මෙවර කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය රුපියල් 2500 කැරට් කුමන්ත්‍රණය හා සම්බන්ධවයි. එළවළු, පලතුරු ඇතුළු කෘෂි කාර්මික ද්‍රව්‍යවල මිල තීරණය වන්නේ වෙළඳ පොළ ඉල්ලුම සැපයුමට අනුවය. ආණ්ඩුවලට බැණ වැදුණාට එළවළු පලතුරු මිල සඳහා ආණ්ඩුවට මැදිහත් විය නොහැක.
දියුණු නොදියුණු සෑම රටකම වෙළඳ පොළේ එම එළවළු වර්ගය සඳහා ඇති ඉල්ලුමට වඩා සැපයුම වැඩි වුවහොත් ඒ භාණ්ඩ මිල ඉබේම පහත වැටේ. මෙය සියලුම පාරිභෝගිකයන් අත්දැකීමෙන්ම දනිති. අඹ වාරයට එහි මිල ඉතා විශාල ලෙස පහත වැටේ. අඹ වාරයට හොරි හැදෙනකම් අඹ හැදෙනවා යැයි ගම්වල කතාවක් ඇත. දෙහි වාරයට දෙහි විකුණා ගත නොහැකි පරිදි මිල අඩුවේ. එළවළු සැපයුම වැඩි වූ විට ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් ඉල්ලුමක් ඇති නොවන විට ඉල්ලන මිලකට ලබාදීමට වෙළෙන්දෝ කටයුතු කරති.
ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විට මිල ඉහළ නඟියි. පසුගිය මාස කිහිපය තුළ එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ යාමට බලපෑවේ ධාරානිපාත වර්ෂාවයි. විශේෂයෙන් එළවළු වැඩි වශයෙන් වගා කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැස්ස නොනවත්වාම ඇද වැටෙන විට කැරට් වැනි භෝගවල අල වැඩීම හා මේරීම සිදු නොවන බව දන්නේ කැරට් වවන ගොවියෝ පමණි. එ් නිසා අසාමාන්‍ය ලෙස කැරට් සැපයුම අඩුවීම කැරට් මිල වැඩිවීමට හේතු විය. නමුත් සංචාරක හෝටල් කර්මාන්තයේ හා වෙනත් හෝටල් ව්‍යාපාරවලට කැරට් නැතිවම බැරි වූ නිසා ඔවුන් වැඩි මිලක් ගෙවා ඒවා මිල දී ගන්නා විට දේශපාලන කුමන්ත්රණකරුවන් කිහිපදෙනෙක් කැරට් කිලෝවක් රුපියල් 2500 ට මිල නැඟ ඇති බවට තමන්ගේ ප්රවෘත්ති විකාශන, කාටූන් ලිපි මඟින් විශාල ප්‍රචාරණයක් ගෙන ගියේය. කැරට් කිලෝව රුපියල් 2500 ට ඉහළ ගිය බව කී විට පාරිභෝගිකයන් කැරට් දෙස නොබලා යන්න පටන් ගත්තේය. අද කැරට් කිලේවක මිල රුපියල් 800 කට පහත බැස ඇත්තේය. ආර්ථික විද්‍යාත්මකව කැරට් සඳහා ඇත්තේ නම්ය ඉල්ලුමකි. නම්ය ඉල්ලුමක් යනු මිල වැඩිවන විට ඉල්ලුම විශාල ලෙස අඩුවීමයි. නම්ය ඉල්ලුමක් ඇති වන්නේ කැරට් වෙනුවට වෙළඳපොළ ආදේශන එළවළු වර්ග රාශියක් තිබීමය. රුපියල් 2500 ට කැරට් ගැනීමට පාරිභෝගිකයන් නැති බව ඔප්පු විය.
එළවළු ගැනීමට මිනිසුන් නො එන විට එම භාණ්ඩ අනවශ්‍ය භාණ්ඩය. එනම් කෙටි කාලයක් තුළදී නරක් වීමයි. තොග වශයෙන් ගෙනත් වෙළඳ සැලේ ඇති එළවළු පාරිභෝගිකයන් නොගෙන නරක් වීමට ආසන්න වන විට තිබෙන මිලකට එළවළු විකුණයි. ඒ නිසා වෙළඳ පොළ තුළ කැරට් මාෆියාවට දුන් පිළිතුර වැදගත්ය.
ඕනෑම කෘෂි කාර්මික ද්‍රව්‍යයක් සති දෙකක් ඉල්ලුම වර්ජනය කළහොත් ඒ කාෂි කාර්මික ද්‍රව්‍යයේ මාෆියාව ක්‍රියාත්මක වීම නැවතී මිල කඩා වැටෙයි. එය පරම සත්‍යයි. මෙය අත්හදා බැලීමට වුව පුළුවන. ආසාමාන්‍ය ලෙස යමක මිල වැඩිවූ විට සති දෙකක් ඒ එළවළුව නොමැතිව වෙනත් එළවළු වර්ග භාවිතා කරන්නේ නම් වෙළඳ පොළ න්‍යායට අනුව මිල ඉබේම අඩු වෙයි. වෙළඳ පොළ තුළ ආර්ථික න්‍යායේ පාරිභෝගික ස්වාධිපත්‍යයක් ක්‍රියාත්මක වෙයි. පාරිභෝගික ස්වාධිපත්‍ය යනු ස්ව අභිමතය පරිදි වෙළඳ පොළ හැසිරවීමේ බලය පාරිභෝගිකයා සතුවීමයි. පාරිභෝගිකයෝ කිසියම් භාණ්ඩයක් ඉල්ලන්නේ නැතිනම් එයට මිලක් නියම නොවේ. මිලක් නැතිනම් එය නිෂ්පාදනය නොවන අතර එසේ වූ විට එය අලෙවි නොවේ. චීනය, කොරියාව වැනි රටවල සර්පයන්, කෘමින් සඳහා ඉල්ලුමක් ඇත. ලංකාවේ එවැනි ඉල්ලුමක් නැත. අලියා අලියගේ තරම නොදන්නවා සේ වෙළඳ පොළ තුළ පාරිභෝගිකයාට ඇති බලය පාරිභෝගිකයා දන්නේ නැත. තාර්කික පාරිභෝගිකයාට තමන්ට හැකි ලෙස වෙළඳපොළ හැසිරවීමට බලයක් ඇත. ඒ බලය දියුණු වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන අතර නොදියුණු වෙළෙඳ පොළ තුළ දේශපාලනඥයන් විසින් ඊට ඉඩක් නොදේ. ඔවුන් සෑම දේටම ආණ්ඩුව අල්ලා ගනී. මෙයට තාර්කික පිළිතුරක් සෙවීමට ජනතාව දැනුම්වත් කරන්නේ නැත.
නවීන තාක්ෂණික ක්‍රම යටතේ අද පවතින මිල මට්ටම් අනුව කැරට් කිලෝවක් රුපියල් 60 කට නිපදවිය හැකි බව කෘෂි විශේෂඥයන්ගේ මතයයි. ඒ සඳහා සෑහෙන ප්‍රාග්ධන ආයෝජනයකින් යුත් ස්මාට් ග්‍රීන් හවුස් සංකල්පය පදනම් කරගත යුතුයි. දියුණු තාක්ෂණය අනුව ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ මේ ස්මාට් ග්‍රීන් හවුස් ඵල දරන බීජ යෙදුවහොත් කෘමි උවදුරුවලින් තොරව රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිත නොකර එකම ප්‍රමාණයකින් යුත් කැරට් ලබාගත හැකියි. දියුණු රටවල කැරට් නිෂ්පාදනය කරන්නේ ඒ ආකාරයෙනි. රුපියල් 60 කට කැරට් නිෂ්පාදනය කළොත් 100% ක් ලාබ ලබා වෙළඳ පොළ තුළ රුපියල් 120 කට ලබා දිය හැකියි. කැරට් කිලෝවක් රුපියල් 200 කට පහසුවෙන් අලෙවි කර ගත හැක්කේ සියලූම ගොවීන්ට අලුත් තාක්ෂණය සඳහා උදවු කළ හැකිනම් පමණි. නවීන තාක්ෂණයට ගොවින් පෙලඹීමට නොහැකි ස්මාර් ග්‍රීන් හවුස් වැනි සංකල්ප හා ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම අසීරු වන්නේ ප්‍රාග්ධන ආයෝජනය නිසාය. ඒ නිසා එළවළු අලෙවි කරන මහ පරිමාන සුපිරි වෙළඳ ජාලා හිමියන්ට දැන් තමන්ට අවශ්‍ය කැරට් බෝංචි වැනි මිල අධික එළවළුවලට ආයෝජනය කර ස්මාට් ග්‍රීන් හවුස් සංකල්පය යටතේ තමන්ම බීජ ආනයනය කර බීජ මාෆියාවට ඉඩ නොදිය හැක. කෘෂිකර්ම අමාත්‍යාංශයට හා අමාත්‍යාවරයාට ජනතාවට දැරිය හැකි ආකාරයට මිල පහතට ගෙන ඒමට, දේශපාලන මාෆියාව පරාජයට ඇති විසඳුම අලුත් තාක්ෂණය පමණි.