“අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී…“
පිය සෙනෙහස ගැන ඉතාම ගැඹුරින් කතා කරන මේ ගීතය අපට ඇසෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්නගේ හඬිනි. එහි ගැබ්වී තිබෙන සැබෑ පිය සෙනෙහස වත්මන් දරු පරපුර හඳුනාගන්නේද යන්න ගැන කුකුසක් මතුවන්නේ අද සමාජයේ සිදු වන ඇතැම් ක්‍රියාවන් නිසාවෙනි. බොහෝ පියවරුන් තම සිත රැඳි සෙනෙහස සඟවාගෙන යුතුකම් හා වගකීම් මත්තේම හැපෙන නිසා එය දරුවන්ට නොදැනෙනවා විය හැකියි. එලෙස ගී පදවැලක මුසු වී සමාජගත වන පිය සෙනෙහසට වෙනත් අරුතක් දෙන්නට උත්සුක වූ ප්‍රසාද් සමරතුංග මේ දිනවල තිරගත වන තාත්තා සිනමා පටයේ අධ්‍යක්ෂවරයාය.
පසුගිය දෙසැම්බර් 4 වැනිදා තිරගතවීම ඇරැඹුණු ‘තාත්තා ‘ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි. මීට සිවු වසකට පෙර ඔහු අතින් කුලුඳුලේ නිම වුණු ‘ඉස්කෝලෙට මං ආවා ‘ සිනමා නිර්මාණය ද වාර්තා අතරට එක්වන්නට ඉඟි පළ කරන බව ඔහු අප හා පැවසුවේ කෙටි කාලයක් තුළ වැඩිම වාර ගණනක් විවිධ රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය වුණු ළමා චිත්‍රපටය එය වන බැවිනි. ‘තාත්තා‘ වෙත ලැබෙන උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳින අතරේම ඔහු අප හා කතාබහට එක්වූවේය.
“ඉස්කෝලෙට මං ආවා“ සිනමා නිර්මාණයෙන් පස්සෙ මගේ අදහසක් තිබුණා තවත් ළමා චිත්‍රපටයක් කරන්න. ඔය අතරේ තමයි මට “තාත්තා” නිෂ්පාදක රුෂාන්ත විජේනායක හමුවෙන්නේ. කැමති හොඳ පිටපතක් තෝරගන්න අවශ්‍ය සම්පූර්ණ නිදහස ඔහු මට දුන්නා. වාසනාවට වගේ ඔය කාලෙදිම ලලිත් වර්ණප්‍රියගෙ මේ තිරපිටපත මට ලැබෙන්නෙ වෙන නමකින්. මේක ලස්සන වැඩක් වේවි කියලා මට දැනුණා. පිටපත මට අවශ්‍ය විදිහට හදාගෙන තාත්තා කියල නමත් දාලා වැඩේ පටන් ගත්තා. ”
පුංචි කාලෙ මහා සාගරයක් වගේ දැනෙන පිය සෙනෙහස ලොකු මහත් වෙද්දි දරුවන්ට දැනෙන්නේ නිහඩව ගලා යන ගඟක් වගේ. අම්මගෙ වගේම තාත්තගෙ සෙනෙහසත් නොවෙනස් බැඳීමක්. තාත්තා නිර්මාණ අන්තර්ගතයෙන් කියවෙන්නේත් තවමත් දරුවන් හරියාකාරව හඳුනා නොගත් ඒ ආත්මීය පිය සෙනෙහස ගැන බව පැවසූ ප්‍රසාද් එහි මංගල දර්ශනය දා සංවේදී සිත් ඇති බොහෝ දෙනා දෑසේ කඳුළු අතරින් තමන්ට සුබ පැතුම් එක් කළ බව ද පැවසීය.
“ගොඩක් අය මංගල දර්ශනය දවසෙ මට පෞද්ගලිකවම කතා කරල සුබ පැතුවා. “මගේ ලොකු බබත් ඔය වගේම දඟවැඩ කරනවා. තාත්ත කරන දේට විරුද්ධ දේමයි කරන්නෙ”. එහෙම කිවුවෙ රංගන ශිල්පිනී අශිකා මතසිංහ. ගොඩක්ම සංවේදී වුණු පිය සෙනෙහස අහිමි තවත් ප්‍රේක්ෂකයෙක් හඬමින් කිවුවෙ මට මගේ තාත්තව මතක් වුණා කියලා. ඒ වගේම සමහර පියවරුන් දුරකතන ඇමතුම් දීල තමන්ගෙ දරුවන්ගේ මුවින්ම ප්‍රතිචාර ලබා දීමට කටයුතු කළා. ප්‍රේක්ෂකයන්ගෙන්වත් සමාජ මාධ්‍යවලින්වත් තාම අයහපත් ප්‍රතිචාරයක් නම් ලැබිල නෑ. ඒ ටිකම ඇති මට. “
තාත්තා සිනමාපටය සාර්ථක කරගැනීමට ඇප කැප වුණු පිරිස ගැන ආදරයෙන් සිහිපත් කළ ඔහු ඒ සඳහා රංගනයෙන් දායක වුණු ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර, නිල්මිණී තෙන්නකෝන් මෙන්ම ළමා රංගන ශිල්පීන් වන තිසෙව් පන්සිළු විජේනායක, ඔනෙලි හිමහංසි, කුෂේයා අනගි, සදෙව් වළිමුණි ඇතුළු සමස්ත පිරිසටම තම ස්තුතිය පුද කිරීමට අමතක නොකළේය.
මෙවන් සාර්ථක ගමනකට ආරම්භය ලබා දුන් සැවොම ඔහු ස්තුතිපූර්වකව සිහිපත් කළේය.
“බොහෝ දෙනෙක් මාව හඳුනාගෙන හිටියේ මාධ්‍යවේදියෙක් විදිහට වුණාට මං මේ ක්ෂේත්‍රයට එන්නෙ සිනමා කර්මාන්තය හරහාමයි. මට ඕන වුණේ කුමන මාධ්‍යකින් හරි එළියට එන්න. එතැනදි මාව ධෛර්යවත් කළ පුබුදු චතුරංග අයියා විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. ඔහු තමයි මට කිවුවෙ මල්ලි ඔහොම ඉඳල හරියන්නෑ මොකක් හරි ප්ලෑන් එකක් හදාගන්න කියලා. ඊට පස්සෙ තමයි මං ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න පටන් ගත්තෙ. ඒ වගේම ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද, ශ්‍රීමාල් වෙඩිසිංහ, අතුල ජයසිංහ වගේම රොමේෂ් – ලක්ෂාන් යුගලත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි. කාගෙවත් දැනහැඳුනුම්කමක්වත් නැතුව ආව මට අත දුන්නෙ ඔවුන්. තිරය පිටුපස කෙරෙන වැඩවලට මාව සම්බන්ධ කරගත්තෙ ඔවුන්. ඒ ලබපු අත්දැකීම් අධ්‍යක්ෂවරයෙක් විදිහට අද මගේ නිර්මාණ සාර්ථක කරගන්න ලොකු අත්වැලක් වුණා. ඔවුන් අදටත් නිර්ලෝභීව මට උදවු කරනවා. ඒ වගේම තාත්තා නිර්මාණය අවසන් වෙලත් ඕනම වෙලාවක ඕනම දේකට සහායට ඉන්න තිරිමාදුර අයියටයි නිල්මිණි අක්කටයි වගේම සිනමාපටයට දායක වුණු හැමෝටමත් මගේ සිනමාපටය ප්‍රදර්ශනය සඳහා සහාය දෙන සිනමා ශාලා හිමියන්ටත් ස්තුතිය පළ කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා.
මාධ්‍යවේදියෙක් වෙන්න තුන්හිතකවත් නොතිබුණු මාව පත්තර කලාවට හඳුන්වා දුන්නේ ශ්‍රීමාල් වෙඩිසිංහ. ඊටත් පස්සෙ කාලෙක තමයි මම සරසවිය පුවත්පතට සම්බන්ධ වෙන්නෙ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි තිරය පිටුපස ඉඳන් කළ කාර්යන් හරහා හඳුනා ගත් කලා පිරිසකගේ දැනහැඳුනුම්කම් මගේ මාධ්‍ය ජීවිතේට ලොකු රුකුලක් වුණා. අද මගේ නිර්මාණ සාර්ථක වෙන්න හේතුවත් එදා ඒ ලැබුව පන්නරය කියලයි මට හිතෙන්නෙ.“
නාමලී ගමගේ