සුනාමි මතක
වසර දහනවයක්ම ගත විය සුනාමිය දැමු රටම අඳුරේ
නිතර සිතුවිලි මැවේ බිහිසුණු විපත පිළිබඳ මහද මැඳුරේ
අතරමංවුණු පිරිස ළතවෙති සෙවණ යට තුරු වදුලෙ පඳුරේ
සසර ඇතිතුරු මෙවැනි විපතක් නැවත නොකරනු මැනවි සිඳුරේ
රුදුරු ජලකඳ සමඟ සමහරු පොරබැදු හැටි ගාලු නගරෙදි
නපුරු මිනිසුන් කොල්ල කෑවා ගිලී දඟලන අයව වතුරෙදි
ගොදුරුවිය මහ සයුරටම මුළු රටම දෙදහස්හතර වසරෙදි
අඳුරු සෙවණැලි ලෙසින් හොල්මන් කරයි මා නිදන අතරෙදි
ළඟාවිය ගොඩ බිමට බියකරු විලස මහ සාගරේ රළ පෙළ
ගලා ගිය ජලකඳට බිලිවිය මිනිස් ජීවිත සමඟ දේපොළ
විනාශය අප වෙතට ළංකර ලෝකයම භීතියට පත් කළ
සුනාමිය මිය ගියේ නැත ඇත තවම ජනතාවගේ සිත් තුළ
ඒ. විතාරණ
ආසිරි පතමු
හිරු කැන් ගලා මුළු ලොවටම කිරණ සැදී
තුරුලිය පුරා පිපියන් මල් සුවඳ රැඳී
විහඟුන් ගයන ගී රාවෙට මිහිර රැඳී
අරුණැලි මතින් නව අවුරුදු සිරිය ලදී
යායුතු ගමන් මඟ පෙරටම ගෙන යන්න
ආ මාවතෙහි බාධක දුක් පිස ලන්න
පා මෙත කුළුණු ගුණ සාමය ලැබගන්න
ආසිරි පතමු නව අවුරුදු පිළිගන්න
සෝමදාස නානායක්කාර
මල් කැකුළු
තැලෙන පොඩිවෙන සිනිඳු මල් කැකුළු දෙස බලා
දෙනෙත දුක කියනවා උණු කඳුළු බිඳු හෙළා
සුවඳ මල් කැකුළු වැනි දැරිවියන් කෙළෙසලා
කරන අපචාර වැඩ ඇත රටේ වැඩි වෙලා
දැරිවියන් මල් හැලෙන සොඳුරු වයසෙහි ළමා
දූෂණය කරන්නේ නරුම මිනිසුන් තමා
වටින මවුපියවරුනි කුලුණු නෙත සිත යොමා
රැකගන්න ළමයින්ව නොකර තව තව පමා
මල් නේද පැහැ සුවඳ ළපටි වයසෙහි ළමයි
බාරකරුවන් රටේ ඉදිරි ඒ අය තමයි
රැක ගැනුම දරුවන් ලොකු අයගෙ යුතුකමයි
නරුමයන් යහමඟට ගනිමු එය විසඳුමයි
කුරුඳුකුඹුරේ නන්දසිරි
දුන්හිඳ
චන්දන සිහිල
ගිරි අරණෙක
උරස ගැටී
කැන්දන සුවය
එක මොහොතක
ලොවක් වටී
පන්හිඳ ලෙසට
ගිනිගත් සිත්
නිවන අටී
කන්දක කඳුළු
හරි මිහිරට
ගලන හැටි
නයෝමි අමරසිංහ
යථාර්ථය
ධන බලය හා සවිය ලැබුණට අපරිමිත
වේවි කිසියම් දිනක ජීවිතය හැර යන්න
රාග වෛරය සමඟ මුලාවත් සැඟවී ඇත
මිනිස්කම දියවි ගොස් මමත්වය පෙරමුණට
එක්වීම සතුටක්ය දුකකි වෙන්වී යාම
ඉපදීම මරණයකි මරණයත් උපතක්ය
සියලු අත්හල යුතුය පෙන්වා දුනි අනියතය
බවුන් වැඩුමෙන් තුටින හැක සසර ජය ගන්න
ගෙවෙනතුරු ලියුවත් මගේ පන්හිඳේ තුඩ
අවබෝධයක් ලැබුම සතුටක්ය දුන්න මට
කියා දුන් කරුණු ටික පිළිගැන්ම ඔබ සතුය
මෙය තමයි සත්තටම ජීවිතයෙ යථාර්ථය
චම්පා ගුණසේකර
පැතුමක්
ලෝකෙම දිනුවා සේ දැනුණා අද අපට
තව එක ජය කණුවයි ඇත්තේ ඔබට
එය ජය ගනු ඇත මේ වසරෙම දිනක
පතනවා ඔබට ඒ වෙනුවෙන් තෙරුවන් සරණ
සාපෙළ උසස්පෙළ සමත් වී ගෙන දුන් සතුට
කිසිදා අමතක කරනු බැහැ පුතුනේ අපට
මේ භවයේ හා පෙර භවයේ ඔබ කළ පිනට
සියලුම බාධක බිඳ නැංඟා ජය කණු වෙතට
අම්මා නුඹ වෙනුවෙන් වෙහෙසුණු විදිහ
දන්නවා සියලු නෑමිතුරන් හැම දෙනාම
වෙහෙස නිවන්නට අද අම්මට දුන් සතුට
නිම කළ නොහැක දිවි ඇති තුරාවට
ගීතා කරුණාතිලක
සුරකිමු හෙළ බස
ළගන්නා අපේ හෙළ බස
රස අලංකාර උපමා බස
පදයෙන් පදය රසවත් බස
කනට කන්කලු මිහිරි බස
අරුත රූපක මවා දෙන
සොඳුරු සුගම වචන දෙන
සිත් සතන් නිවා ලන
සිංහල උගනිමු මන බඳන
ගීතවත් සුන්දර හෙළ බස
අදහස් සුපැහැදිලි කරන බස
අපේ මනහර හරවත් බස
පණ මෙන් සුරකිමු බස
සුනේත්‍රා විජේරත්න
පැතුමක්
අරුණලු උදාවෙයි
දෙදහස් විසි හතරට
මල් පිපී ඵල දරයි
ප්‍රාර්ථනා හද පිරෙයි
අපල දුරුවෙයි
බත බුලතින් පිරෙයි
අලුත් වසරක පැතුම්
හද තුළින් නැඟ එයි
මුවෙන් මුව සිනා දෙයි
විපත් බාධක නැතිවෙයි
නෙත් කඳුළු පිසදමා
සිරිකත රටට කැන්දයි
කමලා ධර්මලතා ජයසූරිය
සංසාර ගමන
බුදු හාමුදුරුවන්
හමු වුණා නම්
එද මිගදායේ
මෙවන් දිගු ගමනක්
එන්නෙ නැහැ
අපිත් සංසාරේ….
කිසාගෝතමි පටාචාරා
රජ්ජුමාලාවන්
වගේ පින් බලා
නොඋන් හින්දයි
අදත් සංසාරේ
නොමළ ගෙයකින්
අබ හොයන්නට
“කිසා” ගිය පාරේ
මාත් පියවර එසෙව්වානම්
අද නිවන් පුරේ…
චින්තා කරුණාරත්න
සත්‍යා හා මිත්‍යා
උරුවිසිය පරද වන
රූ සිරිය විහිදු වන
ඉන්ද්රජාලික නයන
යුගාන්තය තෙක් දිවෙන
මුලාවේ සතප වන
කලාවේ හැඩ සදන
සක්වලම සැරි සරන
සතුට බිය මැද නිදන
ඇගේ නම මිත්‍යාය
සියුම් සිරුරින් සැදුණ
සුවහසක් දුර දකින
තියුණු පිරිසිදු නයන
සැකය මත වැඩ හිඳින
නිබඳ දුක් පිරි වරණ
අනිත බව හා බැඳුන
අඳුර තුළ රජ කරන
සැකයෙ සළු පිළි දරණ
ඇගේ නම සත්‍යාය
සබඳ ඒ දෙදෙනාම
සත්‍යාද මිත්‍යාද
නිවුන් සොහොයුරියන්ය
රාජේන්ද්‍ර බණ්ඩාර
කවි මිතුරි
සති අග කවි මිතුරි සොයමි
නොම දැක දුක් කවිය ලියමි
පන්හිඳකට එ දුක කවමි
යළි එනතුරු බලා තැවෙමි
රැගත් පහන් බිඳ ගනඳුරු
ඇවිත් සොඳුරු ලිය විසිතුරු
බඳිත් දිමුතු මුතු රනතුරු
මහත් සතුට බල සුමිතුරු
කවි මිතුරි හැඩ වන්නේය
රිවිදා යළි පැමිණෙන්නේය
නොවිඳා දුක් පසුවන්නේය
නාඬා පුතු සැනසෙන්නේය
ජයම්පති අල්ගම
දෙදහස් විසිහතර ජයවේවා!
කලට වැසි ලැබී ගොවිතැන සරු වේවා
කුස ගිනි නිවී ජනහද සුව පත් වේවා
නිති ඔසු ලැබී ලෙඩ දුක් ගිනි නැති වේවා
සිරිලක් බිමේ සාමය නිති රජ වේවා
මිල මුදලින් දුගියා පොහොසත් වේවා
පීඩා අණ පනත් වර්ජන නැති වේවා
සැම දේ ලැබී රටවැසියා තුටු වේවා
සැම දෙවි පිහිට ලැබ කිරිපැණි ඉතිරේවා
යුක්තියෙ දහම මුළු රට තුළ පැතිරේවා
සැම හදවත් තුළම මෙත් සිත් ඇතිවේවා
ගෙවෙනා වසරෙ ලැබු දුකඳුර දුරුවේවා
දෙදහස් විසිහතර සැමටම ජයවේවා
රූපසිරි කේ. ලියනගේ
දැන් ඉතින් අහවරයි
හදවතේ දරාගෙන උහුලන්න බැරි බර
ජීවිතය ගෙනියන්න දැරුවා අපමණ වෙර
බැරි නිසා යාගන්න තවත් ඒ සා දුර
අවසරයි වහන්නට සඳහටම කවි දොර
විසිරෙද්දි විජිතයම දෑස් ළඟ මා තැනූ
වෙහෙසුණා කවියකට කරන්නට දුක ගොනූ
නෑසෙද්දි මැසිවිල්ල සවන් ළඟ මුනු මුනූ
හිනැහෙන්න කුමරියෙ ලොවේ සිට ඔබ දිනූ
සුජිත් අජන්ත ජයසුරිය
රට වෙනුවෙන් පෙරට
ඈත ඉඳන් ඉඟි කරනව
ඔබටත් වෙන දේශයකට එන්නට
නොයන් පුතේ මවුබිම හැරදා
නොපෙනෙන ඒ දුර රටකට
ඔබේ පියවරු මී මුත්තන්
දහදිය බිදු එක් දිගට හෙලා
තැනු ඔබේ උත්තම දේශය
නොවටින්නෙද පුත නුඹහට
ඩොලර් දෙස බලා හැමවිට
ජීවිත බැහැ සරු කරන්න
ඇති දේ සතුටින් විදගෙන
ඉන්න පුතේ රට රැක ගෙන
උබයරත්න වනසිංහ