මා අත පිපාසිතයෝ නම් කෙටිකතා සංග්‍රහයක් වෙයි. එය ලියා ඇත්තේ අප ගේය පද රචකයකු ලෙස බෙහෙවින් ආදරයට සහ ප්‍රසාදයට ලක් කරන නිර්මාණකරුවකු විසිනි. නම කියූ පමණින් හේ බොහෝ දෙනා හඳුනන්නේ වුව වෙනත් තොරතුරු ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. ඔහුගේ ගේය නිර්මාණවල ඇති මාධූර්යය තරම් මාධූර්යයක් ඔහුට දිවිසැරියේදී ලැබී නැති බැව් අපට සාක්ෂාත් වෙන්නේ ඒ නිසා ය. මේ නිර්මාණකරුවා ඔගස්ටස් විනයාගරත්නම් ය. ගේය පද අතර ඔහුගේ නම කියැවුණ ද අනෙකුත් නිර්මාණ ඉසව් අතර ඔහුගේ නම කියැවෙන්නේ ඉතා අහඹු ලෙස ම පමණෙකි.
පිපාසිතයෝ කෙටිකතා සංග්‍රහයේ එක් අපූර්ව කෙටිකතාවක් වෙයි. කෙටිකතාකරුවා සිය කෙටිකතා සංග්‍රහයට නමක් සෙවීමට ගන්නා ලද උත්සාහය සහ වෙහෙස ඇතුළත් කෙටිකතාවක් ද ඊට ඇතුළත් කිරීම මේ කෙටිකතා සංග්‍රහයේ විශේෂත්වයකි. නිර්මාණකරුවා හා පොදු අප වෙනස් වෙන තැනක් තිබේ. ඒ අපට වැඩ කරන්නට දිනකට නියමිත කාලවේලාවක් තිබුණ ද නිර්මාණකරුවාට එවැන්නක් නොතිබීමයි. හේ නිරන්තරයෙන් ගත කරන්නේ කල්පනා කරමිනි. තමන්ගේ සිතට නැඟෙන විවිධ කල්පනා හේ වචන කරන්නට අවැසි ක්‍රම ගැන සිතයි. අනතුරුව ඒවා සඳහා යොදන ශීර්ෂ ගැන සිතයි. ඒ සිතිවිලිවලට නිමක් නැත්තා සේම ඒ සිතිවිලි හට ගන්නා ස්ථානයක් ගැන ද හරියට නිනව්වක් නැත. ඔගස්ටස් ද වීදි පුරා ඇවිදින්නේ සිය කෙටිකතා එකතුවට නමක් සිතමිනි. එසේ පාරේ ඇවිදිමින් සිටින ඔගස්ටස්ට පාරේ වතුර පයිප්පයකින් වැටුණු වතුර බොන සුනඛයෙක් දක්නට ලැබෙයි. ඔහු මේ දර්ශනය දෙස මඳ වෙලාවක් බලා සිටියි. ඔහු සිතට නැඟෙන්නේ මේ සුනඛයා සේම අප ද පිපාසිත නොවේ ද යනුවෙනි. අප මේ මනුෂ්‍ය ජීවිතය ගෙවමින් සිටින්නේ තම තමන්ගේ පිපාසාව සංසිඳුවා ගැනීමේ මාර්ග සොයමින් ය යන සිතිවිල්ලත් සමඟ ම ඔහුට සිය කෙටිකතා සංග්‍රහයට නමක් එයි. ඒ පිපාසිතයෝ යන්න ය. ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහයට පිපාසිතයෝ ලෙසින් නම වැටෙන්නේ එපරිද්දෙනි. විශේෂත්වය වන්නේ ඔහු තමන්ට ඒ නම සිතට එන ආකාරය සඳහන් කරමින් කෙටිකතාවක් පොතේ අවසානයට එක් කිරීමය.
එකොළොස්ගින්න කෙටිකතා සංග්‍රහය ඔහුගේ ප්‍රථම කෙටිකතා එකතුවයි. ඒ කෙටිකතා එකතුවෙහි සමුදයාර්ථ්යය සමස්තයක් ලෙස ගනිමින් පොදු මානුෂීය ගුණාංග එක්රැස් කරමින් හේ එය නාමකරණය කරන්නේ ය. බෞද්ධ සංකල්පයට අනුව පෘතග්ජන මිනිසා සිටින්නේ නිරන්තර දැවීමෙනි. ඒ දැවීම සංසාරය නම් අක්මුල් නැති ගින්නේ පැහීමෙන් හට ගන්නකි. ඔගස්ටස් නම් නිර්මාණකරුවා සංසාරික දැවීම ගැන බෙහෙවින් සවිඥානිකය. හේ සිය නිර්මාණ ඔස්සේ මෙකී දැවීමේ හේතු සොයන්නේ ය. එකොළොස්ගින්න නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ඔගස්ටස් කෙටිකතාකරණයට එක්වෙන්නේ ජනතා පුවත්පත ඔස්සේ ය. එකල ජනතා පුවත්පත නිකුත් වෙන්නේ සවස පත්‍රයක් ලෙසිනි. ඔහු එහි සංස්කාරකවරයාට කෙටිකතාවක් යොමු කරන්නේ කිසිදු දැනහැඳුනුම්කමකින් තොරවය. කොහොමත් කවදත් නව නිර්මාණකරුවන්ට අතහිත දීමට පුවත්පත් කලාවේදීහු දෙවරක් නොසිතූහ. කිසිදු දැනහැඳුනුම්කමකින් තොරව ඔහුගේ පළමු කෙටිකතාවට ජනතාවේ ඉඩක් වෙන් කරන්නේ සෝමපාල රණතුංග පුවත්පත් කලාවේදියාය. ඒ 1954 වර්ෂයේදී ය. ඒ වනවිට ඔහු වෘත්තියෙන් ලිපිකරුවෙකි. අනතුරුව හේ භාෂා පරිවර්තකයෙක් ලෙස සේවය කළේය. පනහ දශකයේදී රජයේ සිංහල කාර්යාලවල දක්ෂ ලේඛකයන් බහුලව සිටියේය. ද්වීභාෂා උගතුන් ද එකල හිඟ වූයේ නැත. ඔගස්ටස් ද වැටෙන්නේ ඒ ගොඩට ය.
අනතුරුව ඔගස්ටස් සවස ජනතා පුවත්පතේ ජනප්‍රිය කෙටිකතාකරුවකු ලෙස නමක් දිනා ගන්නේ ය. එකොළොස්ගින්න සහ පිපාසිතයෝ කෙටිකතා සංග්‍රහ ද්විත්වයට පාර කැපෙන්නේ ලේක්හවුසියෙන් නිකුත් කළ එකල සවස නිකුත් වෙන ජනතා පුවත්පත ඔස්සේ ය. භාෂා පරිවර්තකයකු ලෙස ඔහුගේ සේවය නිර්මාණකරණයට ඍජුව බලපාන්නට ඇත. අනතුරුව හේ එක් කාව්‍ය සංග්‍රහයක් රචනා කරයි. එය නම් කරන්නේ සෙව්වන්දි නමිනි. සිය අඩසියවසකටත් අවම ජීවන කාලය ඇතුළත කෙටිකතා සංග්‍රහ දෙකක් සහ කාව්‍ය සංග්‍රහයක් නිකුත් කරමින් හේ සිය ලකුණ තබා ඇත.
ඔගස්ටස් විනයාගරත්නම්ගේ නිර්මාණ දිවියේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය සටහන් වන්නේ සුගතපාල ද සිල්වාගේ අපේ කට්ටියට එකතු වීමත් සමඟය. අපේ කට්ටිය එකල සාහිත්‍ය කලාවේත්, සිනමාවේ සහ විචාරයේදීත් ප්‍රබල නියෝජනයක් සිදු කරනු ලැබීය. නිලතල නොතිබූ ඒ සංවිධානයේ සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, නාමෙල් වීරමුණි, රැලෙක්ස් වැනි අය අතර ඔගස්ටස් ද අනිවාර්ය නියෝජනයක් විණි.
ඔගස්ටස්ගේ නිර්මාණ චින්තනය පෝෂණය වෙන්නට බලපෑම් කළ සාධක අතර අපේ කට්ටිය හා එකතු වූ මේ සම්බන්ධතාවට ලැබෙන්නේ ප්රමුඛ ස්ථානයකි. බටහිර සාහිත්‍යය සහ නව සංස්කෘතික චින්තනය හඳුනා ගැනීමේ පාර විවර වෙන්නේ මේ සම්බන්ධතා ජාලය නිසා ය. ඔගස්ටස් ඇල්බෙයා කැමූ මෙන්ම ෂොන් පෝල් සාත්‍රේ ද හොඳින් හැදෑරුවෙකි. ඔහුගේ චින්තනයේ සාංදෘෂ්ටිකවාදී ගති ලක්ෂණ මතු වෙන්නේ එහි අභාසයෙනි. අපේ කණ්ඩායම එකතු වී ඒ කාලයේ සමනලයෝ නමින් චිත්‍රපටයක් කරයි. කුමන හෝ හේතුවක් නිසා මේ චිත්‍රපටය තිරගත වන්නේ නැත. එහි කැමරාකරණය කළේ ඩී. බී. නිහාල්සිංහය. රඟපෑවේ ටෝනි රණසිංහ සමඟින් ප්‍රේමා ගනේගොඩය. සංගීතය සැපයුවේ විජේසිරිවර්ධන පොළොන්නෝවිටයි. මෙහි ගීත රචනා කරන ලද්දේ ඔගස්ටස් සහ සිරිල් බී. පෙරේරාය. ඒ ගී ගායනා කළේ ලතා වල්පොල, මිල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොල සහ සුජාතා පෙරේරා ය. මේ ගී පදවල යම් වෙනසක් තිබේ. ඒවායේ ඇත්තේ පද හතරක් හෝ පහක සුසංයෝගයකි. එසේ බලන විට එය රැඩිකල් ප්රවේශයකි. ඒ කාලයට අනුව සිතන විට එය විසල් රැඩිකල් බවකි. ඔගස්ටස් ලියා ලතා ගායනා කරන මේ ගී පද හතරෙන් යුතු ගීය බලන්න. එහි වෙනස ඔබට ම වැටහෙනු ඇත.
‘ආදර හමුවේ නෙත් යොමා
පීන පීනා සිටියා මා
අඳුනා ගන්නේ ඔබේ මුහුණයි
හීන් හිරියා වාසනා…
ඔගස්ටස් ලියා ධර්මදාස සහ ලතා වල්පොල ගයන මේ ගීය සමන්විත වෙන්නේ පේළි තුනකිනි.
අඩවන් දෙනෙතින් එබිකම් කරලා
සොයා සොයා ගිය රහසක් දුටුවා
දෙනෙත් අයා දෙනෙත් පියා….
ඔගස්ටස් විනයාගරත්නම් දමිළ ජාතිකයකු වුවද අවසාන කාලයේ ඔහු විනයාගරත්නම් යන්නෙහි ‘ම්‘ අතහැර විනයාගරත්න ලෙස භාවිත කර තිබේ. එය සිය ජාතිකත්වය ප්‍රතික්ෂේප කිරීමක් නොව තමා වැඩිවශයෙන් ඇසුරු කළ ජනසමාජයේ පැවැති ලක්ෂණවලට අනුකූල වීමකි. සිංහල පුවත්පත්වලට කවි, කෙටිකතා, චිත්‍රපට විචාර ආදිය කළ ඔහුට සිංහල කලා සමාජය හා තිබුණේ දැඩි සම්බන්ධයකි. ගීත රචකයන් වූ පුවත්පත් කලාවේදීන් අපට ඉතිහාසයේ බොහෝ හමු වේ. චන්ද්‍රරත්න මානවසිංහ, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර ආදීන්ගේ ගණයට ගැනෙන හේ සිය අනන්‍යතාව ලකුණු කරන්නේ චිත්‍රපට ගීත රචනා කලාවෙනි.
ගීතය යනු ගැළපෙන පදය නිවැරදිම තැනට යෙදීම නම් හේ එහි සුරුවෙකි. මාධුර්යය වදන් නිසි තැන රිද්මයානුකූලව යොදා රසික සිත් නැළ වූ හේ නිම් හිම් නැති ආදරයක් හදවතේ ඉතිරි කර අකාලයේ නික්ම ගියේය.
චිත්‍රපට විස්සකට වැඩි සංඛ්‍යාවකට ගී රචනා කර ඇති ඔහු අහසින් පොළවට සිනමාපටය වෙනුවෙන් ලියූ උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා… නම් ගීතය චිත්‍රපට ගීත සාහිත්‍යයේ එන ගී අතරෙන් වැඩිම පිරිසකගේ මුවඟ මිමිණුනු ගීය වනු ඇති බවට සැක නැත. උපුල් නුවන් වැනි වදන් අයිති පුරාතන සාහිත්යික වපසරියට අයත් වදන් හා පරිසරය සමඟ නවීන ව්‍යවහාරයේ ජනප්‍රිය රූපකයක් වෙන මොනාලිසා ගළපන්නට තරම් ඔහු අත භාෂාව නම්‍යශීලී විණි.
අහසින් පොළවට සිනමා නිර්මාණය මෙරට ආර්ථික පෙරළියක් ඇතිවන අවදියේ සමාජගත වූ නිර්මාණයකි. මධ්‍යම පාන්තික පවුල් කිහිපයක සිදුවීම් ගැන කතා කරන සම්ප්රදායක් එහි අඩංගු අතර ‘උපුල් නුවන් විදහා’ ගීතය හරහා ඔගස්ටස් සමස්ත කතාවම රූප රාමු පෙළකට ගෙන ඒම චමත්කාරජනක ය. සිනමා කෘතියේ ජීවය රැඳෙන පරිදි ඒ රූපාවලියට නව අරුතක් සම්පාදනය වෙන ආකාරයෙන් ලියැවෙන ඔහුගේ ගීත සංසාරයක් තරමට ඇද බැඳ තබන සුළු ය. චතුරාර්ය සත්‍යයේ වන ගැඹුර ගී පද අතරට එක් කරන ඔහු අතිශය සංකීර්ණ දැක්මක් වදන් අතර දිය කර හරියි. එය හදවත පිරිමදිමින් ගලා යන්නේ සිතේ අපමණ නිවීමක් ජනිත කරමිනි. සීතා දේවී චිත්‍රපටයට ලියන මේ ගීතය ඔහුගේ ගේය කාව්‍ය ජීවිතයේ හැරවුමක් ලකුණු කරන්නට සමත් වූවකි.
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරෙන් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුණේ
දිවියෙ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගිම් සනහා අපමයි තැවුෙණ්…
ඒ ගැඹුරු දහම ස්පර්ශ කරන ඔහු අනෙක් ඇසිල්ලේ ඊට හාත්පසින්ම වෙනස් පැත්තකට නැඹුරු වෙයි. ඒ සඳහා ඔහුගේ වාක් කෝෂය යෙදෙන්නේ ඊට අදාළ සන්දර්භීය වැදගත්කම එයට අදාළ කරමිනි.
වාණිජ සිනමා ධාරාවට ගී ලියූ ඔගස්ටස් කල්බ් සෝංග් හෙවත් සමාජ ශාලා ගීතයකට පවා අපූරු ඇරුතක් දුන් ගේය පද රචකයෙකි.
ආලකමන්දාව මුලාවේ
උන්නු ගමන් මෙතනට ආවේ
තනි සළුවයි ඇඳගෙන ආවේ
ඒ සළුවත් සුළඟට පාවේ…..
සරල ජනප්‍රියත්වයට එහා ගිය රමණීය මාධුර්යයවත් ඉසව්වක රැඳුණු ඔහුගේ කුසලතාව මනරම් වූවකි. ඒ වෙනුවෙන් ඔගස්ටස් කිහිපවරක් ම ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර වූයේය. 1983 වසරේදී ගඟ අද්දර චිත්‍රපටයේ එන ‘රන් ටිකිරි සිනා’ ගීතය වෙනුවෙන් ඔහු ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර වූ අතර, 1985 වසරේදී ‘හිමකතර’ චිත්‍රපටයේ ‘වැස්ස වහින්නා’ යන ගීතය වෙනුවෙන් ද ඔහු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය. හිමකතර චිත්‍රපටයට ඔගස්ටස් රචනා කරන ලද කන්ද එහා වැස්ස වහින්නා ගීතයට ද ජනාධිපති සම්මානය හිමි වී තිබේ. ඔගස්ටස්ගේ ගේය පද කුසලතාව මැනවින් ප්‍රදර්ශිත චිත්‍රපට අතර ගඟ අද්දර, හිම කතර, අහසින් පොළවට, පැංචා, කලණ මිතුරෝ, සීතාදේවී, මංගලා, හිතුවොත් හිතුවාමයි, ඉන්දුට මල් මිටක්, ලසඳා ප්රමුඛ වේ. සිංහල භාෂාවේ වෙන පුළුල් බව හා බහු අර්ථවත් වාක් මාලාව ඔගස්ටස් මැනවින් හැදෑරුවේය, භාවිත කළේය. ගීත රචනයේදී පැරණි භාෂාව හා නවීන භාෂාව රන් රස සේ පුරුද්දන ඔහු රූපකාර්ථවත් භාෂා භාවිතයට නිදසුන් සේ ගත හැකි ගේය නිර්මාණ රාශියක අයිතිකරුවෙකි.
හැඟුම් විසිර දස අතේ ලැඟුම් සොයයි හදවතේ
දෑස මුණගැසී දෑසක ඉරණම දුටුවා…
ඔගස්ටස් විචිත්‍ර රමණීය භාෂාවක් යොදාගෙන ලියන ලද ප්‍රේම ගීවල ඇත්තෙන්ම කවියකුට එහා ගිය කවි කල්පනා දහරාවක් සංගෘහිතය. ඔහුගේ පරිකල්පනය, විචිත්‍ර රමණීය භාෂාවක දවටා ප්‍රේමණීය හැඟීම් උද්දීපනය වන අයුරෙන් ප්‍රකාශ කිරීම ඔහුට ආයාසකර වූයේ නැත. අහසින් පොළවට චිත්‍රපටයේ එන රුක්මණී දේවි ගයන නැළවිලි ගීයේ වන භාෂා රටාව ඔහුගේ බහු භාෂා අධ්‍යයන පරාස මැනවින් විශද කරන්නකි.
නුඹෙ අම්මා කොතැන ගියා – කිරි එරවා එන්ට ගියා
ඇත්තු ඇවිත් මඟ රැකලා – කොක්කු තනේ කිරි බීලා….
මහා ගී ගොන්නක් නොලියුවේ වුව ද හේ ලියූ ගී අතළොස්ස අතර ඔහුගේ නාමය අමරණීය ය. කුඩා දරුවකුගේ වැනි සැහැල්ලු හදවතකින් හා නිදහසකින් යුතු මනසකින් හෙබි ඔගස්ටස්ගේ ගී පද අතර ද ඒ සැහැල්ලුව මොනවට විශද වේ. බොරු සෝබන හා පුහු ආටෝප ඔහුගේ ජීවිතයේ කොටසක් නොවූ අතර, ඔහු ගැන මතකය අවදි කරන නිර්මාණවේදීන් පවසන්නේ ඔගස්ටස්ගේ දැක්ම පවා සරල හා සැහැල්ලු බවේ ලකුණක් බවය.
ද්‍රවිඩ සම්භවයකින් යුතු ව 1936 මැයි තුන්වනදා ඔගස්ටස් විනයාගරත්නම් පානදුරේදී ජන්ම ලාභය ලබයි. මොරටුවේ ශාන්ත සෙබෙස්තියන් සහ පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු හැදී වැඩෙන්නේ සිංහල ප්‍රජාව අතරේ ය. සිංහල සමාජීය සංස්කෘතියත්, ජන ආභාසයත්, සිංහල භාෂා රිද්මයත් ඔහුගේ ජීවිතයේ කොටස් විණි. ඔහු ඒවාට කෙතෙක් ආසක්ත වූයේ ද යත් දෙමළ භාෂාව ඔහුට නුහුරු වූවක් වූ බැව් මම ඔහු පිළිබඳ ලියැවුණු අල්ප සටහන් අතරේ කියවා ඇත්තෙමි. ජනතා පුවත්පතට කෙටිකතා ලියමින් ඇරැඹුණු ඔහුගේ පුවත්පත් නිර්මාණ දිවිය ශ්‍රී ලංකා පුවත්පත් සඟරාවේ සංස්කාරක ධුරය දක්වා ම ඉදිරියට ඇදුණි. පුවත්පත් කලාවෙන් ගීත රචනයට ප්රවිශ්ට වන ඔගස්ටස් විනයාගරත්නම් සුගතපාල ද සිල්වාගේ ‘සමනල්ලු’ චිත්‍රපටයටත්, තිස්ස අබේසේකරයන්ගේ ‘කණාමැදිරියෝ’ චිත්‍රපටයටත් ගීත රචනාවෙන් දායක විය. නමුත් මේ චිත්‍රපට ද්විත්වයම තිරගත වූයේ නැත.
පුවත්පත් කලාව ඇතුළු විවිධ නිර්මාණකරණයන්හි නිරත වෙමින් සිටිය ද ඔහු වඩාත් ජන ආකර්ෂණය දිනා ගන්නා ලද්දේ ගේය පද රචනාවලිනි. ඔහු ලියූ චිත්‍රපට ගීත ඇතුළත් තිරගත වූ පළමු චිත්‍රපටය වන්නේ බයිසිකල් හොරා ය. ඒ ලතා වල්පොල ගායනා කළ මල් කැකුළු කුළුදුල්-මහදැහැනුන් නොයිඳුල්… ගීයයි.
අසූ තුනේ කළු ජූලියේදී සිදු වූ සිදුවීම් සංවේදී කලාකරුවකු වූ ඔගස්ටස් අතිශය කම්පනයට පත් කළ බව මා අසා තිබේ. ඔහු මිය යන තෙක්ම එකී කම්පනයේ කම්පිතව සිටි බැව් ඔහුගේ සමීපතමයන් පවසන්නේ ඒ නිසාය.
ඔගස්ටස් නිර්මාණකරණයේ ලකුණක් ලෙස අප ජන හද බැඳ ගන්නේ ඔහු ගළපන පදවල ඇති සුවිසෙස් වෙනස්කම නිසාය. දන්නා කියන සංකල්පනා ඔහු අත වෙනස් හැඩතල ගනී. කාව්‍යයේදී එය වඩාත් පෙනේ. මොහොතක් නම් කවියේ පද ඔබ හමුවේ තබන්නේ ඒ වෙනස හඳුනා ගනු පිණිස ය.
හමගිය තාරකාවක් බොඳ වෙලා දිළිසේ
පොළව හතැරැස්
අහස හිස්
විවාහය බුදි එහා ඇඳේ
ඒත් රාත්‍රිය අවදියි
නීතියෙන් යාළු වුණ සිරකරුවන් දෙදෙනෙක්
ඉඩෝරයේ තාමත් තාමත්
හති දැනෙන තරම් දිව්වත්
විනාඩි කටුව එතනමයි
කාලය නැවතුනා මටත් ඈටත්…
ඔගස්ටස් විනයාගරත්නම් නම් නිර්මාණකරුවා කෙතරම් සංවේදී හදවතක් සහිත වූවෙක් ද යන්න ගැන කියැවෙන සටහනක් මට කියවන්නට ලැබිණි. එය උපුටා ගෙන තිබුණේ ඔහුගේ දිනපොතෙනි. ඔහු සිය කම්පිත හදවත දිනපොතේ අකුරු අතර මෙසේ මුදා හැර තිබිණි. ඒ සටහන ලියන්නේ 1963 මැයි 03 වැනිදාය.
මා මළොත් ඔබට එය දැරිය නොහැකි තරම් පාඩුවක් නොවේ. ඒ ඔබට ආදරය කළ අයෙක් මිය ගියා මිස ඔබ ආදරය කළ අයෙක් මිය ගියේ නැති නිසා. එහෙත් ඔබ මළොත් නම් කිසි ලෙසකින්වත් එය මට දැරිය නොහැකි වෙයි. ඒ මට ආදරය කළ අයකු නොව, මා ආදරය කළ අයකු මිය ගිය නිසායි….
ජීවිතය පුරා කියා ගත නොහුණු හුදෙකලාවක අතරමං ව සිටි ඔගස්ටස් එකී හුදෙකලාවේ වේදනාව අකුරු අතර සටහන් කළේ විටෙක කවි පද ලෙසිනි. තවත් විටෙක ගී පද රචනාවක් ලෙසිනි. කෙටිකතා ලෙස ද සිය කම්පිත හදවත වරින් වර ඔහු පාඨක ප්‍රජාව වෙත හෙළි කළේය.
මහගම සේකර සේම අකාලයේ දිවි හැර ගිය ඔගස්ටස් ඓතිහාසික අසාධාරණයකට ලක් වූ කලාකරුවකු යැයි කිවහොත් කිසිවෙක් උරණ නොවන බැව් දනිමි. කලාවේ විවිධ ඉසව් ජීවිතය හා පුරුද්දා හදවත් මත නොමැකෙන සේ ලකුණු කළ මේ අපූර්ව කලාකරුවා ජීවිතයෙන් සමුගන්නා විට 50වැනි වියේ පසු විණි. කිසිදු ජාතියකට හෝ ආගමකට අයිති නැති මනුෂ්‍ය ලෝකයේ සුන්දරත්වය ම පමණක් ලොවට දායාද කළ සම්මතයේ සීමා පුළුල් කළ මානව හිතවාදී කලාකරුවකුගේ ඉරණම ගැන මගේ සිතේ ඇත්තේ කම්පනයකි. ඒ තුත්තිරි ගස්වලිනුත් බාල්ක ඉරන සමාජයක බොහෝ වැඩ කොට නිහඬවම නික්ම යන කලාකරුවකුගේ ඉරණම ගැන වෙනුවෙන් නැඟුණු කම්පනයකි.
නිම් හිම් සෙව්වා මා සසරේ ගීයේ පදවැල් සෙමින් හදවතේ නින්නාද දෙනු ඇසේ. සංසාරය සේම අගක් මුලක් නැති කලගුණ නොදන්නා දේශයකදී නිහඬ ව ම නික්ම ගිය ඔගස්ටස් විනයාගරත්නම් වෙනුවෙන් ම ඉනූ කඳුළකින් මනෙත බරවී තිබිණි.
සුමුදු චතුරාණී ජයවර්ධන