දරු පල ප්‍රමාදය වැළැක්වූ බලසම්පන්න සෙත් කවිය
විවිධ වූ සුබපල අපේක්ෂාවන් සාධනය වෙනුවෙන් සෙත් කවියෙහි පිහිට ලබා ගැනීම පිණිස යොමුවන අයුරු දක්නට ලැබේ. එමඟින් අදිසි බලවේගයක් ඇති කෙරේ. මෙම අදිසි බලවේගය සඳහා ආමන්ත්‍රණය කරනු ලබන්නේද තවත් අදිසි බලවේගයක් වූ දෙවියන්ටය. විවාහ වී වසර හයක් පමණ ගත වුවත් දරු ලාභයක් නොලත් ‘ඉන්ද්‍රාණි මාලා’ නමැති යුවතිය මේ නිසා දැඩි චිත්ත පීඩාවෙන් පසු වූවාය. කරන ලද ශාන්තිකර්ම ද පල දායක නොවීය. සෙත් කවි ක්‍රමය කෙරෙහි යොමු වීමට සිදු වූයේ ඉන් පසුවය. ඇගේ අපේක්ෂාවට පිහිට වෙනුවෙන් රචිත සෙත් කවියක් මෙසේය.
ශ්‍රී විෂ්ණු දෙවිඳුගේ පිහිට වෙනුවෙන් රචිත සෙත් කවිය මෙසේය.
“පබාමත් සිසි, විලස සිරිසඳු, උර මැඳුර රැඳු මෙමිනි පියබඳ
විදා කිත් රැස, දෙරණ නුඹ ගබ ‘සිරිපතිඳ වැඩ යහන දදරද
යොමා නෙත් යුග, ඉන්ද්‍රාණි මාලා, වෙතින ලෙඩ දුක ගහ අපල සිඳ
සුබා සෙත් කර, දරු උපතකට, වරය සලසනු මැනැවි මන නඳ”
මෙම සෙත් කවියට පාදක වූ ශාස්ත්‍රීය කරුණු සැකෙවින් මෙසේය. කවිය රචිත තත් කාලය සහ එහි ග්‍රහ තත්ත්වය ප්‍රථමයෙන් සඳහන් කරමි.
ඉන්ද්‍රාණි මාලාගේ ජන්ම නැකත රේවතී නැකතයි. ලග්නය කටක ලග්නය 2023 ජනවාරි මස 26 වැනිදා, ගුරු දිනය මෙදින පැවැති නැකත – උත්‍රපුටුප නැකත, තත් කාල හෝරාව පෙරවරු 10.33 – බුධ හෝරාවේ බුධ පංචමය.
උදා ලග්නය – මීන ලග්නය
තිථිය – පුර විසේනිය
ලග්නයේ ග්‍රහ පිහිටීම්
1 ලග්නයේ – ගුරු (ස්වක්ෂේත්ර) චන්ද්‍ර
2 වැන්න – රාහු
3 වැන්න – කුජ
8 වැන්න – කේතු
10 වැන්න – රවි – බුධ
11 වැන්න – ශුක්‍ර – ශනි
රේවතී නැකත හිමි ඉන්ද්‍රාණි මාලාට උත්රපුටුව නැකත ජන්ම සම්පත් ආදී වශයෙන් 9 වැන්න වූ පරම මෛත්‍රී නැකත බැවින් සුබය. එමෙන්ම සෙත් කවියේ දී උත්‍රපුටුප නැකත සුබ නැකතත් බව සඳහන් කර තිබේ.
මෙදින විසේනිය තිථිය යෙදේ. එය ඉතා බලවත්ය. බුධ හෝරාව සහ බුධ පංචම කාල හෝරාව ද කාර්යයට ගැළපේ. කටක ලග්න හිමි ඇයට එම ලග්නයේ සිට නව වැන්න වූ භාග්‍ය ස්ථානය හිමි මීන ලග්නය යෙදීම ඉතා මැනැවි.
ලග්නයේ බලවත් ගුරු සඳු සහ යෝග වීම සුවිශේෂ බලයකි. දහවැන්නේ රවි, බුධ යෝගය ද යහපත් වන අතර එකොළොස්වැන්නේ බලවත් ශනි සිකුරු මිත්‍ර ග්‍රහ සංයෝගය ද පවතී. අට වැන්නේ කේතු නොයෙදුණේ නම් වඩාත් සුදුසුය. එහෙත් සියල්ල සම්පූර්ණ වූ අවස්ථාවක් යොදා ගැනීමට නොහැකිය. මෙම තත්කාල කේන්දරය බලවත්ය. දරුපල සඳහා පස්වැන්න සහ පස්වැන්නාධිපතියා පීඩා නොවී සුබ ස්ථානයක සිටිය යුතුය. මෙහි පස්වැන්න කටක රාශියයි. සඳු හිමි වේ. තත් කාල කේන්දරයේ සඳු ලග්නගතව ගුරු සමඟ සංයෝගීව බලවත් ග්‍රහ යෝගයකින් සිටී. සෙත් කවියක් රචනය කිරීමේදී එම තත් කාල කේන්දරයේ දොළොස්වැන්නේ කිසිම ග්රහයෙකු නොයෙදේ නම් එම කාර්යයට ශක්තියයි. එය මෙසේ සඳහන් වේ.
“දොළොස් වැන්න හැර, ග්‍රහ කරමන්” යනුවෙනි. ඒ අනුව තත් කාල කේන්දරය ශක්තිමත්ය.
ගුරු දින උත්‍රපුටුප නැකත ඡත්‍ර යෝගය උදාවේ. එය ද සුබය. උත්‍රපුටුප නැකත ගුරු දින සුබ යෝගයකින් යුතුය. ගුරු දින දී විසේනිය තිථිය සිද්ධි යෝගය උදා කෙරේ. මෙතෙක් වූ සුබ තත්ත්ව සෙත් කවියේ තත් කාලය අතිශය ශක්තියක් ගෙනැ දීමට හේතුවකි.
කවියේ ශාස්ත්‍රීය යෙදුම් මෙසේ ය. ජන්ම නැකත රේවතී බැවින් කවිය ආරම්භ කිරීම ඒ අනුව සිදු විය යුතු විය. මෙම කවිය ‘ප’ අක්ෂරයෙන් ආරම්භ වේ. ‘ඉ’ නාමයේ මුලකුරයි. නැකත් හිමි අක්ෂර අනුව රේවතී නකත සිට ජන්ම සම්පත් ආදී වශයෙන් නවය බැගින් ගණින විට දෙවැනි පර්යායේ (කොටසේ) සිවුවැන්නේ ‘ප’ අක්ෂරය යෙදී ඇති අයුරු දැක්වේ. සිවුවැන්න ‘ක්ෂේම’ වේ. එනම් සැනැසීම, යහපත, උදාවයි. කවිය ආරම්භයට යෝග්‍යයි. ‘ඉ’ තේජෝ ධාතුව (අග්නි) හිමිය. කවියේ ‘ප’ වායු ධාතුව හිමිය. මෙම ධාතු ගුණ මිතුරු බැවින් සුබය. ෂඩ් කෝණ චක්‍රයේදී එකම කෝණයට අයත්ය. සම්පත් ය. ‘ඉ’ සහ ‘ප’ ‘අඹතල’ චක්‍රයට අනුව සතුරු නොවේ. ප්+අ = අනුව ‘අ’ ස්වරය අභිවෘද්ධිය සිදුවේ. නාමයේ ‘ඉ’ ස්වරය සුබයි. ආයු වර්ධනයයි.
‘ඉ’ සහ ‘ප’ යෙදුමේදී ‘අකඩම’ නම් සිද්ධි චක්‍රයක් වේ. ඒ අනුව නාමයේ ‘ඉ’ සිට ‘ප’ සත් වැන්නේය. සතර බැගින් ගණින විට (සිද්ධාදී වශයෙන්) තුන්වැන්න බැවින් සුසිද්ධයි. යුහුසුලුව පල දේ. එය සුක්ෂ්ම සිද්ධ චක්‍රය අනුව ‘ඉ’ සිට තුන් වැනි ගබේ එනම් සුසිද්ධ කොටසේය. එහි සාධ්‍ය අක්ෂරයකි. සුබදායකයි. නාමාක්ෂරයේ සිට නවය බැගින් ගණින විට දෙවැනි පර්යායේ නව වැන්නට ‘ප’ අක්ෂරය යෙදේ. පරම මෛත්‍රීය සුබයි.
කවිය ‘ජල ගණයෙන් (‘ය’ ගණය) ඇරැඹේ අදහස් සපල වේ. ඉන් පසු දේව ගණ (‘න’ ගණ) සතකින් හා ලඟු මත් දෙකකින් අවසන් වේ. මෙය දාස ගණ හා මිත්‍ර ගණ යෙදුමකි. සුබයි. කවිය පලදායක වීම සඳහා නාම අභිධානය හා දේව අභිධානයට සතුරු නොවන සේ කවියේ යෝනි යෙදිය යුතුය. ඒ අනුව නාම යෝනිය මෙසේ ය.
ඉන්ද්‍රානි මාලා – ස්වර ව්‍යංජන වෙන් කිරීම
යෝනිය : ඉ – න් – ද් – ර් – ආ – න් – ඉ – ම් + ආ + ල් + ආ
සංඛ්‍යා : 4+ 4 +6+7+6+4+4+3+6+2+6
එකතුව : 52 මෙය යෝනි සංඛ්‍යාව වු අටෙන් බෙදා ඉතිරි සංඛ්‍යාව යෝනිය වශයෙන් සැලැකේ.
52 ÷ 8 = 6 යි. ඉතිරිය 4යි.
ඉතිරි 4 = ව්යාඝ්ර යෝනියයි.
ව්යාඝ්ර යෝනියට මුව යෝනිය සතුරුය. කවියෙහි සතුරු යෝනි නොයෙදිය යුතුය. නාම යෝනිය ව්යාඝ්ර – කවියේ යෝනි මෙසේ ය. පබාමත් (මී) සිසි (මී) විලස (ගුරුළු) සිරි සඳු (මුව) උර (ව්යාඝ්ර) මැඳුර (සිංහ) රුඳු (සිංහ) සෙනෙනි (සිංහ) මනනඳ (ගුරුළු) මෙහි යෝනි සංඛ්‍යා එක් වීමෙන් අවසාන යෝනිය සිංහ බැවින් සුබයි.
නාම අභිධානයට පෙර නෙත් යුග සහ පසුව වෙතින යන සුබ ගණ යෙදේ. යුග ව්යාඝ්ර යෝනියම වීම විශේෂයි. වෙතින ගජ යෝනියි. සතුරු නොවේ. දේව අභිධානය ‘සිරිපති’ ගජ යෝනියයි. පෙර ‘ගබ’ නාග යෝනියද පසුව සිංහ යෝනිය ද සතුරු නොවේ. මෙහි යෙදුම්, උපමා සහ බස, පද විරිත ද මැනැවින් යෙදේ.
ජ්‍යොතීර්වේදී සෙත් කවි රචක පියදාස කළන්සුරිය