විපක්ෂයේ මන්ත්‍රීවරුන්, විශේෂයෙන්ම ඔබ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රටේ ආර්ථික ප්‍රතිපත්තිය නිරතුරුවම විවේචනය කරනවා. ඔබ ඒ සම්බන්ධයෙන් දරන මතය විස්තර කළොත්….
අපේ රටේ තිබුණු ආර්ථිකය 2020 අවුරුද්දෙන් පස්සෙ ශීඝ්‍ර ලෙසින් පහළ ගියා. විශාල අවදානමක රට පත්වෙලා තිබුණෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අපේ ආර්ථිකය සවිමත් බවට පත්වෙමින් තියෙනවා. යම් උත්තේජනයක් සමඟ ආර්ථිකයේ පිබිදීමක් තියෙනවා. ඒත් රජයට මේ ආර්ථිකය නිසි පරිදි හසුරුවා ගන්න බැරි තත්ත්වයක් තියෙන බව ඉතා පැහැදිලියි.
අපට මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නැති බව විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පවා කියා තිබුණා.
ඔව් මේ අවස්ථාවේදී අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නැහැ. නමුත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වීමට ගත කළ අනවශ්‍ය කාලය හා ඒ හා සම්බන්ධ වීමට පෙර රට ආපස්සට යාම මෙන්ම ඒ වෙනුවෙන් සකස් කරගත් විකල්ප ක්‍රියාමාර්ග නිසා අපට විශාල අගතියක් සිදු වුණා.
උදාහරණයක් ලෙස කියනවා නම් අපේ හිටපු මුදල් ඇමැතිවරයෙක් ඉන්දියාවට ගිහින් ඩොලර් මිලියන 500කට ත්‍රිකුණාමලයේ අපේ වටිනා තෙල් ටැංකි ටික පවා දුන්නා. අන්තිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න වුණේ එයාලගේ කොන්දේසිවලටත් යටත් වෙලා.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුව ක්‍රියා කිරීම ඕනෑම ආණ්ඩුවක් විසින් කළ යුතුයි නේද?
ආණ්ඩුවේ වගේම රාජ්‍ය නිලධාරීන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කොයිතරම් හිටියත් නිසි මාර්ග සිතියමක් රජයට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අදටත් ආණ්ඩුවට ඒකට නිසි ක්‍රමවේදයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් නිර්දේශ රජය ක්‍රියාත්මක කරන්නෙ රජයට පහසු විදිහට මිසක් ජනතාවට පහසු වෙන විදිහට නෙමෙයි.
විශේෂයෙන්ම දළ ජාතික නිෂ්පාදිතය සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජයට හැකිවෙලා නැහැ. ඒ වෙනුවෙන් අඩු ආදායම්ලාභියා හොඳටම හිර කරලා.
නමුත් මොන ආණ්ඩුව ආවත් මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න නම් බදු වැඩි කිරීම කළ යුතුයි නේද?
වැට් බද්ද ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ඒක ජනතාවට සමානුපාතිකව විය යුතුයි. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ දූෂණ වංචා, ඒ වගේම ඒ අය දාන ‘ඩීල්‘ නිසා බදු ලැබීම අනිවාර්යෙන්ම අඩු වෙලා තියෙන්නෙ. බදු ගෙවිය යුතු ඇතැම් මහා පරිමාණ ව්‍යවසායකයන්ගෙන් බදු ගන්නේ නැහැ. ඒ අයට නිල වශයෙන්ම වගේ හා නිල නොවන වශයෙන් බදු සහන දීල තියෙනවා. අතිවිශාල හිඟ බදු මුදල් තියෙනවා.
ඔබ කියන්නෙ ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපාරිකයන් මඟ හැරල ඍජු බදු වෙනුවට වක්‍ර බදුවලින් බදු ආදායම තර කර ගන්නවා කියලද?
අනිවාර්යෙන්ම ඒක තමයි ඇත්ත. ආණ්ඩුව වැට් බද්ද 15% සිට 18% කළා. වැට් නොතිබුණු භාණ්ඩ හා සේවාවලට එකපාරටම 18%ක වැට් බද්ද දැම්මා. ඒකෙන් ඒ භාණ්ඩ හා සේවාවල මිල එකපාරටම 18%කින් ඉහළ ගියා. ආර්ථික අර්බුදයකින් ඉන්න ජනතාවට මේ බර දරන්න බෑ. ආණ්ඩුව ඍජු බදු නොගෙන පහසුවෙන් ගන්න පුළුවන් වක්‍ර බදු ගන්න තමයි කටයුතු කරන්නෙ.
නමුත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 36%ක බද්දක් ගැනීම සාධාරණ බව හිතන්නේ නැද්ද?
අපේ රටේ ව්‍යවසායකයන් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 36%ක බද්දක් ගන්නවා කියන්නෙ ඒ අය පමණක් නෙමෙයි ඒ අය යටතේ වැඩ කරන සේවක සේවිකාවන් පවා ඒ වෙනුවෙන් බදු ගෙවනවා කියන එකනෙ. ඒකට කරන්න තිබුණෙ 24%ක පමණක් බද්දක් අරගෙන ඉතිරි ඍජු බදු ගෙවිය යුතු අයගෙන් ගන්න. ආණ්ඩුව කරන්නෙ කලින් කිව්ව වගේ එයාලට පහසුවෙන් එකතු කර ගන්න පුළුවන් බදු ටික එකතු කර ගන්න එකයි.
ආණ්ඩුවේ ගමන් මඟ විවේචනය කළත් සමගි ජන බලවේගයේත් ගැටුම් තියෙනවා නේද?
නැහැ, අපේ පක්ෂයේ කිසිම ගැටුමක් නැහැ. අපිට හොඳ නායකයෙක් ඉන්නවා. හැම කරුණක්ම සාකච්ඡා කරල පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව අපි කටයුතු කරනවා. පක්ෂයත් බොහොම ක්‍රියාකාරියි.
එහෙමනම් ඇයි චමින්ද විජේසිරි ඉල්ලා අස්වුණේ?
ඒක එතුමගෙ පෞද්ගලික හේතුවක් ලෙසයි මම දකින්නේ. දේශපාලනයේදී ඒ විදිහට පක්ෂවලින් යනවා. පක්ෂ මාරු කෙරෙනවා. ඒක සාමාන්‍යයි.
මේ වසර තීරණාත්මක මැතිවරණ තියෙන වසරක්, අනෙක් පක්ෂ සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමේ සූදානමක් තියෙනවද?
අපේ නායකතුමා පැහැදිලිව කියල තියෙනවා ඕනෑම දේශපාලඥයකුට අපේ පක්ෂයේ මතයට, පක්ෂයේ ප්‍රතිපත්තිවලට, පක්ෂයේ මූලධර්මවලට ගරු කරනවා නම් ඒ රාමුව තුළ කටයුතු කරනවා නම් පක්ෂයට එකතු වෙන්න පුළුවන්. නමුත් වෙනත් මත, වෙනත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපේ පක්ෂයේ ඉඩක් නැහැ.
ආර්ථිකය ගැන දැනුමක් ඇති කෙනෙක්. රටේ ආර්ථිකය දැන් හොඳ මට්ටමට ඇවිත් කිව්වොත් ඔබ එකඟයිද ?
ඔව්, රටේ ආර්ථිකය දැන් ක්‍රමයෙන් හොඳ මට්ටමකට එමින් තියෙනවා. මේ වෙනකොට විදේශ ප්‍රේෂණ පැමිණීමේ හොඳ තත්ත්වයක් දකින්න පුළුවන්. සංචාරකයො වැඩි වශයෙන් එනවා. විදේශ සංචිත ටිකෙන් ටික වැඩි වෙනවා. අපි ඇත්ත පිළිගන්න ඕන. නමුත් රජයට විදේශීය ආදායම් වැඩි කර ගැනීමේ කිසිම අලුත් ප්‍රතිපත්තියක් නැහැ.
ඔබ කියන අලුත් ප්‍රතිපත්ති මොනවාද?
එක්සත් ජාතික පක්ෂය බලයේ හිටපු කාලයේ ඒ කියන්නෙ විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස මැතිවරුන්ගේ කාලයේ ඩොලර් උපයන විවිධ ක්‍රම තිබුණා. ඒ කාලෙන් පස්සෙ බලයට ආපු ආණ්ඩුවලට එක ඩොලරයක් අලුතින් උපයන්න ක්‍රමයක් හදල නැහැ. ඒක නිසා අපේ ඩොලර් හිඟය එහෙමමයි. ණයත් එහෙමමයි.
ඒ වුණාට අපේ රටට ආයෝජකයන් ඒමේ වැඩිවීමක් දක්නට තියෙනවා.
ඔය කිව්වට එහෙම ආයෝජකයො එන්නෙ නැහැ. එහෙම ආයෝජකයො ආවා නම් ආර්ථිකය මේ විදිහට කඩා වැටිල තියෙන්න විදිහක් නැහැනෙ. මේ විදිහට බදු පිට බදු ගහන්න ඕන නැහැනෙ. අනික් කරුණ ආයෝජන වැඩි කරන්න ආයෝජන මණ්ඩලයට කිසිම සැලැස්මක් නැහැ. ආයෝජකයන්ට අනුමැතිය ගන්න අවුරුදු ගණන් පෝලිම්වල ඉන්න ඕන. ආයෝජකයන්ට ආයෝජන එපා කරවනවා. ඒ වගේ තත්ත්වයක් උඩ ආයෝජකයො ලංකාවට එයිද?
ඒ වුණත් ආයෝජන මණ්ඩලයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේත් ආයෝජන 30ක් අත්සන් කරන්න දැනටමත් කටයුතු කරල තියෙන්නෙ.
ඒක එහෙම වෙනවද කියන එකයි ගැටලුව. හොඳම උදාහරණය තමයි ජපානය, ජපානයේ ආයෝජන රැසක් තිබුණෙ චීනයේ. මේ වෙනකොට චීනයේ නිෂ්පාදන වියදම් වැඩියි කියල ඒ ආයෝජන වෙනත් රටවලට ගෙන යනවා. නමුත් ලංකාවට ඒ අය ආවෙ නැහැ. ඒ ආයෝජකයො බංග්ලාදේශය, වියට්නාමය, මැලේසියාව හා තායිලන්තය වගේ රටවලට ගිහින්.
අපේ රටේ විදුලි බිල වැඩියි අනෙකුත් නිෂ්පාදන වියදම් වැඩියි. ඒ සේරටම වඩා රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති නිසයි ආයෝජකයො ඒ විදිහට කටයුතු කරන්නෙ.
තාරක වික්‍රමසේකර