– සීගිරි කුරුටු ගී 32ක් මේ විදිහට සංගීතවත් වෙන්නේ පළමු වතාවට
– දහස් ගාණක් වූ සීගිරි ගීත අතරින් ගීත 32ක් තෝරගෙන තනු නිර්මාණය කළා
උප පොලිස් පරීක්ෂකවරයකු වූ හේමපාල විජේසිංහ හා මල්ලිකා විජේසිංහ දේපළට දාව නාරම්මල දී උපන් සාගර විජේසිංහ මුලකුරු කියැවූයේ මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙන්ය. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලවලින් සිප්සතර හැදෑරු සාගර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී බටහිර සංගීත විෂය යටතේ පියානෝ වාදනය විශේෂව හදාරන්නේය. මේ නිසාම 2006දී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අග්නි ඔපෙරාවට සම්බන්ධ වීමට සාගරට අවස්ථාව උදාවන්නේය. ඔහුගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ ආචාර්ය කේමදාසයන් ඇසුර කිරීමට ලැබීමත් සමඟය. මේ වන විට සාගර සිය පළමු සංගීතමය ව්‍යායාමය ‘තරණ සීගිරි’ ඔපෙරාව සමඟ අප ඉදිරියට පැමිණ සිටී. මේ ඔහු සිය නිර්මාණ කාර්යය පිළිබඳ කළ කතාබහකි.
“2006දී අග්නි ඔපෙරාවට සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදාකර දෙන්නේ දිනේෂ් සුබසිංහ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අග්නි ඔපෙරාවේ වාද්‍ය වෘන්දය සම්බන්ධයෙන් සියලු වගකීම් පවරා තිබුණේ සංගීතවේදී දිනේෂ් සුබසිංහට. ඒ වන විට මම ඔහුගේ ඩීආර්සී මෙම්බර්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා ලෙස කටයුතු කරමින් සිටියේ. ඇත්තෙන්ම අග්නි ඔපෙරාව මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වුණා කිව්වොත් නිවැරදියි.
අග්නි ඔපෙරාවේ කටයුතු කරද්දී ආචාර්ය කේමදාසයන් ඔබව ඉතා අගේ කළ බව මා අසා තිබෙනවා.
“ඔව්, දිනක් අප ‘අග්නි’ ඔපෙරාවේ පුහුණු වීම්වල නිරත වෙමින් සිටියා. මං වාදනයට ලෑස්ති වෙන්න කලින් ස්වර ප්‍රස්තාර ඉතාම පැහැදිලිව ලියා ගන්නවා. ඒක මං මුල ඉඳන්ම පුරුදු පුහුණු වුණ දෙයක්. කේමදාස මාස්ටර් සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමයි වාදනය කරන්න ඕන කියල ස්වර ප්‍රස්තාරයක් තබා කොළ කෑල්ලක්වත් දෙන්නේ නහැ. එයා ගහල පෙන්නුවාම ආපි දැනගන්න ඕන ඒක ලියලා තියාගන්න. මම අමතක වෙයි කියන බයට කටුවට එවෙලෙම ඒක ලියා ගන්නවා. ඊට පස්සේ හරියට පැහැදිලිව ලියල ෆයිල් කරනවා. මේක දවසක් දිනේෂ් සුබසිංහ දැක්කා. ඔහු ඒක කේමදාස මාස්ටර්ට පෙන්නුවා. මේක නීට් එකට ලියල තියෙන විදිය දැකලා ඔහු උගන්වමින් සිටි ළමයින්ට ඒක පෙන්නලා “නිකම්ම මං කියන දේ ඔහේ අහගෙන හිටියට වැඩක් නෑ. ඒක ඔළුවට ගන්න ඕන. මේ පේනවද සාගර ඒ දේවල් ප්‍රස්තාර ගත කරල තියෙන විදිහට. ගුරුවරයට හැමදේම උගන්වන්න බැහැ. ඔහුට පුළුවන් යම් තල්ලුවක් දෙන්න විතරයි. නමුත් ඒක ග්‍රහණය කරගෙන තමන්ගේ කොටස කරන්න අනික් අය දැනගන්න ඕන. මේ ඒකට හොඳ උදාහරණයක්.” ඔහු වගේ කෙනෙකුගේ එවැනි අගේ කිරීමක් මං හීනෙකින්වත් නොහිතපු දෙයක්. ඒ අගේ කිරීමත් එක්ක මං තවතවත් උනන්දුවෙන් කටයුතු කළා. ඔහුගෙන් නිතර නිතර ගුරුහරුකම් ලබා ගත්තා. මට තිබුණු ගොඩක් ගැටලු මං එතුමගෙන් අහල අවබෝධ කර ගත්තා. ඔහු ඉතා උනන්දුවෙන් සතුටින් මට ඒ දේවල් කියා දුන්නා. මගේ අඩුපාඩුකම් පෙන්නලා දුන්නා. හැම රෙකෝඩින් එකකදිම ඔහු මාව සහභාගි කරවා ගත්තා. මේ නිසා මට මාස්ටර්ගේ සංගීත භාවිතය පිළිබඳ හොඳ දැනුමක් හා අවබෝධයක් ලැබුණා. ඒ ලබපු අත් දැකීම් හා ගුරුහරුකම් නිසා තමයි මං අද මෙතැන ඉන්නේ.”
“සිගිරි කුරුටු ගීයක් ආශ්‍රය කරගෙන දවසක් අසේල බණ්ඩාර විසින් සංගීතවත් කළ ගීයක් ශ්‍රවණය කරන්න ලැබුණා. සුනිල් සාන්තත් සීගිරි ගී ආශ්‍රයෙන් ගීතයක් නිර්මාණය කර තිබුණා. මේවා ඇහුව්වම මට හරිම ආස හිතුණා. මමත් සීගිරි කුරුටු ගී හොයාගෙන කියවන්න පටන් ගත්තා. මට ඒවා කියවද්දී අමුතුම ආස්වාදයක් දැනුණා. කොටින්ම මට ඒවා ඇහෙනව වගේ දැනුණේ. දහස් ගාණක් වූ සීගිරි ගීත අතරින් ගීත 32ක් තෝරගෙන තනු නිර්මාණය කළා. සීගිරි කුරුටු ගී 32ක් මේ විදියට සංගීතවත් වෙන්නේ පළමු වතාවට. ඒ වෙලාවේ මට හිතුණා මේකෙන් ලස්සන වැඩක් කරන්න පුළුවන් නේද කියලා. සීගිරි කුරුටු ගී ආශ්‍රයෙන් ඔපෙරාවක් කරන්න ඕන කියන අදහස ආවේ ඒ විදියට. ඊට පස්සේ මේකට කතාවක් එකතු කරන්න කථිකාචාර්ය අජිත් ක්‍රිෂාන්ත සේරම්ට ආරාධනා කළා. ඒ අනුව තමයි තරණ සීගිරි ඔපෙරාවේ ලිබ්‍රෙතෝව ඔහු අතින් රචනා වෙන්නේ.”
“ඇත්තෙන්ම තරණ සීගිරි ඔපෙරාව කළේ මගේ ජීවිතයට බලපෑම් කළ රසිකයො දෙන්නෙක් නිසා. එක්කෙනෙක් එරික් ඉලයප්ආරච්චි අනික් කෙනා සුමුදු පතිරාජ. කොවිඩ් වසංගත කාෙලදි ‘තරණ සීගිරි‘ ඔපෙරාවේ කටයුතු හිමින් සීරුවේ කරගෙන ආවා. මේ ව්‍යායාමය අවසන් වෙද්දී වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබුණා. ඊට පස්සේ මේ සඳහා ශිල්පීන් පුහුණු කරන්න තවත් වසර දෙකකට ආසන්න කාලයක් ගතවුණා. මේ ආකාරයේ දුෂ්කර ගමන් මඟක් පසුකරගෙන තමයි සීගිරි ඔපෙරාව 2022 ජනවාරි 14 කොළඹ ලයනල්වෙන්ටඩ් රගහලේදී ප්‍රථම වරට වේදිකාගත වුණේ. මේවන විට දර්ශන වාර හයක් පවත්වා තිබෙනවා. හත්වන දර්ශනවාරය ජනවාරි මස 27 වැනිදා 3.30ට සහ 7.00ට මීගමුව නගර ශාලාවේදී පැවැත් වෙනවා.
මෙහිදී මගේ බිරිය චන්දිමා සමරතුංග, පුතු ගීනොල පබදර ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මෙම නිර්මාණය සඳහා දායක වන මනිෂා විජේසිංහ, නිහාරි වික්‍රමාරච්චි, සුබුද්ධි ලක්මාලි, නිලුකා තිෂාරි, සූර්යා දයාරුවන්, නිමල් ජයසිංහ ප්‍රමුඛ සියලුම දෙනාටත්, රංග වින්‍යාසය කළ නිලාන් මලිගැස්ප, වේදිකා පරිපාලනයෙන් දායකවන අජිත් අලහකෝන්, රංගාලෝකයය අජිත් රෝහණ, පසුතල නිර්මාණය කළ පාලිත ලොකුපෝතාගම, අංගරචනය කළ චාමර අනුදත් හා ඇදුම් නිර්මාණය කළ ස්විනීතා පෙෙර්රා සහ ඩයනා සිරිවර්ධන මෙහිදී කෘතවේදීව සිහිපත් කරනවා.
මෙම තරණ සීගිරි ඔපෙරාවේ ලිබ්‍රෙතෝව හරහා මතු කරන්නේ සීගිරි කාශ්‍යප පිළිබඳ පුරවෘත්තයයි. මෙතරම් කලාකාමී සෞන්දර්යවාදී රජෙකුට පීතෘ ඝාතකයකු විය හැකිද යන්න මින් ප්‍රශ්න කරනවා.”
රසික කොටුදුරගේ