එක් පැත්තකින් සිරිපාදේ අඩවියයි. ඒ නිසා බොහෝ දෙනෙක් සතුන් දඩයම් කරන්න බිය වූහ. ඇත්තටම කිව්වොත් බය නිසා නොව ගෞරවය නිසාය.
කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ යටියන්තොට පසුකරනකොටම කන්ද පටන් ගනී. මේ ප්‍රදේශය ඉතාම පාළුය. මිනිස් වාසය ඉතා දුර්වලයි. යටියන්තොට ප්‍රසිද්ධ වුණේ හිටපු මුදල් ඇමැතිවරයකු වූ ඇන්. ඇම්. පෙරේරාගේ මැතිවරණ ආසනය නිසායි.
නමුත් ඒ ‘ටවුම’ විතරයි. කඩ කීපයයි තිබුණේ. වැඩි පුරම රෙදි කඩයක්, සිල්ලර කඩයක් හා ධාන්‍ය වර්ග මිලට ගන්න කඩ කීපයක් විතරයි. ඒවා කඩ කීවට හවස 4, 5 වනවිට ලෑලි දාලා හෝ ලණු පැඳුරු දමලා වහනවා. මේ කඩවල අයිතිකාරයෝ කරන්නේ ඈත ගම්වලින් ගෙනෙන කරුංකා, පුවක්, කරාබු කුණු කොල්ලයට අරගෙන මසකට වරක් කොළඹට දීලා මුදල් සෙවීමයි. මේ කඩ මේසේ වැහුවට දකුණු දෙසින් ගලන කැලණි ගඟ හැම වෙලේම මහ සද්දෙන් පහළට ගලනවා. හවස 6ක පසුව මේ ටවුම මහ මූකලානක් සේ පාළුය. ‘කණමැදිරි’ පහන් කණුවක් තිබුණා. ඒ ටවුමේ මැද්දේය. මේ ගඟේ පාලමෙන් එගොඩ වුණාම ගරාගොඩ – පනාවත්ත ගම්මානයයි. ඒ ළඟින්ම දුම්රිය ස්ථානය. දැන් නම් එතැන පොලිසිය පිහිටුවලා කියලයි ආරංචිය. මේ පැත්තේ ඉතින් තේ වතු තමයි. පනාවත්ත වතුයාය, ස්ප්‍රින් වතුයාය තිබුණේ එහෙ. මෙන්න මේ කිට්ටුව තමයි ‘සෝමදාසගේ නිවස පිහිටලා තිබුණේ. එය කටුමැටි නිවසකි. සෝමේ කිව්වේ ‘චීනා’ කියන අපරාධකාරයාට බෝම්බ හදපු මිනිහා. ඒ නිසාම එයාට ගමේ මිනිස්සු කිව්වේ ‘බෝම්බ සෝමේ’ කියායි. මේ බෝම්බ සෝමේ ජීවත්වුණේ චීනා සමඟ එකතු වී ගෙවල් කඩලා, මංකොල්ල කාලා. ඒ නිසාම එයාට ගොඩක් උසාවිවල නඩු තිබිණි.
යටියන්තොටින් හැටන් දිශාවට සැතපුම් කීපයක් යනකොට “හබ්බෙල්ලාවක” ගම හමු වේ. මහා පාළු ගමකි.මේ ගමේ මගේ ඉතාම කුලුපග මිත්‍රයෙක් සිටියා ඔහුගේ නම ධර්මදාස. ඔහුගේ මහ ගෙදර එහේ වුණාට වැඩ කළේ කොළඹ වරායේය. මසකට වරක් දෙවරක් ඔහු ගෙදර ගියේය. සමහර විටෙක වරක් දෙවරක් මමත් ඔහුගේ ගමේ ගිහිල්ලා තිබෙනවා. විශේෂයක් තමයි ඒ ප්‍රදේශවල ඒ කාලේ කොළඹ වගේ වියදමක් නැහැ. හැම දෙයක්ම ගමේම තිබෙනවා. හැබැයි කඩේ තිබෙන මාළු, මස් නම් නැත. එහෙත් ‘දඩමස්’ නම් හැමදාම වගේ තිබිණි. මොකද බැලු බැලු අත කැලෑව නිසායි. එක් පැත්තකින් සිරිපාදේ අඩවිය. ඒ නිසා ටික දෙනෙක් සතුන් දඩයම් කරන්න බය විය. ඇත්තටම කිව්වොත් බය නිසා නොව ගෞරවය නිසාය.
ධර්මෙට හිටියේ එකම මල්ලී කෙනෙක් විතරයි. ඔහු නමින් පියදර්ශන. නමුත් ගමේ හැම දෙනාම ඔහුට කතා කළේ ‘පියා’ කියායි. පියා රක්ෂාවට කළේ තමන්ගේම වතුපිටි බලාගෙන ඔහුගේ තාත්තා වගේ කුඹුරු ගොවිතැන් කිරීමයි. පියාගේ සහ ධර්මේගේ තාත්තත් හරිම නිහඬ චරිතයකි. කතාව ඉතාම අඩු වුවත් ඔහු ඉතා දක්ෂ වගාකරුවෙකි. ඉන් හොඳ ආදායමක් ඔහු උපයා ගනී. මට ලොකු නිවාඩුවක් ලැබුනම දවසකට දෙකකට මේ හද්ද පිටිසර ගමට යනවා. එදාට ධර්මේත් මමත් පියාත් ඉතාම හොඳින් සතුටු වෙනවා. මුළු ගමේම ඇවිදිනවා. සමහර දවස්වලට රබර් දර ටිකක් පළලා වෙල් යායේ ඇවිදලා කිතුල් රා ටිකක් තොල ගානවා. ඒ අයගේම කුඹුරේ හාල්වලින් බත් උයනවා. හබ්බෙල්ලාවක ‘සමුපෙ’ ළඟින් බස් එකෙන් බැහැලා කනත්ත හරහා පාළු පාරකින් ගියොත් ධර්මේලාගේ නිවසට පැය භාගයකින් යා හැක. ගමට යන පටු පාර දිගේ පයින් යනවා නම් පැය එකහමාරක් විතර යයි. ඒ දවස්වල ‘හබ්බෙල්ලාවක’ නගරයක කෙසේ වෙතත් ලයිට් කණුවක්වත් තිබුණේ. නැහැ. ගලන ගඟේ සද්දේ දවල්ට ඉතා කන්කළු වුණාට රාත්‍රියට නම් එහි හඬ බය උපදිනවා. ඒ පැත්තෙ හැටියට සවස හයහමාර පමණ වන විට අඳුර වැටෙනවා. ඒ එක්කම ගමේ තිබුණු ගෙවල් කීපයේ දොර ජනේල් වැහෙනවා. නමුත් හිමිදිරියෙන්ම ඒ අය නැඟිටලා දවසේ වැඩ පටන් ගන්නවා.
අවුරුදු කීපයකින් මට පියා සහ ධර්මේ බලන්නට ඒ ගමට යන්න බැරි වුණා. ඒ කියන්නෙ වසර 1965, 66 විතර හදිසියේම මට ටැලිග්‍රෑම් එකක් ලැබුණා. “පියා හදිසියේ නැති වුණා – මීට ධර්මේ” කියා එම විදුලි පණිවුඩයේ තිබිණි. වෙන කිසිම විස්තරයක් එහි සටහන්වී නැහැ. මම පසුවදාම කොට්ට උරයකට කමීසයක් සරමක් දමාගෙන උදේ 9.30ට විතර තියන බස් එකට ගියා. නමුත් එදා ඒ බස් එක නැති බව දැනගත්ත නිසා කොළඹ කොටුව දුම්රිය නැවතුමෙන් කැලණිවැලි දුම්රියට නැඟ යටියන්තොටින් බැස ‘හබ්බෙල්ලාව’ ගමට එනකොට සවස 6.30ට විතර ඇත. පෝය දින පසු කළා පමණි. ඒ නිසා එච්චරම කළුවර තිබුණේ නැහැ.
සුපුරුදු පරිදි බුලත්විටක් කටේ දමාගෙන සුපුරුදු පාරෙන් කනත්ත හරහා ධර්මේ සහ පියාගේ නිවෙස බලා යන්න පිටත් වුණා. පටු පාරට හැරිලා ටික දුරක් යනකොට මම දැක්කා ධර්මේගේ තාත්තා නිවස අසල මිනි වළක් අවට උදලු ගානවා. ඔහුගේ මුහුණේ වැඩි හිනාවක් නැහැ. මහ කනගාටුවක ස්වභාවය ඔහුගේ මුහුණේ තිබුණා. ඇත්ත තමයි මරණයකට පසු ගෙදර සතුට කොයින්ද? මට හිතුණා. තාත්තා මාව දැකලා කිසිවක් නොකියා අහක බලාගෙනම ධර්මේගේ නිවස දිශාවට ඔහුගේ අත දිගුකළා. ඒ මට එහෙ යන්ට කියන සංඥාව දෙන්න වන්ට ඕනෑ යැයි මට සිතිණි. මම කතා නොකරම ධර්මේගේ නිවස දෙසට පිය නැඟුවා. නිවස ඉදිරියේ සරසලා තිබූ වැහැරී ගිය ගොක් කොළවලින් මා දැනගත්තා මළගෙදර කටයුතු අවසන් කරලා බව ‘පියා’ගේ අම්මා මා අසලට ආවා ඇගේ ඇස්වල කඳුළු “අද උදේම තමයි ධර්මේ පුතා වැඩට ගියේ ඇය මට කිව්වා. ඉන්න මම තේ කෝප්පයක් හදාගෙන එන්නම් කියලා ඇය ගේ ඇතුළට ගියා. ගතවුණේ නිමේෂයකි. ධර්මගේ මල්ලී ඒ කියන්නේ මියගිය ‘පියා’ ගෙදරට එන පාර දිගේ නිවස දෙසට එනවා අදහාගන්න බෑ. මට හීන්දාඩිය දැම්මා ‘පියා’ හෙමින් හෙමින් මා ළඟට ආවා, “අයියේ තාත්තට පොළඟෙක් ගැහැව්වා… බේරගන්න බැරි වුණා. අවසාන කටයුතු කළේ ඊයේ“ ඔහු කීවා. මගේ කට උගුර වේළිලා ගිහිල්ලා අම්මා ගෙන දුන් තේ කෝප්පය බීලා එතැනම තිබුණු ලණු පැඳුරු ඇදේ වාඩි වුණා. මම එක එල්ලේ බලා සිටියේ ‘පියා’ දෙසයි. ටිකක් කල්පනා කරනකොට මට සිදුවී ඇති දේ වැටහිණි.
එතකොට පොළගෙක් ගහලා මැරුණේ ධර්මේ සහ ‘පියා’ ගේ තාත්තා. ධර්මේ මට එවු විදුලි පණිවුඩයේ සටහන්කර තිබුණේ ‘පියා’ මැරුණා කියා. ධර්මේ පියා ලෙස ඒ වෙලාවේ අදහස් කරන්නට ඇත්තේ තමන්ගේ තාත්තා බව මට වැටහිණි. මා මුලින් හිතාගෙන හිටියේ ටෙලිග්‍රෑමයේ සඳහන් ‘පියා’ හෙවත් ‘ප්‍රියදර්ශන’ ධර්මේගේ මල්ලී බවයි. එහෙත් සිදුවී තිබුණේ වෙනත් දෙයකි.
අනෙක මෙහිදී සිදුවුණු අදහාගත නොහැකිම දේ ‘ධර්මේ’ සහ ‘පියා’ ගේ තාත්තාගේ අවසන් කටයුතුවලින් පසු ඒ තාත්තා මට ඔහුගේම සොහොනේ සිට නිවස දෙසට යන්න කියා හස්ත සංඥාවෙන් පාර පෙන්වීමයි.
මේ ගැන අදත් මගේ මතකයට එන විට ඇඟේ හිරිගඬු පිපෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පාරම්පරික ගුප්තවේදී මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න