලබා දීම ගැන ද එහි සඳහන් කර ඇත. එම ලිපියෙන් ඇමැතිවරයා අවධාරණය කර ඇත්තේ, පෙර සාකච්ඡා කළ පරිදි ඉන්දීය රජයෙන් නොමිලේ දුම්රිය එන්ජින් ලබාදීම ගැන සලකා බලන ලෙසයි.
ඊට පිළිතුරු ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඉරිනා තාකූර් විසින් 2023 වසරේ නොවැම්බර් 28 දිනැති ලිපියක් මඟින් දන්වා ඇත්තේ අදාළ දුම්රිය එන්ජින් සම්බන්ධව සොයා බැලීම සදහා 5 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාවේ තමිල්නාඩුහි තිරුචිරාපල්ලි හි දක්ෂිණ දුම්රිය සේවා අංගනයට යොමු කරන්නට ඉන්දීය රජය පහසුකම් සපයනු ලබන බවයි. අදාළ දුම්රිය එන්ජින් ලබා ගැනීමට පෙර පූර්ව පරීක්ෂා කටයුතු සම්බන්ධව සොයා බලා කටයුතු කරන්නට දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු දුම්රිය තාක්ෂණ නිලධාරීන් 5 දෙනකුට ඉන්දියාවට යාමට හා ඒමට අවශ්‍ය ගුවන් ටිකට් පත් නවාතැන් පහසුකම් ඇතුළු ඉන්දියාවේ ගමන් පහසුකම් සපයන්නට ඉන්දීය රජය කටයුතු කරන ද එම ලිපියේ දක්වා ඇත.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 18 වෙනිදා දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) වජිර පොල්වත්තගේ දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) – ප්‍රධාන දුම්රිය ඉංජිනේරු කීර්ති හේවාවිතාරණ ඇතුළු 5 දෙනෙක් ඉන්දියාවට ගොස් මෙරට ධාවනයට සුදුසු දුම්රිය එන්ජින් 23ක් තෝරා ගෙන ඇත.
දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) – ප්‍රධාන දුම්රිය ඉංජිනේරු කීර්ති හේවාවිතාරණ සිළුමිණට පැවසුවේ මේ වන විට මෙරට ධාවනයේ යොදවා ඇති එම් 10 දුම්රිය එන්ජින් කාණ්ඩයේම දුම්රිය එන්ජින් තෝරා ගත් බවත් ඒවායේ විශේෂත්වය වන්නේ එම් 10 දුම්රිය එන්ජින්වලට වඩා ඉහළ තාක්ෂණයෙන් යුක්ත බව යැයි ද ඔහු කීවේය.
‘‘ඒ එක් එන්ජිමක් ටොන් 118ක බරකින් යුක්ත වෙනවා. නවීනම තාක්ෂණය භාවිත කර ඇති මේ දුම්රිය එන්ජින් වල අශ්වබල ධාරිතාව 3300ක් වනවා. දැනට මෙරට මේ වන විට ධාවනයේ ඇති දුම්රිය එන්ජින්හි උපරිම අශ්වබල ධාරිතාව 3000ක් පමණයි. ඒ නිසා මෙරටට ලැබෙන වැඩිම අශ්වබල ධාරිතාවකින් යුක්ත දුම්රිය එන්ජින් බවට මේ දුම්රිය එන්ජින් 23 පත් වෙනවා. එම දුම්රිය එන්ජින් අවුරුදු 15ක් පමණ ඉන්දියාවේ භාවිත කළ දුම්රිය එන්ජින්. නිෂ්පාදකයාගේ වර්ග කිරීම අනුව එම දුම්රිය එන්ජින් අවුරුදු 40ක් ධාවනයේ යෙදවිය හැකියි. ඒ අනුව අපට අවම වශයෙන් තවත් අවුරුදු 25ක්වත් මෙරට ධාවනයේ යොදවන්නට පුළුවන්.
එසේම මේ දුම්රිය එන්ජින් වායු තිරිංගවලින් පමණක් සමන්විත නිසා ඒවා යෙදවිය හැක්කේ ඉන්දීය හා චීන දුම්රිය මැදිරි සඳහා පමණයි. ‘වැකුම්‘ තිරිංග භාවිත කෙරෙන රුමේනියන් මැදිරි වෙනුවෙන් මේ දුම්රිය එන්ජින් භාවිත කරන්න බැහැ. ඒ වගේම අශ්වබල 3300ක ධාරිතාවෙන් යුක්ත නිසා මැදිරි 22ක් පහසුවෙන් මේ එන්ජිමකට ඇදගෙන යන්න පුළුවන්. ඒත් ලංකාවේ දුම්රිය ස්ථානවල වේදිකා එතරම් දිගින් යුක්ත නොවන නිසා එතරම් මැදිරි යොදවන්න බැරි වෙයි. කොහොම නමුත් කාර්යක්ෂම දුම්රිය සේවාවක් සපයන්න මෙ එන්ජින් අපට විශාල රුකුලක් වේවි.‘‘
දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර සිළුමිණට පැවසුවේ ඉන්දියාවෙන් ලැබෙන දුම්රිය එන්ජින් 23න් 20ක් මඟී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි දුම්රිය එන්ජින් 3 අමතර කොටස් වෙනුවෙන් ගෙන්වනු ලබන බවයි. එමෙන්ම මේ දුම්රිය එන්ජින් 23න් එන්ජින් 2ක් මේ මස අවසන් සතියේ මෙරටට ලැබීමට නියමිත බව ද එම එන්ජින් නිදහස් සැමරුමේ දුම්රිය ධාවනයට යොදවා ගන්නා බව ද ඔහු කීය.
එම දුම්රිය එන්ජින් ගැන සොයා බලා සුදුසු එන්ජින් ගෙන එන්නට ඉන්දියාවට ගමන් කළේ දුම්රිය නිලධාරීන් 5 දෙනෙක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
‘‘ඇතැම් මාධ්‍යවල පළ වුණා දුම්රිය එන්ජින් 2ක් ගැන බලන්න 65 දෙනකු ගිය කතාවක්. මේ දුම්රිය එන්ජින් බලන්න ගියේ ඉන්දීය රජයෙන් පහසුකම් දෙන බව දන්වා තිබුණු පරිදි 5 දෙනකු පමණයි. ඔවුන් වෙනුවෙන් සම්පූර්ණ වියදම් දැරුවේ ඉන්දීය රජයෙන්. මීට අවුරුදු දෙකකට පමණ කලින් ඉන්දීය ණය ආධාර යටතේ ලබාගත් දුම්රිය මැදිරි 160 ව්‍යාපෘතියේ මෙරට දුම්රිය නිලධාරීන් 65 දෙනකු පුහුණු කිරීම ද ඇතුළත් ව තිබුණා. ඒ වෙනුවෙන් අපට ලබා දෙන ණය ආධාරවලින් ගෙවීම් කළ යුතුයි. එම මුදල් ගෙවා මේ වන විට අවුරුදු 2ක් වෙනවා. ඒ නිලධාරීන් 65 දෙනා ගැන තමයි ඔය පටලවා ගෙන තියෙන්නෙ. අවුරුදු 2කට පස්සෙ තමයි ඒ අය පුහුණුවට යන්නෙ.
දුම්රිය එන්ජිමක්, දුම්රිය මැදිරියක් ගෙනාවට මදි ඒවා නිසි පරිදි නඩත්තු කළ යුතුයි ඒ වගේම තමයි මේ වන විට අපේ දුම්රිය මාර්ගවල පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය වනවා. එම මාර්ග ද නිසි පරිදි නඩත්තු කළ යුතු වෙනවා. ඒ අනුව දුම්රිය මැදිරි සහ එන්ජින්වල තිරිංග පද්ධති, හයිඩ්‍රොලික් (ජල ද්‍රව) පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම ගැන නිසි පුහුණුවක් තිබිය යුතු වෙනවා. ඒක අන්තර්ජාතික ක්‍රමවේදයක්. ඒ නිසා තමයි අදාළ ව්යාපෘතිවලින්ම පුහුණුව පිණිස නිලධාරීන් යොමු කිරීම කරන්නෙ. එය මේ අවස්ථාවේ පමණක් නෙමෙයි දුම්රිය ඉතිහාසය පුරාම සිදු වූවක්. එසේ නොකර ආරක්ෂිත දුම්රිය ධාවනයක් සිදු කරන්න බැහැ. ‘‘
මේ සම්බන්ධයෙන් පසුගිය 14 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඉතිහාසයේ පළමු වතාවට රුපියල් කෝටි 1600ක් වටිනා දුම්රිය එන්ජින් 20ක් ඉන්දියාවෙන් මෙරටට ත්‍යාගයක් වශයෙන් ලැබී ඇති බවයි.
දුම්රිය එන්ජින් 20ක් ලබා ගැනීම සඳහා තමා ඉන්දියානු ආණ්ඩුවෙන්, මෙරට සිටි ඉන්දියානු මහ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවද කී ඒ පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ මෙරට හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයාට ස්තුතිය පුද කරන බවද පැවසීය. නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකාවෙන් 65ක් ඉන්දියාවට ගිය බවට අසත්‍ය ප්‍රවෘත්තියක් පළ වූ බවත් එන්ජින් 23ක් බලන්නට ඉන්දියාවට ගියේ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඒ සඳහා සියලු වියදම් දැරුවේ ඉන්දියානු ආණ්ඩුව බවද ඇමැතිවරයාද මෙහිදී අවධාරණය කෙළේය. ඉන්දියානු දුම්රිය සේවය අපට වඩා තාක්ෂණික අතින් දියුණුව ඇති නිසා ඉන්දීය දුම්රිය විදුලි දුම්රියට පරිවර්තනය වී ඇති නිස තමන් මෙරට ප්‍රවාහන ඇමැතිවරයා ලෙස ඉන්දියානු මහකොමසාරිස්වරයාගෙන්, ඉන්දියානු ආණ්ඩුවෙන් භාවිත කළ දුම්රිය එන්ජින් ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද පැවසුවේය.
අපට ඉන්දියාවෙන් ලැබෙන මේ දුම්රිය එන්ජින් 20 ගැන විශේෂයෙන්ම යමක් කිව යුතුය. ඒ බී.ඩී. රම්පාල විසින් 70 දශකයේ මෙරටට ගෙන්වන ලද හයිඩ්‍රොලික් දුම්රිය එන්ජින් ආනයනයෙන් පසුව දුම්රිය එන්ජින් 20ක් එකවර මෙරට ගෙන එන්නේ පළමු වතාවටය. එයද අඩ සියවසක් තුළ මෙරටට එකවර එන්ජින් 20ක් ගෙන්වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇත.
තාරක වික්‍රමසේකර