– තෙත්බිම්වලින් 35%ක් මේ වන විට ලෝකයට අහිමිවී තිබෙනවා
– ලෝක තෙත්බිම් දිනය පෙබරවාරි 2 වැනිදා
– මෙරට රැම්සාර් තෙත්බිම් 6කි. ඒ, බුන්දල, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කාලේ, කුමන සහ විල්පත්තු
තෙත්බිමක් කී පමණින් බොහෝ දෙනකුගේ මනසේ මැවෙන්නේ මඩගොහොරු බවට පත්වූ නිසරු, අප්‍රසන්න භූමියකි. ඒ වැරැදි මතයේ එල්බ ගනිමින් බොහෝ තෙත්බිම්වලට කාර්මික සහ නාගරික කැළි කසළ බැහැර කිරීම නිසා ඒවා කල්යත්ම මහා කුණු කඳු බවට ද පත් විය. නාගරික ප්‍රදේශ මැද පිහිටි තෙත්බිම් ගොඩකරමින් සිදු කළ අක්‍රමවත් ඉදිකිරීම්වල අනිසි ප්‍රතිඵලය වූයේ කුඩා වර්ෂාවකටත් නාගරික මාර්ග පද්ධතිය ජලයෙන් යට වී මහජනයාට අපහසුතා රැසක් විඳින්නට සිදු වීමය.
මෙවැනි පසුබිමක් යටතේ සෑම වසරකම පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් දිනය සැමරෙන්නේ වර්ෂ 1971දී පෙබරවාරි 2 වැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී ජාතීන් 21ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කිරීමක් සමඟය. ලොව ප්‍රථම වරට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ 1997 වර්ෂයේදීය. එතැන් පටන් සෑම වසරකදීම තෙත්බිම් දිනය ලෝක මට්ටමින් සැමරීමේ අරමුණ වන්නේ තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය පිළිබඳ ලෝක ප්‍රජාව දැනුම්වත් කිරීමය.
තෙත්බිම් නිසිලෙස කළමනාකරණය නොවීමෙන් ඇතිවූ පාරිසරික ගැටලු හා වසංගත පැතිරීම වැනි ප්‍රශ්න නිසා තෙත්බිම්වල පාරිසරික උපයෝගීතාව පිළිබඳ නව කතිකාවක් ඇරඹුණු අතර 1990 ඔක්තෝබර් 15 වැනිදා ශ්‍රී ලංකාව තුළ “රැම්සාර් සම්මුතිය“ බලාත්මක වීම ආරම්භ විය. තෙත්බිම් හා එම සම්පත් සංරක්ෂණය හා බුද්ධිමත් ලෙස පරිහරණය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හා අන්තර්ජාතික සහයෝගිතාව දැක්වෙන එකඟතා ගිවිසුමක් ලෙස මෙම සම්මුතිය හැඳින්විය හැකිය. ආසියානු තෙත්බිම් නාමාවලියට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිම් 41ක් පමණ ඇති අතර මේවායේ මුළු වර්ග ප්‍රමාණය හෙක්ටයාර 274,000 පමණ වේ. මෙරට රැම්සාර් තෙත්බිම් 6ක් ඇති අතර, ඒ, බුන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව අභය භුමිය, මාදු ගඟ අභය භුමිය, වාන්කාලේ අභය භුමිය, කුමන ජාතික උද්‍යානය සහ විල්පත්තු ජාතික උද්‍යානයයි. වසර 2018 ඔක්තෝබර් මස රැම්සාර් සම්මුතිය විසින් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත්බිම් නගරය ලෙස නම් කරනු ලැබිණි.
ඒ අනුව තෙත්බිම් යනු රැකගත යුතු පරිසර පද්ධතියක් බව සාමාන්‍ය ජනතාව තුළ හැඟීමක් ඇති කිරීමට පරිසරය පිළිබඳ වගකීම් දරන රජයේ ආයතනවලටත් පරිසරවේදීන්ටත් බොහෝ වෙහෙසක් දැරීමට සිදුවිය. එම නිසාම මෙරට තෙත්බිම් බොහෝමයක් කසළ පිරි මඩ ගොහොරු වෙනුවට දැන් කුරුලු රෑන් හා මලින් පිරි හරිත දසුන් මවන දර්ශනීය බිම් බවට පත්ව ඇත. එහෙත් තෙත්බිම්වල සුරක්ෂිතභාවය වෙනුවෙන් තවදුරටත් ජනතාව දැනුම්වත් විය යුතු කරුණු බොහෝය. ලෝක තෙත්බිම් දින මෙවර තේමාව වන්නේ තෙත්බිම් සහ මානව යහ පැවැත්මයි. මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසර සභාවේ කමිටු සාමාජික, වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පැවසුවේ මානවයා සහ තෙත්බිම් යනු කිසිසේත් වෙන් කළ නොහැකි බැවින් මෙය ඉතා කාලෝචිත තේමාවක් බවය.
“මේ වන විට ලොව පුරා වර්ග කිලෝමීටර් මිලියන 2.5කට වඩා භූමි ප්‍රදේශයක පැතිරුණු රැම්සාර් තෙත් බිම් 2400කට අධික සංඛ්‍යාවක් පවතින අතර තෙත්බිම්වල වටිනාකම තේරුම්ගත් ලොව පුරා රටවල් 172ක් රැම්සාර් ප්‍රඥප්තියට එකතු වී සිටිනවා. ලෝකයේ තෙත් බිම් සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් 2021දී නිකුත් වූ නවතම වාර්තාවට අනුව ලෝකයේ තෙත්බිම්වලින් 35%ක් මේ වන විට ලෝකයට අහිමි වී තිබෙනවා. මෙය බැරෑරුම් කරුණක්. මානව පැවැත්මට වැඩිපුර දායක වන්නේ තෙත්බිම් වන අතර, සියලුම මානව ක්‍රියාකාරකම් සිදු වන්නේත් තෙත්බිම් අවටයි. ඒ අනුව අනෙකුත් පරිසර පද්ධතිවලට සාපේක්ෂව වැඩිපුරම අගතියට පත් වන්නේ තෙත්බිම්. එම නිසා මෙවර ලෝක තෙත්බිම් දින තේමාව තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉතාම කාලෝචිතයි.”
එහිදී තෙත්බිම්වල පැවැත්මට තර්ජනයක් වී ඇති ප්‍රධාන මානව ක්‍රියාකාරකම් සතර හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පැහැදිලි කළ පරිදි එහි පළමුවැන්න ජල යාමනයයි. වික්ටෝරියා, රන්ටැඹේ වැනි විශාල ජලාශවල ජල කඳ දැක බොහෝ දෙනකු සතුටු වුවත් එහිදී සිදු වන්නේ ගංගාවකින් තවත් ගංගාවකට භූගත ජලය ලබා ගැනීමේදී එම ජලාශයේ ස්වාභාවික ගමන පාලනය කිරීම නිසා තෙත්බිම් අහිමි වීමයි. එමෙන්ම වනාන්තර සහ වායු දූෂණය දෙවැනි තර්ජනය වන අතර තෙවැනි තර්ජනය වන්නේ තෙත්බිම් අවට පරිසර පද්ධතිය වෙනස් වීමයි. එනම්, ගඟක දෙපස වනාන්තර මඟින් පාංශු ඛාදනය වැළකෙන අතර ඒවා ඉවත් කිරීමෙන් වර්ෂාවකදී ජලය ඉතා වේගයෙන් ගඟට වැටීමත් සමඟ රොන්මඩ විශාල ප්‍රමාණයක් ගඟට එකතු වේ. ගඟ දෙපස වනාන්තර තිබෙන විට එසේ ගඟට ජලය වැටෙන වේගය අඩපණ වන බැවින් ඉවුරු ඛාදනය මෙන්ම ගඟෙහි අනවශ්‍ය රොන්මඩ එකතු වීම නැවතේ. තෙත්බිම් සඳහා සඳහා බලපාන සිව්වැනි තර්ජනය වන්නේ කෘෂි සහ මත්ස්‍ය කර්මාන්තයයි. බොහෝ කලකට පෙර තෙත්බිම්වලට කෘෂිකර්මාන්තයෙන් සිදු වන හානි පමණක් සලකා බැලුවද දැන් මත්ස්‍ය කර්මාන්තයෙන් සිදු වන අගතිය පිළිබඳවද සලකා බැලෙන බව පැවසූ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“ලංකාවේ තෙත්බිම්වලින් ඉතාම වැදගත් වන කඩොලානවලින් වැඩි ප්‍රමාණයක් අහිමි වීමට හේතු වී ඇත්තේ ඉස්සන් කර්මාන්තයයි. ලෝකයේ අනිත් තෙත්බිම්වලට සාපේක්ෂව බලන විට ලංකාවේ ගංගා 103ක් තිබෙනවා. ඒක සුවිශේෂී තත්ත්වයක්. එසේ නම් අපිට ජලය අඩුවෙන්නේ කොහොමද? අපේ තෙත්බිම්වලට තර්ජන ඇතිවෙන්නෙ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉහත කී සාධක නිසා අනාගතයේදී අපිට තවත් තෙත්බිම් අහිමි විය හැකියි.”
තෙත්බිම්වලින් ඇති ප්‍රයෝජන ගැන කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව පැවසූ මහාචාර්යවරිය තෙත්බිම්වලින් ඉටු වන සේවාව අංශ හතරකට වර්ග කර දක්වන්නීය. ඒ අනුව සැපයුම් සේවා යටතේ අපට මත්ස්‍ය ආහාර, ජලජ පැළෑටි සහ බීමට ගන්නා ජලය ලැබේ. අනෙක් ප්‍රයෝජනය බොහෝ දේ නියාමනය කිරීමට තෙත්බිම් සතු හැකියාවයි. සරලව කිවහොත් ගෝලීය උණුසුම පාලනය කිරීමට, ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් නිපදවීමට මෙන්ම වාතයට ජලවාෂ්ප මුදාහැරීම ආදී ඉතා වැදගත් සාධක නියාමනය කිරීමට තෙත්බිම්වලට හැකියාව ඇත. එමෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද අපට තෙත්බිම් සමඟ බැඳියාවක් ඇත. ගඟක් අසලට ගිය විට සිතට මානසික සතුටක් අස්වැසිල්ලක් ලැබෙන අතර, කතරගම ගිය විට මැණික් ගඟෙන් නෑම සහ ශ්‍රීපාද වන්දනාවේ යද්දි සීත ගඟුලෙන් නෑවේ නැත්නම් එය බරපතළ අඩුපාඩුවක් ලෙස සිතට දැනෙන්නේ තෙත් බිම් සමඟ ඇති සංස්කෘතිකමය බැඳීම නිසාය. තෙත්බිම්වලින් ඇති ප්‍රයෝජනවලින් සිව්වැන්න වන්නේ උපකාරක සේවාවක් වීමයි. එනම් ලෝකයේ ජෛව විවිධත්වයට තෙත් බිම්වලින් අනුපමේය සේවයක් ඉටු වන අතර, තෙත්බිම් අහිමි වුවහොත් ජලයේ ජීවත්වන සියලුම ජීවීන් ලෝකයට අහිමි වේ. මේ සියල්ල පොදුවේ සියලු තෙත්බිම්වලට බලපාන අතර ශ්‍රී ලංකාවට තෙත්බිම් අහිමි වීමෙන් ආර්ථිකයට ද විශාල බලපෑමක් එල්ල වන බව ද මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පැවසුවාය.
“කෘෂිකාර්මික රටක් වශයෙන් ලංකාව වැඩිපුරම අපනයනය කරන්නේ කෘෂි නිෂ්පාදන බැවින් රටේ ආර්ථිකය තෙත්බිම් සමඟ බද්ධ වී තිබෙනවා. ඉදිරියේදී ලෝකයම පුනර්ජනනීය බලශක්තියට යොමු වෙද්දි ඒ සඳහා අපිට හැරෙන්න තියෙන්නේ අපේ ගංගා වෙතටයි. ඒ අනුව අනාගතයේදී තෙත්බිම් සහ බල ශක්තිය අතර දැඩි සබඳතාවක් ඇතිකරන තෙත්බිම්වල වටිනාකම තවත් වැඩිවනු නිසැකයි.”
එවැනි වටිනාකම් රැසක් ඇති තෙත්බිම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් අණපනත් කිහිපයක්ම ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ ඇතැම් තෙත්බිම් ජාතික රක්ෂිත උද්‍යාන ලෙස නම් කර ඇති අතර මුතුරාජවෙල, බෙල්ලන්විල, කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආදි තෙත්බිම් පරිසර පද්ධති ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. යම් කිසි භූමියක රජයේ ඉඩම්වලට අමතරව පෞද්ගලික ඉඩම් තිබේ නම් එම භූමිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ගුණවර්ධන පැවසීය. ජාතික රක්ෂිත නම් කරන්නේ එහි භූමියේ ස්වාභාවය අනුවය. එනම් ස්වාභාවික රක්ෂිතයක්ද සමුද්‍රීය රක්ෂිතයක්ද යන්න ලෙසටය. ඒ අනුව මෙරට ඇති එකම සමුද්‍රීය ජාතික උද්‍යානය ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානයයි. මිරිසවැටිය ජාතික උද්‍යානයෙහි තෙත්බිම් පරිසර පද්ධති ගණනාවක් ඇති අතර එය ස්වාභාවික රක්ෂිතයකි. යාල හෙවත් රුහුණු ජාතික වන උද්‍යානය තුළත් හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය තුළත් සුවිශේෂි තෙත්බිම් පරිසර පද්ධති තිබෙන අතර තෙත්බිම් ආරක්ෂා කිරීම ජාතික වන උද්‍යානයක මුඛ්‍ය පරමාර්ථය නොවුණත් ඒ තුළින් තෙත්බිම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙයක් ඉටු වේ. ඊට අමතරව ජාතික පාරිසරික පනත මඟින් ද තලංගම තෙත්බිම, ග්‍රෙගරි වැව, වලව්වත්ත වගුරාන සහ මහවැලි ගගේ සුළු කොටසක් පරිසර ආරක්ෂණ ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වන බැවින් එයින් ඒවාට ආරක්ෂාව ලැබේ. මීට අමතරව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ වෙරළ කලාපයට අයත් සියලුම තෙත්බිම්වලට නීතිමය ආරක්ෂාවක් යම් පමණකට ලැබෙන අතර ඇතැම් ඒවා එම පනත යටතේ අලුතින් ප්‍රකාශයට පත් කළ යුතුව තිබුණද මෙතෙක් එසේ සිදු වී නැති බව ද නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේය.
එමෙන්ම ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ධීවර රක්ෂිත ලෙස තෙත්බිම් ආරක්ෂා කළ හැකිව තිබුණද එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන නැති බවද හෙතෙම පැවසුවේය.
“මේ වෙද්දි මෙරට තෙත්බිම් සංරක්ෂණය ප්‍රධාන වශයෙන් සිදු වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත හා වන සංරක්ෂණ ආඥා පනත යටතේයි. එහිදී විශේෂයෙන් කිව යුත්තේ සමහර තෙත් බිම් ප්‍රදේශ ඒ පනත් දෙකෙන් ප්‍රකාශිතව ආරක්ෂා කරලා නැති වුණත් එම තෙත්බිම් තියෙන්නේ රජයේ ඉඩම්වල නිසා අනිවාර්යයෙන්ම ඒවාට ඒ පනත් යටතේ ආරක්ෂාව සැලසී තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව නැති තෙත්බිමක් වුණත් එය තියෙන්නේ රජයේ ඉඩමක නම් ඒ පනත යටතේ ඊට ආරක්ෂාව ලැබෙනවා. ඊට අමතරව මිනිසුන් විසින් නිර්මිත තෙත්බිම් අතරෙන් වැව් ගොවි ජන සංවර්ධන පනත හෝ වාරිමාර්ග ආඥා පනත යටතේ යම්කිසි ආරක්ෂාවක් ලබන අතර ඇතැම් ජාතික වන උද්‍යාන ඇතුළත තිබෙන ජලාශවල ආරක්ෂාව සඳහා ඒවා ජලාශ අභයභූමි ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ කෙසේ වෙතත් රජයේ ඉඩම්වල ඇති ඕනෑම තෙත්බිම් පරිසර පද්ධති සහ පෞද්ගලික ඉඩම්වල තිබෙන තෙත්බිම් වුණත් අභය භූමියක් තුළ හෝ පරිසර ආරක්ෂණ කලාපයක් තුළ තිබෙනවා නම් හෝ කුඹුරු ඉඩම් නම් ඒවාටත් නීතිමය ආරක්ෂාව තිබෙනවා. කෙසේ නමුත් පෞද්ගලික ඉඩම් තුළ තිබෙන තෙත්බිම් සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත බව කිව යුතුයි. ඒ වගේම පනත්වල කෙසේ සඳහන් වුවත් ප්‍රතිපත්ති තලයේදී තෙත්බිම් සඳහා ඇති ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැක්කේ තෙත්බිම් අනවසරයෙන් ගොඩකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ඇති නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසයි. පසුගිය කාලයේ වනාන්තර පද්ධතියට අමතරව දෙවැනුව වැඩිපුර විනාශයට ලක් වුණේ තෙත් බිම් පරිසර පද්ධතියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඇති නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තෙත්බිම්වල ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වනවා.”
පරිසර යුක්ති කේන්ද්‍රෙය් ජ්‍යෙෂ්ඨ උපදේශක, පරිසරවේදී හේමන්ත විතානගේ ද තෙත්බිම්වල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැදගත් අදහසක් මතු කළේය. මුතුරාජවෙල තෙත්බිමේ සංරක්ෂිත කලාපයට අදාළ භූමියේ මායිම් ලකුණු කර එම අභයභූමිය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ලබා දී ඇති නියෝගය තවමත් ක්‍රියාත්මක වී නැති බව පෙන්වා දුන් ඔහු මුතුරාජවෙල සිදු වන අනවසර ගොඩකිරීම්, කැළිකසළ බැහැර කිරීම්, සත්ත්ව කටයුතු ආදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එහි ජලපෝෂක ප්‍රදේශය අහිමිව ගංවතුර තත්ත්වයක් සහ බරපතළ පරිසර දූෂණයක් සිදු වන බවත් පැවසීය. කොළඹ ගංවතුර පාලනය කිරීමට උපකාරී වන වගුරුබිම් අයථා ලෙස ගොඩකිරීම් නියාමනය කිරීම සඳහා කොළඹ සඳහා බලයලත් තනි ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද පරිසරවේදී හේමන්ත විතානගේ අවධාරණය කළේය.
තෙත්බිම් රැකගැනීමේ වැඩි වගකීම රජය සතු වුවද පුරවැසියන්ටද ඒ සඳහා ඇති වගකීමෙන් බැහැර විය නොහැකි බව මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පවසන්නීය.
“අන්තර්ජාතික නාගරික තෙත්බිමක් වන කොළඹ නගරයේ නිවෙස්වල ජීවත්වන අයට බීමට ළිං ජලය නැහැ. වැඩි පිරිසක් පානය කරන්නේ, වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්නෙත් පිරිපහදු කළ ජලය. නමුත් ඒ කිසිම කෙනෙක් අධික වර්ෂාව තිබෙන කාලවල නොමිලේ ලැබෙන වර්ෂා ජලය රැස්කරගෙන ඒ ජලය මල් පාත්තිවලට දාන්න හෝ වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගන්නවාද? තෙත්බිම් නැතිවී යෑම අපේ පියවි ඇසට පෙනෙනවා. නමුත් ඇතැම් තෙත්බිම්වලට එකතුවෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැඩිති සහ බිඳිතිවලින් සිදු වන හානිය ඉතා බරපතළයි. පර්යේෂණවලින් හෙළි වී තිබෙන ආකාරයට මරියානා ආගාධයේත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබෙනවා. ඒ වගේම පස සහ තෙත්බිම් අතර තිබෙන සබඳතාවත් ඉතා සුවිශේෂියි. තෙත්බිම් කියන්නේ ජෛව විවිධත්වයෙන් පිරුණු පරිසර පද්ධතියක්. ඒ සුන්දර පරිසරය අහිමි වීමෙන් සංස්කෘතිය වගේම කලාව, සාහිත්‍යය පෝෂණය වීමේ අවකාශයත් වැළකෙනවා. තෙත්බිම් සහ බැඳුණු මානව ජීවිතය නැවත ගොඩනැඟීම වෙනුවෙන් රාජ්‍ය යන්ත්‍රණය ඔවුන්ගේ වගකීම් ඉටු කරන අතර පුද්ගලයන් ලෙස අද දවසේ අපට කළ හැකි දේ ද බොහෝමයි” එසේ පැවසූ මහාචාර්යවරිය ඒ සඳහා යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කරන්නීය.
“ජලය නාස්ති කිරීම වැළැක්වීම සඳහා තමන්ට අවශ්‍ය වතුර ප්‍රමාණය පමණක් ගෙන පානය කරන්න. ජලයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුසුවීමේ ප්‍රධාන ක්‍රමයක් වන රෙදි සෝදන යන්ත්‍රය පාවිච්චි කිරීමේදී ජලය විශාල ප්‍රමාණයක් නාස්ති වීම වැළැක්වීමට සබන් දියර අවම වශයෙන් පාවිච්චි කරන්න. ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු දත් බෙහෙත් වර්ග, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ඇතුළු වෙනත් ද්‍රව්‍ය භාවිතය හැකිතරම් අවම කරන්න. ඔබ විනෝද ගමනක් ගිය විට ගඟකට බැස විනෝද වීමෙන් පසු කැළිකසළ එහි නොදා ඒමටත් මතක තබාගන්න.”
මහාචාර්යවරිය එසේ පැවසුවේ ඕනෑම පුරවැසියකුට කළ හැකි දෑය. ලෝක තෙත්බිම් දිනය සැමරීම නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය තලවතුගොඩ දියසරු උයන පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ තෙත්බිම් රැක ගැනීමේ වැදගත්කම පහදා දෙන අයුරින් ප්‍රායෝගික වැඩසටහන් සමඟ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු පැවසීය.
තෙත්බිම් පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් සකසා ඇති මෙම වැඩසටහන් සඳහා මෙන්ම පෙබරවාරි මස 02 සහ 03 වැනිදා වැනිදා පස්වරු 1.00 සිට 5.00 දක්වා තලවතුගොඩ දියසරු උයන පරිශ්‍රය නොමිලයේ නැරඹීමටත් අවස්ථාව සලසා ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ සඳහන් කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්