මුළු සමාජය ම ව්‍යාජ මුහුණුවරක් ගෙන තිබේ. තම අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනය සමහරුන්ට කඩුවකි. තමන්ගේ ම බෙල්ල කැපෙන තෙක් නොදන්නා තරම් මේ ඇබ්බැහිය දරුණු ය. සියලු නාටක සඳහා අවශ්‍ය වෙන්නේ සුහුරු දුරකතනයක් පමණකි. මීට දශකයකට දෙකකට පෙර කුඩා වාර්තා වැඩසටහනක් හෝ හදන්නට වැය වෙන පිරිවැය අධික ය. වීඩියෝ කැමරාවක්, කැමරා ශිල්පියෙක් හෝ දෙන්නෙක්, පිටපතක්, අධ්යක්ෂවරයෙක් මෙන් ම නළු නිළියන් ද අවශ්‍ය ය. ඒවා නිකම් ලැබෙන්නේ ද නැත. මේවාට ගෙවිය යුතුය. දැන් මේ කිසිවක් අවශ්‍ය නැත. අවැසි වන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයක් පමණී. සියල්ල එහි ඇත. අවශ්‍ය ඇප් සැණින් එසැණින් බාගත කරගත ද හැකි ය.
ජනගහනයට සාපේක්ෂ ව ජංගම දුරකතන හා සිම් භාවිතය ඉහළ අගයක් ගන්නා බව දැනටමත් වාර්තා වෙයි. ඒ දුරකතන සියල්ල පෙර මෙන් භාවිත කරන්නේ දුරකතන ඇමතුම් ගැනීම සඳහා පමණක් නොවේ. ස්මාර්ට් දුරකතන භාවිත කරන්නන්ගෙන් බහුතරයක් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නෝ ය. මේ හරහා තොරතුරු ජනගත කරන්නට යන්නේ තත්ත්පර ගණනක කාලයකි. එහි වාරණයක් නැත. තමන්ට හැඟෙන, දැනෙන ඕනෑ ම දෙයක් ඒ සැණින් ජනගත කිරීමේ හැකියාව සමහර විටෙක පහසුවෙකි; තවත් විටෙක අවස්ථාවක් නොලත් අයට අවස්ථා උත්පාදනයකි. එමෙන් ම සමහරුන්ට වඳුරා අත ඇති කඩුව සේ ය. ඉවක් බවක් හොඳක්, නරකක්, සංස්කෘතියක් හෝ සාරධර්මයක් නැත. එනිසා ම මුදා හරින පණිවුඩ, තොරතුරු ආදියේ නිරවද්‍යතාව පිළිබඳව ගැටලු රැසක් පැන නැඟෙමින් පවතී. අද වන විට මෙය සමාජයී ගැටලු රැසකට තුඩු දෙමින් තිබේ.
කුමන හෝ සමාජ මාධ්‍යයක් ඇසුරු නොකරන අයෙක් සොයා ගන්නවාට වඩා කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම පහසු ය. ඒ තරමට ම සමාජ මාධ්‍ය මිනිස් ප්‍රජාව අතර ව්‍යාප්ත වී හමාර ය.
හොඳට මෙන්ම නොහොඳට ද සමාජ මාධ්‍ය යොදා ගන්නා අතර, මිනිසුන් අත පැවතිය යුතු සමාජ මාධ්‍ය නැමැති දැලි පිහිය මිනිස් වෙසින් සිටින වඳුරන් අතට පත්වීම හේතු කොටගෙන නිර්මාණය වී ඇත්තේ සුළු පටු ඛේදවාචකයක් නොවේ.
ඒ අතර මෙරට මුහුණු පොත් ගිණුම් අතරෙන් 18%කට අනන්‍යතාවක් නැති බවක් ද වාර්තා වෙයි. මෙවැනි වගකීම් විරහිත තත්ත්ව නිසා ලොව ඇතැම් රටවල් සමාජ මාධ්‍ය සඳහා යම් වාරණ හා කොන්දේසි පනවා තිබේ. මැදපෙරදිග ඇතැම් රටවල්, උතුරු කොරියාව, චීනය ආදී රාජ්‍ය මෙන්ම තවත් රටවල් කිහිපයක සමාජ මාධ්‍ය සඳහා විවිධ මට්ටමේ සීමා පනවා ඇත. ඒ සිදුවන අවකල් ක්‍රියා නතර කිරීමට ය. මාධ්‍ය නිදහස ගැන කතා කරන බොහෝ දෙනකු ඒවා අවභාවිත වීම ගැන කතා කරන්නේ නැත. භාෂණයේ හා ප්රකාශනයේ නිදහස යැයි කියා තම තමන්ට හිතෙන හිතෙන දේවල් කිරීමට හැකියාවක් නැත. මේ වන විට මුහුණු පොත හා තවත් සමාජ මාධ්‍ය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව බර ගණනකි.
ප්රචණ්ඩ දර්ශන ඇතුළත් වීඩියෝ පට මිලියන 40ක්, ළමා අපචාර ඇතුළත් වීඩියෝ පට මිලියන 18ක් සහ පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් 78,000ක් සමාජ මාධ්‍ය හරහා වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඔන්ලයින් සුරක්ෂිතතා පනත පිළිබඳ විවාදයේදී පසුගිය 24 වැනිදා ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයක් යටතේය.
වගකීම් සහගත සමාජ මාධ්‍ය පරිහරණය උදෙසා සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන කේවල චරිතවල සිට සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන මහා පරිමාණ මාධ්‍ය සමාගම් දක්වා කිසියම් වගවීමක් සහ වගකීමක් පිළිබඳව අවධාරණය කරවීම අතිශය වැදගත් වන්නේ එවැනි තත්ත්වයකදී ය. ආචාරධර්මීය හා වගකීම් සහගත මාධ්‍ය භාවිතය සමාජ ගත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක වීම වත්මන් ශ්‍රී ලාංකේය ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා පැහැර හරින ආකාරය මේ වන විට අරුමයක් නොවේ.
මේ සියලු කරුණු ගැන කාලයක් තිස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතක් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය 24 වැනිදා සම්මත කරගනු ලැබීය. මේ වන විට ඒ පිළිබඳ සමාජය පුරා මතවාදීමය එළැඹුමක් නිර්මාණය වී තිබේ. එහෙත් බහුතර ජනතාව ඇත්තේ මෙකී පනත ගැන සුබවාදී ආකල්පයකිනි.
ජන කොටස් අතර සමගියට බාධා කරන සහ අන්තවාදී අදහස්වලට අනුබල දෙන වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය විටින් විට අපේ රට ඛේදවාචක වෙත තල්ලු කළ බව නොරහසකි. මෙරට දේශපාලන කල්ලි එකිනෙකාට සිත්සේ මඩ ගසා ගැනීමට සමාජ මාධ්‍ය මඩ ගොහොරුවක් කරගෙන ඇත. විවිධාකාර විකෘති කාමාශා සංසිඳවා ගැනීම සඳහාත් ඒවාට උඩගෙඩි දෙන තත්ත්ව නිර්මාණය කිරීම සඳහාත් ඇතැම් විකෘති මනස් සහිත පිරිස් සමාජ මාධ්‍ය භාවිත කරන ආකාරය ද දුලබ නොවේ.
සමාජ මාධ්‍ය හරහා ලෝකයම එක මිටකට සමීප කරනවා මෙන්ම සමාජයක් එක මොහොතකින් අසනීප කිරීම ද ඒ හා සමානව කළ හැකිය.
සමාජ මාධ්‍ය අපේක්ෂිත සීමා මායිම් ඉක්මවා යන බව තේරුම් ගැනීමත් සමඟ 2017දී ජර්මානු රජය මඟින් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට නීති ඉදිරිපත් කරනු ලබන්නේ ඒ නිසාය.
යුරෝපීය සංගමය පසුගිය අගෝස්තු වසරේ 26දා ඩිජිටල් සුරක්ෂා පනත (Digital Safety Act) මඟින් යම්කිසි වගන්ති අනුමත කරමින් සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව තීරණාත්මක මැදිහත්වීමක් කරනු ලැබීය. මේ වන විටත් ලෝකයේ ටික්ටොක්, යූටියුබ්, මෙටා වැනි සමාජ මාධ්‍ය 19ක් මේ සඳහා එකඟ වී තිබෙන අතර මාර්ක් සකර්බර්ග් පවා සමාජ මාධ්‍යයන්හි කිසියම් නියාමනයක් පිළිබඳව ස්වකීය එකඟතාව පළ කොට තිබේ.
වාරණය යනු යල් පැන ගිය ක්‍රමවේදයක් බව සැබෑ ය. වාරණය වෙනුවට ස්වයං වාරණය අත්‍යවශ්‍ය බව අපි ද අවධාරණය කරන්නෙමු. නමුත් මිනිසුන් අතින් වඳුරන් අතට පත්ව ඇති දැළි පිහිය ප්‍රවේසමෙන් රැගෙන නැවත මිනිසුන් අතට පත් කිරීම අවශ්‍යයෙන් ම කළ යුතු වූවක් බව අවධාරණය කරමු.