පුරෝගාමි ග්‍රීක නාට්‍ය රචක යුරිපිඩීස් (ක්‍රිපූ 480 – 406) විසින් රචිත Trōiades නම් නාට්‍යයේ ඉංග්‍රීසි පරිවර්තනය වන The Trojan Women ඇසුරින් කෙරුණු සිංහල පරිවර්තනය ‘ ට්‍රෝජන් ගැහැනු’.
යුරිපිඩීස් ක්‍රි පූ 480 – 323 කාලයේ පැවැතියේ ය’යි සැලකෙන සම්භාව්‍ය ඇතෑන්ස් සමයේ සිය නාට්‍ය පිටපත් වැඩි හරියක් සම්පූර්ණ වශයෙන් නොනැසී පවතින ශෝකාන්ත නාට්‍ය රචකයන් තිදෙනා අතරින් කෙනෙකි. අනෙක් දෙදෙනා වනුයේ ඊස්කීලස් (ක්‍රි පූ 525 – 456) සහ සොෆොක්ලීස් (ක්‍රි පූ497 – 406) ය. ඔහු විසින් නාට්‍ය අනූ පහක් රචිත බැව් පැවසේ. මෙයින් දහ අටක සම්පූර්ණ පඨිත ඇති අතර ඔහුගේ අනෙකුත් නාට්‍යවල පෙළ ද බොහෝ කොටස් රැකී පැවැති බවත් ඒ ප්‍රමාණය එසේ රැකුණු ඊස්කිලස්ගේ සහ සොෆොක්ලීස්ගේ නාට්‍ය සංඛ්‍යාවට වැඩි බවත් සඳහන් ය. එයට හේතුව ඒ වනවිට ඒ දෙදෙනාගේ ජනප්‍රියත්වය පිරිහෙමින් පැවැතීමත් ඊට සාපේක්ෂව ඔහුගේ ජනප්‍රියතාව වර්ධනය වීමත් බව පැවසේ. සම්භාව්‍ය ඇතෑන්ස් යුගයෙන් පසු එළැඹි හෙලනිස්ටික් යුගයේ දී (ක්‍රි පූ 323 – 30 දක්වා) ග්‍රීක පුරාණ සාහිත්‍ය අධ්‍යාපනයේ සිව්කොන කුලුනු හතරෙන් එකක් ලෙස ඔහුට පිළිගැනීමක් ලැබිණි. අනෙත් තිදෙනා වනුයේ මහා කවි හෝමර් (ක්‍රි පූ 8 සියවස), ග්‍රීක රාජ්‍ය තාන්ත්‍රික සහ අභිදේශක ඩෙමොස්තනීස් (ක්‍රි පූ 384 – 322) සහ ප්‍රහසන නාට්‍යකරු මෙනන්ඩර් (ක්‍රි පූ 180 – 130) ය.
යුරිපිඩීස් නූතන යුගය දක්වා නාට්‍ය කලාවට දැඩි ලෙස බලපා ඇති නාට්‍යමය නවෝත්පාදන සමඟ අනන්යකෘත වෙයි. විශේෂයෙන් සාම්ප්‍රදායික, පුරාණෝක්තික වීරයන් අසාමාන්‍ය තත්ත්ව තුළ සාමාන්‍ය මිනිසුන් ලෙස නිරූපණය කිරීමේදී මෙම නව ප්‍රවේශය ඔහු පුරෝගාමී වර්ධන කරා ගෙන ගිය නමුත් පසුකාලීන ලේඛකයින් විසින් ඒවා හාස්යෝපාදනයට යොදා ගන්නා ලදි. ඒවායින් සමහරක් සෘංගාරයේ ලක්ෂණ ප්‍රකට කළේ ය. ඔහු කවියන් අතර වඩාත්ම ඛේදනීය රචකයා ලෙසද හැඳින්විණි. ඔහු අපූර්ව ආකාරයෙන් සිය චරිතවල අභ්‍යන්තර ජීවිත සහ සිතැඟි කෙරෙහි අවධානය යොමු කළේය. ඔහු “කූඩුවක්” නිර්මාණය කළේ ය’යි ද එතුළ සිර ගත කරන ලද ස්ත්‍රීහු සහ පුරුෂයෝ සිය ආදරයේ සහ වෛරයේ තීව්රතාවයෙන් එකිනෙකා විනාශ කැර ගනිති’යි ද විචාරකයෙක් පෙන්වා දෙයි. පෙර සඳහන් මෙනන්ඩර්ගේ, ශේක්ස්පියර්ගේ (ඔතෙලෝ) ෆ්රංස නාට්‍යකරු ෂෝන් රැසින්ගේ (Phèdre), සහ ස්වීඩිෂ් නාට්‍යකරු ස්ට්‍රින්බර්ග්ගේ සහ හෙන්රික් ඉබ්සන්ගේ කෘතිවල එම ආභාෂය දක්නට ලැබේ. එසේම ඔහු මෙන් ම ජෝර්ජ් බර්නාඩ් ෂෝ වැනි මෑතකාලීන් ප්‍රහසන නාට්‍යකරුවන්ගේ සාහිත්‍යමය මී මුත්තා ද විය. ඔහුගේ සමකාලීනයෝ ඔහු සොක්රටීස්ගේ සහචර පරිහානික බුද්ධිවාදී ( decadent intellectualism ) නායකයෙකු ලෙස හැඳින්වූහ. දෙදෙනාම ඇරිස්ටෝෆනීස් වැනි හාස්යකර කවීන් විසින් නිතර නිග්‍රහ කැරිණි. සොක්රටීස්ට එරෙහිව පැවැති නඩු විභාගයේ දී මේ කරුණුද සලකා බලන ලද බව සඳහන් ය. මෙලෙස තත්ත්වය නරක අතට හැරී ගෙන එනවිට යුරිපිඩීස් ස්වේච්ඡා පිටුවහලක් තෝරා ගෙන මැසිඩෝනියාවේ වාසයට ගිය බවත්, පසුව නැවත ඇතෑන්ස් කරා පැමිණ සාහිත්‍ය කටයුතුවල නිරත වූ බවත් සඳහන් ය.
Trōiades නාට්‍යයේ එන්නේ යුද්ධයේ බිහිසුණු බවයි. මෙය ‘ට්‍රෝජන් යුද්ධය’ අළලා යුරිපිඩිස් විසින් රචිත තුන් ඈඳුතු නාට්‍යයක එකක් ලෙස ගැනේ. අනෙක් දෙක වනුයේ ඇලෙක්සැන්ඩ්‍රොස් ( Alexandros ) සහ පැලමිඩිස් ( Palamedes, ) ය. කෙසේ වෙතත් මේ නාට්‍ය එකනෙක සබඳතාවක් නොමැති බව සඳහන් ය. මීට අමතරව මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන හෙකුබා බිසවගේ චරිතය අළලා ඔහු ‘හෙකුබා’ නම් නාට්‍යය ද රචනා කළේ ය.
ට්‍රෝජන් ගැහැනු නම් මේ නාට්‍යය හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි නම් වීර කාව්‍යය දෙකටම සම්බන්ධ නමුත් මේ වනාහි යුරිපිඩීස්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි.
අතීතයේ පැවැති ට්‍රෝජ නම් දේශය යුරිපිඩීස් මෙම නාට්‍යයේ කතා පුවතේ ස්ථානය ලෙස තෝරා ගනියි. ඒ දේශයේ ප්‍රියාම් රජතුමාගේ පුත් පැරිස් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට ගොස් සිය මිතුරු මෙනලොස්ගේ අතිථි සත්කාර විඳිමින් කලක් නේවාසිකව සිටියි. ඒ අතරේ මෙනලොස්ගේ බිරිය වන හෙලන් හා පෙම් සබඳකමක් ඇති කර ගන්නා ඔහු ඇයත් රැගෙන සිය රටට පලා එයි.
මේ හෙලන් ඒ සමයේ ලොව විසූ රූමත් මෙන් ම ආකර්ෂණීය ම කාන්තාව ලෙස සැලකේ. ඇගේ අත පතා බොහෝ පිරිමින් පැමිණ ඇති අතර ඇය ඉන් කිහිප දෙනෙකු සමග හාදකම් පවත්වා ද ඇත. මේ තත්ත්වය මෙනලොස් දැන සිටි බව සඳහන් ය.
ඉතින් පැරිස් කුමරාගේ මේ ක්‍රියාව ග්‍රීකයන් කුපිත කළේ ය. කිපුණු ග්‍රීකයෝ නැව් දහසකින් අවුත් ට්‍රෝජ නුවර වැටලූහ. මේ වැටලීමට ඉතාකා, එපිරස්, ස්ප්රාටා, මයිසිනියා යනාදී තවත් රාජ්‍ය කිහිපයක ම සහාය ඔවුන්ට ලැබිණි. මෙසේ දස අවුරුද්දක් ග්‍රීකයෝ ඒ නුවර වටලා සිටියෝ ය. මේ සියල්ලට මූලික හේතුව හෙලන් ය. ඒ අනුව හෙලන් යනු තමන් උදෙසා නැව් දහසක් එකවර දියත් කරවන්නට තරම් රූ සපුවකින් යුත් කතකි.
ග්‍රීකයන්ට ට්‍රෝයි නුවරට කඩා වදින්නට නොහැකි වනුයේ ඒ නුවර වටා ඇති ශක්තිමත් කොටු පවුර නිසා ය. දස වසරකට පසු ඔවුන්ට නුවණ පහල වේ. ඒ අනුව ඔවුන් කරනුයේ විශාල ලී අශ්වයකු නිර්මාණය කිරීමයි. ඒ අශ්වයා තුළ මිනිසුන් දස දෙනෙකුට පහසුවෙන් සිටිය හැකි ය. අශ්වයා කොටු දොර අසල හැරපියා ග්‍රීක නැව් යන්නට ගොස් ඇති බව ට්‍රෝයි නුවරුන්ට පෙනේ. ඔවුහු ලී අශ්වයා සිය කොටු දොරෙන් ඇතුළට ඇදගෙන එති. එදා රැයේ ඒ තුළ සැඟව සිටි ග්‍රීක පාර්ශ්වයේ ජව සම්පන්න සටන්කරුවෝ පිටතට පැමිණ රැකවලුන් මරා කොටු දොර විවෘත කරති. මේ වනවිට ග්‍රීක නැව් සේනාව වෙරළ වෙත පැමිණ සිටින අතර ඔවුහු ට්‍රෝයි නුවරට කඩා වදිති. ඉන්පසු ඔවුන් කරන්නේ ඒ නුවර සියලු පිරිමින් ඝාතනය කිරීමයි. ප්‍රියාම් රජු මෙන් ම ඔහුගේ පුතුන් වන හෙක්ටර් සහ පැරිස් ද මරා දැමෙති. හේකටර් යනු ට්රෝජවරුන් අතර සිටි අනභිභවනීය වීරයෙකි.
නාට්‍යය ඇරඹෙන්නේ ඒ සිද්ධියෙන් පසුව ය.
දැන් එරට ඉතිරිව සිටින්නේ ගැහැනුන් පමණි. ග්‍රීක සේනාවට ඔවුන් රිසිසේ පරිහරණය කළ හැකි ය. දූෂණය කරන්නට, පාවා ගන්නට හෝ වහල්කමට ගන්නට. හේකෙබ් බිසව වහල්කමට ගන්නා ලෙස නියෝග කැරෙයි. ඇගේ දියණිවරුන් වන පොලික්සේනා සහ කැසෙන්ඩ්රාද පුත්‍රයා වන රණවිරු හෙක්ටර්ගේ බිරින්දෑ වූ ඇන්ඩ්‍රොමැකී ද මේ වනවිට බෙදාගෙන හමාර ය.
මේ යුද්ධයේ දී මළ ග්‍රීක පාර්ශ්වයේ විරුවකු වූ ඇකිලීස්ගේ පුත්‍ර එපිරස් හි රජු වන නෙපොලිට්මස් පොලික්සේනා පාවා ගන්නට උත්සාහ කරතත්, ඇය ඊට විරෝධය පාන බැවින් ඇකිලීස්ගේ සොහොන වෙත ඇය ගෙන ගොස් හිස ගසා දමනු ලැබ තිබේ. ඉන්පසු ඔහු තෝරා ගන්නේ ඇන්ඩ්‍රොමැකී ය. කැසෙන්ඩ්‍රා උප පත්නිය ලෙස පාවාගන්නට සූදානමින් සිටින්නේ මයිසීනියා රජු වන ඇගමෙම්නොන් ය. කැසෙන්ඩ්‍රා යනු අතීනා දෙව් දුවට කැපවූ දේව කන්‍යාවක් වන හෙයින් ඇයට ඇතීනාගේ බැල්ම තිබේ.
ඇය මෙහිදී දේවාරූඪයෙන් අනාවැකි දෙකක් කියයි. පළමුවැන්න නම් ඇගමෙනොන් හා තමා, ඇගමොනොන්ගේ දේවිය විසින් මරා දමනු ඇති බවයි. දෙවැන්න හෙකුබා බිසව වහල්කමට ගන්නා ඉතාකා හි රජු වන ඔඩිසියස්ට දස වසරක් යනතුරු සිය රටට යාමට නොහැකි වන බවයි. ඇන්ඩ්‍රොමැකී සහ හෙක්ටර්ගේ පුතු වන ළදරු ඇස්ටියනැක්ස් ඔඩිසියස්ගේ උපදෙස් පරිදි කොටු පවුරෙන් පහළට හෙළා මරා දමනු ලැබේ.
මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය ලෙස කතාව මෙහෙයවන්නේ හෙකුබා ය. අවසානයේ ඇය ද දියණිය සහ ලේලිය ද මේ බරපතළ සිද්ධියට මූලික හේතුව වූ හෙලන් ද ග්‍රීකයන් විසින් කුදලා නැව්වලට පටවා ගැනෙති.
මේ නාට්‍යය ධර්මසිරි බණ්ඩාරනායක විසින් ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නමින් මෙරට වේදිකාවේ රඟ දත්වන ලදි. එහෙත් ඒ මේ පිටපත ඇසුරින් නොවන බව ද සඳහන් කළ යුතු ය. ‘ට්‍රෝජන් ගැහැනු’ ආරියවංශ රණවිරගේ කෘතියකි.