එක්දරු මවක වන ඇය 61 හැවිරිදි ය. පාසල් ගුරුවරියක ලෙස දශක හතරක පමණ කාලයක් සේවය කළ ඇය දැන් සිටින්නේ විශ්‍රාම සුවයෙනි. එකම දරුවා විදෙස් ගතවීම නිසා පාණදුරේ පිහිටි නිවසට වී කාලය ගත කළ ඇයට තිබූ එකම ප්රශ්නය වූයේ අධික තරබාරුකම නිසා ලබන පීඩාවන් දුරුකර ගන්නේ කෙසේද යන්නය. තරබාරු බව නිසාම අධික රුධිර පීඩනයද ඇය සොයා පැමිණ තිබිණි. ඒ සමඟ කොන්දේ වේදනාව හා ඇවිද ගැනීමට අසීරුවීම නිසාද දැඩි මානසික පීඩාවකින් පෙළුණු ඇය තරබාරුබවින් මිදීම සඳහා වන සැත්කමකට මහනුවර පෞද්ගලික රෝහලකදී මුහුණ දී තිබුණේ මෙයට තෙමසකට පමණ ඉහතදී ය. ඉදිරියට නෙරාවිත් එල්ලා වැටුණු උදරය එම සැත්කමෙන් පසුද එලෙසින්ම පැවතීම නිසා සැත්කම සිදුකළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන විසින් උදර කුහරයේ තෙල් ඉවත් කිරීමේ ලයිපොසක්ෂන් (Liposuction) සැත්කමට ඇය භාජනය කරනු ලැබුවේ පසුගිය 12 වැනිදාය. උදරයේ තෙල් ඉවත් කිරීමේ සැත්කම් සිය ගණනක් සිදුකර පළපුරුද්දක් ඇති වෛද්‍ය ජයවර්ධනද පුදුමයට පත් කරමින් ඇගේ උදර කුහරයෙන් ඉවත් කරනු ලැබූ තෙල් (Fat) ප්‍රමාණය ලීටර් 13.5 කි. ලයිපොක්ෂන් සැත්කමකදී මෙතරම් තෙල් ප්‍රමාණයක් ඉවත් කරනු ලැබුවේ ලොව ප්‍රථම වතාවට වීම නිසාම ඒ සම්බන්ධ තොරතුරු තව දුරටත් දැන ගැනීම පිණිස අපි වෛද්‍ය ජයවර්ධන මුණ ගැසුනෙමු.
“මේ ආකාර සැත්කමකින් සාමාන්‍යයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4-5ත් අතර ප්‍රමාණයක්. මෙතරම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමේ සැත්කමක් මෙරට පමණක් නොව ලෝකයේ වෙනත් කිිසිදු රටක සිදුවූ බවක් වාර්තා වී නැහැ. ලීටර් 08ක් වගේ ප්‍රමාණයක් තමයි මීට පෙර මේ ආකාර සැත්කමකින් ඉවත් කරලා තිබුණේ. මෙම කාන්තාවගේ උදරයේ චර්මයට යටින් අඟල් 06ක් පමණ ඝනකමට තෙල් තැන්පත් වී තිබුණා. අධික රුධිර පීඩනය, අධික තරබාරුව, කොන්දේ වේදනාව හා ඇවිදීමට අපහසුවීම වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇය දැඩි පීඩාකාරී ජීවිතයක් ගත කරමින් සිටියදි මෙයට තෙමසකට පෙර ස්ථූලභාවය අඩු කරන ( Bariatric surgery) සැත්කමකට භාජනය කළා. ඉන්පසු ඇගේ ශරීරයේ බර ශීඝ්‍රයෙන් අඩුවීම නිසා පහසුවෙන් ඇවිදීමට හැකි තත්ත්වයක් ඇති වූවත් උදරය තව දුරටත් ඉදිරියට නෙරා එමින් පහළට එල්ලීම නිසා උදර කුහරයේ තෙල් ඉවත් කිරීමේ සැත්කම සිදු කිරීමට පියවර ගත්තා. “විශේෂඥ වෛද්‍ය ජයවර්ධන ඇයව ලයිපොසක්ෂන් සැත්කමට යොමු කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් අප හා පැවසුවේය.
තරබාරුබව බෝ නොවන රෝග ගණයට වැටෙන දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා, දණහිස් ආබාධ වැනි රෝග ගණනාවකට හේතු වන්නකි. ඇඟ වෙහෙසා වැඩ නොකිරීමත් ආහාර පරිභෝජනයේදී දක්වන නොසැලකිල්ලත් තරබාරුවීමට බලපාන ප්‍රධාන හේතුවකි. මෙරට ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් අධික තරබාරු බවින් පීඩා විඳිති. මෙම තත්ත්වය සම්බන්ධව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජයවර්ධන දැක්වූයේ මෙවන් අදහසකි.
“අපේ රටේ සියයට 70ක් පමණ පිරිසක් අධික ලෙස කැලරි ආහාරයට ගන්නවා. මුල් කාලයේ සිට අපේ මේ ආහාර ගැනීමේ පුරුද්ද තිබුණා. එදා අපේ මුතුන් මිත්තෝ කුඹුරු වැඩ කළා. ඇඟ මහන්සි වී වැඩ කළා. කාන්තාවක් වුණත් පිටි කෙටීම වගේ දේවල් කරලා නොදැනුවත්වම ශරීරයට ව්‍යායාම ලබා දුන්නා. අපි දැන් ඒ ආකාරයට මහන්සි වෙන්නේ නැහැ. ඒත් කැලරි ප්‍රමාණය පෙර පරිදිම ආහාරයට ගන්නවා. මේ කැලරිවල තිබෙන තෙල් ඇඟේ තැන්පත්වීම නිසා වැඩි දෙනෙක් තරබාරු වන තත්ත්වයක් දක්නට ලැබෙනවා. තරබාරුබව සෞඛ්‍යයට සෑම අතින්ම අහිතකරයි. තමන්ගේ පෙනුමට වගේම විවිධ රෝගවලටත් මෙය අහිතකර ලෙස බලපානවා. සාමාන්‍යයෙන් මෙරට පුද්ගලයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 18.5-23 අතර අගයක තිබිය යුතුයි. මේ අගය 23-25 අතර පවතිනවා නම් ශරීර බර සුළු ප්‍රමාණයක් වැඩියි. 25-30 කියන්නේ තරමක් බර වැඩියි කියන එකයි. 30-35 කියන්නේ අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. ශරීර ස්කන්ධ දර්ශය 35 ඉක්මවා තිබෙනවා කියන්නේ ගොඩක්ම අවදානම් තත්ත්වයක්. සැත්කමට ලක් වූ කාන්තාව ප්‍රතිකාර සඳහා මගේ ළඟට එනවිට ඇගේ ශරීර ස්කන්ධ දර්ශකය 52ක් වැනි ඉතා ඉහළ අගයක පැවතුණා. මේ නිසා ඇය විවිධ රෝගාබාධවලින් පීඩා වින්දා. ශරීර බර අඩු කරන්න අපි ආමාශය කුඩා කරලා බඩවැල්වල දිග අඩු කරන්න Bariatric Surgery නමින් හඳුන්වන සැත්කමක් කරනවා . මේ සැත්කම මාස තුනකට පෙර ඇයට සිදුකළා. මේ තුළින් කෙනෙකුගේ ආහාර ලබා ගන්නා ප්‍රමාණය වගේම ශරීරයට ආහාර උරා ගන්නා ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේ සැත්කම මඟින් ඇයට සැලකිය යුතු සහනයක් ලැබුණා. නමුත් ඇගේ උදරයේ විශාලත්වය ඒ අකාරයෙන්ම පැවතුණා. උදරයේ සමට යටින් තිබෙන තෙල් තට්ටුව ඉවත් කිරීමේ ලයිපොසක්ෂන් සැත්කමට ඇය ලක් කළේ ඒ අනුවයි.“
සැත්කම සඳහා ගතව තිබූ කාලය පැය තුනකි. සාමාන්‍යයෙන් මේ ආකාර සැත්කම් රෝගියා මුළුමනින්ම සිහි නැති කිරීමකට ලක් නොකර සිදු කරන අවස්ථාද තිබේ. මෙම රෝගියාගේ උදරයේ තැන්පත්ව තිබූ තෙල් ප්‍රමාණය වැඩිනිසා සැත්කම කරනු ලැබ ඇත්තේ ඇය පූර්ණ සිහිනැති කිරීමකට ලක් කිරීමෙන් අනතුරුවය. උදර කුහරයෙන් තෙල් ලීටර් 13.5 ක් ඉවත් කිරීම පුදුමයට කාරණාවකි. ඒ පිළිබඳව වෛද්‍ය ජයවර්ධන දැක්වූයේ මෙවන් අදහසකි.
“ලයිපෝ කියන්නේ තෙල්වලට. සක්ෂන් කියලා කියන්නේ ඇදලා දානවා කියන එකට. කෙනෙකුගේ ශරීරයේ චර්මය යට වැඩිපුර තිබෙන තෙල් අැදලා දැමීමේ ක්‍රියාවලියට තමයි ලයිපොසක්ෂන් සැත්කමේදී කෙරෙන්නේ. මේ සැත්කමේදී අපි රෝගියාගේ උදර ප්‍රදේශයේ මිලි මීටර් 3-4ක පමණ කැපුමක් ඇති කරනවා. ඒ කැපුම ඇති කළ ස්ථානයෙන් කූරක් වැනි උපකරණයක් උදර කුහරයට යවනවා. එය උදර කුහරය තුළ එහා මෙහා යැවීමෙන් අනවශ්‍ය තෙල් ගලවා පිටතට ඇද ගැනීමට පුළුවන්. නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම යන්ත්‍රයක් ආධාරයෙන් කිරීමේ හැකියාව තිබෙනවා. එහි දී වෛද්‍යවරයා කරන්නේ ලයිපොසක්ෂන් කළ යුතු ස්ථානයට නීඩ්ල් එක රැගෙන යාම පමණයි. ලයිපොසක්ෂන් කිරීමට ලේසර් ක්‍රමය හා අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිකාර ක්‍රමද භාවිත කිරීමට පුළුවන්. උදරයේ පමණක් නොව මුහුණේ යට කොටසේ, ගෙල ප්‍රදේශයේ, පියයුරුවල, අතේ ඉහළ බාහු කොටසේ, කලවා හා තට්ටම්වල තැන්පත් වී ඇති අනවශ්‍යය තෙල්ද ලයිපොසක්ෂන් ක්‍රමය මඟින් ඉවත් කිරීමට පුළුවන්.
“කෙනෙකු තරබාරුවීමට මවගේ කුසේ ඉද්දී මව වැඩිපුර ආහාර ගැනීමත් හේතුවක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ දරුවෙක් ලැබෙන්න ඉද්දි දෙන්නෙකුට කන්න ඕන කියලා. ඒක වැරදි මතයක්. වැඩියෙන් කෑවා කියලා දරුවා හෝ මව නීරෝගි වෙන්නේ නැහැ. දරුවෙක් ලැබුණට පස්සේ කාන්තාවක්ගේ ශරීර ස්වරූපය වෙනස් වෙනවා. තරබාරුවෙලා පියයුරු එල්ලා වැටෙනවා. මවක් දරුවෙක් ලැබෙන්න කලින් මේ ගැන හිතන්න ඕන. ප්‍රමාණවත් තරමට පමණක් කැලරි අඩංගු ආහාර ගන්න ඕන. දරුවෝ දෙතුන් දෙනෙක් හිටියත් තමන්ගේ තරුණ පෙනුම ඒ අකාරයෙන්ම පවත්වාගෙන යන කාන්තාවෝ අපි දකිනවා. තරබාරුබවට පත්වීමේ අවදානම සහ ඊට හේතුවන වැරදි ආහාර පුරුදු සම්බන්ධව පාසල් වයසේ සිට අපි දරුවන්ට කියලා දෙන්න ඕන. තෙල් (Fat) හැදිලා තියෙන්නේ ඉතා කුඩා සෛල වර්ගයක් වන ෆැට් සෙල්ස්වලින්. මේවායේ යම් ප්‍රමාණයකට තෙල් පිරිලා තියෙනවා. කෙනෙක් තරබාරු වෙන්න ගත්තම මේ ෆැට් සෙල්ස්වල තිබෙන තෙල් ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. මෙහිදී වෙන්නේ ෆැට් සෙල්ස් ප්‍රමාණය වැඩිවීමක් නොව එක් සෛලයක් තුළ තිබෙන තෙල් ප්‍රමාණය වැඩිවීමක්. ඇත්තටම කෙනෙක් තරබාරු වුණාට පස්සේ ඒක අඩුකර ගැනීමට උත්සහ කරනවාට වඩා වැදගත් වෙන්නේ තරබාරු නොවී සිටීමයි. “වෛද්‍ය ජයවර්ධන පවසන්නේ තරබාරු වීමේ අවදානම පෙන්වා දෙමිනි.
සත්ත්ව සිරුරක තෙල් (Fat) තැන්පත් නොවන ස්ථාන ද තිබේ. මොළය, කන්, නාසය, ශිෂ්ණය ඊට උදාහරණය. වැඩිපුර තැන්පත් වන ප්‍රදේශ වන්නේ උදරය, කලවා, තට්ටම්, අත්වල ඉහළ කොටස හා පියයුරුය. කෙනෙකු බර අඩුකර ගැනීමේ දී ඉහත දැක්වූ ස්ථානවලින් සාපේක්ෂව තෙල් ඉවත්වීම අඩුවෙන්ම සිදුවන්නේ උදර ප්‍රදේශයේ ය. මේ නිසා බොහෝ විට අපේ රටේ සයිපොසක්ෂන් සැත්කම් සිදු කරනු ලබන්නේ උදරයේ තෙල් ඉවත් කිරීමටය. උදරයේ තෙල් ඉවත් කර ගැනීම සඳහා වන මෙම සැත්කම සිදුකර ගැනීමේදී ජීවිත අවදානමක් තිබේද යන්න සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන දැක්වූයේ මෙවන් අදහසකි. ඕනෑම සැත්කමකදී අවදානමක් තිබෙනවා. දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙක් යටතේ හොඳ පහසුකම් යටතේ සැත්කම කරනවා නම් අවදානම ඉතාම අඩුයි “.
සැත්කමට ලක් වූ 61 හැවිරිදි මව සිය අන්‍යන්‍යතාව හෙළි කිරීමට අකමැතිය. එසේ වුවත් ඇය අප හා කතා කරමින් පැවසුවේ තමන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි. සැත්කම සිදුකර පැය 24ක් තුළ යළි නිවස බලා ගිය ඇය සුපුරුදු ජීවන රටාවට යළි පිවිසෙමින් මේ වනවිට කාලය ගත කරන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන පැවසුවේය.
ඡායාරූප- රුවන් මීගම්මන
lඅසේල කුරුළුවංශ