විවාහයෙන් පසු මවුපියන් වීමේ අපේක්ෂාව යුවතිපතීන් තුළ ඇත. පළමු දරුවා දියණියක් වේ නම් යහපත් යැයි බොහෝ මවුපියන්ගේ අදහසයි. දියනියක් පවුලේ වැඩිමහල් දරුවා වන විට ඇගෙන් පවුලට බොහෝ උදවු උපකාර සිදු වේ. පවුලේ අනෙකුත් බාල සොයුරු සොයුරියන් පිළිබඳ සොයා බැලීම ද ඇය විසින්ම ඉටු කෙරෙයි. ළමා විය පසුකරන දියණිය සුදුසු වයසේදී මල්වර වීම දෙමාපිය වැඩිහිටියන්ගේ සතුටට හේතුවකි.
මල්වර වූ යුවතියගේ ස්නානය උදෙසා සුබ නැකැත් පිළියෙල කරගනු ලබයි. මල්වර වූ දිනයේ සිට හතර වැනි හෝ පස් වැනි දින මේ සඳහා යොදා ගැනීම සුදුසු අතර සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනයක් වේ නම් සුදුසුය. සුබ ලග්නයක් සුබ හෝරාවක් දියවක, තියවක, විසේනිය, සතවක, දසවක, එකොළොස්වක හෝ තෙළෙස්වක තිථියක් යොදා ගැනීම පුරාණ සිරිතකි. වර්තමාන සමාජයේ මෙම දින ගණන් වෙනස් වෙමින් නැකැත් සාදනු ලැබේ.
මල්වර වූ බව දැන ගත් විගස දැරිය ස්නානය කරවා ගෙට ගැනීමේ සිරිතක් ද වේ. එහිදී නැකැත් අනවශ්‍යය.
බාහිර පුද්ගලයන් දකින බැවින් මල්වර වූ දැරිය ස්නානය කරවන ස්ථානය ආවරණ යොදා සකස් කරයි. අමු කහ, වෙනිවැල්ගැට, සඳුන් ආදී ඖෂධීය ද්‍රව්‍ය යොදා ජලයෙන් ස්නානය කරවන්නේ නැන්දණියක විසිනි. (පෙර කාලයේ මේ සඳහා රජක ස්ත්‍රියක් යොදා ගනියි.) ස්නානය කිරීමෙන් පසු යුවතිය මුවහත් පිහියකින් අසල පිහිටි හෝ සිටුවන ලද කිරි ගසකට කෙටීම සිරිතකි. එවිට එම කැපුණු ස්ථානයෙන් කිරි වෑස්සීම සුබ නිමිත්තක් ලෙස සැලකෙයි.
බුදුන් සහ මවුපියන් පුදා අනතුරුව කුල්ලක තබන ලද ආහාර රෙදි ආදී තිළිණ ස්නානය කරවූ අයට යුවතිය විසින් ලබා දෙයි. ඉන්පසු වැඩිහිටි ඥාතීන් මිතුරියන් සමඟ ආශීර්වාද මධ්‍යයේ භෝජන සංග්‍රහයට එක්වීම පෙර සිරිතය. වර්තමානයේ ද එලෙසම සිදුවෙයි.
ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුවද මෙම චාරිත්රවලදී නැකැත් බැලීම පොදුවේ සිදු වෙයි.
ජෛව විද්‍යාත්මකව මල්වර වීම යනු යුවතියක මාතෘත්වයට සුදුසු බව ලැබීමේ ලෝක ධර්මතාවයි. ජ්‍යොතිෂවේදීන් මල්වර වීමේ නැකැත, ලග්නය, තිථිය දින ආදී නිසි අයුරින් පලාපල කථනය කරති. යුවතියකගේ විවාහ නැකැත් සෑදීමේදී මල්වර නැකැත් කේන්දරය ද භාවිතයට ගැනීම සිරිතක්ව පැවතිණි.
අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, මුල, උත්‍රසල, සුවන, දෙනට, සියාවස, රේවතී නැකැත්වලින් මල්වර වූ අයගේ ගති පැවතුම් අනාගතය යහපත් බව දැක්වේ.
වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, ලග්නවලින් මල්වර වීමද යහපත් යැයි දැක්වේ.
දියවක, තියවක, විසේනිය, සතවක, දසවක, එකොළොස්වක, තෙළෙස්වක, පසළොස්වක දිනවල මල්වර වීමද යහපත්ය.
සඳු දින, බුධ දින, ගුරු දින, කිවි දින මල්වර වීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල හිමි වන බව පැරණි පඬිවරු දක්වා ඇත.
ජ්‍යොතිෂය අනුව මල්වර වූ ස්ථානය පැහැදිලි කිරීමට ද පූර්වාචාරීන්ට හැකියාව තිබුණි.
1, 2, 5, 4, 13, 17, 21, 25 නැකැතකින් මල්වර වීම පදිංචි ස්ථානයෙන් පිටතදී සිදුවන බවත් 3, 7, 11, 15, 19, 23, 27 නැකැත්වලින් මල්වර වීම නිවාස ආශ්‍රිතව සිදුවන බවත් 4, 8, 12, 16, 20, 24 නැකැත්වලින් මල්වර වීම ඉඩමේ වෙනත් ගොඩනැඟිල්ලකදී සිදුවන බවත් 3, 14, 10, 18, 22, 26 නැකැත්වලින් මල්වර වීම වාහනයකින් හෝ පයින් ගමන් කිරීමේදී සිදුවන බව පැහැදිලි කර ඇත.
ඇඳ සිටි ඇඳුම අනුව ද ගලන රුධිර බිඳු ප්‍රමාණය සම්බන්ධව ද මල්වර වූ යුවතිය පිළිබඳ පලාපල කථනය සිදු වෙයි. බොහෝ විට යථෝක්ත අයුරින් පලාපල කථනයේදී නැකැත්, ලග්න, තිථි, දින මෙහි සඳහන් නොකළ කොටසක් වෙයි. එම නැකැත්, ලග්න, තිථි, දින ආදියේදී මල්වර වීමෙන් අයහපත් ප්‍රතිඵල උදා වන්නේ නැත. ගති පැවතුම්, යස ඉසුරු හීන වීම ආදී සිදුවීම් එහි සඳහන්ය. ජෛව විද්‍යාත්මක සංසිද්ධියක් වන මල්වර වීම ලෝක ධර්මතාවකි. එය පොදු සනාතනික සිදු වීමකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගාමිණි ජයතිලක බණ්ඩාර